අපේ වගා බිමට අපිම කාබනික පොහොර හදමු

791

කෘෂිකර්මයේ පැවැත්ම බොහෝ දුරට රඳා පවතින්නේ පස මතය. එය ස්වභාව ධර්මයෙන් අපට ලැබී ඇති වටිනා සම්පතකි. කෘෂිකර්මාන්තය දීර්ඝ කාලයක් අඛණ්ඩව පවත්වා ගෙන යෑමට නම් පසට හානියක් නොවන පරිදි මනා පාලනයක් ඇතිව පස ආරක්‍ෂා කර ගත යුතුය. ගොවිතැන් කටයුතු සාර්ථක කරගැනීමට නම් පසේ සාරවත්භාවය ආරක්‍ෂාකර ගැනීම අත්‍යවශ්‍ය වේ.

 බෝග වගාවේදී පසෙන් ඉවත්වන පෝෂක නැවත පසට පොහොර ලෙස ලබාදිය යුතුය. එසේම තිබෙන පැළෑටි පෝෂක අඩුවීමට හේතුවන සෝදාපාළුව වැනි ක‍්‍රියාවන්ට ගොදුරු නොවන ලෙස පස ආරක්‍ෂා කරගැනීමද පසේ සාරවත්භාවය ආරක්‍ෂා කර ගැනීමට වැදගත් වේ. මේ සඳහා පසේ කාබනික පදාර්ථ ප‍්‍රමාණවත් මට්ටමක පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. කාබනික පදාර්ථ ප‍්‍රමාණවත් මට්ටමක පවතින පසක

 බෝග සරුවට වැඩෙන අතර ඉහළ අස්වැන්නක්ද ලබාදේ. රසායනික පොහොර යෙදීම හෝ කාබනික පොහොර යෙදීම මගින් පසෙන් ඉවත්වන පෝෂක නැවත පසට ලබාදීම සිදුකළ හැකිය.

 පෝෂ්‍ය පදාර්ථ වැඩි සංඛ්‍යාවක් අඩංගු පොහොර සම්පූර්ණ පොහොර වන අතර කාබනික පොහොර සම්පූර්ණ පොහොර ගනයට අයත් වේ. පැළෑටියකට අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ 16 ම වාගේ කාබනික පොහොරවල අඩංගු වේ.

 රසායනික පොහොර බොහොමයක ඇත්තේ පැළෑටි පෝෂක පදාර්ථ එකක් හෝ දෙකක් පමණි. එ්වා සාන්‍ද්‍ර ආකාරයෙන් එනම් වැඩි ප‍්‍රතිශතයකින් අඩංගු වේ. මේවා අසම්පූර්ණ පොහොර ලෙස හඳුන්වනු ලබයි. එහි ශාක වර්ධනයට අවශ්‍ය අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු නොවේ. රසායනික පොහොර පමණක් යොදාගෙන අඛණ්ඩව වගාකිරීමෙන් පසට ලැබෙන්නේ අත්‍යවශ්‍ය පෝෂකවලින් සීමිත ප‍්‍රමාණයක් පමණි. අස්වැන්නත් සමග පසෙන් ඉවත්වන සමහර පෝෂ්‍ය පදාර්ථ රසායනික පොහොර මගින් පසට නොලැබෙන නිසා කාලයත් සමග පෝෂක ඌණතා ඇතිවිය හැකිය. එම ඌණතාවයන් මගහරවා ගැනීමට එ් සඳහා විශේෂිත වූ අංශුමාත‍්‍ර මූලද්‍රව්‍ය අඩංගු පොහොර යෙදීමට අවශ්‍යවන අතර එ් සඳහා අධික වියදමක් දරන්නට සිදුවේ. එසේම මෙම පොහොර භාවිතයේදී ඉතා කල්පනාකාරී විය යුතුය. මන්ද මෙම මූලද්‍රව්‍ය නියමිත ප‍්‍රමාණයට වඩා වැඩි වුවහොත් එ්වා ශාකයට විෂ විය හැකි බැවිණි.

 කාබනික පොහොර භාවිතයේදී පරිසරයේ පවතින ශාක හා සත්ත්ව අපද්‍රව්‍ය නැවත ක්‍ෂේත‍්‍රයටම යොදන නිසා පරිසරයේ අපද්‍රව්‍ය ගොඩගැසීම වළකින අතර එම අපද්‍රව්‍ය සම්පතක් බවට පත්කර ගත හැකිය. කාබනික පොහොර භාවිත කරන්නේ නම් වර්තමානයේ අප මුහුණ දී සිටින නාගරික කැළි කසළ ප‍්‍රශ්නයටද විසඳුමක් ලබාගත හැකිය.

 කාබනික පොහොර මගින් පස බුරුල් වීම, පසේ වාතනය සහ ව්‍යූහය දියුණු වීම, පසේ ජලය හා පෝෂක ර`දවාගැනීමේ හැකියාව වැඩිවීම වැනි භෞතික ගුණාංගද පාංශු ජීවීන් සහ ඔවුන්ගේ ක‍්‍රියාකාරිත්වය වැඩිවීම වැනි ජෛවීය ගුණාංගද ස්වාරක්‍ෂකයක් ලෙස ක‍්‍රියා කිරීමෙන් පසේ පී එච් අගය පාලනය කිරීම පාංශු අයන හුවමාරු වීමේ ධාරිතාව වැඩිවීම වැනි රසායනික ලක්‍ෂණද දියුණු වන නිසා කාබනික පොහොර භාවිතය වඩා වාසිදායකය.

 කාබනික පොහොර සහිත පසේ වැඩෙන බෝග කාබනික පොහොර රහිත පසේ වැඩෙන බෝගවලට වඩා ශක්තිමත්ව වැඩෙන නිසා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිය.

 බෝග වගාවේදී පසෙහි සරුබව පවත්වාගෙන යෑමට එනම් පසේ නිෂ්පාදන හැකියාව ප‍්‍රමාණවත් මට්ටමකින් තිබීමට සහ එය දිගටම පවත්වා ගෙනයෑමට අපට කාබනික පොහොර යොදාගත හැකිය. මෙය සිදු කල හැකි ආකාර කීපයකි.

 1. කාබනික පොහොර ක්‍ෂේත‍්‍රයට පිටතින් ගෙනඑ්ම

 2. බෝග අවශේෂ නැවත ක්‍ෂේත‍්‍රයට යෙදීම

 3. කොළ පොහොර වැනි කාබනික පොහොර ලබාගත හැකි ශාක වර්ග එම ක්‍ෂේත‍්‍රයේ වගා කිරීම

 කාබනික පොහොර අපට ක්‍ෂේත‍්‍රයෙන්ම හෝ වගා භූමිය අවටින් සපයා ගත හැකිය. කොළ පොහොර, සත්ත්ව අපද්‍රව්‍ය. බෝග අවශේෂ හා කොම්පෝස්ට් වශයෙන් කාබනික පොහොර දළ වශයෙන් කොටස් හතරකට බෙදා දැක්විය හැකිය. මීට අමතරව ඇසොල්ලා වැනි ජෛව පොහොරද යොදාගත හැකිය. ශාකවල නොමේරූ අතු කොටස් හා පත‍්‍ර කොළ පොහොර වේ. ක්‍ෂේත‍්‍රයට පිටතින් ගෙන එ්ම හෝ ක්‍ෂේත‍්‍රයේම වගාකර පසට කෙළින්ම කොළ පොහොර ලෙස යෙදිය හැකිය. කොළ පොහොරවල නයිට‍්‍රජන් ප‍්‍රතිශතය ඉතා ඉහළ අතර අනෙකුත් පෝෂකද ප‍්‍රමාණවත් මට්ටමින් ඇත. කොළ පොහොර ලෙස කොහොඹ, එරබදු, වැටහිර, ග්ලිරිසීඩියා, සූරිය, පිල, ඉපිල් ඉපිල්, වරා, කැප්පෙටිය වැනි ශාක යොදා ගත හැකිය.

 මීට අමතරව රනිල කුලයේ ශාක භාවිත කෙරේ. රනිල කුලයේ ශාක භාවිත කිරීමෙන් වාසි දෙකක් අත්වේ. එම ශාකවල අධික නයිට‍්‍රජන් ප‍්‍රමාණයක් තිබීම සහ එම ශාක මුල්වල වාසය කරන කුඩා ජීවීන් විශේෂයක් වන බැක්ටීරියා මගින් වාතයේ ඇති නයිට‍්‍රජන් ශාකයට ලබාගත හැකි ආකාරයට ක‍්‍රියා කිරීමේ හැකියාව නිසයි. මෙම ශාක ක්‍ෂේත‍්‍රයේ වගා කර පස පෙරළීමත් සමග පසට යට කළ හැකිය.

 සත්ත්ව අපද්‍රව්‍ය ලෙස ගවයන් මී හරකුන් එළුවන් සහ කුකුළන්ගෙන් ලැබෙන අපද්‍රව්‍ය බහුලව භාවිත කරනු දැකිය හැකිය. උඩරට තෙත් කලාපයේ නුවරඑළිය වැනි ප‍්‍රදේශවල ගොම පොහොර යොදා ගන්නා අතර උඩරට අතරමැදි කලාපයේ බණ්ඩාරවෙල බදුල්ල වැලිමඩ වැඩි වශයෙන් යොදා ගන්නේ කුකුල් පොහොරයි. ගොම පොහොර හෙක්ටයාරයකට මෙටි‍්‍රක් ටොන් 20 – 30 පමණද කුකුල් පොහොර හෙක්ටයාරයකට මෙටි‍්‍රක් ටොන් 10 – 15 පමණද භාවිත කළ යුතුය. සත්ත්ව පොහොර සමග රසායනික පොහොර මිශ‍්‍රකර වගා කිරීම මගින්ද සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකිය. එ් සඳහා නිර්දේශිත රසායනික පොහොර සමග ගොම පොහොර යොදන්නේ නම් හෙක්ටයාරයකට මෙටි‍්‍රක් ටොන් 10 ක්ද නිර්දේශිත රසායනික පොහොර සමග කුකුල් පොහොර යොදන්නේ නම් හෙක්ටයාරයකට මෙටි‍්‍රක් ටොන් 5 ක්ද යෙදිය යුතුය.

 බෝගයක් මගින් පසෙන් ඉවත් කර ගන්නා පැළෑටි පෝෂක ශාකයේ විවිධ කොටස්වල තැම්පත් වේ. අස්වැන්න නෙළා ගැනීමෙන් පසු ඉතිරිවන පිදුරු වැනි බෝග අවශේෂ නැවතත් වගා ක්‍ෂේත‍්‍රයට එකතු කිරීමෙන් මෙලෙස තැම්පත් වූ පැළෑටි පෝෂක නැවතත් ක්‍ෂේත‍්‍රයට ලබා දිය හැකිය.

 මෙය සරල ලාභදායී ක‍්‍රමයකි. සාමාන්‍යයෙන් බිම් හීයට ප‍්‍රථම හෙක්ටයාර එකකට ටොන් 3 කට වැඩි ප‍්‍රමාණයක් එනම් කලින් වී වගාවෙන් ලැබුන සියලූම පිදුරු වගා බිමට යෙදිය හැකිය. මෙයින් වගාවට යෙදිය යුතු පොටෑසියම් ප‍්‍රමාණය අඩු වේ .

අපේ වගා බිමට අපිම කාබනික පොහොර හදමු


ඉවතලන කාබනික ද්‍රව්‍ය උපයෝගි කරගෙන උෂ්ණත්වය සහ තෙතමනය පාලනය කර ක්‍ෂුද්‍ර ජීවීන් මගින් ජීර්ණය වීමෙන් සාදාගන්නා පොහොර කොම්පෝස්ට් පොහොර නම් වේ. මෙහි අඩංගු වන පෝෂ්‍ය පදාර්ථ ප‍්‍රමාණය භාවිත කරන අමු ද්‍රව්‍ය මත වෙනස් වේ. අනෙකුත් කාබනික පොහොර මෙන් මෙම පොහොරද බෝග සිටුවීමට පෙර පසට යෙදිය යුතුය. කාබනික ද්‍රව්‍ය ලෙස හැඳින්වෙන ශාක සහ සත්ත්ව කොටස් කාබොහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ හා ඛනිජ යන කොටස් වලින් සෑදී ඇත. මේවා ඉතා සංකීර්ණ තත්ත්වයේ පවතින බැවින් ශාකවලට උරාගත නොහැකිය. කාබනික ද්‍රව්‍ය එකතු කළ විට එ්වා මත දිලීර බැක්ටීරියා වැනි පාංශු ක්‍ෂුද්‍ර ජීවීන් වර්ධනය වීමට පටන් ගනී. ක්‍ෂුද්‍ර ජීවීන්ගේ පෝෂණය සඳහා කාබනික ද්‍රව්‍ය උපයෝගි කරගන මෙම දිරීමේ ක‍්‍රියාවලිය බැක්ටීරියා දිලීර සහ ඇක්ටිනෝමයිසිටිස් වැනි අන්වීක්‍ෂීය ක්‍ෂුද්‍ර ජීවීන්ද ගැඩවිල් පණුවන්, වේයන්, කුහුඹුවන්, කුරුමිණියන් වැනි සතුන් මගින්ද සිදුවේ. කාබනික පොහොර පමණක් යොදාගෙන වගා කටයුතු කිරීමේදී හෙක්ටයාරයකට කාබනික පොහොර ටොන් 40 ක්ද රසායනික පොහොර සහ කාබනික පොහොර යොදාගෙන වගා කටයුතු කිරීමේදි හෙක්ටයාරයකට කාබනික පොහොර ටොන් 10 ක්ද යෙදිය යුතුය.

 පී. එල්. ජයවර්ධන

අපේ වගා බිමට අපිම කාබනික පොහොර හදමු
advertistmentadvertistment
advertistmentadvertistment