අපේ ඩොලර් ප්‍රශ්නයට හේතුව අවුරුදු පනහක ‘පෙර වැරදි’… ශ‍්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන

396

දශක 40 කට වැඩි කලක් දේශපාලනයේ නිරත වී ජනාධිපති බවට පත් වුණු මෛත‍්‍රිපාල සිරිසේන මහතා දේශපාලන විශ‍්‍රාමිකයකු නොවේ. ඔහු අදත් පාර්ලිමේන්තුව හරහා ක‍්‍රියාකාරී දේශපාලනයෙහි නිරත වෙයි. පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්වකරු වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා ඔහුය. පසුගිය මාස කිහිපය තුළ ඔහු මාධ්‍ය සාකච්ඡාවලින් වැළකී සිටියේය. එම නිහැඬියාවෙන් පසු හිටපු ජනාධිපතිවරයා සමඟ පවත්වන ලද පළමු සාකච්ඡාව මෙයයි.

ප‍්‍රශ්නය – අවුරුදු පහක් විවිධ හැලහැප්පීම් මැද්දේ ඉතා දුෂ්කර ව්‍යායාමයක යෙදෙමින් ජනාධිපතිකම් කළ ඔබ විශ‍්‍රාම නොගොස් නැවතත් කෙලින්ම දේශපාලනයට අවතීර්ණ වී පාර්ලිමේන්තුවට යනවා. අද ඔබ ඉන්නේ සතුටින්ද?

හත්වැනි විධායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන – මම ඉන්නේ ඉතාම සතුටින්. රාජ්‍ය පාලනය පිළිබඳව බරක් මට දැන් නැහැ.

ප‍්‍රශ්නය – නිදහසින් පසු ලංකාවේ පහල වූ නරකම සහ හැලහැප්පීම් බහුලතම දේශපාලන වකවානුවක දී මේ රට පාලනය කළ නායකයා හැටියට ඔබ ඉතිහාසයට එකතුවෙනවා. ඔබේ පාලන සමයේදී මතවාදී වශයෙන් ඔබ හිටියේ එක පැත්තක. අගමැති හිටියේ තවත් පැත්තක. මේ කාලය පිළිබඳව ඔබට දැන් හිතෙන්නේ කොහොමද?

මෛත‍්‍රීපාල සිරිසේන – නිදහසින් පසු මේ රටේ පහල වූ රාජ්‍ය නායකයන් හැමෝගෙම ප‍්‍රතිපත්ති එකිනෙකට වෙනස්. විධායක ජනාධිපති ක‍්‍රමය බිහිවුණාට පස්සේ එහි හත්වැනි පාලන කාලය තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙනයන්නේ. අපිට හිටියා ජේ.ආර්. ජයවර්ධන, ආර්. පේ‍්‍රමදාස, ඞී.බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් පස්දෙනා. ඊට පස්සේ මම ජනාධිපති වුණා. අද ඉන්නේ ජනාධිපති ගෝඨාභය. මේ සියලූ දෙනාටම තම තමන්ගේ පක්ෂවල ප‍්‍රතිපත්ති වගේම තම තමන්ට ආවේනික වූ ප‍්‍රතිපත්තිත් තිබුණා. ඒ වගේම දේශපාලන ඉලක්ක තිබුණා. මම විසි වෙනි සංශෝධනයට ඡන්දය දුන්නේ නෑ. ඒකට හේතුව දහනව වැනි සංශෝධනය මගේ. මගේ කාලය ඇතුළෙදි අපේ රටට හා රජයට ජාත්‍යන්තර වශයෙන් ලොකු පිළිගැනීමක් ලැබුණා. මගේ පාලන කාලය තුළදී ලෝකයේ රාජ්‍ය නායකයන් සියලූදෙනා සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අවස්ථාව මට ලැබුණා. ඒකට හේතුව තමයි දහ නවවෙනි සංශෝධනය හරහා මා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කළ කෙනකු බව ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමකට ලක්වීම. දහනව වැනි සංශෝධනයෙන් මා කළේ මා සතුව තිබූ ජනාධිපති බලතල කප්පාදු කරගැනීමයි. මෙවැනි කප්පාදු කරගැනීමක් කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයන් එක්කෝ ඉතාම විරලයි. එහෙමත් නැත්නම් ඇත්තේම නෑ. ඒ කාලේ සමහරු කියන්නට පටන්ගත්තා මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය දොරේ ඇරපු නායකයෙක් කියලා. මගේ පාලන කාලය තුළදී මම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අපරිමිත නිදහසක් දුන්නා. උපරිම මාධ්‍ය නිදහසක් ඒ කාලේ තිබුණා. කිසිදු කෙනකුගේ ජීවිත හානියකට රාජ්‍ය මැදිහත්වීමක් වුණේ නැහැ. කොටින්ම ආණ්ඩුවෙන් මිනීමැරුවේ නෑ. රාජ්‍ය ත‍්‍රස්තවාදයක් තිබුණේ නැහැ. කිසිම කෙනකුට එල්ල කරලා තුවක්කුවක් පත්තු වුණේ නැහැ. ඉතිං මගේ පාලන කාලය ගැන මට හරි සතුටුයි. ඕන තරම් විවේචන තියෙන්න ඇති ඒක වෙනම කතාවක්. විවිධ ජනාධිපතිවරුන්ගේ නායකත්වය විවිධයි. ඔවුන් රාජ්‍ය පාලනයේ අවස්ථාවලට මුහුණ දුන්නේ වෙනස් විදියට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විධායක ජනාධිපති වුණාට පස්සේ කිව්වා මම අවුරුදු දහයකට ලංකාවේ මැතිවරණ සිතියම අකුලනවා කියලා. ඒ කියන්නේ ඡන්ද තියන්නේ නැහැයි කියන එකයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විශ‍්‍රාම ගියාට පස්සේ ඔහු හමු වූ පුවත්පත් කලාවේදියෙක් ඇහුවා ඇයි ඔබතුමා ඒ විදිහට කිව්වේ කියලා. ජේ.ආර්. එතකොට ඇහුවා මම එහෙම කිව්වද කියලා. ඔහොම තමයි එක එක චරිතවල ස්වභාවය. ආර්. පේ‍්‍රමදාස කියන්නේ සාමාන්‍ය ජනතාව අතරින් ආව කෙනෙක්. එතුමා සාමාන්‍ය මිනිසුන් අතර ජීවත්වෙමින් නගරය සහ ගමේ ඉතාම පහළ තැන් බලා ගමන් කරපු කෙනෙක්. ඒත් ඔහුටත් ඉතාම දරුණු චෝදනා තිබුණා. එහෙම බලනකොට මගේ කාලේ දී ආණ්ඩුවේ මැරවරයෝ කියන අය කාගේවත් ගෙවල්වලට පැන්නෙත් නෑ. ගෙවල් ගිනි තිබ්බෙත් නෑ. පාරවල්වල මළ මිනී තිබ්බෙත් නෑ. එවැනි චෝදනාවලින් විනිර්මුක්තව කාලය ගත කරන්න ලැබීම ලොකු සතුටක්. මගේ කාලේදී කිසිම කෙනෙක් පණ බේරගන්න රටින් පැනලා ගියෙත් නෑ. මට විරුද්ධ අය මට පහරදෙමින් ඉතාම නිදහසේ රට තුළ ජීවත් වුණා.

ප‍්‍රශ්නය – මේ ආණ්ඩුව පිහිටුවීමේදී එහි ප‍්‍රධාන පාර්ශ්වකරුවා හැටියට වැඩ කළේ ඔබ ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි. දැන් මිනිස්සු ආණ්ඩුවට බනිනවා. ඒ බැණුම්වල වගකීමෙන් කොටසක් ඔබටත් එනවා. ඔබ ඒවා භාර ගන්නවද?

මෛත‍්‍රීපාල සිරිසේන – ඔව්. ඒ බැණුම්වලින් කොටසක් භාර ගන්න වෙනවාමයි. අපිට ඒකෙන් ගැලවෙන්න බෑ. ආණ්ඩුව බලයට ගේන්න අපි ලොකු වැඩකොටසක් කළා. අපි ආණ්ඩුව තුළ සිටිමින් අදටත් වැඩ කරගෙන යනවා. ඒ නිසා බැණුම් සහ චෝදනාවලින් ගැලවෙන්න අපට බැහැ.

ප‍්‍රශ්නය – මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ සහ ගමන්මග හරි කියලා ඔබ විශ්වාස කරනවද?

මෛත‍්‍රීපාල සිරිසේන – ශ‍්‍රී ලංකාව වගේ රටක ආණ්ඩුවක ගමන් මග හරිද වැරදිද කියන එක තීන්දු කරන්න අඩු ගාණේ අවුරුදු හතරක්වත් යනවා. අපේ රටේ තියෙන රාජ්‍ය පාලන ක‍්‍රමය අනුව අවුරුදු පහෙන් පහට මහා මැතිවරණ සහ ජනාධිපතිවරණ තිබුණා. ආණ්ඩුව අවුරුදු හතරක් හෝ හතරහමාරක් වැඩ කරපු විදිහ බලලා තමයි පස්වෙනි අවුරුද්දේදී මිනිස්සු ඡන්දේ දෙන්නේ. අපේ පරණ කියමනක් තියෙනවා. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා. ඒ කියන්නේ ගහක් හැදෙනකොට මුලින්ම පියලි දෙකක් මතුවෙනවා. මේ ගහ කොච්චර කල් ජීවත්වෙයිද කියන එක ඒ පියලි දෙකෙන් කියන්න පුළුවන්. මේ අනුව මේ ආණ්ඩුව යන ගමන්මග හරිආකාරව කීමට තවමත් කල් මදි උනත් ඒ ගැන කිසියම් අදහසක් පොදු ජනතාවට තිබෙනවා. අපේ පුද්ගලික මතවාදවලට වඩා ජනතා මතය ගැන තමයි විපරම් කළ යුත්තේ. මොකද ඡන්දේ දෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 විතරම නෙවෙයි. කෝටියක විතර ජනගහනයකුත් ඡන්දය පාවිච්චි කරනවා.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් හිරිහැර කරනවද? මදි පුංචිකම් කරනවද?

මෛත‍්‍රීපාල සිරිසේන – ඕක අවුරුදු දෙකක අත්දැකීම් ඔස්සේ අපේ පක්ෂය කියන කතාවක්. මොකද අලූත් ආණ්ඩුව බලයට ඇවිල්ලා තවම අවුරුදු දෙකයි. ඒ කාලය තුළ ශ‍්‍රී ල නි ප යට නොසැලකීම් උනා කියන එක බොරුවක් නෙවෙයි. මීට සතියකට විතර ඉස්සෙල්ලා ශ‍්‍රී ල නි ප ය ජනාධිපතිතුමා හමුවුණා. ආණ්ඩුව ඇතුලේ පක්ෂය කෙරෙහි තිබෙන නොසැලකිල්ල සහ විරුද්ධවාදී ආකල්ප ගැන කතා කිරීමත් රටේ තිබෙන වෙනත් ප‍්‍රශ්න ගැන කතා කිරීමත් මෙහිදී සිදු වුණා. ජනාධිපතිතුමා නම් කිව්වේ එවැනි ගැටලූකාරී ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි බවයි.

ප‍්‍රශ්නය – ඔබ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ලොකු සම්බන්ධයක් තියෙනවා නේද?

මෛත‍්‍රීපාල සිරිසේන – රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතරින් මාත් එක්ක ලොකුම සම්බන්ධය තිබුණේ මහින්ද රාජපක්ෂයි. අගමැති මහින්ද සමග මං එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල ඉඳලම වැඩ කළා. ගෝඨාභය ජනාධිපතිතුමාව මා ඇසුරු කරන්නේ එක්දහස් නවසිය අසූ ගණන්වල ඉඳලයි. අපි අතර කිසිදු ප‍්‍රශ්නයක් නැහැ.

ප‍්‍රශ්නය – නමුත් තීරණාත්මක අවස්ථාවලදී ජනාධිපති ගෝඨාභය ඔබ වෙනුවෙන් කතා කළා නේද? යහපාලන ආණ්ඩුවට කලින් පැවති ආණ්ඩු සමයේදී ඔබට අගමැතිකම දිය යුතු බව ගෝඨාභය රාජපක්ෂ අවස්ථා ගණනාවකදී කියා තිබුණා නේද?

මෛත‍්‍රීපාල සිරිසේන – 2015 ට කලින් පැවති ආණ්ඩු සමයේදී එහි ප‍්‍රධානීන් විවිධ දේශපාලන තීන්දු ගැනීම සඳහා සාකච්ඡා කරන විට මට අගමැතිකම දිය යුතු යැයි ගෝඨාභය කියා තිබුණා.

ප‍්‍රශ්නය – අද මේ රටේ තිබෙන ප‍්‍රශ්නවලට ප‍්‍රමුඛ හේතුව කොවිඞ් වසංගතය බව ද ඔබගේ හැඟීම?

මෛත‍්‍රීපාල සිරිසේන – කොහෙත්ම නැහැ, අද තියෙන ප‍්‍රශ්නවලට ප‍්‍රමුඛ හේතුව කොවිඞ් නොවේ. කොවිඞ් වසංගතය මීටත් වඩා දරුණු වූ රටවල් තිබෙනවා. ඒ අය කොහොමහරි ඔළුව උස්සගන්න බලනවා. මේ පවතින අර්බුදයට හේතුව පසුගිය කාලයේ පැවති සියලූම ආණ්ඩුවල ක‍්‍රියා කලාපයයි. මේක මේ ආණ්ඩුවේම ප‍්‍රශ්නයක් නෙමෙයි. අපි 1948 දී නිදහස ලබනවා. දැන් නිදහස ලැබිලා අවුරුදු 72 ත් ගතවෙලා. නිදහස ලැබීමෙන් පසු අපේ රටේ බලයට පත්වූ කිසිදු ආණ්ඩුවක් සිය කැමැත්තෙන් ජනතා අප‍්‍රසාදයට ලක්වුණේ නැහැ. අපේ රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ නිදහසෙන් පසු කිසිදු කාලයක හිතපු තරම් ශක්තිමත් වුණේ නැහැ. හැම රටක්ම රටේ සංවර්ධනය සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් ආර්ථික ප‍්‍රතිපත්ති හදනවා.

බොහෝ රටවල් දිගු කාලීන ආර්ථික සැලසුම් හදන්නේ අවුරුදු 25, 30 වගේ කාලවල්වලට. යුරෝපයේ නම් අවුරුදු පනහක් තරම් දිග කාලයටත් ආර්ථික ප‍්‍රතිපත්ති හදනවා. අපේ රට නිදහස ලැබූ 1948 සිටම රටේ සංවර්ධනය සඳහා කෙටි කාලීන සහ මධ්‍ය කාලීන සැලසුම් හැදුවා. බණ්ඩාරනායක මහත්මියගේ සමගි පෙරමුණු ආණ්ඩුව කාලේ ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාගේ උපදෙස් අරගෙන හදපු පස් අවුරුදු ආර්ථික සැලසුම ඉතාම හොඳ දෙයක්.

ඊට පස්සේ පත්වෙච්ච සමහර ආණ්ඩු තුන් අවුරුදු ආර්ථික සැලසුම් හැදුවා ඒකට හේතුව අවුරුදු තුනක් තිස්සේ සැලස්ම ක‍්‍රියාත්මක කරලා හතරවෙනි අවුරුද්දේදී එයින් පල නෙළාගෙන පස්වෙනි අවුරුද්දෙදි මැතිවරණයට යෑමයි. මගේ දැනුමට අනුව මේ රටට පත්වූ කිසිම ආණ්ඩුවක් දීර්ඝකාලීන ආර්ථික සැලසුම් හැදුවේ නැහැ. ඔවුන් ඡන්ද ඉලක්ක කරගෙන කෙටි කාලීන සැලසුම් මත යැපෙමින් සිටියා. හුඟක් දේශපාලනඥයෝ කල්පනා කරන්නේ තමන් අවුරුදු පහකින් ඡන්දෙකට යන නිසා ඒ කාලය තුළ කිසිවක් කරගෙන සාර්ථක ප‍්‍රතිපලයන් පෙන්වලා ඡන්ද දිනා ගත්තහම ඇති කියන එකයි. මේ නිසා අපේ රටට අවුරුදු විසි පහේ තිහෙ ආර්ථික සැලසුම් තිබුණේ නැහැ. අපේ රටේ කෙටි කාලීන ආර්ථික සැලසුම්වලදී ඇතැම් දේවල් සාර්ථක වුණා. තවත් දේවල් අසාර්ථක වුණා. සමහර තැන්වලදී ලොකු වැරදීම් සිද්ධ වුණා.

මේ අතර තවත් වැදගත් දෙයක් කිව යුතුයි. ඕනෙම රටක ආර්ථික සංවර්ධනයත් එක්ක සදාචාරයත් සංවර්ධනය විය යුතුයි. ඒ කියන්නේ මනුස්සකමත් සංවර්ධනය විය යුතුයි. ඒක අපේ රටේ උනේ නැහැ. 70 – 77 අතර තිබුණේ සංවෘත ආර්ථිකයක්. 77 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විවෘත ආර්ථිකය ගේනවා. මං අදත් කියන්නේ 70 – 77 කාලයේ මේ රටේ තිබුණු දේශීයත්වයට තැන දුන් කෘෂිකර්මාන්තයට වැදගත්කමක් දුන් නිෂ්පාදනය මූලික කරගත් ආර්ථික ප‍්‍රතිපත්තිය නිවැරදි බවයි. ඒ ප‍්‍රතිපත්තිය හැදුවේ ආචාර්ය එන්. එම්. පෙරේරා ඇතුළු උගතුන් පිරිසක්. ඒ ප‍්‍රතිපත්තිය දිගේ දිගටම ගියා නම් අද අප හොඳ තැනක ඉන්නවා. 1977 දී ඒ සැලසුම විනාශ වෙනවා. ඉන්පස්සේ ආපු ආණ්ඩු හදපු සැලසුම් හරිගියා වගේම වැරදුනා. ඒ වැරදි ඔක්කොම එකතුවෙලා අද විශාල අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. දැනට විනිමය හිඟයක් තිබෙනවා. මීට කලින් තිබ්බ ආණ්ඩුවලටත් විනිමය හිඟ වීමේ අවස්ථා තිබුණා. රටක් විදේශ ණය ගන්නේ කරුණු දෙකක් වෙනුවෙන්. කිසියම් ව්‍යාපෘතියකට විදේශ අරමුදල් ලබා ගන්නවා කියමු. ඒක කරන්නේ අරමුණු දෙකක් ඇතුවයි. එකක් තමයි ණය ගන්න ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම. දෙවැනි කාරණය තමයි එම කාරණය සඳහා පිටරටින් එන ඩොලර් සමූහය අපේ මධ්‍යම බැංකුවේ තියෙන ඩොලර් සංචිතයට ඇතුළත් කිරීම. එතකොට අපේ ඩොලර් සංචිතය ඉහළ යනවා. අපි කිසියම් ව්‍යාපෘතියකට ණය හෝ අරමුදල් ලබාගන්නේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජයිකා හෙවත් ජපන් සහෝයෝගිතා අරමුදල සහ කොඉකා හෙවත් කොරියන් සහයෝගිතා අරමුදල වැනි ඒවායින්. මේවායින් මුදල් දෙන්නේ ඒ අදාළ පාර්ශ්ව සමග හොඳ සම්බන්ධයක් පවත්වාගෙන ගිය තරමටයි. උදාහරණයක් ලෙස බැංකුවකින් පාරේ යන මිනිහකුට ණය දෙන්නේ නැහැ. හැබැයි බැංකුවේ ගනුදෙනුකාරයින්ට ණය දෙනවා. ඒ වගේම ජාත්‍යනතර මට්ටමේදී කිසියම් රටකට ණය දෙනකොට ඒ රටේ මානව හිමිකම් සාමය සුබ සාධන කටයුතු යනාදිය පිළිබඳව සොයා බලනවා. අද අපේ රටට විනිමය නොඑන්නේ ණය ආධාර නොලැබෙන්නේ මේ ආණ්ඩුවේ වරද නිසා නොවෙයි. අවුරුදු 50 තිස්සේ සිදුවෙච්ච ආර්ථික වැරදි නිසයි.

සාකාච්ඡා කළේ
අනුර සොලමන්ස්

advertistmentadvertistment