ගීතය පිළිබඳ සමාජ මතවාදය පාසල් අධ්‍යාපනයෙන්ම එන්න ඕනෑ
සමාජයක අධ්‍යාපනික ආගමික චින්තනය ගීත සාහිත්‍යයෙන් පිළිබිඹු වෙනවා
විවිධ වූ සාහිත්‍යාංග අතර ප්‍රමුඛත්වය ගන්නා සාහිත්‍යාංගයකි ගීතය. මිනිස් මනෝභාවයන් මෙහෙයවීම උදෙසා පරිකල්පනය අවදි කිරීමට ගීතයට ඇත්තේ අපූරු හැකියාවකි. ගීත සාහිත්‍යය පිළිබඳ විමසීමේදී ගීතයත් සංගීතයත් මුසුවූ භාවමය ප්‍රකාශනයක් ලෙසින් අපට සරලව පැහැදිලි කරගත හැකිය.
කවිය සහ ගීතය නිර්මාණකරණය සඳහා භාවිත කරගනු ලබන ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිiාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හාමුදුරුවන් වහන්සේ ගීතය, කවිය වැනි මාධ්‍යවල පර්යේෂණයේ යෙදෙන විද්වත් යතිවරයාණන් වහන්සේ නමකි.
මේ සංවාදය උන්වහන්සේ සමගය.
ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයේ විකාශනය කෙසේ විමසා බැලිය හැකිද…?
ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යය මූලික ම වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. සිංහල ගීත සාහිත්‍යය සහ ගුවන් විදුලි ගීත සාහිත්‍යය වශයෙන්. ගුවන් විදුලිය තුළින් ඇරඹෙන සිංහල ගීත සාහිත්‍යය යුග තුනකට බෙදා කතා කරන්නට මම කැමතියි එනම්,
- පර තනුවලට වචන දැමීමේ යුගය
- සිංහල ගීතයේ ස්වර්ණමය යුගය
- ගීතය තුළින් සාහිත්‍ය රුව ගුණ පිරීමේ යුගය
සිංහල ගුවන් විදුලි ගීතය සිංහල සමාජය තුළ විකාශනය වන්නේ මෙන්න මේ විදිහට. පර තනුවලට වචන යෙදු කාලේ නූර්ති ගී, ග්‍රැමෆෝන් ගී සහ ගුවන් විදුලි සරල ගීත හඳුනා ගන්න පුළුවන්. වෙනත් තනුවලට වචන යෙදුවත් සිංහල සමාජය ඒ ගීතවලට වැඩි ඇල්මක් දැක්වූවා. එයට ප්‍රධාන හේතුව තමයි ඒ ගීතවල බෞද්ධ ඌරුව තිබීම. අපි අදත් ඒ ගීත එලෙසින්ම රසවිඳිනවා. ඒ වුණාට ඒවායේ වචන සහ අදහස් හැරුණම තනුව අනුන්නේ. ඒ ගීත අද තවමත් අපේ හිත්වල රැව් පිළිරැව් දෙනවා. සිංහල ගීතයට නව ආරක් එකතු වෙන්නේ පස්සේ. විශේෂයෙන්ම හැත්තෑව ආසන්න සමයේ ඇතිවූ මෙම ප්‍රබෝධය හැත්තෑවේ තමයි විකසිත වන්නේ. දේශීය තනු, දේශීය හඬවල්, දේශීය ගී රචනාවලින් පරිපෝෂණය වන්නේ මේ යුගයේදී. සිංහල ගීතයේ ස්වර්ණමය යුගය හැටියට මේ යුගය හඳුන්වනවා. සාහිත්‍ය අංගයක් හැටියටත් රස විඳීමට හැකියාවක් මේ යුගයේ තිබුණා. නමුත් 1990 වැනි කාලය තුළ ජනප්‍රිය ගීත ආර අපේ සමාජය ගිල ගත්තා අද තියෙන්නේ ඒ වගේ යුගයක්. ගීතයේ සාහිත්‍ය නැහැ. ගීතය කිව්වහම අද තියෙන්නේ කටහඬයි මියුසික් භාණ්ඩවල ශබ්දයයි විතරයි. ඉතින් ඒ වගේ ඒවා ගීත හැටියට හඳුන්වමින් නව මාධ්‍ය හරහා සමාජගත වෙන අන්දම ජුගුප්සාජනකයි. රසඥතාවය සහ සාහිත්‍යාංගය ගිලිහී තිබෙන බව තමයි මේ වගේ සිද්ධිවලින් ඉඟි කරන්නේ.
අපේ හාමුදුරුවනේ… ගීත සාහිත්‍යයක් ගොඩ නැගීමේදී ගීතය හා සංගීතය කෙසේ සකස් විය යුතුද.?
ගීතය කියලා කියන්නේ එක්තරා ශ්‍රව්‍ය මාධ්‍යයක්. රසිකයා කනින් අහලා තමයි ගීතය රස විඳින්නේ. නමුත් එය එක්තරා විදිහක සාහිත්‍ය මාධ්‍යයක් හැටියට අගය කරන්නට පුළුවන්. ගී පද රචනාව ගීතයෙන් වෙන්ව ගත්තහම වුණත් සාහිත්‍යයක් තියෙන්න ඕනේ. සංගීතය උත්සාහ ගන්නට ඕනේ ගීතයෙන් කියන අර්ථය වඩාත් විධිමත්ව සහ රසවත්ව රසිකයාට දෙන්න. ගීතයෙන් එක අදහසක් කියැවෙනකොට සංගීතයෙන් තව අදහසක් මතුවෙනවා නම් ඒක සාර්ථක ගීතයක් හැටියට හිතන්න අමාරුයි. සංගීතකරුවාට සාහිත්‍යය පිළිබඳ නිවැරදි අවබෝධයක් තියෙන්නට ඕනේ. එහෙම නැත්තං හොඳ නිර්මාණයක් ගොඩ නගාගන්න පුළුවන් වෙන්නේ නැහැ. පද රචකයාගේ අදහස වඩාත් ලස්සන කරන්න සංගීතඥයා දක්ෂ වෙන්න ඕනේ. අපේ රටේ මේ කාරණා තුනම වෙන්නේ නැහැ. සංගීතඥයෝ වැඩි වශයෙන් සාහිත්‍ය රසය අඳුනන්නේ නැහැ. ඇතැම් ගායකයෝ තමන් ගායනා කරන වචන ටිකේ අදහසවත් හරියට දන්නේ නැහැ. කලාවට එන අය තුළ කලාව පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ. අද ගොඩක් වෙලාවට ගීත කලාවට එන අය බිස්නස් එන අය වගේ. ගායකයා රචකයාගෙන් පවා මුදල් කඩාගන්න උත්සාහ කරනවා. ගීත රචකයත් බිස්නස්වල. එයාට සාහිත්‍යයක් ගොඩනගන්නට ඕන නෑ. සාක්කුවට ගාණ වැටෙනවා නම් ඒ ඇති. සංගීතඥයාට වුණත් ගීතයේ රසය අඳුනගෙන එයට ගැලපෙන තනුවක් නිර්මාණය කරන්ට අවශ්‍යතාවයක් තියෙනවද කියන එක මට තාම ලොකු ප්‍රශ්නයක්. ගීතයේ තිඹිරිගේම තමයි ගීතයේ මළගෙය බවට පත්වෙලා තියෙන්නේ. හැත්තෑව දශකයේ ස්වර්ණමය කලාවක් වූ ගීතය මළා. දැන් ඒ මළගිය ප්‍රාණකාරයෝ බඩ පිනුම් ගහනවා.
ගීත සාහිත්‍යය සමාජයක ශිෂ්ටසම්පන්න භාවයේ කැඩපතක්ද..?
ගීතය කියලා කියන්නේ ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යයක්. ඒක නිසා බොහෝ අය ගීතය කැමැත්තෙන් ශ්‍රවණය කරනවා. ගීත රසවිඳින්න වයස් භේදයක් නෑ. හැම කෙනෙකුගේම හිතේ මුමුණන ගීතයක් තියෙනවා. එක්කෝ අනාගතයේ බලාපොරොත්තුවක්. නැත්නම් වර්තමානයේ පවතින අදහසක්. සමහර විට අනාගත බලාපොරොත්තුවක්. ඇතැම් කාලයකට අපේ ජනමාධ්‍ය තුළිනුත් ගීතයක් හඳුන්වල දෙනවා. ඒක ඉවර වෙනකොට තව එකක් එනවා. මේ විදිහට සමාජය ගීතය එක්ක ජීවත් වෙනවා. ගීතය තුළින් බොහෝවිට සමාජයේ තියෙන මතය හෙළි වෙනව. ඒ වගේම සමාජයක අධ්‍යාපනික ආගමික චින්තනය ගීත සාහිත්‍යය තුළින් පිළිබිඹු වෙනවා. සමාජයක් තුළ තිබෙන සිතුවිලි හැඟීම් දැනීම් අවශ්‍යතා මානව අවශ්‍යතා මේ සියල්ල භාවිත ගීතය තුළින් හඳුනගන්නට පුළුවන්. ඉතිහාසගත ගීත හොයන කොට එදා මිනිසුන්ගේ සිතිවිලි කොහොමද කියලා තේරුම් ගන්න පහසුයි. වර්තමාන ගීත සාහිත්‍යය අධ්‍යයනය කරනකොට වර්තමාන පිරිසගේ සිතුවිලි හඳුනගන්න පුළුවන්. අධ්‍යාපනික තත්ත්ව හඳුනගන්න පුළුවන්. රසඥතාවය හඳුනගන්ට පුළුවන්. ඒ කියන්නේ ගීතය නමැති මාධ්‍යය සමාජය කෙබඳුද කියලා කියන්න පුළුවන් මාධ්‍යයක්. ඒ වගේම සමාජය කිසියම් මතයකට හරවන්නටත් ගීතය උවමනා වෙනවා. ඒ නිසා තමයි සෑම මතවාදවලටම ගීතයක් තුළින් තේමාව හදන්නේ. දේශපාලන පක්ෂයක් වුණත්, ආගමික සමාජයක් වුණත්, සාමාන්‍ය සමාජයක් වුණත් ගීතය තුළින් තමන්ගේ මතය හදන්නේ. තේමා ගීතයක් අවශ්‍ය වෙන්නේ ඒ නිසා. ජාතියකට තේමා ගීතයක් අවශ්‍ය වෙන්නේ ඒ නිසා. ගීතය නිතරම සමාජයේ ජීවත් වෙනවා. අපේ සමාජයේ වුණත් ඒ ඒ කාලවලට මතුවෙන ගීත තුළ කිසියම් සමාජ දැක්මක් නිරූපණය වෙනවා. ඒ අනුව තමයි අපි කියන්නේ අද සමාජය ගීතය නිසා පිරිහිලා කියලා. පහුගිය අවුරුදු 10 තුළ සමාජගත වෙච්ච ගීත අධ්‍යයනය කරලා බැලුවොත් ඉතාමත් මැනවින් මේ කාරණය වටහාගන්න පුළුවන්. මම එහෙම කරපු සමීක්ෂණ පවා තියෙනවා. සිංහල ගීතය සහ අපේ සංස්කෘතිය කියන මා ලියූ කෘතියේ මේ පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් තිබෙනවා. එහිදී මම උත්සාහ ගත්තේ ගීතය සමාජයට මොනතරම් බලපෑමක් කරනවාද කියලා කියන කරුණ පැහැදිලි කිරීම. ගීරස විනිස කෘතියෙහිදී ගීතය සමාජ මතය ගොඩනැගීම කෙරෙහි බලපාන ආකාරය ගැඹුරින් විග්‍රහ කරන්නට උත්සාහ ගත්තා. මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ යන විද්වතුන් මෙවැනි අධ්‍යයනය කරල තියෙනවා.
ගීත සාහිත්‍යයේ උන්නති සහ අවනතීන් කෙරෙහි සමාජ සංස්කෘතියක බලපෑම කෙබඳුද…?
සංස්කෘතිය තුළින් ගීතයේ හැඩරුව හදනවා සේම, ගීත කලාව තුළින් සංස්කෘතියක හැඩරුව නිරූපනය වෙනවා. මේ දෙක දෙකක් නොවෙයි එකක්. එකම කාසියක දෙපැත්තක්. සංස්කෘතිය පිරිහෙන කොට ගීතය නමැති සාහිත්‍යයත් පිරිහෙනවා. ගීතය පිරිහෙන කොට සංස්කෘතියත් පල්ලම් බහිනවා. මානව සිතුවිලි සංස්කෘතියට ගීතය විශාල බලපෑමක් කරනවා. ගීතය පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ අන්න ඒ නිසයි. රටකට නිර්මාණ නියමාවලි හදන එක සංස්කෘතික අමාත්‍යාංශයට පැවරෙන බරපතල කාර්යයක්. අද සංස්කෘතික අමාත්‍යාංශය ඒ වගකීමෙන් පිට පැනලා. ඒක දැන් වල් බිහිවෙච්ච ඉඩමක් වාගේ… හිතන්න පුළුවන් මිනිස්සුන් දැන් ඒකේ නෑ. සංස්කෘතික ඇමැතිවරයා සංස්කෘතිය විතරයි හඳුනන්නේ නැත්තේ. සංස්කෘතිය කියලා කියන්නේ ඉබේ හැදිච්ච එකක් නෙවෙයි. මානවයා විසින් හදාගත්ත එකක්. ඒක අපේ රටේ මිනිස්සු හරියට තේරුම් ගත්තේ නැහැ. ඒ පටලැවිල්ල තමයි මේ තියෙන්නේ. සංස්කෘතියත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා.
ජන සන්තානය ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනයා හැකි ගීත සාහිත්‍යයක් අපිට උරුමද..?
සාහිත්‍යයේ අරමුණ ඒක තමයි. ගීතයටත් ඒ නිර්නායක වලංගුයි. සුබාවිත ගීත කලාවක අවශ්‍යතාව තවම තියෙනවා. ඒ අරමුණ එලෙසින් සඵල කරගන්ට සමාජය කැපවිය යුතුයි. නිර්මාණකරුවන් විතරක් නෙවෙයි සන්නිවේදන මාධ්‍යයත් එකතු විය යුතුයි. අධ්‍යාපනයත් වැදගත්. අද ඇහෙන බොහෝ ගීත ආනන්දයෙන් ප්‍රඥාවට යනවට වඩා ආනන්දයෙන් මරදානට යන ඒවා.
අපේ ගීත සාහිත්‍යයේ අනාගතය කෙසේ සකස් විය යුතු වන්නේද…?
අපේ ගීත සාහිත්‍යයට අම්මා කෙනෙක් නැහැ වගේ. අම්මා කෙනෙක් නැතුව ජීවත් වෙන එක අමාරුයි. හැබැයි ඊට වැඩිය අමාරුයි කුඩම්ම කෙනෙක් එක්ක ඉන්න එක. දැන් වෙලා තියෙන්නේ ඒක. අම්මා වෙනුවට දැන් ඉන්නේ කුඩම්මා. ගීතයෙන් වැඩ ගන්න අය විතරයි ඉන්නේ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. ගීත ප්‍රචාරය ගැන නීති හදන්න ඕන. ඒ සාහිත්‍ය ගැන සමාජ මතයක් නෑ. ඒවා ගැන හොයා බලන කෙනෙකුත් නෑ, ගීතයෙන් වැඩ ගන්න අය විතරයි ඉන්නේ. ක්‍රමය වෙනස් වෙන්ඩ ඕන. ඒකට සංස්කෘතික අමාත්‍යාංශයට ලොකු වගකීමක් තියෙනවා. ගීතය පිළිබඳ පිළිබඳව සමාජ මතවාදය පාසල් අධ්‍යාපනයෙන්ම එන්න ඕනෑ. පාසල් අධ්‍යාපනය තුළ රසඥතාවය වර්ධනය වන විදිහේ වැඩ පිළිවෙළවල් තියෙන්න ඕනේ. මිනිසාට මිනිසා පිළිබඳ හැඟීමක් දැනීමක් ඇති සමාජයක් ගොඩනැගෙන්න ඕන.
ඒ කියන්නේ හාමුදුරුවනේ ගීතයට අම්මෙක් අප්පෙක් නැහැයි කියලා කියන එකද…?
මම එහෙමම කියනවා නෙවෙයි. ගීතය අවජාතක සාහිත්‍යයක්ය කියලා ගුණදාස අමරසේකර කිව්වා. ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් කිව්වා මහාචාර්ය සුනිල් ආරියරත්න තමයි සිංහල ගීතයේ අප්පච්චි කියලා. මහාචාර්ය සුනිල් ආරියරත්න කිව්වා මහගමසේකර තමයි සිංහල ගීතයේ අප්පච්චි කියලා. එහෙම නම් සිංහල ගීතයේ සීයා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහය කියලත් මහාචාර්ය සුනිල් ආරියරත්න කිව්වා. මම කියන්නේ සිංහල ගීතයට අම්මෙක් නැහැ කියල කියන එක විතරයි… කුඩම්ම ඉන්නවා කියන එක විතරයි.
සංවාදය- නිශාන්ත ප්‍රේමරත්න