අපේ බිත්තර අපිම දමාගනිමු

514

ලබන වසරේ සිට බිත්තර නිෂ්පාදන කර්මාන්තයෙන් 15%ක වැට් බද්ධක් අයකිරීමට රජය තීරණය කර ඇතැයි දැන ගන්නට තිබේ. මේ ආරංචියෙන් බිත්තර දමන කිකිළියන් හැරුනු විට බිත්තර නිෂ්පාදනය කරන අයත්, බිත්තර විකුණන අයත්, බිත්තර මිලට ගන්නා අයත් බලවත්සේ නොසන්සුන් වනවා ඇත. මේ ගැන බිත්තර දමන කිකිළියන්ට වගේ වගක් නැතිවනු ඇත්තේ ඔවුන් තුළ කිසිදු විඤ්ඤාණයක් නැති බැවිනි. බිත්තරවලට 15%ක වැට් එකක් ගැසීම බිත්තර දමන කිකිළියන්ගේ මරණ වරෙන්තුව අත්සන් කිරීම හා සමානය. දැනට රු. 50-60 අතර පවතින බිත්තර මිල 15%ක වැට් බද්දෙන් පසුව තවත් රුපියල් 9 කින් පමණ මිල ඉහළ යෑමට ඉඩ තිබේ. එවිට මේ රටේ මිනිසුන් බිත්තර මිලට ගැනීම අඩු කරනවා ඇත. එවැනි අවස්ථාවකදී බිත්තර දමන කිකිළියන්ට ආහාර හා විටමින් ලබාදී ෆාම් නඩත්තු කිරීම කුකුල් ගොවිපළ හිමියන්ට තවදුරටත් දුෂ්කරවීමට ඉඩ තිබේ. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ බිත්තර දමන කිකිළියන් මරා ඒ සතුන් මසට විකුණා ෆාම් එක වසා දමා පැත්තකට වීමට කුකුළු ගොවිපළ හිමියාට සිදුවීමය. මෙකල්හි රට පුරා බිත්තර හිඟයක් හට ගැනීමට ඉඩ තිබේ. අන්තිමේදී බිත්තරයක මිල රු. 100 පැනීමට ඉඩ ඇත. කුකුළු ගොවිපළ හිමියන් දැනටත් එම කර්මාන්තය කරන්නේ ඉතාම අමාරුවෙනි. සියලුම වර්ගයේ කුකුළු කෑමවලත්, විටමින් වර්ගවලත් කුකුළු ගොවිපළ කර්මාන්තයේදී භාවිතා වන එන්නත්වල මිලත් ඉහළ ගොස් ඇත. 15% වැට් එකෙන් කුකුළු ගොවිපළ කර්මාන්තය මිනි පෙට්ටියකට දමා ඇණ ගැසීම සිදුවනවා ඇත.

මේ රටේ පහළ මධ්‍යම පංතියේ සහ මධ්‍යම පංතියේ ප්‍රමුඛ පෝටීන සැපයුම්කරුවන් වන්නේ බිත්තර සහ සෝයාමීට්ය. සෝයාමීට් දිනපතාම ගිල දැමිය නොහැකි නමුදු හැමදාම වුවද බිත්තර අනුභව කිරීමට මිනිස්සු කැමති වෙති. මේ රටේ දැනට තිබෙන ප්‍රෝටීන අඩංගු මස් මාංශවල මිල ඉතා ඉහළය. සාමාන්‍යයෙන් කුකුළු මස් කිලෝවක් රු. 1000 ඉක්මවයි. ලොකු මාළු කිලෝවක් රුපියල් දෙතුන් දාහක් වන අතර සූඩයන් කිලෝවක් පවා රු. 600ට යයි. ප්‍රෝටීන් යනු මනුෂ්‍යයාගේ ජීවිතය සමතුලිත ලෙස පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය සාධකයකි. ප්‍රෝටීන් නැතිවිට කුඩා දරුවෝ නිතර රෝගී වෙති. ප්‍රෝටීන් ආහාර හිඟය නිසා ළමයින්ට මන්දපෝෂණය වැළඳේ. ප්‍රෝටීන් සහිත ඉතා හොඳ ආහාරයක් වන කරවල කිලෝවක් රු. 3000ක් නැති නම් රු. 4000ක් ඉක්මවයි. එබැවින් පොදු ජනතාවගේ ප්‍රෝටීන් මිත්‍රයා වන්නේ බිත්තරයයි. කරවල, මස්, මාළු කෑමට ගියොත් සාමාන්‍ය ජනතාවට බැංකු කඩන්නට සිදුවෙයි. එබැවින් බිත්තර කර්මාන්තය ආරක්‍ෂා කිරීම රජයේ වගකීම වේ.

ලංකාවේ බිත්තර කර්මාන්තය 1960 ගණන් වන තුරුත් කුකුළු ෆාම් මට්ටමින් තිබුණේ නැත. එකල ජනතාවට බිත්තර සපයන ලද්දේ ගම් කිකිළියන් විසිනි. එම සතුන් දමන බිත්තර ගම් බිත්තර ලෙස හැඳින්වූ අතර ලංකාවේ බිත්තරයක ආරම්භක මිල සතයකි. 1970දී ෆාම් කර්මාන්තය රට පුරා පැතිර ගිය අතර බිත්තරයක් ශත පහක් විය. 1973දී බිත්තරයක් ශත 10කි. මේ කියන කාලයේදී අද රුපියල් 9-10ක් වන ඉඳිආප්පයක් ශත 2කි. අද රු. 30ක් වන ආප්පයක් ශත 5කි. බත් එකේ පළමු වැනි ශෙක්ෂන් එක ශත 5කි. ශත 25 ටිකට් එකකින් මේ කියන කාලයේදී අතිවිශාල දුරක් ගමන් කළ හැකිය. 1970 ගණන්වලදී කුකුළු මස් යනු සුඛෝපභෝගී ආහාරයකි. ඉහළ මධ්‍යම පංතියේ ජනයා විසින් සිංහල අවුරුද්දටත් නත්තලටත් ජනවාරි පළමු වැනිදාටත් මඟුල් දවසටත් පමණක් කුකුළු මස් පිසින ලදී. එකල හැම ගෙදරකම පිසිනු ලබන්නේ හම සහිත කුකුළු මස්ය. එහෙත් අද හැම ගෙදරකම හම රහිත කුකුළු මස් පිසිනු ලැබේ. අප මේ බව සඳහන් කරන්නේ ඉතිහාසය මතක් කර දීමට පමණි. 1977න් පසු මේ රටේ සියලුම පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ යෑමට පටන් ගත් අතර බිත්තර මිල ද ඉහළ නැංගේය. ඉන්පසු කුකුළු කෑම නිෂ්පාදනය සඳහා සිංගප්පූරු සමාගමක් ලංකාවට පැමිණි අතර ඔවුහු මස් පිණිස කුකුළන් ඇතිකිරීමේ කර්මාන්තයට ද අවතීර්ණ වූහ. ඒ නිසා ක්‍රමයෙන් කුකුළු මස් මිල ඉහළ ගියේය. 1980දී රු. 7.50ක් වූ කුකුළු මස් කිලෝව 1984 වන විට රු. 35 දක්වා ඉහළ නැංගේය. ඊට සාපේක්‍ෂව බිත්තර මිලද වැඩි විය. බිත්තර නිෂ්පාදනය සඳහා බහුජාතික සමාගම් ද දේශීය සමාගම් ද ව්‍යාපාර පටන් ගැනීමත් සමගම බිත්තර මිලද ඉහළ නැංගේය. අද සිල්ලර කඩයකින් රු. 55 දක්වා වූ මිලට බිත්තරයක් ගැනීමට පුළුවන. සුපර් මාර්කට් එකක බිත්තරයක මිල රු. 64කි. අද වනවිට මහා පරිමාණ මට්ටමේ කුකුළු මස් කර්මාන්තකරුවෝ 11 දෙනකු ලංකාවේ සිටිති. ඊට අමතරව කුඩා ප්‍රමාණයේ කුකුළු ගොවිපළ විසිපන්දහසක් ලංකාවේ ඇත. මේ සියලුම දෙනා වාර්ෂිකව බිත්තර මිලියන 3200ක් නිෂ්පාදනය කරති. එය මේ රටේ වාර්ෂික පශුසම්පත් අගයෙන් 19%කි. 2021ට පෙර මේ රට තුළ අර්බුදයට ලක්වූ එකම සත්ව ගොවිපළ ව්‍යාපාරය ලෙස කුකුළු ෆාම් හඳුනාගෙන තිබිණි. අද වනවිට මේ කර්මාන්තය ලොකු අර්බුදයකට මුහුණ දී තිබේ. කුඩා කුකුළු ගොවිපළ විසිපන්දහසක් මේ රටේ තිබේ නම් අඩුම ගණනේ පවුල් පනස්දහසක් එමගින් ජීවත් වීමට ඉඩ තිබේ.

කොවිඩ් වසංගතය නිසා ලංකාවේ කුකුළු ගොවිපළ කර්මාන්තයට සම්පූර්ණයෙන්ම වාගේ කෙළවී ගියේය. මේ වකවානුවේදී ඩොලර් සංචිත නොමැතිවීමේ හේතුවෙන් පිටරටින් කුකුළු කෑම ගෙන්වීමට නොහැකි විය. බිත්තර මිලදී ගැනීමට ජනතාව අත සල්ලි තිබුණේ ද නැත. අන්තිමේදී ඇතැම් නගරවල රු. 8.00ත් බිත්තර විකුණන ලදී. කුකුළු ෆාම්කාරයන් වැඩි දෙනා තමන් සතුව තිබූ කුකුළන් සියලු දෙනා මසට විකුණා ෆාම් වසා දැමූහ. බිත්තර කර්මාන්තයට 15%ක් වැට් ගැසුවොත් කොවිඩ් අර්බුදය පැවති සමයේ කුකුළු ගොවිපළකරුවන් පත්වූ තත්ත්වය ප්‍රතිනිර්මාණය වීමට ඉඩ තිබේ. එවිට බිත්තර දමා ගැනීමට සිදුවන්නේ අපටමය.

advertistmentadvertistment
advertistmentadvertistment