සිංහල නවකතා කලාවට පිදෙන ඉහළම ප්‍රකාශක උත්තමාචාරය හෙවත්, 2024 ‘ස්වර්ණ පුස්තක සම්මාන උළෙල’ පසුගිය සෙනසුරාදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී එරික් ඉලයප්පාරච්චිගේ ‘තිවංක කතාව’, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ‘මැයි මාර ප්‍රසංගය’, විරාජිනී තෙන්නකෝන්ගේ ‘කැමේලියා’, මලික් තුසිත ගුණරත්නගේ ‘සිල්වර් ටිප්ස්’ සහ ලියනගේ අමරකීර්තිගේ ‘කැළලිකාරයෝ’ යන නිර්දේශිත නවකතා අතරින් විරාජිනී තෙන්නකෝන් විසින් රචිත ‘කැමේලියා’ නවකතාවට 2024 ‘ස්වර්ණ පුස්තක සම්මානය’ හිමිවිය.
මෙම උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දියාවේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය සසංක පෙරේරා මහතා සහභාගී වූ අතර, එහිදී ඔහු දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.
මම අද මෙහිදී අදහස් කිහිපයක් ඔබ හමුවේ තබන්නට අදහස් කරන්නේ ප්‍රකාශන කර්මාන්තයටත්, නිර්මාණ රචනයටත් පිටස්තරයකු ලෙසිනි. ඒ, මම ගුරුවරයකු වන හෙයිනි. මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ ඉතාමත් වැදගත් ඉතිහාස තුනක් සම්මුඛ වන මොහොතක ය. ඉන් පළමුවැන්න වාර්ෂිකව පැවැත්වෙන ‘ස්වර්ණ පුස්තක’ සම්මාන උළෙලත්, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් සංවිධානය කරන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මේ වනවිට වසර තිස්නමයක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් තිබීම යි. දෙවැන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ විසිපස්වන වරට වීම යි. තුන්වැන්න ‘ස්වර්ණ පුස්තක සම්මාන උළෙල’ වසර 18ක් තිස්සේ නොකඩවා පවත්වාගෙන යාම යි.
මෙම වැදගත් ඉතිහාස තුන සම්මුඛ වන මේ මොහොතේ ඉතා වැදගත් කරුණක් පිළිබඳව අපගේ අවධානය යොමුකළ යුතුව තිබේ. එම වැදගත් කරුණ පිළිබඳව මෙම පොත් ප්‍රකාශක සංගමයේ සාමාජික සාමාජිකාවන් ප්‍රශ්න කළ යුතුව තිබේ. නොඑසේ නම්, මෙරට ලේඛක ප්‍රජාව හෝ පාඨක ප්‍රජාව ප්‍රශ්න කළ යුතුව තිබේ. අප ප්‍රශ්න කළ යුතු ඒ වැදගත් කරුණ වන්නේ ‘අප කෙදින ද අපේ රචනා, අපේ පොත්පත් ලංකාවෙන් පිටතට රැගෙන යන්නේ?’ යන්න ය. එයින් අදහස් වෙන්නේ අපේ නිර්මාණ අපි කෙසේ කෙදින විදේශ රටවලට රැගෙන යන්නේ ද? යන්න ය. මේ සම්බන්ධ දීර්ඝකාලීන දැනුමක් මා වෙත තිබෙන නිසා ඒ ගැන යම් අදහසක් ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි.
නමුත්, ඒ අදහස ප්‍රකාශ කරන්න මට සිද්ධවෙන්නේ මා ඊයේ මුහුණදුන් අකරතැබ්බයකුත් ද සිහිපත් කරමිනි. මන්ද? මා ඊයේ මුහුණදුන් ඒ අකරතැබ්බය මා ප්‍රකාශ කරන්නට අදහස් කරන දෙයට ඍජුව ම සම්බන්ධ වන හෙයිනි. මම දැනට වසර එකහමාරක පමණ කාලයක සිට මගේ මිතුරකු සමඟ සම්පාදනය කරමින් සිටි කෘතියක් සම්බන්ධයෙන් ලන්ඩනයේ ‘බ්ලූම්ස්බර්ග්’ ප්‍රකාශන ආයතනයේ නවදිල්ලියේ පිහිටි දකුණු ආසියානු ප්‍රකාශන කණ්ඩායම එම කෘතිය සම්බන්ධයෙන් මා හා එළඹ තිබෙන
ගිවිසුම්වලින් ඉවත් වන බවත්, එම කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙන් ඉවත් වන බවත් දන්වා ඊයේ මවෙත ඊමේල් පණිවුඩයක් එවා තිබිණි. මේ සම්බන්ධයෙන් සොයා බැලූවිට මට දැන ගන්නට ලැබුණේ එම කෘතියට ඇතුළත් ලිපි තිහෙන් එකක 2019 දී ඉන්දීය පාර්ලිමේන්තුව සම්මත කළ Citizenship Amendment Act නමැති නීතිය ගැන ඉතාමත් කෙටි සඳහනක් ඇති බව ය. එහි එන තවත් ලිපියක භරතමුණිගේ ‘රස’ සංකල්පය ගැන කතා කරද්දී එය වර්තමානයට ගැලපීමේදී ‘හින්දුත්වා’ සංවිධානවල වචන භාවිතය ගැන එහි සඳහනක් ඇති බව ය. මේ කාරණා දෙක නිසා ඔවුන් එයින් ඉවත්වූ බව මම තේරුම් ගතිමි.
මේ කතාව මා මීට සම්බන්ධ කළේ අපට අපේ කෘති රැගෙන යන්නට වෙන්නේ, මෙවැනි බොහොම අස්ථාවර, දේශපාලනික වශයෙන් ගැටලුවක් වියහැකි දැයි නොදන්නා කලාපීය ප්‍රකාශන අවකාශයකට ය. එනිසා, මෙම තත්ත්වයන් සමඟ තර්ක කිරීමටත්, මෙම තත්ත්වයන් පිළිබඳව යම් පමණකට දැන ගැනීමටත් අපට හැකිවිය යුතු ය. මෙය අප දකුණු ආසියාවෙන් එපිටට එනම් යම් ගෝලීය තලයකට රැගෙන යන්නේ නම්, මෙම තරගකාරීත්වය මීට වඩා බෙහෙවින් වැඩිවනු ඇත.
මේ සන්දර්භය තුළ අපි අද මේ සම්මානයට පාත්‍ර වූ කෘති පහ ඇතුළු අපේ අනෙකුත් කෘති මෙතනින් එහාට රැගෙන යන්නේ කෙසේ ද? එසේ ගෙනයෑම අවශ්‍යය ය. එසේ ගෙනයෑම වටින්නේ ය. එසේ ගෙනයෑම වැදගත් ය. පසුගිය වසර දහතුනක කාලය තුළ ලංකාවට ආ ගිය අවස්ථාවල මෙරට පළවන පොත්පත් රැගෙන
ගොස් කියවන්නට ලැබීමෙන් මා තේරුම්ගත් කාරණයක් වෙන්නේ අපේ රචකයන් ලියන ප්‍රබන්ධ නිර්මාණ සාහිත්‍යය ගත්තත්, කාව්‍ය නිර්මාණ සාහිත්‍යය ගත්තත් අග්‍රගන්‍ය කෘති සෑහෙන ප්‍රමාණයක් නිර්මාණය වන බව ය. නමුත්, ලෝකයා මෙම කෘති කියවන්නේ කෙසේ ද? බොහෝ රටවල ලේඛකයන්ගේ පොත් ලෝකයට ගියේ ඔවුන් ලියන මව් භාෂාවෙන් නොවේ. ඒවා ලෝකයට ගෙනයෑමට අවශ්‍ය ක්‍රම ඒ රටවල තිබීම නිසා ය.
දැන් අප ප්‍රශ්න කළ යුත්තේ අපේ සාහිත්‍ය කෘති ලෝකයට ගෙනයෑමට අපට උනන්දුවක් තිබේ ද කියා ය. එවැනි උනන්දුවක් තිබේ නම්, ඒ සඳහා අපට ක්‍රම තිබේ ද? එහිදී අපට එම කෘති පරිවර්තනය කරන්නට සිදුවේ. එසේනම්, ඒ පරිවර්තන කටයුත්ත සාර්ථකව කරගැනීමේ හැකියාවක් අපට තිබේ ද? ඉතාමත් මෑත කාලයේදී මා කියවූ නිර්මාණාත්මක සාහිත්‍ය කෘති කිහිපයක් ම ඉතා දියුණු මට්ටමක තිබීම නිසා මගේ විශ්වාසය ඒ හැකියාව අපට තිබෙන බව ය. එම කෘති ජාත්‍යන්තරව තරග කළ හැකි මට්ටමේ තිබෙන බව මගේ අදහස යි. නමුත්, අප මේ ගනුදෙනු කරන මොහොත වනවිට Artificial Intelligence (කෘත්‍රිම බුද්ධිය) වැනි දෑ සමඟ අපට තාක්ෂණිකව ගනුදෙනු කරන්නට සිදුව තිබේ.
ඊට ආසන්නතම උදාහරණය මා ගෙනහැර දැක්වුවහොත්, මීට සති කිහිපයකට පෙර මා සංස්කරණය කරමින් සිටි ලිපි එකතුවක ඇතුළත් එක ලිපියක් ගැන මට උදව් කරන ග්‍රන්ථ සහාය සංස්කාරිකාවක ‘සර් මේක google translation වැඩක් වගේ.. පොඩ්ඩක් බලන්න’ යැයි පැවසුවා ය. ඇය කීවා සේ ම එය google තාක්ෂණයට යොදා බැලූවිට එය google පරිවර්තනයක් බව හෙළි වී ය.
මා මෙම සිදුවීම ඔබට පැවසුවේ අප මේ කතා කරන්නේ තාක්ෂණික හැකියාව තිබූ පමණින් කරන එවැනි පරිවර්තන ගැන නොවන බව පැහැදිලි කරන්නට ය. අද පොත්හලකට ගියවිට අපට එවැනි ඉංග්‍රීසියෙන් සිංහලයට පරිවර්තනය කළ පොත් ඕනෑ තරම් සොයාගත හැකි ය. එහෙත්, සිංහලෙන් ඉංග්‍රීසියට නගන පරිවර්තන ලෝකයට ගෙන යන්නට නම්, අපට ඒ හැකියාව උසස් මට්ටමින් තිබිය යුතු ය.
ඒ කෙසේ වෙතත්, මගේ විශ්වාසය නම් මෙය අනිවාර්යයෙන් සිදුකළ යුතු කටයුත්තකි. මා මෙම කරුණ මෙහි ගෙනහැර දැක්වූවේ මා කලින් ද සඳහන් කළ ආකාරයට ඉතිහාස ගණනාවක් සම්මුඛ වන මේ මොහොතේ මේ සියල්ල සංවිධානය කරන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට ඉදිරිය බලා මෙවැනි ව්‍යාපෘතියක් මේ වසරේ ආරම්භ කළොත් කෙතරම් වටින්නේ දැයි විමසීමට ය. මෙසේ සම්මාන උළෙලවල දී සම්මානයට පාත්‍රවන කෘතිවලින් ලෝකයට ගෙනයාමට සුදුසු මට්ටටේ ඇති කෘති යම් විධික්‍රමයකින් තෝරාගෙන එම කෘති ලෝකයට ගෙනයෑම කෙතරම් අගනා කර්තව්‍යයක් දැයි විමසීමට ය. නොඑසේ නම්, ‘අප පොත් ප්‍රකාශයට පත් කරන්නේ අපේ රටට පමණයි’ යනුවෙන් ද ඔවුනට පැවසිය හැකි ය. එය ද, එක්තරා ආකාරයක පිළිතුරක් නමුත්, එවිට අපට ලෝකයා සමඟ ගනුදෙනු කරන්නට අවස්ථාව නොලැබී යන්නේ ය.
ඔබ ඒ සම්බන්ධ සාධනීය තීරණයකට එළඹෙන්නේ නම්, එය සිදුකිරීම සඳහා අවශ්‍ය විධික්‍රම අපට තිබිය යුතු ය. උදාහරණයක් හැටියට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සෑහෙන කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුවත්, මා මෙහි සඳහන් කළ ආකාරයට අපේ තෝරාගත් සාහිත්‍යය ලෝකයට රැගෙන යන්නේ නම්, ඒ සඳහා අවශ්‍ය සම්බන්ධතා සහ ශිල්ප ක්‍රම මේ ආයතනයට මේ අවස්ථාවේ තිබිය යුතු ය. මෙවැනි කටයුතු අප මීට පෙර නොකළ දෑ නොවේ. විසිවන ශතවර්ෂය මුල දී ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනය සහ ‘ටයිම් ඔෆ් ඉන්දියා’ ආයතන ඉතාමත් ප්‍රසිද්ධ පොත් ගණනාවක් මෙසේ පරිවර්තනය කර ප්‍රකාශයට පත් කළේ ය. ඒවා ලංකාවෙන් සහ ඉන්දියාවෙන් සාමූහිකව මුද්‍රණය කර ලෝකයට ගෙනගිය දෑ ය. විසිවන ශතවර්ෂය මුදල දී එසේ සිදුකළ එම අගනා කටයුත්ත අපට අද ද කරන්නට හැකිවිය යුතු ය.
මගේ යෝජනාව වෙන්නේ මේ වසර අවසානය වන්නට පෙර අඩුතරමින් පොත් සල්පිල ආරම්භ වන විටවත් මේ ප්‍රශ්නය නැවත අපෙන් ම අසා බලා අපේ තෝරාගත් සාහිත්‍යය කෘති මෙරටින් ලෝකයට රැගෙන යන්නට අවශ්‍ය යම් විධි ක්‍රමයක් යොදා ගැනීමට කටයුතු කළයුතු බව ය. එහිදී අද මෙහිදී ප්‍රථම ස්ථානයට පත්වන කෘතිය අනිවාර්යයෙන් ම තෝරාගෙන එය පරිවර්තනය කර ලෝකයට රැගෙන යායුතු යැයි එයින් අදහස් නොවේ. එය වෙන ම වැඩකි. එහෙයින්, අප සඳහන් කරන කටයුත්ත වෙනුවෙන් වන වෙන ම විධික්‍රමයක් තිබිය යුතු ය. ඒ සඳහා අප පරිවර්තනය කළ යුත්තේ මොන වර්ගයේ කෘති ද, ලෝකයේ පිළිගැනීමක් ඇතිවන්නට ඉඩ තියෙන්නේ මොන වගේ කෘතිවලට ද යන්න අප සොයාගත යුතු ය. මෙම ප්‍රශ්න අප මීට පෙර ලෝකයේ දේශීය භාෂා සැසිවලදී අසා ඇති ප්‍රශ්න වන හෙයින්, නැවත ඒවා ඇසීම අපට අභියෝගයක් නොවේ. එහෙයින්, මේ වසරේ සිටම මෙම උදාර කර්තව්‍යයට සමීප වියහැකි යථාර්ථවාදී විධික්‍රමයක් සකස් කර ගනිමු. ඒ සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කැමැත්තක් දක්වන්නේ නම් මෙම පොත් ප්‍රකාශන කර්මාන්තයට ආගන්තුකයකු වන මවෙත ඇති සම්බන්ධතා එම ව්‍යාපෘතියට නිර්ලෝභීව ලබාදීමට ද මම කැමැත්තෙමි.
● අනුර බී. සෙනෙවිරත්න