අපේ තාත්තා අන්තිම කාලේ තමන් ‘රහත්’ කියා සිතාගෙන හිටියා… ජාතික පිරිවෙන් උපදේශක විචිත‍්‍ර ධර්ම කථික දොඩම්පහළ රාහුල හිමි

420

මේ රටේ අද දිවමන් විචිත‍්‍ර ධර්ම කථික ස්වාමීන් වහන්සේලා හතර පස්නම අතර උන්වහන්සේද ප‍්‍රධාන කථිකයන් වහන්සේ නමක් ලෙස අවිවාදිතය. දේශනයෙන්, භාෂණයෙන් මතු නොව ලේඛනයෙන්ද ඉහළම තැනක සිටින මේ හිමියන් අද අපේ රූපවාහිනියට, ගුවන්විදුලියට මෙන්ම ජාතික පුවත්පත්වලටද නැතිවම බැරි කෙනෙකි. ජාතික පිරිවෙන් උපදේශක, විචිත‍්‍ර ධර්ම කථික දොඩම්පහල රාහුල හිමියෝ මෙවර අපේ ‘දිවයින ඉරිදා’ මණ්ඩපයට වඩිති. ඒ තම කුලූණුබර තාත්තා ගැන කියන්නටය.

rahula2


 
 * ධර්මපාල චින්තනය
 
 මගේ පියාණන් විජයදාස ඬේවිඞ් කස්තුරිආරච්චි. ධර්මපාල චින්තනයේ බලපෑමෙන් පසුකාලීනව ඬේවිඞ් කෑල්ල හැලූණා. තාත්තා ඉපදෙන කාලේ පරදේශීන්ගේ නම් අපේ මිනිසුන්ට එකතු වන සිරිතක් තිබුණානෙ. එතුමා පළමුව කැමරා ශිල්පියෙක්. යාපනයේ පෞද්ගලික ස්ටුඩියෝවක් පවත්වාගෙන ගියා. අවුරුදු 30 ක්ම එතුමා යාපනයේ කරෙයිනගර්වල ජීවත්වුණේ. 1970-77 කාලේ මාසයකට ෆිල්ම් රෝලයි වැඩකරලා තියෙන්නේ. ගෙවල්වල කුලී ගෙවාගෙන යන්න බැරි නිසා, එතුමා 77 ආණ්ඩුව පෙරළිච්ච ගමන් නතර වුණා.
 
 * දියබුබුල
 
 එතුමාට ආර්යදෙමළ හොඳට ලියන්න කියන්න පුළුවන්. සිංහල, ඉංගී‍්‍රසිත් හොඳටම පුළුවන්. අම්මා ඩබ්ලිව්. ටී. සෝමවතී දික්වැල්ල බතීගම. බතීගම මූලික රෝහලට උඩින් යෙගාවවත්ත තමයි ඇගේ ලිපිනය. තාත්තා දික්වැල්ල හිරිකැටිය ගමේ. ගොඩවැල්ගොඩ නියම්ගමේ දියබුබුලක් අදත් පවතින ස්ථානය කිට්ටුව තාත්තාගේ මහගෙවල්. සියලූදෙනා ගොවිගම මිනිස්සු. බතීගම රෝහලේ රෝහල් කමිටුවෙ ප‍්‍රධාන සාමාජිකාවක් අපේ අම්මා. ඇය එහි සුබසාධන කටයුතුවල නියැළී සිටියා. තාත්තා ඇය දකින කාලෙ රෝහලට අවශ්‍ය තේ සැලසුම් කරලා ලොරියෙන් එහි ගෙනෙ කෙනෙක්. දෙන්නා මුලින් හඳුනාගෙන පස්සෙ යෝජිත ක‍්‍රමයට විවාහ වෙලා.
 
 * කොහු කර්මාන්තය ජීවනාලියයි
 
 හිරිකැටිය මුහුද අසබඩ කුඩා ගමක්. අක්කර 40 ක 50 ක පමණ වපසරියේ පිහිටි කළපුවෙන් ජීවිකාව රැකගත් පිරිසක් මේ ගමේ හිටියෙ. කොහු කර්මාන්තයට බොහොම ළැදියි.
 
 * කොහු ලෙලි තම්බන කොහු අටු
 
 අම්මාට මේ කළපුවෙ කොහු අටු 10 ක් විතර හිමිවුණා. 20ං20 ඉඩ ප‍්‍රමාණයක කණු පොලූ හිටවලා කොහු පොල් ලෙලි තම්බන වපසරිය තමයි එක් අටුවක්. මේ එක් අටුවක පොල්ලෙලි 800 ක් විතර දාන්න පුළුවන්. ඒ අනුව අටු 10 ට පොල් ලෙලි 8000 ක් විතර අම්මා දාගන්නවා. ඒ කාලෙ ඒ හිමිකරුවන් ගමේ වැදගත් ධනවත් පිරිසක් හැටියට සැලකුණා. ඇළ මැදින් වටේට අටු සකස් කරලා ඒවා වෙන්කරගෙන ගැමියන් ඉන්නෙ. තමන්ගෙ පොල් ලෙලි හොඳින් තැම්බෙන්න ගස්වල අතුදාලා ලණුවලින් ගැටගසලා ගල්බර යොදනවා. එසේ තම්බන පොල් ලෙල්ලෙන් තමයි පාපිසි, කඹ, කොසු පවා තැනෙන්නෙ. අර වගේ බර යොදාගත්තාම ගංවතුරක් ආවත් අම්මගෙ අටු ගසාගෙන යන්නෙ නෑ. මේක ඒ ගම්වල ජීවිකාව එදා ගෙන ගිය හැටි පිළිබඳ සමාජ විද්‍යාත්මක අගයක් දෙන කාරණයක්. මුල් කාලෙ තාත්තත් අපිත් අම්මගෙ මේ පොල් ලෙලි තම්බන වැඬේට හවුල්වුණා.
 
 මුලින් මුහුද. ඊළඟට මෝදර. ඊළඟට කළපුව. මැදපටැඟිල්ල කියන මේ හරිය වෙරළ තෙක්ම ගැඹුරුයි. මේ කළපුව ගොඩබිමට නෙරා ගිය ස්වභාවයක් තියෙන්නේ.
 
 * පෙඳතැළුෑ ගිරව්
 
 තාත්තා යාපනේ ඉඳලා අපිත් එක්ක මෙහෙට ආවා. මට මතකයි මං පුංචි එකා කාලෙ දෙමළ ආත්තම්මලා අප බලාගත්තෙ. පොඩි පොඩි පෙඳ තැලූ ගිරව් එහෙම පෙන්වලා අප නළවා ගන්නවා. පෙඳය තැලූවම උන්ට යන්න බෑ. ඒද`ඩු පාත්ති, ආඬි ළිඳ ආදිය කියා දෙනවා. ඒ මිනිසුන් ජීවත්වන්නට දුක්විඳින හැටි අප පුංචි වුණාට තේරෙනවා. තාත්තා හිරිකැටිය ගමේ ඊට පස්සෙ කලේ ව්‍යාපාර පොල්කඩ දැම්මා. තාත්තා හිරිකැටිය ගමේ ඊට පස්සෙ කලේ ව්‍යාපාර පොල් කඩ දැම්මා. එළවළු, සිල්ලර බඩු ඔක්කොම තියෙන කඩයක්. අපේ පවුලෙ දරුවන් 7 යි. පිරිමි 4 යි ගැහැනු 3 යි. මං පවුලෙ දෙවැනියා. 2014 දී විතර මං අපේ තාත්තව එක්කගෙන යාපනේ ඒ කරෙයිනගර් පැත්තට ගියා.
 
 * දුම් දැමීම හා ගිනි ගැනීම
 

 එතුමාගේ ස්ටුඩියෝ එකේ හිටියා දෙමළ ලියන මහත්මයෙක්. 2014 යනකොට අපට එතුමා හමුවුණා. ඉස්සන් කොටුවක් පවත්වා ගනිමින් එයා හිටියෙ. එදා අපේ සිංහල මිනිසුන් එහෙ ව්‍යාපාර කළා. බේකරි කළා. කඩ කළා. පුංචි එවුන් ළඟ යම් යම් දුබලතා තිබුණත් වැඩිහිටියො සිංහලයට සැලකුවා. 1977 න් පස්සෙ මේක වෙනස් වුණා. 1983 වෙනකොට දුම් දාලා පස්සෙ ගිනි ගත්තා. තාත්තාට තමන්ගෙ ලියන මහත්මයා දැක්කම හරිම ආසයි. එයාටත් එහෙමයි. ඒ කාලේ මිතුරුදම, සහජීවනය අපට පෙනුණා. දැනුණා. ඒ අයගෙ එකතුව ඇසට කඳුළු උපදනවා.
 
 * පොල්තෙල් සම්මාදමේ යෑම
 
 හිරිකැටිය ගමත් හරිම ලස්සනයි. හැම ගැමියකුටම පොල් ඉඩමක් පවා තියෙනවා. පසළොස්වක පෝය දවසට පෙර දවසේ ගමේ ළමයින් ඔක්කොම පාර අතුගාලා පරිසරය ලස්සන කරගන්නවා. වැටවල් කපලා ගිනිගහලා පෝයට පෙර දවසෙ හා පෝය දවසේ උදේ ළමයින් ගමේ ගෙවල්වලට සම්මාදමේ යනවා. මාත් එහෙම ගිය ළමයෙක්. පොල්තෙල් හඳුන්කූරු මල් ආදිය තමයි හොයාගන්නෙ. දහවල් බුද්ධ පූජා වෙලාවට ගමම එකතු වෙනවා. මේසෙ ලාච්චුව තමයි අපේ ‘ටේ‍්‍ර’ එක. හිරිකැටියේ ශ‍්‍රී සුභද්‍රාරාමය තමයි අපේ පින්බිම. අත්තුඩාවේ ශ‍්‍රී රාහුල නායක හාමුදුරුවෝ එහි වැඩ සිටියෙ. ඊටත් පෙර දෙබොක්කාවේ නායක හාමුදුරුවොත් බැදිගම නායක හාමුදුරුවොත් ගෙන ගිය පින්කම් වැඩ අත්නොහැර අපත් කරනවා. තාත්තා මෙහි මූලිකයෙක්. එදාට මහාම ශ‍්‍රද්ධාවන්තයා එතුමා.
 
 * මාළු අල්ලන්න බෑ
 
 ඇළදොළ කොතරම් තිබුණත් එහි මාළු ඇල්ලීම මේ මිනිස්සු කවරදාවත් කළේ නෑ. කවුරුන් හරි නොසන්ඩාලකමට එහෙම කළානම් ඔහු ගොවිගම අඩු කුලේට වැටෙනවා. අම්මගෙ ගම බතීගම ගියාම නම් අපිත් කුඹුරු වැඩ කරනවා. හරක් පිටේ යනවා. සකලයන් හඹනවා. අර විදියට මාළු අල්ලනවානම්, හිරිකැටියේදී ඒ අයට අලූත් නමක් එනවා. ඒ අයට කියන්නෙ ‘මරක්කලායි’ කියලා.
 
 තාත්තා යාපනෙන් ආවට පස්සෙ දික්වැල්ලෙ බේකරියක් පවා කළා. ඒ ලයින් එකේ ව්‍යාපාර කළා. ඒත් තාත්තාට සාරෙට අහුවුණේ සිල්ලර බඩු එළවළු වෙළෙඳාම. එයා ගමේ කඩයක් දාගත්තා. තේ පවා තියෙනවා. මං ඉතින් තාත්තගෙ උදව්කාරයා. මුලින් මෙතෝදිස්ත විදුහලට ගියත්, කනිෂ්ඨ අංශයේදී මං දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයට තාත්තා යැව්වෙ.
 
 * සලාක දානෙන් කතාව ඇල්ලීම
 
  තාත්තා සතර පෝයට සිල් ගත්තෙ නැති වුණත් සලාක දානෙ අරගෙන නම් පන්සලට යනවා. ගෙදරදී සුළු කතාබහක් වෙලා අම්මා එක්ක අමනාප වෙලා හිටියත් එයා නැවත කතාවට ඇදගන්නෙ මේ සලාක දානෙ ගැන කියලයි. ඒ දෙන්නාට දෙන්නාට කතා කරන්නෙ ‘මේ ඇහුනයි’ කියලයි. ‘අර සලාක දානේ කවද්ද?’ තාත්තා එහෙම වෙලාවට කතාවට මුල් පුරනවා. ‘අහවල් දවසේ’ අම්මා කියනවා. එහෙනම් මී කිරිවලට දැන්ම කියන්ට එපායැ. පන්සලෙන් ‘දානෙ සැට්’ එක අරන් එන්න හෙට අනිද්දා යන්න ඕනෑ. තාත්තා දැන් දිගටම කතාව. අර අමනාපකම ඉවරයි. මෙතුමා සලාක දානෙ දෙන දවසට අලූත් අවුරුද්දට හරිම කීකරුයි. මේසෙ අලූත් අවුරුදු පහන දල්වන්න දෙන්නාට දෙන්නා පවරනවා. ඒ තරම් සුහදයි.
 
 * මත්වතුර නම් ගත්තෙම නෑ
 

 අපේ තාත්තා කවරදාවත් මත්වතුර ගත්තෙ නෑ. එතුමා නොබී හිටපු එකම ඇති.
 
 ගමේ හැමෝම බොනවා. තාත්තා බොන්නෙ නෑ. තාත්තා හොඳට ගමේ රටේ තොරතුරු දන්නවා. එයාගෙ කඬේට ගමේ පැරැන්නො වැඩිහිටියො පවා එන්නෙ එතුමාගෙ රස කතා අහන්න. බොහොම සාරෙට ඒවා කියනවා.
 
 දකුණෙ වාරකන් කාලයට මාතර පළාතේ කෛරව වංශයේ කට්ටිය මඩකලපු ගිහින් වැඩකරනවා. ඒ අය මෙහෙට ආවාම අර දෙමළ මිතුරන් ලිපි එවනවා. මේවා කියවගන්න ඒ අයත් එන්නෙ තාත්තගෙ කඬේට. එයා ආර්ය දෙමළ පවා දන්න කෙනෙක්. අපෙ අම්මත් බොහොම ධෛර්යවන්ත කාන්තාවක්. අපට කන්න දෙල් අටු කොස්, අටු කොස් ඇඳන් යට වට්ටිවල පිරිලා. ඒවා අම්මාගෙ අනලස් වැඩ. අම්මා ඉඳියප්පන් පවා හැදුවා. ඒවාට උදව් කරන්නේ අපි.
 
 * තාත්තගෙ වස්දඬු රාවේ
 
 අපේ තාත්තා මැඞ්ලීන් ගහන් දක්‍ෂයා. එයාට මැඞ්ලීනයක් තිබුණා. ඒ වගේම තමයි වස්ද`ඩුව පීඹීම. එයාගෙ බටනලා වාදනය ගම පුරාම රැව්දෙන විට කාටත් ආසයි. පරණ ගීත කියන්නත් තාත්තාට පුළුවන්. අම්මගෙ සහෝදරයෝ අපේ මාමලාත් ඒවට හරි කැමතියි. සමහර විට ගෙදර සාජ්ජයක් මේ අය දානවා. මේ ගම්වල නාඩගම් සම්ප‍්‍රදායට අයත් පුංචි පුංචි රඟදැක්වීම් පවා මාමලා කරන විට තාත්තාත් එකතු වෙනවා. පුංචි මාමා (ඩබ්ලිව්. ටී. සිරිල්) තමයි මේවගෙ වැඩවල ප‍්‍රධානියා.
 
 ඒ කාලෙ ඡන්දෙ අහන්න මිනිස්සු හරිම කැමතියි. පොල් ගස්වල ඒරියල් බැඳපු විශාල රේඩියෝ එකක් අපේ ගෙදරත් තිබුණා. එදාට එළියෙ ඇඳන් දාලා ගමේ මිනිස්සු රොක්වෙලා ඡන්දෙ අහනවා. මේ අයට කෑම, බීම, සංග‍්‍රහ අම්මාගෙන්. ගමේ ගෑනුත් එකතුවෙනවා. වැඩිහිටි පිරිස් ඡන්ද ප‍්‍රතිඵල එනකම් පංච ක‍්‍රීඩාවේ යෙදෙනවා. අපේ තාත්තා නම් ඞී. එස්ගෙ ඩඞ්ලිගෙ කාලෙ ඉඳලා යූ. එන්. පී කාරයා. ඒත් මං අන්තිම කාලෙ එයාවත් ශ‍්‍රී ලංකා පාක්‍ෂිකයෙක් කළා. එතුමා ආරියසිංහල ඇඳුම විතරයි ඇන්දෙ. ඒකත් එතුමා තුළ තිබූ සිංහල දේශීයකම මතු කළ කාරණයක්.
 
 * ශ‍්‍රීලනිපයට ගමේම 3 යි
 

 77 දී අපේ ගමේ ශ‍්‍රීලනිපයට හිටියෙ තුන්දෙනයි. ගමේ ඉස්කෝලෙ නියෝජ්‍ය විදුහල්පති අමර දිසානායක මහත්මයා. ඊළඟට පොල්හේනේ වෙදමහත්තයා. ඊළඟට බඹරැන්දේ සිරි සීවලී නායක හාමුදුරුවන්ගේ ඥාති සහෝදර ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ අත්තුඩාවේ රාහුල හිමියන්.
 
 අපේ ගමේම පවුල් 64 යි තිබුණෙ. ඒ සියල්ලන්ගෙන් ශ‍්‍රීලනිපයට හිටියෙ ඒ තුන්දෙනා විතරයි.
 
 * දේශපාලන ‘මීටින්වල’ රස වෑහෙන කතා
 
 තාත්තා ආසයි දේශපාලන මීටින් බලන්න යන්න. ඒ කතා අහන්න. එයා 77 දී රොනී ද මැල්ට පෙළපාලිත් යනවා. ශ‍්‍රීලනිපයෙන් ඉල්ලූවෙ ඩික්සන් සිල්වා.
 
 තාත්තා හයියෙන් මෙහෙම කෑ ගහනවා.
 
 අපේ පාට කොළ – අපි නෑ කලබල
 කෙරුවොත් කලබල – කපනව කුණු අත
 
 
 කුණු අත කීවේ ශ‍්‍රීලනිප ලාංඡනේට.
 
 දෙක දෙක කිව් සිරිමක්කා
 අපට දුන්නෙ මඤ්ඤොක්කා
 
 
 තාත්තා මේ විදියට කිය කියා අනෙක් පිරිසත් එක්ක රොනී ද මැල්ට පෙළපාලි යනවා. ඒ අතර විරුද්ධවාදීන් උත්තර බඳිනවා. ඊට පහුවෙනිදා ඒ කතාවට රොනී ද මැල් නොවේ. රොටී ද පොල් කියලා.
 
 * වදන් කසපහර
 
 අද එජාපය තිබ්බ වේදිකාවෙමයි හෙට ශ‍්‍රීලනිපය රැස්වීම් වේදිකාව කරගත්තෙත්. ප‍්‍රචණ්ඩත්වය අද වගේ නෑ. ඉතාම සාමකාමීයි. වදන් කස පහර විතරයි තිබුණෙ. රොනීට ඒ අය බැන්නෙ මෙහෙමයි. තාත්තා ඒකම කීවා.
 
 * අත්තෙන් අත්තට පනින කුරුල්ලා
 
 බිමට වැටෙන්නෙ (රොනී) චෝරු කුරුල්ලා කියලා ඔල්වරසන් දෙනවා. මේවා හරිම රසාලිප්තයි. එදා එජාප වේදිකාවට ප‍්‍රකට නිළි දෙනවක හාමිනේ ආවේ. ‘‘කහනවා බොල, මේ ලූණු සබන් ගාලා’ කියමින් ඇඟ කස කසාමයි පේ‍්‍රමදාස පොල් බෑයක් සත 35 යි කියමින් වේදිකාවල පෙන්වන කාලෙ ජනපි‍්‍රය නිළි මාලිනි ෆොන්සේකාත් එජාප වේදිකාවට නැංගා. යසපාලිත නානායක්කාර චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ඊට පහුවෙනිදා ශ‍්‍රීලනිප වේදිකාවට ඇවිත් ඔයගොල්ලො දැක්කෙ ඊයේ ‘‘නිළියන්ගෙ පිටත විතරයි මං නම් පිටයි ඇතුළතයි දෙකම දැකලා තියෙනවා’’ කීවා.
 
 මේවා නරක අදහසකින් නොවේ කියන්නෙ. එදා තිබුණෙ මේ වගේ වදන් කස පහර විතරයි. තාත්තා මේවාට අත්පොළසන් දිදී හිනාවෙනවා.
 
 * කදමලූ බැඳන් පන්සල් එනවා
 
 මං මහණවෙන්න තීන්දු කළේ තාත්තයි අම්මයි අත්තුඩාවේ රාහුල හාමුදුරුවන්ගේ කීමට එකඟවෙලා. මා දිහා බලලා කැමැතිද? ඇසූ නිසයි. විද්‍යාලංකාර පිරිවෙනේ බඹරැන්දේ සිරි සීවලී ගුරු හාමුදුරුවන් යටතේ මං අවුරුදු 13 දී පැවිදි වුණා. 1981 දී මාතර බඹරැන්දේ කුරුඹුරේ පූර්වාරාම රජමහා විහාරෙට වැඩියා. එහෙදී අවුරුද්දකට සැරයක් රසකැවිලි කද මලූ බැඳන් තාත්තයි අම්මයි මා බලන්නටත් ආවා. අපේ තාත්තා අන්තිම කාලේ අවුරුදු 12 ක් විතර හිටියෙ මා ළඟයි. අම්මාත් මා ළඟ කාලයක් හිටියා. එතුමා බොහොම ශ‍්‍රද්ධාවෙන් භාවනා කළා. ධර්මය පිළිබඳ ගැඹුරු ඥානයක් ඇති කර ගත්තා.
 
 මං 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය වෙනුවෙන් දේශපාලන වේදිකාවෙ නැගලා වැඩකරලා උතුරේ සාමය ඇති කරන්න වෙහෙසෙන කොට තාත්තා මට දොස් කිව්වා.
 
 * බුදුදහම මිස වෙන දහම් කුමටද?
 
 ඔබ වහන්සේ බුද්ධ පුත‍්‍රයෙක්. බණ භාවනා කරලා බුදු හාමුදුරුවන් දෙසූ දහම අනුව නිවන් මගට යනවා මිසක් මේ වැඩක් නැති දේශපාලනයට වැඩම කරන්න එපා. ඔබ වහන්සේට වඩා මට දැන් අධිගමයක් තියෙනවා. මං ඒක දන්නවා. එහෙම එතුමා මට දෝෂාරෝපණය කළ අවස්ථා තියෙනවා. ඒත් තාත්තා අම්මා එක්ක මගේ සංසාරික බැඳීම හරි ප‍්‍රබලයි. එතුමා අන්තිම කාලේ තමා ‘රහත්’ කියා සිතා හිටියා කියලා හිතනවා. දැන් ලංකාවේ කරන ‘රහත්’ කියා රවටන සෙල්ලමට යටවෙලා නම් නොවේ. එතුමා බුදුන් දෙසූ පිරිසිදු දහම හරිහැටි පිළිපැදි කෙනෙක්. වෛරස් උණක් හැදිලා එතුමා නැති වුණේ මාතර ගිහින් හිටි මොහොතකයි. එතකොට එතුමාට අවුරුදු 84 ක්. (2018 දී)
 
 * හිටිවන කවිකාරයො
 
 අපේ අම්මයි තාත්තයි දෙන්නා ජොලියට හොඳට හිටිවන කවි කියනවා. මට මතක නම් නෑ. හරිම රසාලිප්තයි. අපේ වෙළෙඳසල් එළවළු තැළෙන කොට නරක්වෙනකොට ඒවා කපලා පිරිසිදු කරලා ගෙදරට ගෙන යන්නෙ. අම්මා මේකට විරුද්ධයි.
 
 ඕනමනම් සල්ලි වලට හොඳ එළවළු දෙන්නම් දවසක් එහෙම එළවළු ගෙදර යැවූ දවසක අම්මා තාත්තාගේ කඬේ ළඟ තියෙන තවත් එළවළු කඩයකින් අලූත් පිරිසිදු නැවුම් එළවළු අරගෙන තාත්තාට පෙනෙන්න ගෙදර ගියා. තාත්තා කේන්ති ගත්තෙ නෑ එයා හිනාවෙලා කීවෙ’’ උඹලගෙ අම්මා ඒ විදිහට සල්ලි දීලා ගන්නවා නම් මටත් එහෙම එළවළු දෙන්න පුළුවන්’’ කියලා විතරයි.
 
 * අම්මගෙ සැලසුම
 
 දෙන්නා දවසක් රණ්ඩුවක් වෙලා අම්මා මුට්ටි වළං දෙකක් පොළොවේ ගැහුවා. තාත්තා එදාම හවස ගිහින් අලූත් මුට්ටි වළං ගෙදර ගෙනාවා. අම්මා කීවෙ ‘‘මගේ ප්ලෑනට මේ මිනිහා අහුවුණා. මට ඒ පරණ වළංවලට අලූත් වළං ඕනෑවෙල තිබුණෙ. මිනිහා අලූත් වළං ගෙනාවා.’’ කියලයි.
 
 මට හොඳට මතකයි එක් දවසක් රාත‍්‍රියක කතාවක් වෙලා තාත්තා කියනවා. මං දැන් යාපනේ ආයිත් යනවා ? කෝච්චියෙ නැගලා. මට ඉන්න බෑ කියලා. අම්මා කියනවා මං බෙල්ලෙ වැළඳාගන්නවා කියලා. එයා කෑලි කපන අඳුරෙ වෙල පැත්තට දුවනවා. ඒ කාලෙ විදුලි එළිය නෑ. අපි දරුවො පිටිපස්සෙ දුවනවා. ඒත් අම්මා හොයා ගන්න බැරිව කළුවරේ ඇවිත් ගෙයි වැටිලා මහන්සිවෙලා නිදාගන්නවා.
 
 * එක අල්ලෙ කකා තේ බීම
 
 අරුණාලෝකය වැටෙද්දී අපට අම්මයි තාත්තයි ඊයෙ මෙහෙම කියලා පිටත්වුණා නේද? කියලා මතක් වෙලා දැන් දුවගෙන ඇවිත් එළියෙ හොයන්න බලනවා. බලනකොට මෙන්න! ගෙදර උළුවස්සෙ වාඩිවෙලා දෙන්නා එකම අල්ලෙන් සීනි කකා තේ වතුර බිබී ඉන්නවා. අම්මගේ අල්ලේ තිබෙන සීනි තාත්තත් ලෙවකමින් තමයි තේ බොමින් හිටියෙ. ඒ තමයි මගේ තාත්තයි අම්මයි. දැන් තාත්තා නෑ. අම්මා තවම ඉන්නවා. හරිම අපූරු දෙන්නෙක්.

–  උපාලි සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment