අපේ තාත්තා දුරින් ඉඳලයි අපට ආදරය කළේ… ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ. ඞී. රන්ජිත් කුමාර

349

අලූත්ගේ දොන් රන්ජිත් කුමාර හෙවත් කවුරුත් දන්නා නාමයෙන් ඒ. ඞී. රන්ජිත් කුමාර කොළඹ කොඩි ගහයට උපන් අමුම අමු කොළඹයෙකි. ගමක තිබෙන ලස්සන තුරු ලතා, වන වදුල, කමත, බැත, කෙත නියර අම්බරුවන්, ඇළ, දොළ, කඳු මිටියාවත් ගැන ඔහු හඳුනාගන්නේ මහා සාහිත්‍යධරයන්ගේ පොත පත කියැවීමෙනි. ඒවා කියවන මේ රසවතා ගැමියකුටත් වඩා ආශ්වාදයෙන් අපේ ගම් වැළඳගනියි. එහෙත් ඔහු උපන්නේ කොළඹ 14 කොස්ගස් හන්දියේ 285 අංකය දරන ගෙදරය. 1947 අපේ‍්‍රල් මස 07 වැනිදා කොළඹ 14 ග‍්‍රෑන්ඞ්පාස්හි කොස්ගස්හන්දියේ ලෙයාර්ඞ්ස් බ්‍රෝඞ්වේ පාරේ පිහිටි මේ නිවසේ හෙතෙම උපත ලැබුවේ ‘කැටා නෝනා’ නම් වින්නඹු මාතාවගේ උදව් ලැබීමෙනි. දූවිල්ල සෝපාව සැර පරුෂද රළු පරළු හ`ඩවලා උස් ගොඩනැ`ගිලි, මුඩුක්කු, කර්මාන්ත ශාලා, ගංජාකාරයෝ මෙන්ම ලූම්පන්ස්ලාද ඔහු උපන් නගරයේ හැම තැනම පිරී තිබිණි. එහෙත් ගිලීමලෙන් ඇත දත සුද්දෝ කියන සිංහල පිරුළ සිහිගන්වමින් හෙතෙම ඒවා අතරින් මිදී මේ රටේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙක් විය. ග‍්‍රන්ථ කතුවරයෙක් විය. ඔහු අතින් නිමැවුණු පොත් කවර 300 කටත් අධිකය. මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ භවතරණය පොතේ කවරය ඇන්දේත් රන්ජිත්ය. එතුමා විසින් මෙතෙක් රචනා කරන ලද චරිතකතා ප‍්‍රමාණය 2000 ඉක්මවනු ඇතැයි සිතමි.
 
  thaththa1ලේක්හවුසියේ සරසවිය පුවත්පතේ හිටපු කතුවරයා වූ ඔහු ලක්බිම ආයතනයේද සේවය කළ අතර සුමති සම්මාන උළෙලේ පුරෝගාමියෙකි. අදත් එහි ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා වෙයි.
 
 * ගැමි සුවඳ වි`දින නගරයේ ගැටයා
 
 මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ කොග්ගලටත්, ගුණදාස අමරසේකරගේ යටලමත්තටත්, කේ. ජයතිලකගේ කන්නිමහරටත්, මහගම සේකරයන්ගේ තුංමං හන්දියටත්, විමලරත්න කුමාරගමගේ ගේ නාරම්පනාවටත්, කරුණාසේන ජයලත්ගේ පොකුණුවිටටත්, ගුණදාස ලියනගේගේ දියලකඩටත්, මඩවල එස්. රත්නායකගේ අලව්වටත් ඔහුනගේ පොතපත හරහා තමන් ගමන් කළ බවත් ඒ නිසා ගමට අසීමිත ආදරයක් ඇති වූ බවත් කියන මේ රසවතා තමා උපන් මහ නගරයටද, ඔවුන් උපන් ගමට ඒ සාහිත්‍යධරයන් ආදරය කරන තරමටම අදත් පෙම් බඳින බව කියයි. එතුමන් විසින් ලියාගෙන යන ළ`ගදී එළිදක්වන ‘කොස්ගස් හන්දියේ කොලූගැටයා’ ස්වයං ලිඛිත චරිතාපදානයේ මේ ගැන සඳහන් ය.
 
 එතුමා අද අපේ සාමීචියට කැඳවමි. ඒ ඔහුගේ සෙනෙහෙබර පියාණන් ගැන යමක් කීමටය.
 
 පේ‍්‍රමදාසගේ ගෙදරට එහා ගෙදර මගේ පියා අලූත්ගේ දොන් එඞ්මන්ඞ් 1910 ඉපදී 1989 නැතිවුණා. එතුමා වෘත්තියෙන් මුද්‍රණාලාධිපති. තමාගේම කුඩා මුද්‍රණාලයක් පවත්වාගෙන ජීවත් වුණේ. තාත්තා උපත ලබා ඇත්තේ සාන්ත බස්තියන් පාරේ ඩයස් පෙදෙසේ (සුචරිත මාවත) හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ මහගෙදරට යාබද නිවසේ. මේ නිවෙස් දෙක අතර ඉතා සමීප සබඳතා තිබිලා තියෙනවා. තාත්තාගේ පවුලේ සහෝදරියන් 4 දෙනයි. සහෝදරයන් දෙදෙනයි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ තාත්තා පී. ද ඇස්. කුලරත්න විදුහල්පතිතුමාගේ ශිෂ්‍යයෙක්. රණපාල බෝධිනාගොඩ (ලේක්හවුස් හිටපු සභාපති) ඩග්ලස් වික‍්‍රමසිංහ (චිත‍්‍රපටි නළු) පාලි මාෂා ගුණරත්න (චිත‍්‍රපටි නළු) ඞී. වී. සෙනෙවිරත්න (පුවත්පත් කලාවේදී) තාත්තාගේ සමකාලීන ආනන්දයේ සිසුන්. හිටපු ඇමැති ආනන්ද තිස්ස ද අල්විස් යාළුවෙක්. අපේ තාත්තාගේ බාල සොයුරු ඒ. ඞී. ජේ. මුතුගල පේ‍්‍රමදාස මහතාගේම වයසේ සිටි පාසල් ශිෂ්‍යයෙක්. දෙදෙනාම කාලයක් මරදානේ ස්කිනර් පාරේ ලෝරන්ස් විද්‍යාලයේ එකම පන්තියේ ඉගෙන ගෙනත් තියෙනවා.
 
 * ළිඳට සුවඳ විලවුන්
 
 පේ‍්‍රමදාස පුංචි කාලේ ඉඳලම ඉලක්කයට වැඩ කළ කෙනෙක්. එයාට නිශ්චිත සැලැස්මක් තිබුණා. දහම් පාසල් ගියා. පිරිසිදුවට ජාතික ඇඳුම ඇන්දා. ලස්සනට නියපොතු කැපුවා. සාක්කුවෙ පෑනක් ගහගෙන තිබුණා. පාන්දර 4 ට හැමදාම අවදි වුණා. ගේ ඉස්සරහ තිබෙන නාන ළිඳෙන් අපේ මාතුපාල මල්ලී එක්ක නෑවේ. පේ‍්‍රමදාස නාන්න ඉස්සර වෙලා ළිඳට සුවඳ විලවුන් වත් කළා. තාත්තා තමන්ගෙ නෑයින්ට මිතුරන්ට එහෙම කියනවා මටත් ඇහිලා තිබෙනවා.
 
 * වටේට සියඹලා ගස් තියෙන ගුරු ගෙදර
 
 මගේ අම්මා ගල්ඇටඹගේ කුසුමාවතී පෙරේරා. එතුමියගේ ගම රාජගිරිය. ඥාති සම්බන්ධයක් මත යෝජිත ක‍්‍රමයට මේ දෙන්නා විවාහ වෙලා තියෙන්නෙ. අපේ කුටුම්භයෙ දරුවන් 5 යි. වැඩිමලා ලලිත් කුමාර, කුඩා සන්දියේම මළා. දෙවැන්නා මමයි තෙවැන්නී ප‍්‍රියන්ලතා නංගී සිවුවැන්නා සරත් කුමාර පස්වැන්නා වසන්ත කුමාර මගේ ලොකු තාත්තා මාලිගාකන්දෙ ඉස්කෝලෙ මුල් ගුරුතුමා. කුප්පියාවත්තෙ මේ මහින්ද විද්‍යාලයට තමයි මාත් මුලකුරට යන්නෙ. ඒ ගුරු ගෙදර තමයි මාත් කාලයක්ම හැදුණේ. වටේටම සියඹලා ගස් තිබෙන මහ ගෙදරක්. මං පවුලේ ලොකුම හිතුවක්කාරයා.
 
 වරක් තාත්තාගේ සොයුරිය වූ නන්දාවතී නැන්දා තම දරුවන් සම`ග කඩවත සිට අපේ නිවසට පැමිණ තිබෙනවා. මේ නැන්දාට වැඩිමල් පුතුන් දෙදෙනෙක් හා දුවක්ද ඉන්නවා. පාසල් නිවාඩුවට පැමිණි මේ ළමයි කට්ටිය එක්ක සෙල්ලම් කරමින් සිටියදී මා හදිසියේම දොර පොල්ලක් ගෙන එක් අයියා කෙනකුගේ හිසට පහර දී තිබෙනවා. ඔහුගේ හිසින් ගොජ ගොජ ගා ලේ ගලන්නට වුණා. ඒ වෙලාවෙම තාත්තාගේ ලාබාල මිතුරෙක් වූ ආර්. පේ‍්‍රමදාස මහතා අපේ ගෙදර ඇවිත්. එතකොට එතුමා කොළඹ නගර සභාවේ සාන්ත සෙබස්තියන් නාගරික කොට්ඨාසයේ මන්ත‍්‍රීවරයා. ඔහු ඉක්මනට තමාගේ මොරිස් මයිනර් රථයෙන් තුවාලකරුවාත් අපේ තාත්තාත් සම`ග ආමර් වීදියේ සුලෙයිමාන් රෝහලට එක්ක ගියා. එතැනදී ඥාති සහෝදරයාගේ හිසට මැහුම් 7 ක් දැම්මලූ.
 
 අපේ තාත්තා අපේ ලොකු අම්මාගේ දරුවන්ට වගේම මගේ යාළුවන්ට ඒ පරිසරයේ හැමෝටම වගේ ආදරෙයි. ඒත් අපට තිබුණෙ තරමක් තද ගති පැවතුම්. ඒත් ආදරයේ අඩුවක් නෑ.
 
 * ඩික්සන් ආටිගල වෙඩි පහර
 
  මගේ සීයා ඒ. ඞී. බාරොන්. වයලීනය ඉතාම මිහිරිව වාදනය කළ කෙනෙක්. වයලීනය කැඩුණාම හදාගන්න පවා එතුමාට පුළුවන්. පිටරටින් වයලීන ගෙනාවත් එතුමා ඒවා ටියුන් කරලා තමන්ට අවශ්‍ය විදියට හදාගන්නවා. මට සීයා ගැන මතක් වුණේ මේ අතර විශේෂ සිද්ධියක් කියන්නයි. එතුමා මඩපාත ආටිගල වලව්වට ගිහින් වයලීන ආදිය ටියුන් කරලා දෙනවා. එක් වතාවක් මෙතුමා ආටිගල වලව්වට ගිහින් එහි වටිනා වයලීනයක් ටියුන් කරනකොට තමයි ප‍්‍රැන්සිස් ඩික්සන් ආටිගල වලව්වේ මහත්මයාට සාහසිකයෙක් වෙඩි තිබ්බේ. ආටිගල මහත්මයා මැරුණා. අපේ තාත්තා හොඳ කලා රසිකයෙක්. ශාස්ත‍්‍රීය වාදන අහනවා. ඒ රසිකත්වය ආවේ සීයාගෙන්
 
 * රවීශංකර් වාදන
 
 අපේ තාත්තා රාත‍්‍රි 9.30 කාලෙ ගුවන් විදුලියේ විකාශය වන ශාස්ත‍්‍රීය වාදන සංග‍්‍රහය අහන්න මාත් ළ`ගට කැඳවා ගන්නවා. අලව්දින් ඛාන්, අලගරක්ඛා, රවිශංකර්ගේ වාදන හරිම ඉහළයි. ලංකාවේ ඉහළ පෙළේ නාට්‍ය තාත්තා බලන්නේ. ඒ පිළිබඳ ඇල්ම කුහුල මා තුළ වැඩෙන්නෙ තාත්තා හරහායි.
 
 ශාස්ත‍්‍රීය සංගීතයට වගේම එතුමා පාපන්දු ක‍්‍රීඩාවටත් බොහොම ඇලූම් කළා. ප‍්‍රයිස්පාක්හි සෝන්ඩර්ස් ක‍්‍රීඩා සමාජයට තත්තා ක‍්‍රීඩා කරලා තියෙනවා. මට මතකයි. මට යම්තම් බහතේරෙන කාලෙත් තාත්තා මේ පාපන්දු තරග බලන්න මා එක්ක යනවා. එදා මේ පාපන්දු තරග පැවැත්වූයේ අද හිල්ටන් හෝටලය තියෙන බිමේ. එඩිලන්ඞ් බැරැක්ක ක‍්‍රීඩා භූමියේ. සෝන්ඩරස්, වික්ටරි කොල්ලූපිටි යුනයිටඞ්, සන්රයිස්, ඉලෝන් ලෙයන්ස්, වැල්ලවත්ත ස්ප‍්‍රිං ඇන්ඞ් විවින් මිල්ස් ආදී පාපන්දු කණ්ඩායම්වල තරග හරිම ඉහළ තරගකාරීත්වයක් දුන්නා. මාත් ඒවා ආසාවෙන් බැලූවා. මටත් ඒ උණ පිහිටියා. ඒ පාපන්දු උණ මට බෝ කළේ තාත්තා. තාත්තාගේත් මගේත් පාපන්දු වීරයන් වූයේ පී. ඞී. සිරිසේන, පීටර් රණසිංහ මහින්ද අලූවිහාරේ, යෙදුල් අබ්දීන් අසීස්, හෂීට් ඞීන් පියදාස පෙරේරා වගේ තව බොහෝ අය නම් කරන්න පුළුවන්.
 
 * අපට පාපන්දු උණ
 
 තාත්තා තමන්ගේ කණ්ඩායම දිනනවාට කැමතියි. ඒත් පරාජය වුණොත් කමක් නෑ ‘හොඳ තරගයක් දුන්නා’ ඒ ඇති එහෙම කියන්නෙ මහත් උපේක්‍ෂාවෙන්.
 
 අපි ගේ තුළ ෆුට්බෝල් ගසා විදුලි පහන් ජනේල වීදුරු ආදිය බිඳ දමන විට තාත්ත කේන්ති අරන් අපට දඬුවම් පමුණුවන්නට එන විට අම්මා කියන්නේ, ඔයාමනෙ මේ දරුවො පාපන්දු තරග බලන්නත් එක්ක යන්නෙ. ඒ දරුවො ඒවාට ආසා වුණේ ඒ හින්දා. අම්මා එහෙම කියන විට තාත්තා නිශ්ශබ්ධ වෙනවා.
 
 * කරෝල බැදුම
 
 මගේ තාත්තා තම ඥාති දරුවන්ට විතරක් නොවේ. කාටත් කන්න දෙන්න කැමතියි. කරෝල බැදලා, මිරිස් බැදලා තලපත් මාළු, බල කරවල, මාෂල් අයියාගේ කඩෙන් සමහර විටගෙන්න ගන්නවා. මේවත් එක්ක තමා කාටත් බත් දෙන්නේ.
 
 * අතීරස මැගසින් එක
 
 තාත්තා හුඟාක් කොළඹ යුගයේ කවියොත් ආශ‍්‍රය කළා. පී. බී. අල්විස් පෙරේරා, කපිල සෙනෙවිරත්න, විල්සන් හෑගොඩ, පියදාස පළන්සූරිය මේ අය නිතර අපේ ගෙදර එනවා. 1940 දශකයේ ‘අතිරස’ කියලා ටිකක් කුණුහරුප මැගසින් එකක් කළා. තාත්තාගේ මුද්‍රණාලයේ තමයි ගැහැව්වේ. සංස්කාරක පියදාස පළන්සූරිය තාත්තා ප‍්‍රකාශක.
 
 දවසක් මං වැරදි වචනයක් ගෙදර කතා කරලා තාත්තා මගේ කටේ ‘තිත්ත අබින්’ ගෑවා. ඒක දැක්ක කපිල සෙනෙවිරත්න මාමා ‘පුංචි රාළහාමිට එහෙම කරන්න එපා’ කියා මා දඬුවමින් ගළවා ගත්තා. එතුමා තමයි මට පුංචි රාළහාමි නම දැම්මෙ. අදත් කොස්ගස් හන්දියෙ කට්ටිය මාව දන්නෙ ‘පුංචි රාළහාමි’ කීවාමය.
 
 * නාට්‍ය කානිවල් – පේ‍්‍රමදාස ෂන්මුගම්
 
 තාත්තා නාට්‍යයක් නිෂ්පාදනය කළා. රචනය කළේ ඒ. ඞී. ජේ. මාතුපාල අපේ පොඩි බාප්පා. ‘කානිවල්’ නම් මේ නාට්‍යයේ ‘ෂන්මුගම්’ චරිතය රඟපෑවේ රණසිංහ පේ‍්‍රමදාස (හිටපු ජනපති) හිටපු ඇමැති ඇම්. වින්සන්ට් පෙරේරා වාදක මණ්ඩලයේ හිටියා. පී. එල්. ඒ. සෝමපාල තමයි සංගීතය. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගාන්ධර්ව අපදාන – 5 කෘතියේ මේ ගැන සඳහන් වෙනවා. කානිවල් නාට්‍යය රසිකයන් අතර අතිශය ජනපි‍්‍රය වුණා. ‘ෂන්මුගම්’ චරිතය රඟපානකොට පේ‍්‍රමදාස මහතාට අවුරුදු 22 යි.
 
 මේ ගැන බොහෝ රසාලිප්ත තොරතුරු එතුමාගේ ‘කොස්ගස්හන්දියේ කොලූ ගැටයා’ පොතේ සඳහන් වෙයි. මා කියන්නේ ඒ තාත්තාට සම්බන්ධ තොරතුරු කීපයක් පමණි.
 
 * බෝධියට පඬුරු දැමීම
 
 කළුතර නගර ශාලාව පැත්තෙ මේ නාට්‍ය පෙන්වන්න යනකොට අපූරු සිදුවීමක් වෙලා තියෙනවා. කලබලයෙන් නාට්‍ය කණ්ඩායම කළුතරට ළඟවන විට වේදිකාගත කිරීමට තිබුණේ සුළු කාලයක් පමණයි. ඒ නිසා කළුතර බෝධියට පඬුරු දැමීමට කාලයක් නොවීය. වින්සන්ට් පෙරේරා හිටපු ඇමැතිගේ මාතුපාල නම් රංජිත්ගේ පොඩි බාප්පත් කලබල කළේය. බෝධියට පඬුරු නොදා ගිය නාට්‍ය කණ්ඩායම රාත‍්‍රි නැවත එනවිට වෙහෙස මහන්සිව සිටි නිසා නැවතත් වින්සන්ට් මහතාගේ කීම පිට බෝධියට පඬුරු නොදා ගමන් අරඹා තිබිණ. එහෙත් රථය හැටිහැටියේ කළුතර පාලම උඩ නතර විය. වාහන හදන බාස්ලා ගෙනැවිත් මොනයම් පිළියම් කළත් රථය නැවත පණ නොගැන්විණි. ආර්. පේ‍්‍රමදාස මහතා පිරිස අතරින් මෑත්ව ගොස් බෝධියට පඬුරු දමා සමාව ඉල්ලා යැද ආ බව කියයි. රථය නැවත එකවරම පණගැන්වූ බවද කියයි.
 
 * හතුරන්ටවත් වෛරයක් නෑ
 
 කරුණු එසේ වූවත් එඞ්මන්ඞ් මහතා කවදාවත් නැකැත්, කේන්දර, ශාන්තිකර්ම කිසිවක් පිළිගත්තේ නැත. ඔහු මාක්ස්වාදය පිළිගත් කෙනෙකි. කවරදාවත් හතුරන්ටවත් වෛර නොකළ උතුම් මිනිසෙකි. රන්ජිත් අයියා තවමත් මා ළඟය. මම තවදුරටත් ඔහු විමසමි.
 
 එතුමා ප‍්‍රතිපත්තිගරුකයි. එක වචනයයි. කිව්වොත් කිව්වාමයි. අනවශ්‍ය විදියට (ලේලිට) තමන්ගේ බිරිඳට කරදර කළා කියලා තමන්ගේ අම්මවත් අන්තිම කාලේ අත්හැරියා. අපේ අම්මා අවුරුදු හතළිස් ගාණෙන් ඇදුම රෝගයෙන් මියගියා.
 
 * ඉන්ජෙක්ෂන් එක රුපියල් 7 යි
 
 එතුමියගේ ඉන්ජෙක්ෂන් එක ඒ කාලෙ රුපියල් 7 යි. තාත්තා නැතිවෙලාවට මං තමා ඒ කටයුතු කරන්නෙ. තාත්තාගේ ප්‍රෙස් එකේ ? වැඩ කළාම නංගිටයි මටයි ඒ මුදල් ගන්න කියලා කියනවා. ?ට එනවා සමහරවිට කෙනෙක් මළාම ශෝක ප‍්‍රකාශ 500 ක් ගහගන්න වගෙ වැඩ. අපි ඒවා පුරුදු වෙනවාට තාත්තා ආසයි. ඒ සල්ලි අපට ගන්න කියනවා. අපි ඒවයින් තාත්තටත් එක්ක බිත්තර ආප්ප වගේ දේ ගේනවා. තාත්තගේ ප්‍රෙස් එකට නොයෙක් තරාතිරමේ වැදගතුන් ආවා. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ජයසුමන අගනායක තාත්තගේ ළඟම යාළුවො. හරිම අභිමානයක් තාත්තාට තියෙනවා. කාටවත් ණය වෙන්න එපා. බඩගින්නේ මළත් කාගෙන්වත් ඉල්ලන්න එපා. මේ විදියට තාත්තා හිටියේ.
 
 * දේවගැතිතුමාගේ කරුණාව
 
 අපි කේරි විද්‍යාලයට ඒ කාලෙ යන්නේ. අමාරුකම් ඇතිවෙලා අපි තුන්දෙනෙක් පාසල් නොයා නැවතුණා. ඒ පාසල් ගෙවීමේ කටයුතු කරගන්න බැරිව. එතකොට කේරි විදුහල්පති ඩබ්ලිව්. ඞී. වික‍්‍රමසිංහ දේවගැතිතුමා. එතුමා තාත්තාගේ ප්‍රෙස් එකෙන් ඉස්කෝලෙ වැඩ කරගන්නෙ. එතුමා දැනගත්තාම අපේ ප‍්‍රශ්නය කාටවත් කියන්න එපා. මුදල් ගෙවන්න ඕනෑ නෑ. ඉස්කෝලෙ ළමයි එවන්න කීවා. කවරදාවත් ඒ දේවගැතිතුමා අපව ආගමට හරවාගන්න කතා කළෙත් නෑ. ඊට පස්සෙ තාත්තා ඉස්කෝලෙ වැඩ සේරම නොමිලයේ දේව ගැතිතුමාට කර දුන්නෙ. එතුමා නුවර ටි‍්‍රනිටි විදුහල්පති වෙලා ගියාට පස්සෙ තමයි මට තාත්තා ගිය කොළඹ ආනන්දයට යන්න ලැබුණෙ.
 
 * හොරෙන් ඇවිත් හොරෙන් ගිහින්
 
 අපේ තාත්තා දුරින් ඉ`දන් අපට ආදරය කළ කෙනෙක්. මා එහෙම කියන්නෙ ආනන්දයෙ දීප්තිමත් ශිෂ්‍යයෙක් වූ මට වතාවක් සිංහල භාෂා සම්මානය, සිංහල සාහිත්‍ය සම්මානය සිංහල ව්‍යක්ත කථනය යන සම්මාන තුනම පිරිනමපු වෙලාවෙ ඒ මහ උත්සව සභාවෙ කෙළවර තාත්තා බලාගෙන ඉඳලා මට නොපෙනීම ගෙදර ඇවිත්. මට ඒ බව යාළුවන්ගෙන් දැනගන්න ලැබුණා.
 
 කොස්ගස් හන්දියේ ජයසේන චණ්ඩියා, වයලට් අක්කා, ලූවිස් අප්පුහාමි මේ කට්ටිය එක්කම ආශ‍්‍රය කළත් තාත්තා ගෞරවනීය තැනක හිටියා. ඩිවෝස් ලේන් එකේ කාමර 4 ක ඉදිරියේ ලැටිස් ගහපු ගෙයක් තියෙනවා. අදත් ඒක එහෙමමයි. ඒකෙ තමයි තාත්තලා කාලයක් හිටියෙ. ඒකෙ ඉස්තාලෙ ඉරිදා දිනවලට පැදුරක් දානවා. පොඩි සාජ්ජයක්.
 
 සංගීතයට එතුමා පි‍්‍රයයි. ඒක තමයි තාත්තගේ ජීවිතේ. නඩු කියන හැටි එහෙම ගොඩ පෙරකදෝරුකමට මිනිස්සු උපදෙස් පතා එන්නෙ තාත්තාගෙන්. 1975 දී මගේ පොත් කවර නිර්මාණ බලලා එඞ්වින් ආරියදාස මහතා ‘ඬේලි නිවුස් පත්තරේට Fortrate of Colour Artist තරුණ චිත‍්‍ර ශිල්පියකුගේ නිර්මාණ අසිරිය හිසින් ලස්සන කතුවදනක් ලියා ඒක කියවලා තාත්තාගේ දෑස් බොඳ වුණා.
 
 * මගේ යාළුවන්ටත් යාළුවෙක්ම වුණා
 
 තාත්තා එයාගේ යාළුවන්ට වගේම මගේ යාළුවන්ටත් බොහොම ඉහළින් සලකලා තියෙනවා. කුලරත්න ආරියවංශ, රත්නසිරි රාජපක්‍ෂ මේ අය එක්ක මට වඩා යාළුයි. කුලේගේ රහස් පවා රැකලා තියෙනවා. ඒ අයගේ සමහර ප‍්‍රශ්නවලදී ඒවාට රහසින් විසඳුම් හොයලා උදව් කරලා තිබුණත් මට කීවේ නෑ.
 
 තාත්තා හුඟාක් සංවේදීවූ අවස්ථා මා දැක නෑ. ඒත් කපිල සෙනෙවිරත්න මාමා නැතිවුණාම දුක්වුණා. දවස් 2 ක් ආහාර ගත්තේ නෑ, සුමෝ කියලා මුස්ලිම් මිත‍්‍රයෙක් එතුමාට හිටියා. එයා නැතිවුණාමත් දවස් 2 ක් නිරාහාරව කාමරයකට වැදී දුක්වෙවී හිටියා.
 
 එතුමා මගේ දරුවාටත් අනෙක් පවුලේ දරුවන්ටත් ආදරය කළා. ඒත් අපට ආදරය කළේ දුර සිටයි. ඒත් ඒ ආදරය ළඟ සිට කරන ආදරයට වඩා ප‍්‍රබලයි.
 
 1984 දී තාත්තා මැරෙන්න ඉස්සෙල්ලා එච්චර කල් අපේ පවුල නඩත්තු කළ ඒ මුද්‍රණාලය විකුණන්න තාත්තා තීරණය කළා. ඒක තවදුරටත් කරගෙන යන්න කවුරුත් හිටියෙ නෑ. ඒ නිසා ඒ මුද්‍රණාලය විකුණුවා. මටත් ඒක ගැඹුරින් දැනුනා.
 
 * අභිමානය රැකගන්න පුතේ!
 
 ඒත් මේ මහ නගරයේ තාත්තා වගේ කෙනෙක් මට නැවත හමුවෙන්නෙ නෑ. සංසාරය මා පිළිගන්නවා. අපි උපදීවි, මැරේවි, අපි නැවත හමුවේවි… ඒත් මං දුක්වෙන්නෙ නෑ. කිසිම දේකට කම්පා නොවන අභිමානය රැකගන්න තාත්තා දුන් ඔවදන මා අකුරටම රකිනවා.

– උපාලි සමරසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment