අපේ දේශපාලන වියවුල

790

ශ්‍රී ලංකාවේ දේශපාලනයද එහි සමාජය හා සමානවම වියවුලක් බවට පත්ව තිබේ. මේ රටේ පැරණිම දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වරක් කැබලි තුනකට පමණ කැඩී ඇත. මෙයට අවුරුදු 40 කට පමණ පෙර මෙය මෙසේම සිදුවිය. ඒ අතර ඩයනා ගමගේට මන්ත්‍රී ධුරය අහිමි විය. දැනගන්නට ඇති පරිදි සමගි ජනබලවේගයේ නිසි අයිතිකරුවන් වන්නේ ඩයනා ගමගේ සහ ඇගේ සැමියා වූ සේනක පෙරේරා ය. සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ලකුණ වූ ටෙලිෆෝනය ද සමගම සමගි ජනබලවේගය ආපසු ලබාගැනීමට කටයුතු කරන බවක් ඩයනා ගමගේ සහ සේනක පෙරේරා වෙතින් විද්‍යමාන වේ. පසුගියදා පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූ සේනක පෙරේරා සමගි ජනබලවේගයට තමන්ටත් ඩයනා ගමගේටත් ඇති අයිතිය ප්‍රකාශයට පත්කළේය. ඩයනා ගමගේට මන්ත්‍රී ධුරය නැතිවන්නේ ද්විත්ව පුරවැසියකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ නිසාය. එසේ කිරීම වැරදි බවට යහපාලන ආණ්ඩු කාලයේදී නීතියක් ගෙන එන ලදී. ඒ ඇමරිකන් පුරවැසියන් වූ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ලංකාවේ දේශපාලනයට අත පෙවීම වළක්වනු පිණිසය. යහපාලන ආණ්ඩු සමයේදී සම්මත කෙරුණු එම නීතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වී ස්වල්ප කලකින් බලරහිත කරන ලදී. ද්විත්ව පුරවැසි සිද්ධිය තනිකරම දේශපාලන ගේමකි. 1977 දී බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දේශපාලනයෙන් ඈත් කර තැබීම සඳහා ඇගේ ප්‍රජා අයිතිය හත් අවුරුද්දකට තහනම් කළේය. මෙය ජේ. ආර්. ගේ ආණ්ඩුවේ වැඩි බලයෙන් සම්මත කරගත් නීතියකි. ඉන් පසු බණ්ඩාරනායක මැතිනිය දේශපාලනය නොකර නිෂ්ක්‍රීය වූවාය. ඇය සමග ඇගේ ප්‍රධාන ගෝලයන් වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකටත්, නිහාල් ජයවික්‍රමටත් ප්‍රජා අයිතිය නැති විය. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක යනු එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී ලෝකයේ සිටි ලාබාලම අධිකරණ ඇමැතිය. නිහාල් ජයවික්‍රම යනු ලෝකයේ සිටි ලාබාලම අමාත්‍යාංශ ලේකම් ය. ඔහු ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වන විට අවුරුදු 24 ඉක්මවා සිටියේ නැත. මේ අනුව ජේ. ආර්. ගේ දේශපාලන පලිගැනීම නිසා සෑහෙන පිරිසකගේ අනාගතය අඳුරු විය. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක යනු අත්තනෝමතික ලෙස බලය පාවිච්චි කළ කෙනෙකි. එහෙත් බණ්ඩාරනායක මැතිණිය එසේ නොවීය. ජේ. ආර්. ගේ ආණ්ඩුව ඇගේ දේශපාලන අනාගතය හත් අවුරුද්දකට අඳුරු කිරීමෙන් මේ රටේ දේශපාලන දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් විය.

මේ දවස්වල ඡන්දයක් ගැන කතා බහක් පවතී. ආණ්ඩුව මාරු කිරීමට විවිධ පක්ෂවලට වුවමනාවක් ඇති බව පෙනේ. එහෙත් මැතිවරණයකට යෑමට ඒ සියලු දෙනා පෙන්වන හදිසිය අවංක වුවමනාවක් දැයි අපට නොතේරේ. ඡන්ද හැටනව ලක්ෂයක් ලබාගෙන මේ රටේ ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්නේ ඉතා අවාසනාවන්ත ලෙසය. ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු ගතවූ කාලය තුළ මේ රටේ ජනතාවගේ අපේක්ෂා සම්පූර්ණයෙන්ම පාහේ කඩාකප්පල් විය. මිනිසුන් ගෝඨාභයට ඡන්දය දුන්නේ මේ රටේ ඉතිහාසයේ කිසි කලෙකත් නොසිදුවූ දේවල් කරමිනි. මේ රටේ තරුණ පරම්පරාව ඔහු පත්කර ගන්නට පාරට බැස්සාහ. ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම සඳහා පිට රට සිටින, මෙරට ඡන්ද බලය හිමි ශ්‍රී ලාංකිකයෝ ගුවන් යානාවල නැගී දහස් ගණනින් මෙරටට සම්ප්‍රාප්ත වූහ. ගෝඨාභය ජනාධිපති වූ පසු මේ රටේ තරුණ පරම්පරාව එම ජයග්‍රහණයේ උද්වේගය මුදාහැරියේ තාප්පවල සිතුවම් අඳිමිනි. මේ චිත්‍ර සඳහා තාප්ප වර්ග අඩි ලක්ෂ ගණනකුත් තීන්ත ලීටර ලක්ෂ ගණනකුත් වැය වන්නට ඇති. අවසානයේදී එම තරුණ පිරිසම ඔහුට එරෙහිව මහ පාරට බැස්සේ තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම්වල තවදුරටත් සිටීමට නොහැකි වූ නිසාය. සමහරවිට ෂෙඩ් එකට තෙල් බවුසරයක් එන තුරු දවස් හතරක් පමණ පෝලිම්වල ලැග සිටි ජනයා අන්තිම මොහොතේදී බවුසරයේ තෙල් ඉවරවීම නිසා තවත් දවස් හතරක් පෝලිමේ සිටගැනීමට ප්‍රථම ආණ්ඩුවට සාප කළහ. මේ තත්ත්වය ගමනක පරිච්ඡේදයක් මිස අවසානයක් නොවිය හැකි බවද කිව යුතුය. සාමාන්‍යයෙන් දැනගැනීමට ඇති පරිදි ගෝඨාභය විනාශ කරන ලද්දේ ඔහු වටා සිටි හොරු රැලක් විසින් බව සමහරුන්ගේ මතයයි. තවත් සමහරු කුමක් හෝ පක්ෂයකට කොක්ක ගැසීමට බලාගෙන සිටිති. රටකට අවශ්‍ය දූෂණයෙන් හෝ දූෂිතයන්ගෙන් පිරුණු පාලනයක් නොවේ. රටේ සම්පත් කොල්ලකන අයගේ අරමුණු ඉටුකිරීමක් ද නොවේ.

වියවුල්වලින් තොර අර්බුදවලින් විනිර්මුක්ත වූ දේශපාලනයක් ශ්‍රී ලංකාවට අවශ්‍යය. එහෙත් එවැනි දේශපාලන ක්‍රමයක් ලෝකයේ කොහෙවත් නැත. එබැවින් ඒ කියමන මෙසේ සංශෝධනය කිරීමට සිදුවේ. අපට අවශ්‍ය වන්නේ අවම දේශපාලන අර්බුද සහ අවම දේශපාලන වියවුල් ඇති රටකි. එහෙම නැතොත් තව අවුරුදු දහයක් යන විට මේ රට ඉතාම කුසීත මිනිසුන් සිටින අපේක්ෂා භංගත්වයෙන් යුත් රටක් බවට පත්වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment