අපේ රටේ ගීත විචාර කලාවක් නෑ: ප‍්‍රවීන ගීත රචක ධම්මික බණ්ඩාර

453

අද දවසේ සාකච්ඡාව ඇරඹෙන්නේ අපේ රටේ ප‍්‍රසිද්ධ ගීත රචකයෙක්, ගුරුවරයෙක්, වගේම ගී රසවින්දන වැඩසටහන් පවත්වන්නෙකු ද වූ අපූරු මෙන්ම සොඳුරු මිනිසෙකු සමගයි. ඒ අපූර්වතම සොඳුරු මිනිසා වූ කලී ධම්මික බණ්ඩාරයන් ය. ධම්මික බණ්ඩාරයන් උපන්නේ මහනුවර දිස්ත‍්‍රික්කයට අයත් උඩුගම නම් වූ සුන්දර ගම්මානයෙහිය. එහි උපන් ඔහු අයනු ආයනු කියනුයේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නිකවැරටිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් පොන්නිලව නම් වූ විද්‍යාලයෙන් ය. ඒකට හේතුව වූයේ ඔහුගේ මව වූ නන්දා සුභසිංහ ඒ පාසලේම ගුරු මාතාවක් වීමත් ඔහුගේ පියා වූ බී.ජී.පුංචි බණ්ඩා ඒ විදුහලේම විදුහල්පති වීමත්ය. ධම්මික බණ්ඩාරයන් මේ ගමේ පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණ හය වසරේ සිට ආනන්ද විද්‍යාලයේ හොස්ටල් ජීවිතයට හුරු වූයේය. ආනන්ද විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළත්, උසස් පෙළත් හදාරා විශිෂ්ට ප‍්‍රතිඵල අත්කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය නිමා කළේය. එදා මෙදාතුර ඔහු ආ නිර්මාණාත්මක ගමන් මගේ රස තැන් මෙන්ම නීරස තැන්ද බොහොමයක් පවතිනු ඇත. එකී අත්දැකීම් බෙදාහදා ගනු වස් ඔහු ‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ අකුරුදිගේ අතිරේකය’ සමඟ පැවැත්වූ නූතන ගී රසවින්දන කලාව පිළිබඳව කෙරෙන පිළිසඳරයි මේ.

මේ වන විට ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ රටවල විවිධ විචාර කලාවන් බිහි වී තිබෙනවා. කෙටි කතා, නවකතා, චිත‍්‍රපටි, නාට්‍ය ආදිය පිළිබඳව විවිධ විචාර කලාවන් බිහි වී තිබෙනවා. ඔබ මේ ගෙන යන ගීත විචාර කලාව මොන වගේ එකක්ද?

ගීත විචාර කලාව කියලා එකක් තියෙනවා. නමුත් ලංකාවෙ තවම එහෙම ගීත විචාර කලාවක් බිහිවෙලා නැහැ. ගීතයක් පිළිබඳව හරියටම විචාරය කළේ අපේ බුදුරජාණන් වහන්සේ. ඒක කල්පිතයක් හෝ යථාර්ථයක් හෝ ප‍්‍රබන්ධයක් වෙන්න පුළුවන්. ඒ සිදුවීම තමයි ශක‍්‍රදේවේන්ද්‍රයාගේ සංගීතඥයා වුණ පංචසිඛ තමන්ගෙ පෙම්වතිය ගැන වර්ණනාත්මක ගීතයක් ලියාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එනව ඒ ගීතය ගැන කතා කරන්න. ඒ අවස්ථාවෙහිදී උන් වහන්සේ මේ ගීතයේ අංගයෙන් අංගය අරගෙන පුදුමාකාර විවරණයක් කරනව. ඒ ගීතයේ වචන ගැන, ගීතයේ තනුව ගැන, පුදුම හිතෙන විචාරයක් කරනව. කොටින්ම කීවොත් උන්වහන්සේ මේ ගීතය හතර අතින් කඩ කඩා විචාරයක් කළා. ඒක තමයි මම අහල තියෙන හොඳම ගීත විචාරය කියලා කියන්න පුළුවන්.

නමුත් ලංකාවේ එහෙම ගීත විචාර කලාවක් නෑ. එහෙම ගීත විචාර කලාවක් අවශ්‍යත් නෑ. මොකද ලංකාවේ සියලූ දෙනාම සංගීතය දන්නෙත් නෑනේ. සරිගම කියන්නේ මොකක්ද? ශ‍්‍රැතිය කියන්නේ මොකක්ද? කියලා නොදන්න අය කොච්චර ඉන්නවද? නමුත් ඔබ මගෙන් ඇහැව්වා මම කරන්නේ මොකක්ද කියලා? මම කරන්නේ මට සුන්දරයි වටිනවාය කියල හිතෙන දැනෙන ගීතයක් අරගෙන ඒක මට දැනෙන විදියට එහි රසය තවත් අයට පැහැදිලි කරලා දෙන එකයි. ඒ කියන්නේ ඒ ගීතය තළින් මා විඳි රසය මට දැනෙන විදිහට මම අන් අයට පැහැදිලි කරලා දෙනවා. ඒකෙ සංගීතය ගැන මම පරතෙරට ගිහිල්ලා කතා කරන්නේ නෑ. ඒ ගීතයේ තනුව ගැන මම පරතෙර ට ගිහිල්ලා කතා කරන්නෙත් නෑ. නමුත් ඒ ගීතය ජීවිතේ අත්දැකීම් එක්ක මම ගළපගන්න උත්සහ ගන්නව. එතකොට මට ඒක දැනෙන විදිහ තව කෙනෙක් එක්ක මම ිය්රු කර ගන්න උත්සාහ ගන්නව. ඒ ිය්රු කරගැනීම තමයි මේ ගී රසවින්දන වැඩසටහන් තුළින් මම කරගෙන යන්නේ.

අපේ රටේ ගීත විචාර කලාවක් නෑ: ප‍්‍රවීන ගීත රචක ධම්මික බණ්ඩාර

ලංකාව වගේ රටකට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ ගීත විචාර කලාවක් හොයාගෙන යන එක නෙවෙයි. හරිහමන් සිංදුවක් හරිහමන් විදියට රසවිඳීමේ අවශ්‍යතාවයක් තමයි ලංකාවේ ශ‍්‍රාවකයින්ට තියෙන්නේ. ඔය ඔබ කියපු ගීත විචාර කලාව කියන එක උඩට නගින පඩි පේලියක පඩි සීයක් නම් ඒක තමයි සිය වෙනි පඩිය වෙන්නෙ. අපි මේ නගිමින් ඉන්නේ ගීත විචාර කලාවෙ තවමත් පළවෙනි පඩිය. අපේ පොඩි අදහසක් තියෙනවා 2000න් පස්සේ උපන්නවුන් පව් කියලා. එහෙම කියන්න හේතුව තමයි 90 දශකයේ උපන්න උන් තරම්ම යමක් වින්දනය කිරීමේ හැකියාවක් 2000 දශකයෙ ඉපදිච්ච උන්ට නැති එක.

ඒ වගේම කෙනෙක් අපෙන් අහයි රසවින්දනයේ මිණුම් දඬු මොනවද කියලා. ඔය ගැන හරි ලස්සනට කියලා තියෙනවා සාහිත්‍යය විචාර ප‍්‍රදීපිකා කියන පොතේ කේ. ජයතිලක මහත්තයා. එතුමා කියනවා රසවින්දනය පුහුණු කළ පුද්ගලයකුට ඒ කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයකුට අතිශයින්ම බාල නිර්මාණයක් වුව ද, උසස් නිර්මාණයක් වුව ද රසවිඳිය හැකියි කියලා. නමුත් රසවින්දනය පුහුණු නොකළ තැනැත්තෙකුට රස විඳිය හැක්කේ බාල නිර්මාණයක් පමණයි කියලා. දැන් බලන්න සත්‍යජිත් රායි දිහා. එතුමා පරිසරයේ හෙලවෙන කොළයක් හරි තමන්ගේ නිර්මාණයට අරගෙන ඒකෙනුත් යම් පණිවිඩයක් දෙන්න උත්සාහ ගත්ත කෙනෙක්. ඒ වගේම තමයි ජපානයේ අකිර කුරසෝවා කියන නිර්මාණකරුව… එතුමගේ රෂෝමොන් චිත‍්‍රපටිය බැලූවම අපට පේනවා ඒ අය බොහෝ මනස දියුණු කරපු කෙනෙකුට වින්දනය කරන්න තැන් හදලා දීලා තියෙනවාය කියලා. අද ඉන්න බොහෝ අයට එතනට යන්න බෑ. හැබැයි රසවින්දනය පුහුණු කළ තැනැත්තාට කුච් කුච් හෝතා හේ රස විඳින්නත් පුළුවන්. ඒ වගේම පාතර් පංචලිත් රසවිදින්න පුළුවන්.

ඉතින් දැන් අපි ඉන්නේ දෙපැත්තකට දෝලනය වෙන ජනතාවක් ඉන්න රටක. එතකොට අපි උත්සාහ කරන්නේ ඔවුන් මින් පෙර නොවිඳි දෙයක් ඊළඟ පරපුරට ද දායාද කර දීමේ පරිත්‍යාගශීලී උත්සාහයකයි. මේ ගී රසවින්දන වැඩසටහන් පැවැත්වීමේ අරමුණ අන්න ඒකයි.

ඔබ පැහැදිලි කිරීමක් කළා ගීත විචාර කලාවකට අපට තවම යන්න බැහැයි කියල. ඔබ මේ කරගෙන යන්නේ ගී රසවින්දන කලාවක්ය කියලා. ඔබට මේ වැඩසටහන් පැවැත්වීම සඳහා පාසල් මට්ටමේ සිට විවිධ ක්ෂේත‍්‍රවල අය ආරාධනා කරනවා නේද? ඔවුන්ගේ ආරාධනාවන්ට අනුව ඔබ පවත්වන මෙම ගී රසවින්දන වැඩසටහන් වලින් ඔවුන්ට ඔබ දෙන පණිවිඩය මොන වගේ එකක් ද?

මම මේ වෙනකොට ලංකාවේ විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරන පිරිස් විසින් සංවිධානය කරපු ගී රසවින්දන වැඩසටහන් 586 පවත්වලා තියෙනවා. අද මේ මොහොතෙ පවත්වන්නෙ 587 වෙනි වැඩසටහන. අපි යාපනයේ රාජසිංහම් ශාලාවේ මෙවැනි වැඩසටහනක් පැවැත්තුවා. ඒකට සිංහල ශිෂ්‍යයෝ වගේම සිංහල තේරෙන ද්‍රවිඩ ශිෂ්‍යයොත් සහභාගී වුණා. ඒ වගේම අපි මඩකලපුවේ ඔලූවිල් විශ්වවිද්‍යාලයෙත් මේ වැඩසටහන පැවැත්තුවා. ඒකට සිංහල සිසුන් වගේම සිංහල දන්න මුස්ලිම් සිසුනුත් අතිවිශාල ප‍්‍රමාණයක් සහභාගි වුණා.

ඒ වගේම බොහෝ පාසල්වලින් මට ආරාධනා ලැබෙනවා මේ වැඩසටහන පවත්වන්නය කියලා. විශේෂයෙන්ම පාසල්වල මේ වැඩසටහන් පවත්වන්න කියලා ආරාධනා කරන්නෙ ශිෂ්‍යයන්ගේ මොකක්දෝ අවුලක් තියෙනවාය, ඒ අවුල යම් දුරකට සමනය කිරීමේ හැකියාවක් මේ වැඩසටහන්වලට තියෙනවාය කියලා කියන ගුරුවරුන් විසින්ම යි. පාසලකට මම ගිහිල්ලා නිකම්ම නිකං කතාවක් පවත්වලා ආවට වැඩක් නෑ. ඒ වගේම කැසට් එකක් දාලා මේක කරලා හරියන්නෙත් නෑ. ඒ ළමයින්ට සජීවීව ඒ ඒ වාදක භාණ්ඩ භාවිතා කරන හැටි ඇස් පනාපිට පෙන්නල දෙන්න ඕනේ. ඒවගේම ගීතවලට සාධාරණයක් කළ හැකි ශිල්පීන් ශිල්පිනියන් පාසල් වැඩසටහන්වලට එක්කගෙන යන්න ඕනෙ. එතකොට තමයි ඒ වැඩසටහන සාර්ථක වෙන්නේ. එවැනි වැඩසටහන් විශාල ප‍්‍රමාණයක් අපි පාසල් මට්ටමින් පවත්වලා සාර්ථක ප‍්‍රතිඵල අත්කර දීලා තියනවා.

මට පොඩි කාලේ පොකට් රේඩියෝවක් කනේ ගහගෙන සින්දු අහන එක පුරුද්දක් වෙලා තිබුණා. ඒ නිසා මට ගීත පිළිබඳ හොඳ මතකයක් තියෙනවා. ගීතයක රචකයා ගැන සංගීතය ගැන මතකයක් තියෙනවා. ඒ නිසාම තමයි මගේ වැඩසටහන් මම ගොඩක් සාර්ථකව පවත්වන්නෙ. මම ඉදිරිපත් කරන විදිහ බොහෝ රසිකයන්ට දැනෙනවා. ඒ අයට මම කියන දේ තේරෙනවා. ඒ නිසා මේ වැඩසටහන් පවත්වපු අවුරුදු දහයක තරම් කාලය තුළ මම ගොඩක් සාර්ථක වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්.

ඔබතුමාට අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල ජීවත්වන ශ‍්‍රී ලාංකිකයන් පවා ආරාධනා කරනවා ඒ රටවලට ඇවිල්ලා වැඩසටහන් පවත්වන්න කියලා. මට මතකයි ඔබ මට ඩුබායි නගරය තුළ දී හම්බ වුණා. ඒ මේ වගේ වැඩසටහනකට ඇවිල්ල හිටපු වෙලාවක. ඇත්තටම ඒ රටවල වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් ඔබෙන් ඉල්ලන්නේ මොන වගේ දෙයක්ද?

සමහර රටවල්වල දී ලංකාවට වඩා ඉහළ පිළිගැනීමක් සහ ඉහළ පේ‍්‍රක්ෂක සහභාගිත්වයක් තිබුණු බව කියන්න ඕන. ඒකට හේතුවකුත් තියෙනවා. ඔස්ටේ‍්‍රලියාවේ වැඩසටහනක් පවත්වන්න ගියහම ඒකට එන්නේ ඒ රටේ ජීවත්වන ලාංකිකයෝ විතරයි. එංගලන්තෙට ගියත් එහෙමයි. ඩුබායි ගියත් එහෙමයි. කොරියාවේ ගියත් එහෙමයි. ඉතාලිය ගියත් එහෙමයි. මම විදේශ රටක කියලා මුලින්ම මේ වැඩසටහන කළේ ඉතාලියේ රෝම නගරයේ. ඇත්තටම එහෙට යනකොට ලංකාවේ වගේ මගේ සංගීත කණ්ඩායම අරගෙන යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එහිදී සිද්ධ වුණේ නාපෝලි, මිලානෝ වැනි නගරවලින් සින්දු කියන්න ආසාවක් දක්වන අය ඇවිල්ලා ට‍්‍රැක් එකට සිංදු කියමින් තමයි එදා රෝමේදි මේ වැඩසටහන පැවැත්වේ. මට මතකයි ලියනාඩෝ ඩාවින්චිගෙ ගමේ ගුවන් තොටුපළක් තියෙනවා. ඒ ගුවන්තොටුපොළ පහුකරලා කිලෝමීටර් පහළොවක් විතර ගියහම තිබුණා ලොකු ශාලාවක්. මම යනකොට එදා මේ ශාලාව අතුරු සිදුරු නැතිව පිරිලා තිබුණා. ඒක හරි අපූරු සිදුවීමක්. මොකද ටිකට් එකක් අරගෙන හෝල් එකකට එන්න අදිමදි කරන මිනිස්සු ඉන්න සමාජයක ප්ලයිට් එකටත් ටිකට් එකකුත් අරගෙන හෝල් එකටත් ටිකට් එකක් අරගෙන ආපු මිනිස්සු එතන හිටියා. ප‍්‍රාදේශීය නගරවල හිටපු අය ප‍්‍රාදේශීය ගුවන් යානාවලින් ඇවිත් හිටියා එදා ඒ වැඩසටහන බලන්න. ඒක මගේ ජීවිතයේ විශේෂ සිදුවීමක් වුණා. හැබැයි ලංකාවේ මේ තත්ත්වය නෑ.

ඔබ ගී රසවින්දන කලාවට ප‍්‍රවිෂ්ට වීමට පෙර ගීත රචකයෙක් විදිහටයි සමාජය තුළ නමක් දිනාගෙන හිටියේ. නමුත් අද වන විට බොහෝ අය ඔබ ගීත රචකයෙක්ය කියන එකට වඩා රසවින්දන වැඩසටහන් පවත්වන කලාකරුවෙක් විදියට තමයි හඳුනාගන්නේ. ඒකට හේතුව ලෙස ඔබ දකින්නේ මොකක්ද?

ඒකට හේතුව තමයි බොහෝවිට මම ගීත රචනා කලාවට ප‍්‍රවිෂ්ට වෙන්නේ විශ්වවිද්‍යාලයේ ගත කරපු කාලය තුළ වීම. එතකොට අපේ රට පතිරූප දේශයක් නෙවෙයි. එදා මේක ගිනි ඇවිළිච්ච රටක්. එක පැත්තකින් එල් ටී ටී ඊ ම්ලේච්ඡ අන්තවාදී කල්ලියක් එක්ක ලංකාවේ රජය ගැටෙමින් තිබුණා. අනිත් පැත්තෙන් දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය සහ ලංකාවේ රජය අතර ගැටුමක් තිබුණා. මේ නිසාම විශ්වවිද්‍යාල වහමින් අරිමින් තමයි පවත්වාගෙන ගියෙ. ඒ කාලේ නිර්මාණ පාරාදීසයක් අපේ රටේ තිබුණේ නැහැ.

ඊට පස්සේ අපි දැක්කා 90 දශකයේ මැද භාගයේදී වගේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකා බොහෝමයක් ලංකාවේ විවෘත වුණ වග. ඒව තුළින් එතෙක් ලංකාවෙ පැවති සින්දු ක‍්‍රමය සහමුලින්ම වෙනස් කළා. ඊට පස්සේ අපිට සිද්ධ වුණේ සින්දු ලියනවට වඩා එදා වේල කාලා ජීවත් වෙන්න ක‍්‍රමයක් හොයාගන්න එකයි. ඒ නිසා අපි ළමයෙකුට ගෙදර ගිහිල්ලා උගන්නලා හරි නැත්තන් ටියුෂන් පන්තියක් කරලා හරි ජීවත්වීමේ අතිධාවනකාරී ප‍්‍රවාහයකට අවතීර්ණ වුණා. ඒ කාලය තුළ විවේක බුද්ධියක් කියන එකක් තිබුණෙ නෑ. ඒ වගේම ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහන් ඇනහිටියා. එතකොට අපෙන් කවුරුවත් සින්දුවක් ඉල්ලගෙන ආවේ නෑ. ඒ කාලේ ගායකයෝ සින්දු ලියා ගත්තෙත් ප‍්‍රසිද්ධ ගීත රචකයන්ගෙන් විතරයි. ඔන්න ඔය කාලෙදි මට තේරුණා ඒ කියන්නේ 2002 වගේ වෙනකොට කොහෙද මේ අපේ රටේ ගීත කලාව යන්නේ කියලා. අන්න එතකොට තමයි මම හිතුවේ සිංදුවක් දෙකක් ලියලා කොහොම හරි නිෂ්පාදනය කරන්න ඕන කියලා. ඉතින් මම ලිව්වා. ලියපු සින්දු නිර්මාණය කරන්න එදා මට කීර්ති ධර්මසිරි මහත්තයා ලෝබ නැතුව උදව් කළා. සින්දු 12 ක් ඇතුළත් නිල්කැට වැස්ස කියන සීඞී තැටිය නිර්මාණය කළා. පසුකාලයකදී ඒක වෙනත් සමාගමක් අරගෙන මගේ පුංචි රෝස මලේ කියලා සීඞී එකක් බවට පත් කළා. ඒ සීඞී තැටි දැන් විකිණිලා ඉවරයි. ඒකෙන් ඒ සමාගම් දියුණු වුණා. හන්තානට පායන සඳ, මගේ පුංචි රෝස මලේ, ඔබ ආයෙමත් ඇවිදින්, සීදේවි වගේ, හිම දියවී හිමාලයේ, නිල් කැට වැස්ස වැටෙනවා, උදම් රල ඔබ උදම් විය යුතු නෑ වැනි ගීත බොහෝමයක් රචනා කරමින් ඒවා ජනතාව අතරට ගෙන යන්න ඉන්පසුව මට හැකි වුණා. මම මේවා තුළින් කළේ ගීත කලාව පිරිහීගෙන යන කොට පොඩි තට්ටුවක් දාලා පෙන්නුව ඒ වගේ නිර්මාණත් අපිට කරන්න පුළුවන් කියලා.

මම දන්න විදිහට ඔබ රජයේ ගුරුවරයෙක්ව හිටපු කෙනෙක්. ඒ වගේම හොඳ ටියුෂන් ගුරුවරයෙක්ව හිටපු කෙනෙක්. ඒ වගේම නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ නිපුණතා අරුණැල්ල වැඩසටහන පවත්වගෙන ගිය කෙනෙක්. නමුත් ඔබ වර්තමානය වන විට ඒ සියල්ලම අතහැර දාලා ගී රසවින්දන කලාවට අවතීර්ණ වෙලා ඉන්නවා. ඔබට මේ නූතන ගී රසවින්දන කලාව ඇතුලේ ඉඳගෙන අතීත වෘත්තීන් ගැන මෙනෙහි කරන විට මොන වගේ හැඟීමක් ද එන්නේ?

මම ගුරු භූමිකාව සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් දකින කෙනෙක් නෙවෙයි. ඒකෙ තිබුණ ඒකාකාරී බව නිසාම තමයි මම ගුරු වෘත්තියෙන් අයින් වුණේ. මම කාලයක් ටියුෂන් කළා. මම ඒකත් අත හැරියා. හැබැයි ඒවා හැම එකක්ම වාගේ මාසෙකට නිශ්චිත මුදලක් අතට ලැබෙන කිසියම් වෘත්තියක් වුණා මට. නමුත් මේ ගී රසවින්දන වැඩසටහන් පවත්වන්නෙ වෘත්තියක් හැටියට නෙමෙයි කියන එක කියන්න ඕන. මොකද මේක වෘත්තියක් විදිහට කරගෙන ගියොත් මට මේක දැඩි විදිහට විකුණන්න වෙනවා. මම ඒ විකිණීමට කැමති නෑ.

නමුත් මමත් එක්ක මේ වැඩසටහන පවත්වගෙන යන්න ශිල්පීන් 15 ක විතර කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒ ශිල්පීන්ට පවතින්න ඔවුන්ගේ ශ‍්‍රමය වෙනුවෙන් යම් මුදලක් ගෙවන්න ඕන. ඉතින් මම මේ වැඩසටහනක් වෙනුවෙන් යම් සාධාරණ මුදලක් ගන්නව. මේ වැඩසටහනක් වෙනුවෙන් ලැබෙන මුදලින් ශිල්පීන්ගේ ගාස්තු අයින් කළාට පස්සෙ ඉතිරියක් තිබුණොත් ඒක මම සාක්කුවෙ දාගන්න ව. සමහරදාට ඉතිරි නැති වෙන්නත් පුළුවන්. එදාට මම නිකංම ගෙදර යනවා.

ඔබගේ ගීත දිහා බැලූවම ඒ ගීතවල විවිධත්වයක් දකින්න තියෙනවා. ඔබ හන්තානට පායන සඳ ගීතය ලියන අතරම සඳ කුමාරී මගේ මනාලි කියන ගීතයත් ලියනවා. කොහොමද ඔබ එකම ආරකට කොටු වෙන්නේ නැතිව මේ ගීත නිර්මාණය කරන්නෙ.

ගීත රචකයෙක් එහෙම එක තැනකට කොටු වෙන්න බැහැ. මහගම සේකර ගත්තහම ඔහු මහා කවියෙක්. ඔහු විටෙක ලියනවා ” පිලේ පැදුර” ඒ වගේම තවත් විටෙක ලියනව ”ස්වර්ණමාලියේ ස්වර්ණමාලියේ” ගීතය. ඒ වගේම තවත් විටෙක ලියනව ”වක්කඩ ළඟ” ගීතය. තවත් විටෙක ඔහු ලියනව ”සිරි සාර බුලත් විට කාලා බලන්” කියන ගීතය. කලාකරුවෙක් එක තැනක කොටු වෙන්න හොඳ නෑ.

මගේ ජීවිතේ වැඩියෙන්ම ප‍්‍රිය කරන ගීත රචකයා තමයි පේ‍්‍රමකීර්ති ද අල්විස්. කවියෙක් හැටියට සේකරට මම ආදරෙයි. ගීත රචකයෙක් විදියට මම පේ‍්‍රමකීර්තිට ආදරෙයි. ඔහුගේ ගීත කලාවේ තියෙනවා වෙනම අංගයක්. ඔහු ලියනවා,

”අමුතු ඇඳුම් ඇඳ නළවන රබානකි අතේ…
පොළොවේ ඉඳන් අඩි දහයක් විතර උස ඇතේ…
ආකාසේ ඔළුව වදියි කියලා බය හිතේ…
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ…”

මේ ගීතයෙන් කියවෙන්නේ සමාජයේ ඉන්න සෝබන කාරයෙක් ගැන. ඒ වගේම ඔහු ලියනවා…

සිටියා උදාර කොල්ලෙක්…
ඌට හිටියා කට සැර බල්ලෙක්…
ඒ පළාතෙ එන්නෑ බල්ලෙක්……
උගේ ඇඟේම නෑ එක මැක්කෙක්…

බලන්න ඒ ගීතවල සරලකම ඇතුලෙ හැංගිලා තියෙන ව්‍යංගාර්ථය.

”ආරොන් මාමා වයසක මිනිහෙකි
ඉපදුණෙ අපෙ ගම්මානේ…
මිනිහගෙ ජොබ් එක කේලම් කීමයි
තැන තැන කඩපිල් ගාණේ…

ඒ වගේම ඔහු ලියනවා ”ආදරයේ උල්පත වූ අම්මා… ගීතයත්. ඒ වගේම ඔහු ලියනවා ”මා එක්කලා අමනාපව” කියන ගීතයත්. මේ ගීත දිහා බලපුවාම පේනව එතුමා එක තැනක කොටු වෙලා හිටියෙ නෑ කියන එක. ඒ තමයි කලාකාරයාගේ ස්වාභාවය. එතන තියෙන්නේ තමා ලත් අත්දැකීම ප‍්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව මිසක් ප‍්‍රබුද්ධ හෝ අප‍්‍රබුද්ධ බව නොවෙයි. නිර්මාණයක් නම් එය සමාජ ප‍්‍රගමනයට හානියක් වන නිර්මාණයක් නොවිය යුතුයි කියන එකයි මගේ අදහස. ඒ වගේම භාෂාව ඕනෑම කෝවක දාලා කරකැවීමේ හැකියාවක් සාහිත්‍යකරුවාට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහුට සාහිත්‍යකරුවෙක් වෙන්න බෑ.

ලංකාව දිහා බලපුහාම නූතනයේ අති දක්ෂ තරුණ නිර්මාණකරුවන් ඉන්න බව පේනව. පරිණත ගීත රචකයෙක් සහ නිර්මාණකරුවෙක් හැටියට ඔබ නූතන නිර්මාණකරුවන්ගෙ නිර්මාණ දකින්නෙ කොහොමද?

ඉතිහාසයටත් වඩා දක්ෂ නිර්මාණකරුවන් ඒ වගේම ගායක ගායිකාවන් අද බිහිවෙලා ඉන්නවා. ඒක හොඳටම පේන තැනක් තමයි රියැලිටි වැඩසටහන්. ඒ වැඩසටහන් වලදී අපිට පේනවා මුල් ගීත ගායනා කළ අයටත් වඩා ඉතාම දක්ෂ විදිහට ඒ ගීත අනුකරණය කරන පිරිසක් මේක ඇතුලේ ඉන්නවා කියල. නමුත් ඔවුන්ගේ එකම පරමාර්ථය වෙලා තියෙන්නේ ජනප‍්‍රිය වීම හා මුදල් ඉපයීම පමණයි කියන එක අපිට පේනවා. අද ඕනම නිර්මාණකරුවෙකුට එළියට එන්න තියෙන මාර්ග ප‍්‍රමාණය වැඩියි. මාර්ග වැඩි වෙන එකක් ප‍්‍රශ්නයක්. ඉස්සර තිබුණේ ගුවන් විදුලි සංස්ථාව විතරයි. රටට ඇහෙන්න ගීතයක් ගායනා කරන්න පුළුවන් ගායකයෙක් වෙන්න නම් සරල ගී වැඩසටහනට සහභාගි වෙලා ඒකෙන් පාස් වෙන්න ඕනා. ඊට පස්සේ එයාව වර්ග කරනවා A ශ්‍රේණිය, B ශ්‍රේණිය, C ශ්‍රේණිය ආදී වශයෙන්. A ශ්‍රේණියේ ගායකයෙකුට මාසෙකට අලූත් සින්දු හයක් එදා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියේ රෙකෝඞ් කරලා දුන්නා. ඒ සඳහා සම්පූර්ණ වියදම් කරන්නෙත් ගුවන්විදුලි සංස්ථාවමයි. ඒ ගීත ගුවන් විදුලියෙන්ම ප‍්‍රචාරය කරනවා. හැට හැත්තෑව දශකයේ ගුවන් විදුලිය ප‍්‍රචාරය කළ එක ගීතයක් වත් තියෙනවද නරකයි කියල කියන්න පුළුවන්. එදා ඔවුන්ගේ නිර්මාණ සංකලනය අතිවිශිෂ්ට තැනක තිබුණු බව කියන්න ඕන.

දැන් තියෙන්නේ යූ ටියුබ් මාර්ගයෙන් අපි ම නිර්මාණ කරගෙන අපිම ඒවා ප‍්‍රචාරය කරල අපිම කමෙන්ට් දාගන්න ක‍්‍රමවේදයක්නෙ. සමහර ගීතවල මෙලෝ ප‍්‍රමිතියක් නෑ. මෙලෝ රහක් නැති ගීත අපි දකිනවා යූටියුබ් චැනල්වල ප‍්‍රචාරය වෙනවා. ඒක නිර්මාණ කලාව සෝදාපාළුවට හේතුවක් වෙන බව කියන්න ඕන.

සමහර විට හේතුවක් නැතිවත් සමහර නිර්මාණ ජනප‍්‍රිය වෙනවා. උදාහරණයක් හැටියට බලන්න මෑතකදී ජනප‍්‍රිය වුණ ”මැණිකේ මගේ” කියන ගීතය. මේක අහන්න පුළුවන් ලස්සන රිද්මයක් තියෙන ගීතයක්. ඒක ගායනා කරන දරුවාගේ හඬ හරිම ආශක්තයි. ඉන්දියාවේ අමිතා බච්චන් එයාගේ facebook ගිණුමේ ඒ ගීතය ගැන පෝස්ටුවක් නොදන්නා ලංකාවේ මැණිකේටත් වෙන්නේ සුහද කොකා තමයි. මොකද මහා පුරුෂයෙක් අතට ඕනෑම සුළු දෙයක් වුණත් පත් වුණොත් එක මහා දෙයක් බවට පත්වෙනවා. ඒක ඒ ළමයගෙ වාසනාවක් කියලා තමයි මට කියන්න පුළුවන්. එහෙම නැතිව ඒ නිර්මාණ තුළ තියෙන දැවැන්ත කමක් එහෙම නෙමෙයි. ඇත්තටම ඒ නිර්මාණය දැවැන්ත නිර්මාණයක් නෙමෙයි.

සාකච්ඡා කලේ – විජිත ලංකා

අපේ රටේ ගීත විචාර කලාවක් නෑ: ප‍්‍රවීන ගීත රචක ධම්මික බණ්ඩාර
advertistmentadvertistment
advertistmentadvertistment