අපේ රටේ ඩිජිටල් තාක්ෂණය කියන්නේ ඩර්ටි පොලිටික්ස් – අපි මේ කැත දේශපාලන පොරපිටිය සුද්ද කරනවා

187

ජාජබ නායක අනුර කුමාර දිසානායක තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුවට එක්වෙමින් කියයි

ඩිජිටල් තාක්ෂණය ගැන කතා කළාට අපේ රටේ තියෙන්නේ ඩර්ටි පොලිටික්ස්. අපි මේ කැත දේශපාලන පොරපිටිය සුද්ද කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

විවිධ ක්ෂේත්‍රවල, විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරමින්, අයි.ටී. ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා අපි සැලකිය යුතු කාලයක් වෙහෙසුනා.මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම සඳහා විවිධාකාරයෙන් උදව් කළ සියලු‍ දෙනාටම පළමු කොටම ස්තුතිවන්ත වෙනවා. අපෙන් සමාජය අහන ප්‍රශ්නයක් තමයි මොකක්ද කරන්නේ කියන එක. අපි ක්ෂේත්‍ර ගණනාවක කුමක්ද කරන්නේ කියන කාරණය අපි ඉදිරිපත් කර තිබෙනවා. සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශන එළඹෙන 26 වැනිදා එළිදක්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ අපෙන් අහන ප්‍රශ්නයක් තමයි කරන්නේ කවුද කියලා. කරන අය තමයි මේ ඉන්නේ. කළ යුත්තේ කුමක්ද කියන එකත්, කරන්නේ කවුද කියන එකත් ගැන අපි සහතිකයක් ජනතාවට දීලා තියෙනවා.

අපේ රටේ ඩිජිටල් තාක්ෂණය කියන්නේ ඩර්ටි පොලිටික්ස් - අපි මේ කැත දේශපාලන පොරපිටිය සුද්ද කරනවා

මේ කාලයේ ස්මාර්ට් ඇග්‍රිකල්චර්, ස්මාර්ට් ක්ලාස්රූම් ගැන කතා වෙනවා. හැබැයි රටේ තිබෙන්නේ ඩර්ටි පොලිටික්ස්. මම හිතනවා ඩිජිටල්කරණයට යාමට පෙර දේශපාලන පිටිය සුද්ද කළ යුතුයි. මීට සතියකට පෙර එක් අයෙක් කෙරෙහි බරපතළ විවේචන එල්ල කරන කෙනා ඊළඟ සතියේ නැවත එයා වර්ණනා කරන තත්වයට පත්වී තිබෙනවා. මාධ්‍යවල බ්රේකින් නිව්ස්වලින් එන්නේ එහෙන් මෙහාට, මෙහෙන් එහාට පනින තොරතුරු. අපි ඔබට සහතිකයක් දෙනවා මේ සියල්ල කරන්න කලින් මේ දේශපාලන පොර පිටිය පිරිසිදු කළ යුතුයි. මේ එහෙට මෙහෙට පැනීම සිදුවන්නේ ප්‍රතිපත්තිමය කරුණු මතද? නැහැ. සමහර අය ඊළඟ පාර්ලිමේන්තුවට තමන්ගේ දොරටුව විවෘත කරගැනීමට පනිනවා. සමහර මාරුවීම් පිටුපස මූල්‍යමය ගනුදෙනු, රජයේ ඉඩම් ලබාදීම්, බාර් ලයිසන්, පෙට්්‍රල් ෂෙඩ් ලබාදීම් තිබෙනවා. අපේ රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩු මාරු කරනවා. හැබැයි ආණ්ඩුව මාරු කරල ඉවර වෙනකොට ඒගොල්ලන් මාරු වෙනවා. මේ නිසා 1994 සිට 2024 දක්වා එක දිගට අමාත්‍ය ධුර දරපු ගණනාවක් අදත් අමාත්‍ය ධුර දරනවා. අපේ රටේ ව්‍යසනයට මේ පොලිටිකල් කල්චර් එක, කැත දේශපාලන සංස්කෘතිය විශාල බලපෑමක් ඇතිකර තිබෙනවා.

ආණ්ඩුව 2016දී තීරණය කරනවා අයි.ටී. ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 05ක් බවට පත්කරන්න. 2020දීත් කියනවා ඩොලර් බිලියන 03ක ආදායමක් අයි.ටී. ක්ෂේත්‍රයේ අපනයන ආදායම ළඟාකර ගන්නා බව. හැබැයි ගිය වසරේ අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2යි. මේ ක්ෂේත්‍රය පිළිබඳ සකස් කරන ලද ප්‍රතිපත්ති, ඉලක්ක සම්පූර්ණ කිරීම සඳහා මෙහෙයවීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. මේ ක්ෂේත්‍රයට එන ව්‍යවසායකයා රටක් හැටියට සකස් කරන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමේ පංගුකාරයෙක් පමණයි. ඉලක්ක සම්පූර්ණ කිරීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා. අපේ ඉලක්කය වන්නේ,

2030දී ඩොලර් බිලියන 05ක අපනයන ආදායමකට යන්න. ඉතාමත් හොඳ විභවතාවක් අපට තිබෙනවා. ඉන්දියාවේඅයි.ටී.ක්ෂේත්‍රයේ නිපුණතාවය තිබෙන කෙනෙක් සාමාන්‍යයෙන් වාර්ෂිකව උපයනවා ඩොලර් 36000ක්.

සිංගප්පූරුවේ සාමාන්‍ය අගය ඩොලර් ලක්ෂ දෙකයි. ලංකාවේ සාමාන්‍ය අගය ඩොලර් 14200යි. මේ ගැප් එක අපිට පනින්න පුළුවන්. අපි ක්ෂේත්‍ර ගණනාවකට අයි.සී.ටී. යොදාගැනීම ගැන කල්පනා කොට තිබෙනවා. අපේ ආර්ථිකයේ පංගුව වැඩිකර ගැනීම සඳහා, අපේ රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරගැනීම සඳහා, රාජ්‍යයේ ගනුදෙනුවල විනිවිදභාවය ඇතිකර ගැනීම සඳහා මේ ක්ෂේත්‍රය උපයෝගී කරගන්නේ කොහොමද? තොරතුරු සහ දැනුම පුරවැසියන් වෙත ගලාගෙන යාම සඳහා, පුරවැසියා බලගැන්වීම සඳහා මෙමක්ෂේත්‍රය උපයෝගී කර ගන්නේ කොහොමද? කියන එක අපි සැලසුම් සකස් කොට තිබෙනවා. අපේ රටේ ග්‍රාමීය ජනතාවට තොරතුරු, දැනුම ගලාගෙන යාමේ වේගයේ අඩුවක් තිබෙනවා. දැනුම, තොරතුරු කේන්ද්‍රගතවෙලා තිබෙනවා නගරබදව. සෑම කෙනෙකුටම දැනුම සහ තොරතුරු ලබාගැනීමේ සාධාරණ ලෙස ප්‍රවිෂ්ට වීමේ සම අයිතියක් නැහැ. අපේ රැකියා ක්ෂේත්‍රය ගත්තොත් අයි.ටී. ක්ෂේත්‍රයට එන්නේ වසරකට 12000ත් 15000ත් අතර ප්‍රමාණයක්. අපේ ඉලක්කයක් තිබෙනවා වසරකට 30000ක් අයි.ටී. ක්ෂේත්‍රයට කැඳවන්න. ලෝකයේ දැනට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 26ක් ඉන්නවා. ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන් ඉන්නේ 85000යි. දැන් පුරෝකථනය කර තිබෙනවා 2030 වන විට ලෝකයට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් අවශ්‍යයි කියලා. අලු‍තින් මිලියන 19ක් අවශ්‍යයි. ඒ ලෝකයේ ඇතිවෙන නව දියුණුව ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගැනීමේ ටාර්ගට් එකකට යන්න සැලසුමක් හදන්න ඕනෑ.

අපි ඩොලර් බිලියන 05ක ආර්ථිකයට යන්න නම්, ඉංජිනේරුවන් 85000 ප්‍රමාණවත් නැහැ. අපට අභියෝගයක් තිබෙනවා බිලියන 05ක ආර්ථිකය අත්පත් කරගැනීමට දියුණුවන ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගන්නත් වසරකට ඉංජිනේරුවන් 30,000ක් වත් නිර්මාණය කරන්න. එහෙම යන්න නම් රාජ්‍ය අධ්‍යාපන පද්ධතියේ පංගුවක් වැඩිකර ගන්න ඕනෑ. ඒ වගේම අර්ධ රාජ්‍ය ආයතනවල පංගුව වැඩිකර ගන්න ඕනෑ.

නියාමනයට ලක් කරන ලද පෞද්ගලික අධ්‍යාපනයේ පංගුවක් ඇතිකර ගත යුතුව තිබෙනවා. කාර්යක්ෂම මැදිහත්වීමක් කළොත් නිපුණතාවයක් සහිත අලු‍ත් ශ්‍රම සම්පතක් නිර්මාණය කර ගත හැකි වෙනවා. දැනට රැකියා විරහිත උපාධිධාරීන් 35,000ක් විතර ඉන්නවා. උපාධියක් හිමි අය කියන්නේ යම් මුවහත් කරන ලද ශ්‍රම සම්පතක්. එතනින් පංගුවක් අරගෙන කෙටි කාලීන පාඨමාලාවන් හරහා මේ ක්ෂේත්‍රයට යොමුකර අලු‍ත් සම්පතක් නිර්මාණය කරගැනීමට අවධානය යොමු කරනවා. මේ ක්ෂේත්‍රයේ ශ්‍රම සම්පත වර්ධනය කර ගැනීම සඳහා සැලැස්මක් තිබෙනවා.

ඉස්සර තිබුණේ ෆිල්ටර් කරන ලද නිවුස්. පත්තරයක් ප්‍රින්ට් කරන්න ප්‍රථම අයිතිකරුවාගේ අධීක්ෂණයෙන් පසුව තමයි ප්‍රින්ට් කරන්නේ. රූපවාහිනියක අයිතිකරු නිව්ස්වලට මැදිහත් වෙනවා. ඒ කියන්නේ පෙරන ලද නිව්ස් ජනතාවට ලැබෙන්නේ. හැබැයි දැන් ජනතාව අතරට නිදහසේ ප්‍රවෘත්ති ගලාගෙන එනවා. මේක තව තවත් වර්ධනය කළ යුතුයි. ඒ වර්ධනය නිසාම වෙන්නේ සෑම පාලකයෙකුටම තමන්ගේ ක්‍රියාකාරකම් ගැන නැවත නැවත සිතා බැලීමට සිදුවෙනවා.

අද සාම්ප්‍රදායික මධ්‍ය ජාලය ඉක්මවා යමින් අධිකාරියක් සහිත තොරතුරු ගලා යාම මේ ක්ෂේත්‍රය වර්ධනය වීම නිසා නිදහස් භාවයක් නිර්මාණය වී තිබෙනවා. මේ නිසා අපේ රාජ්‍ය පාලනයේදී ඉතාමත් වැදගත්. අපේ රටේ ආර්ථික පැත්තෙන්, නව රැකියා උත්පාදනය පැත්තෙන්, ඩොලර් උපයා ගැනීමෙන්, සමාජයේ සමානතා නිර්මාණය කිරීමෙන්, සමාජයට තොරතුරු ගලාගෙන යාාමෙන්, රජයක් මොනිටර් කිරීම පැත්තෙන් මේ සෑම පැත්තකින් බැලූ විට මෙම ක්ෂේත්‍රය ඉතාමත්ම වැදගත් වෙනවා. අපි මේ ඉදිරිපත් කළ ප්‍රකාශනය මේ සියලු‍ අරමුණු ගැබ් කරන ලද ප්‍රකාශනයක්. මෙතෙක් අපේ ප්‍රකාශන කුණුකූඩෙට ගියත්, මේක කුණු කූඩෙට යන ඉතිහාසයක් නොවෙයි. මේක අනිවාර්යෙන්ම ප්‍රාණවත්භාවය ලබන ප්‍රතිපත්ති ප්‍රකාශනයක්.

ඕසට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ පීඨයේ ආචාර්ය රජිත් විතානාරච්චි මහතා – මම ඕසට්‍රේලියාවේ මෙල්බන් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ පීඨයේ කෘත්‍රිම බුද්ධිය හා පරිගණක විද්‍යාව පිළිබඳව මෙන්ම වාස්තු ගොඩනැගිලි හා සැලසුම්කරණ පීඨයේ උගන්වනවා. ඒ වගේම ප්‍රවාහන, සෞඛ්‍ය හා නාගරික පද්ධතිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂකයෙක් විදිහටත් කටයුතු කරනවා. විවිධ අයට විවිධ දේශපාලන මත වගේම වෙනත් මත පවතිනවා. ප්‍රතිපත්ති සම්පාදනයට ගියාම මේ මත දරන අයගෙන් විවිධ ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසාමයි නූතන ලෝකයේ ප්‍රතිපත්ති සැකසීමේදී තොරතුරු තාක්ෂණය ඉතාම වැදගත්ත වෙන්නේ.

අපට තොරතුරු ලැබී තිබියදී, ඒ තොරතුරු පැත්තක තබා ප්‍රතිපත්ති හදන්නේ ඇයි? නවීන තාක්ෂණය යොදාගෙන ඩිජිටල් ලෝකයේ මොඩල් එකක් (අනුරුවක්) අපේ අදහස පිළිබඳව ගොඩනගා ගන්න පුළුවන්. ඒ අනුව පනින්න පෙර සිතා බලන්න යන්න යොදා ගනිමින් අපේ අදහස ප්‍රායෝගිකව කරගෙන යන්න නිශ්චිතවම නිරාකරණය කරගන්න පුළුවන්. පරිසරයට හොඳ නිසා කාබනික පොහොර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ගිහින් තව ගොඩක් දේවල් නැතිකර ගත්තා. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කලින් අපිට ඒ සම්බන්ධයෙන් මොඩල් එකක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම ප්‍රවාහන, සෞඛ්‍යය සහ නාගරික පද්ධතියට විශේෂ අවධානයක් යොමුකර තිබෙන්නේ ඒ නිසයි.

advertistmentadvertistment
advertistmentadvertistment