අපේ පාරිසරික සාහිත්‍යය පෝෂණය කරන ‘ගස් නගින්න කියාපු දවස’

99

කියවීම සඳහා පොතක් තෝරාගන්නා පාඨකයාට එම පොතේ නිමාව කෙතරම් වැදගත් වන්නේ ද යන්න සමහර පොත් ප‍්‍රකාශකයෝ බොහෝවිට නොසලකා හරිති. වැඩිහිටි පාඨකයන්ටත් වඩා ළමා හා යොවුන් පාඨකයන්ට එය වෙසෙසින් ම බලපායි. පාඨක සිත් ඇදබැඳ ගන්නා පොතක පිටවැස්ම මෙන් ම, එහි ඇතුළත නිමාව ද, යොදාගෙන ඇති අකුරු මෝස්තරය හා අකුරුවල ප‍්‍රමාණයද එහිදී ඉටුකරන්නේ ප‍්‍රබල මෙහෙයකි.

එවන් අනගි නිමාවකින් යුත් කෘතියක් පසුගියදා පාඨකයන් අතරට පැමිණියේ පවත්නා වසංගත තත්ත්වයන්ට අවනතව zoom තාක්ෂණය ඔස්සේ ය. එම කෘතිය නම් ‘ග‍්‍රැෆිකෙයා’ ප‍්‍රකාශනයක් ලෙස එළිදුටු ප‍්‍රවීණ පරිවර්තක චූලානන්ද සමරනායකයන් පරිවර්තනය කළ ‘ගස් නගින්න කියාපු දවස’ නමැති කෙටි යොවුන් නවකතාව යි.

මෙහි මුල් කෘතිය වන්නේ දකුණු අප‍්‍රිකානු ලේඛක ජාකෝ ජාකොබ්ස්ගේ n Goeie dag vir bommklim නම් යොවුන් නවකතාව යි. ජාකෝ ජාකොබ්ස් අෆ‍්‍රිකාන්ස් බසින් රචනා කර තිබෙන එම කෘතිය කොබස් ගෙල්ඩන්හයිස් විසින් A Good Day for Climbing Trees නමින් ඉංග‍්‍රීසියට නගා තිබේ. චූලානන්ද සමරනායකයන් අතින් සිංහලයට පරිවර්තනය වන්නේ එම කෘතිය යි. ජාකෝ ජාකොබ්ස් මේ වනවිට පොත් 170 කට වඩා ලියා පළකර ඇති ලේඛකයෙකි. ඔහුගේ එම පොත්වල පිටපත් මිලියනයකට වඩා අලෙවි වී තිබේ. ග‍්‍රන්ථකරණයට අමතරව තීරු ලිපි රචකයෙකු, නිදහස් මාධ්‍යවේදියෙකු සහ පරිවර්තකයෙකු ලෙස ද ඔහු ප‍්‍රසිද්ධියක් උසුලයි. ළමා හා යොවුන් මනසට උචිත සෞම්‍ය වර්ණයෙන් නිමැවුණු මුල් කෘතියේ පිටවැස්ම ඒ ආකාරයෙන් ම ගෙන මෙම පරිවර්තන කෘතිය සරසන්නට ප‍්‍රකාශකයා ගෙන ඇති උත්සාහයත්, A Good Day for Climbing Trees යන්නෙහි ඍජු අරුත වන ‘ගස් නගින්න හොඳ දවසක්’ යන්න වෙනුවට ‘ගස් නගින්න කියාපු දවස‘ යනුවෙන් චූලානන්ද සමරනායකයන් අපට ඉතාමත් සමීප බස්වහරකින් මෙම පොතට නම් තබා තිබීමත් පොතේ ආකර්ෂණීය නිමාවට එක්කර ඇත්තේ නොමඳ ආලෝකයකි.

‘ගස් නගින්න කියාපු දවස’ පොත අත පත් සැණින් අප මතකයට නැගුණේ, මීට කලකට පෙර අප ඉතා ආශාවෙන් රසවිඳි ‘ප‍්‍රගති ප‍්‍රකාශන’ සහ ‘රාදුගා ප‍්‍රකාශන’ ලෙසින් අප අත පත් හුරුබුහුටි සෝවියට් සාහිත්‍ය කෘතීන් ය.

අපේ පාරිසරික සාහිත්‍යය පෝෂණය කරන 'ගස් නගින්න කියාපු දවස'

‘ගස් නගින්න කියාපු දවස’ පොතේ කතා නායකයා වන්නේ, දහතුන් හැවිරිදි මාර්නස් නම් යොවුනෙකි. ඔහුට සිදුව තිබෙන්නේ තම වැඩිමල් සහ බාල සහෝදරයන් දෙදෙනාට යටත්ව දිවි ගෙවන්නට ය. තම වැඩිමහල් සොහොයුරා තරුණියන්ට සිපගැනීමේ පාඩම් කියා දෙන තරුණ ක‍්‍රීඩකයෙකු වන අතර, ඔහුගේ බාල සොහොයුරා මාර්නස්ව රවටා නිවසේ පිඟන් කෝප්ප සෝදවාගන්නා කපටියෙකි. ලෙයිලා නම් ගැහැනු ළමයෙකු ගසක් බේරා ගැනීම සඳහා පෙත්සමක් අත්සන් කරගැනීමට ඔවුන්ගේ නිවසේ ඉදිරිපස දොරටුව අසල පෙනී සිටින්නේ මාර්නස් තමා ගැන ම පසුතැවිල්ලෙන් සිටිය දී ය. නළ මාර්ගයක් එලීම සඳහා උද්‍යානයක පිහිටි ගසක් කැපීමට නගර සභා සේවකයන් සැරසෙද්දී එම ගස විශ්වයේ හරි මැද පිහිටි ගස බව කියමින් ඊට විරෝධය පාන ලෙයිලා සමඟ මාර්නස් ද එකතු වෙයි. එතැන් සිට ගස කපා දැමීම වැළැක්වීම සඳහා ඔහුත්, ලෙයිලාත් එම ගසට නැග විරෝධය පළකරති.

ඔවුන්ගේ විරෝධය නිසා ඔවුන් බැලීමට එන නිවැසියන්ගේ සහ නගර වැසියන්ගේ අවධානයට ලක්වීමට මීට පෙර කිසිවෙකුගේ අවධානයට ලක්ව නොසිටි මාර්නස්ට අවස්ථාව සැලසෙයි. එසේ ම, ඔවුන් දෙදෙනාගේ මෙම එඩිතර ක‍්‍රියාව අගය කරන ලෙයිලාගේ මව, මිසිස් මෙරිමන්, ජෝන් අන්කල් ඇතුළු වැඩිහිටියනුත්, පුවත්පත් වාර්තාකරුත් ඔවුන් අභිපේ‍්‍රරණය කරමින් ඔවුනට සහාය පළකරති.

එහෙත්, ගස රැකගැනීමේ සද්භාවයෙන් ලෙයිලා සහ මාර්නස් ආරම්භ කළ විරෝධයට පුළුල් ප‍්‍රචාරයක් ලැබීමත් සමඟ එය තම වෙළෙඳ ප‍්‍රචාරණයක් කරගන්නට සැරසෙන වෙළඳ ආයතනයක් නිසා ලෙයිලා සිය සටන අත්හැර දමන්නී ය.

පරිසරය සඳහා ගස්වැල්වල ඇති වැදගත්කම ගැන පමණක් නොව, කලකට පෙර දකුණු අප‍්‍රිකාවේ පැවැති වර්ණභේදවාදයේ කුරිරු බව පිළිබඳවත්, සතුන්ට කරුණාව දැක්වීම සහ ස්වාධීනව කටයුතු කිරීමේ වටිනාකම පිළිබඳවත් ළමුන් දැනුවත් කිරීමට ජාකෝ ජාකොබ්ස් ලේඛකයා සිය කෘතිය මගින් ප‍්‍රසංශනීය උත්සාහයක් ගෙන තිබේ. එනිසා ම එම කෘතිය එක්සත් රාජධානියේ ළමුන්ගේ කියවීම වර්ධනය කිරීම සඳහා වන ‘බුක් ට‍්‍රස්ට්’ ආයතනය 2017 වසරේ පිරිනැමූ ගෞරව නාමය හිමිකර ගත්තේ ය.

මෙම කෘතිය පරිවර්තනය කිරීමේ දී චූලානන්ද සමරනායකයන් ඒ සඳහා යොදාගන්නා භාෂාව පිළිබඳව බෙහෙවින් සැලකිලිමත් වී තිබේ. ඔහු ඒ සඳහා තෝරාගෙන තිබෙන්නේ සාමාන්‍යයෙන් ලේඛනය සඳහා අප යොදාගන්නා ලිඛිත භාෂාව නොවේ. ඒ වෙනුවට ඔහු අපට බෙහෙවින් හුරුපුරුදු අපූරු කටවහරක් සහිත කථන භාෂාවක් ඒ සඳහා යොදාගනී. ළමා සිත්සතන් බෙහෙවින් ඇදබැද ගන්නාසුලූ එම සරල සුගම බස්වහර නිසා කතාව පුරා නිර්මිත තම වයසේ ළමුන්ගේ චරිතවලින් වහනය වන හැඟීම් සමුදාය උකහාගැනීමට පාඨකයාට වැඩි පහසුවක් සැලසෙයි.

‘ගස් නගින්න කියාපු දවස’ යොවුන් නවකතාව කියවාගෙන යන අප හදවත් මොහොතකට නතරවන ඉතාමත් අනුවේදනීය සිදුවීම වනුයේ, ලෙයිලා සහ මාර්නස් රැකගැනීම සඳහා සටන් කළ ගස කපා ඉවත් කරගෙන ගොස් ඇති බව මාර්නස් දකින අවස්ථාව යි. ගස්වලට ආදරය කරන අය ඒවා රැුකගන්නට මොනතරම් උත්සාහ කළ ද, අවසානයේ ඒවාට අත්වන ඉරණම මෙම යොවුන් නවකතාව තුළ ඉතාමත් යථාර්ථවාදී ලෙස ඉස්මතු කර තිබේ. එසේ නොවී ළමුන් දෙදෙනාගේ විරෝධයට බලධාරීන් ඇහුමකන් දී ගස ඒ අයුරින්ම ආරක්ෂා කරන්නට සැලැස්වී නම් බොහෝවිට එය අභව්‍ය සිදුවීමක් සේ අපට හැෙඟන්නට ඉඩ තිබිණි. ජාකෝ ජාකොබ්ස් කතුවරයා ඒ බව හොඳින් ම වටහාගෙන සිටියාක් මෙන් එලෙසින් කතාව ගොඩනගා ඇත්තේ විශිෂ්ට කතුවරයෙකු සතු පුළුල් පරිකල්පනය විදහා දක්වමිනි.

අප අද මේ ජීවත්වන්නේ දකුණු අප‍්‍රිකාව පමණක් නොව, ශ‍්‍රී ලංකාව ඇතුළු පරිසරය විනාශ කරමින් සිටින ලොව සෑම රටකම වෙසෙන දරුවන්ට ගහකොළට, සතා සීපාවුනට ආදරය කිරීමට උගන්වන මෙවැනි පතපොත වැඩි වැඩියෙන් අවශ්‍යව තිබෙන යුගයක ය. එවන් පොතපත ලියන ජාකෝ ජාකොබ්ස් වැනි කතුවරුන් ද, චූලානන්ද සමරනායකයන් වැනි කෘතහස්ත පරිවර්තකයන් ද එම කටයුත්තට මෙසේ දායකවෙමින් සිටීම අප ලද භාග්‍යයකි. න්‍යෂ්ටික විකිරණවලින් සිදුවන පාරිසරික බලපෑම හා ඊට ගොදුරු වී දුක්විඳින අහිංසක මිනිසුන් ගැන ලියැවුණු උස්බෙකිස්ථාන් ලේඛක හමීඞ් ඉස්මායිලොව් ගේ The Death Lake නවකතාව චූලානන්ද සමරනායකයන් ‘මියැදුණු විල‘ නමින් 2017 වසරේ දී සිංහලයට නගමින් මෙරට පාඨක නැණැස අවදි කළේ පරිසරය ආරක්ෂා කිරීම අප සතු ප‍්‍රමුඛ වගකීම ය යන පණිවුඩය අප වෙත ගෙන එමිනි.

විදෙස් භාෂාවන්ගෙන් පළවන එවන් පාරිසරික සාහිත්‍ය පොතපත පිළිබඳ නිරන්තර අවදියෙන් සිටින ඔහු ඉදිරියේ දී ද එවන් පතපොත වැඩි වැඩියෙන් සිංහලයට පෙරළා එමගින් අපේ දරුපරපුර වඩ වඩා ඥානනය කරන්නට කටයුතු කරන බවට අපට ඇත්තේ දැඩි විශ්වාසයකි.

අනුර බී. සෙනෙවිරත්න

අපේ පාරිසරික සාහිත්‍යය පෝෂණය කරන 'ගස් නගින්න කියාපු දවස'
advertistmentadvertistment