අපේ විදෙස් පිළිවෙත කොයිබටද?

72

රටක විදේශ ප‍්‍රතිපත්තිය සකස් විය යුත්තේ මානව හිතවාදී බව සහ රටක යහපත යන කරුණු දෙක මුල් කර ගනිමින් බව මගේ විශ්වාසයයි. මෙහිදී රටක යහපත පිළිබඳ අරමුණු වෙනුවෙන් කටයුතු කිරීමෙහිදී, අද යුගයේ සියලූම රටවල් පාහේ ආර්ථික සබඳතා, වෙළෙඳ සබඳතා ශක්තිමත්කර ගැන්ම කෙරෙහි ප‍්‍රධාන වශයෙන් සැලකිල්ල යොමු කිරීම දැකගන්නට පුළුවන.

තමන් කාලාන්තරයක් තිස්සේ අදහන ලද, විශ්වාස කළ න්‍යාය ධර්මයනට පවා විරුද්ධ මගක යමින්, අද රටවල් බොහොමයක් ආර්ථික ශක්තිය ගොඩනගා ගන්නට ක‍්‍රියා කරමින් සිටිනවා. අපේ අසල්වැසි ඉන්දියාව පවා ජවහර්ලාල් නේරුගේ පටන් නරසිම්හරාමෝ දක්වා තම ගමන් මග සකස් කරගෙන තිබුණේ පැරණි න්‍යාය ධර්ම ඔස්සේ. රජයේ මුදල් වලින් ප‍්‍රාග්ධනය යොදවලා, මහා කර්මාන්ත ශාලා ආරම්භ කර නඩත්තු කිරීම තුළින් සාර්ථක ප‍්‍රතිඵල නොලබන විට, තරගකාරී ආර්ථිකයට යොමුවීම තුළින් ශක්තිමත් ආර්ථීකයක් බවට පත්වීම ඉන්දියාව වැනි රටවල් බොහොමයක් අද අපට පෙන්නුම් කරනවා.

ජපානය, චීනය, ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල් අපේ ඓතිහාසික මිත‍්‍රයෝ. අපි ඉදිරියටත්, ඒ ඓතිහාසික මිත‍්‍රකම් ශක්තිමත්ව පවත්වාගත යුතුයි. අපේ අතීත නායකයන් ඒ සබඳතා පවත්වා ගත්තේ අපේ රටේ අභිමානය ආරක්ෂා කර ගනිමින්. ඔවුන් කිසි කලෙක සුපිරි බලවතුන් ඉදිරියේ දණ නමන්නට ගොස් නැහැ. මගේ මතකයට එනවා, ඩඞ්ලි සේනානායක මහත්මා, බණ්ඩාරනායක මහත්මා සහ මහත්මිය, ජේ. ආර්. ජයවර්ධන මහත්මා මෙන්ම රණසිංහ පේ‍්‍රමදාස මහත්මා. මේ අතින් ඩඞ්ලි සේනානායකයන් සම්බන්ධව මා අසා ඇති කරුණු අතුරින්, ආචාර්ය ජයන්ත කැලේගම මහතා තම ලිපියක සඳහන් කර ඇති එක් කරුණක් පමණක් සිහිපත් කරන්නට මම කැමත්තෙමි. කැලේගම මහතා අපේ රාජ්‍ය සේවයේ සිටි කීර්තිමත් රජයේ සේවකයෙක්. ඔහු සේනානායකවරුන්ට වඩා බණ්ඩාරනායකලාගේ දැක්මත් සමග සමීපව සිටි කෙනෙක්. 1952 දී අත්සන් කළ චීන-ලංකා, රබර් සහ සහල් ගිවිසුම ගැන ඔහු ලියා ඇති ලිපියේ ඔහු මෙසේ සඳහන් කරනවා.

”මේ ගිවිසුම අත්සන් කළහොත් අමෙරිකානු ආධාර කපා හරින බවට තර්ජනය එක් පැත්තක. තවත් පැත්තකින් ආර්. ජී. සේනානයකයන්ට පෙර එම අමාත්‍ය ධුරය දැරූ ප‍්‍රබල අමාත්‍යවරයාගේ විරෝධය. තවත් අතකින් ශ‍්‍රී ලංකාවේ අති ප‍්‍රබල මාධ්‍යවලින්, කොමියුනිස්ට් චීනය සමග සබඳතා ඇතිකර ගැන්ම තුළින් ඇතිවිය හැකි විපාක සඳහන් කරමින් ඇතිකර තිබූ ප‍්‍රබල විරෝධය. මේවා මධ්‍යයේ ශ‍්‍රී ලංකාවේ යහපත ගැන වූ මිනුම් දන්ඩෙන් මනිමින්, ඒ අනුව තම තීන්දුව ගනිමින්, බලගතු රාජ්‍යක තර්ජනයනට බිය නොවී චීනය සමග ගිවිසුමට එළඹීමට ඩඞ්ලි සේනානායකයන් ගත් තීරණය නිර්භීත තීන්දුවක්ම විය.” එමෙන්ම මට සිහිපත් වෙනවා බණ්ඩාරනායක මහත්මා ඊජිප්තුව, සූවස් ඇළ ජනසතු කළ අවස්ථාවේදී සුපිරි බලවතුනට එරෙහිව, ඊජිප්තුවේ ස්වෛරීත්වය වෙනුවෙන් කුඩා රටක් ලෙසින් නොබැඳි ප‍්‍රතිපත්තියේ පිහිටා සිටිමින්, නිවැරදි දෑ වෙනුවෙන් හඬ අවදි කළ ආකාරය.

එමෙන්ම, දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු, යුද්ධයේදී ජපානය සිදුකළ විනාශයනට ජපානයෙන් වන්දි ලබාගත යුතු බවට, අමෙරිකාව වැනි බලවතුන් ගත් ස්ථාවරයට විරුද්ධව යමින් එදා පැවති සේනානායක රජයේ නියෝජිතයා ලෙසින් ජේ. ආර්. ජයවර්ධනයන් ” නහී වේරේන” ගාථාව සිහිපත් කරමින් අපේ කුඩා රට වෙනුවෙන් සැන් ප‍්‍රැන්සිස්කෝ සමුළුවේදී කථා කළ ආකාරය මගේ සිහියට නැගෙනවා. අදත් ජපන් ජනතාව, එදා තම රට වෙනුවෙන් ශ‍්‍රී ලංකාව ගත් මේ ස්ථාවරය කෘතවේදීව සිහිපත් කිරීම අප දකිනවා. ජපානය සමග අපට ඇති ඒ ඓතිහාසික සමීප බව, ශක්තිමත් සම්බන්ධය ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නට අද යුගයේ අපි කටයුතු කරමින් සිටින්නේද යන්න අපි ගැඹුරින් විමසා බැලිය යුතුව තිබෙනවා. අපේ විදේශ ප‍්‍රතිපත්තිය කෙබඳු විය යුතුද යන කරුණ සම්බන්ධව අපේ අතීත නායකයන් අපට ලබාදී ඇති ආදර්ශයන්, අප යා යුතු ගමන් මාර්ගය සඳහා බීකන් පහනක් මෙන් ආලෝකය සපයන ආදර්ශයන් බව මගේ විශ්වාසයයි.

ජාත්‍යන්තර තලයේදී අපේ නායකයන්ගේ හැසිරීම තුළින් රටට ගෙනදුන් අභිමානය ගැන කොතෙකුත් නිදසුන් අපට නිදහස් ලංකාවේ ඉතිහාසය තුළ දැක ගන්නට තිබෙනවා.

වරක් ඉන්දු – චීන ආරවුල සමථයකට පත්කිරීම සඳහා මැදහත්කරුවෙකු වෙමින් බණ්ඩාරනායක මැතිනිය ඉටුකළ භූමිකාව පෙන්නුම් කරන්නේ, කුඩා රටක් වුවද අපේ රටේ නායක නායිකාවන් එදා ජාත්‍යන්තර තලයේ හිමිකරගෙන තිබූ ගෞරවයයි. ඒ ගෞරවය ඇයට හිමිව තිබුණේ ජාත්‍යන්තර තලය තුළ ඇයගේ ප‍්‍රතිපත්තිමය හැසිරීම නිසයි. එමෙන්ම මට සිහිපත් වෙනවා, ජේ. ආර්. ජයවර්ධනයන් ජනාධිපති රොනල් රේගන් හමුවූ අවස්ථාව මෙන්ම එහිදී ඔහු කළ කථාව සහ ඔහුගේ හැසිරීම. කුඩා රටක රාජ්‍ය නායකයෙකු වුවුද, සම තත්ත්වයේ හැසිරීමක් එදා ඔහුගෙන් පිළිබිඹු වුණා. බලගතු රටක රාජ්‍ය නායකයෙකු හමුවූ විට, ඔහු සමග එක්ව පින්තූරයක් ගෙන මාධ්‍යට නිකුත් කිරීමකට වඩා එහා ගිය, රටට ගෞරවයක් ගෙනදෙන හැසිරීමක් එදා අප මෙම නායකයන් තුළින් දුටුවා. අප රටක් ලෙසින් අනුගමනය කරන්නේ නොබැඳි ප‍්‍රතිපත්තිය සහ කල්‍යාණ මිත‍්‍ර විදේශ ප‍්‍රතිපත්තියක් බව විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට සඳහන් කර තිබුණා. ඒ අනුව යටත් විජිත තත්ත්වයේ සිටින රටවල ජනතාවගේ නිදහස් අරගලයනට සහාය දැක්වීම නොබැඳි පිළිවෙත හා බැඳුණක්. ඒ අනුව අපේ රටේ රාජ්‍ය නායකවරු එක්සත් ජාතීන්ගේ සමුළු ඇමතූ අවස්ථාවන්හිදී දකුණු අප‍්‍රිකානු නිදහස් අරගලයට මෙන්ම පලස්තීන අරගලයට සහයෝගීතාව දක්වා අදහස් පළකිරීම මෙන්ම ඒ රටවල් සම්බන්ධව සාධාරණත්වය සහ යුක්තිය ඉටුකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කර ඇති සියලූ යෝජනාවලදී පක්ෂව ඡන්දය දීම සිදුව තිබෙනවා. එහෙත් මේ වසරේදී අපේ රටේ රාජ්‍ය නායකයාගේ කථාවෙන් පලස්තීන ජනතාවගේ නිදහස් අරගලයට සහයෝගීතාව පළකිරීම පිළිබඳව වාක්‍යය ඉවත්කර තිබීම දැකගන්නට තිබුණා.

පලස්තීන ජනතාවගේ නිදහස් අරගලයට සහාය දැක්වීමේ ප‍්‍රතිපත්තියේ වෙනසක් මේ අනුව සිදුවී තිබේදැයි මම ප‍්‍රශ්නකර සිටියා. ඊට විදේශ ඇමැතිවරයාගේ පිළිතුර වූයේ ”එක රටක් ගැන සඳහන් කළාම සමහර රටවල්වල සිත් රිදෙනවා. ඒ නිසා කිසිම රටක් ගැන නම් සඳහන් නොකර සිටින්න අප තීරණය කළා.” යන්නයි. එදා ජිනීවාහිදී අපේ රට සම්බන්ධ ප‍්‍රශ්නය මතුවූ අවස්ථාවේදී, මැදපෙරදිග රටවල සහාය ලබා ගැන්ම උදෙසා, එහි සිටි පලස්තීන තානාපතිවරයා මැදිහත්ව ඉටුකළ භූමිකාව කිසිවෙකුට රහසක් නොවේ. අපත් යටත් විජිත තත්ත්වයක සිටි රටක්. අපේ මුතුන් මිත්තන් ඒ අවධියේදී මුහුණ දුන් වධ වේදනාවන් ගැන අප අසා තිබෙනවා. අද පලස්තීන ජනතාව තම නිදහස වෙනුවෙන්, තම ජීවිත වෙනුවෙන්, තම ආත්මගරුත්වය වෙනුවෙන් ලෝක ජනමතයේ සහාය ඉල්ලා හඬා වැළපෙන මොහොතක, නව යටත් විජිතවාදයට සහාය දක්වමින් ආක‍්‍රමිණිකයාගේ පාර්ශ්වය සමග සිට ගැනීමක් සිදුව තිබෙනවා.

මෙය නිදහස ගත්දා සිට ශ‍්‍රී ලංකාව අනුගමනය කළ නොබැඳි පිළිවෙතින් බැහැරයෑමක්. රටක ජනතාවගේ නිදහස වෙනුවෙන්, ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවට ඇති වගකීමෙන් පලායෑමක්. සැබැවින්ම සිදුව ඇත්තේ අපේ විදෙස් පිළිවෙත නව යටත් විජිතවාදී බලවේගයනට විකුණා දැමීමක් සහ ඒ බලවේග ඉදිරියේ දණ නැමීමක්.

advertistmentadvertistment
advertistmentadvertistment