අපේ සංචාරක පාරාදීසයේ ප්‍රවර්ධනයට නව මංපෙත් විවර කිරීමේ අවශ්‍යතාව

204

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විවිධ යෝජනා විවිධ පාර්ශ්වවලින් ඉදිරිපත් වෙන අවස්ථාවක සංචාරක ව්‍යාපාරය මගින් ඉදිරි වර්ෂ 10 තුළ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙරට පළමු තරු 7 අවියානා ව්‍යපෘතියේ ප්‍රධානියා විදියට ඔබ ඉදිරිපත් කරනු ලබන යෝජනා මොනවාද?

සංචාරක ව්‍යාපාරයේ මුල් යුගය පිළිබඳව මං වචන කිහිපයක් කතා කරන්න කැමතියි. පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයන් මෙරටට මුලින්ම පැමිණීමත් සමගම තමයි සංචාරක ව්‍යාපාරයන් යම් මට්ටමකින් ආරම්භ වන්නේ.

විදේශිකයන්ගේ අවධානය වැඩි වශයෙන් මෙරටට යොමුවෙන්න ප්‍රධානතම හේතුව තමයි අපේ රටේ තිබුණු සම්පත්. රන්, රිදී, මුතු, මැණික් ඇතුළු ස්වාභාවික සම්පත් ලබාගැනීම. ඊට අමතරව ගංගා, ඇළ දොළ, වන සතුන්ගෙන් පිරුණු අපගේ වනාන්තර දැකබලා ගැනීම. අපේ රටේ සුන්දරත්වය විඳගැනීම ඇතුළු කරුණු රැසක් මුල් කරගෙන මෙම සංචාරකයන් පැමිණියා.

අපේ සංචාරක පාරාදීසයේ ප්‍රවර්ධනයට නව මංපෙත් විවර කිරීමේ අවශ්‍යතාව

අපේ රටේ එදා රජ කාලේ ඉඳලා තිබුණු අපගේ ආහාර සංස්කෘතිය, පාරම්පරික හෙළ වෙදකම වගේ දේවල් අත්විඳීමටත් අපගේ ඓතිහාසික උරුමයන් පිළිබඳව තොරතුරු අසා මවිත වූ විදේශිකයන් ඒවා ගැන වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට මෙරටට පැමිණ තිබෙනවා.

1948 අපට නිදහස ලැබීමෙන් පසුවයි සංචාරක කර්මාන්තය නිසි ව්‍යාපාරයක් විදියට ආරම්භ වෙන්නේ.

පසුගිය අවුරුදු 10, 20 දෙස බැලුවහම අපේ රටට වැඩිපුරම පැමිණිලා තියෙන්නේ අඩු ආදායම් ලබන සංචාරකයන්. දැනුත් සිදුවන්නේ අඩු ආදායම් ලබන විදේශීය සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මෙරටට පැමිණීමයි. එසේ පැමිණෙන සංචාරකයන් මෙරටදී වියදම් කරන්නේ අඩුවෙන්.

එසේ අඩු ආදායම් ලබන විදේශීය සංචාරකයන් පැමිණෙන අතරතුර ඊට අමතරව විශාල වශයෙන් ආදායම් උපයන ඉතා ධනවත් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අපි කඩිනමින්ම අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා සංචාරක අමාත්‍යාංශය ප්‍රමුඛ සංචාරක මණ්ඩලයේත්, මෙරට සංචාරක හෝටල් ව්‍යාපාරිකයන්ගේත්, මෙරට සංචාරක කර්මාන්තයට ඍජු හා වක්‍රව සම්බන්ධ සියලුම දෙනාගේත් දැඩි අවධානයත්, ඊට අදාළ නිවැරදි වැඩපිළිවෙළකට කැපවීමෙන් යොමුවිය යුතුයි.

පාස්කු ප්‍රහාරය, කොවිඩ් ලෝක වසංගතය, ලෝක ආර්ථික අර්බුදය ඇතුළු කරුණු හේතුවෙන් මෙරට දැඩි ආර්ථික අර්බුදයකට ලක්වුණා. මෙවැනි තත්ත්වයක් තුළදී මෙරට සංචාරක ක්ෂේත්‍රයට ලෝකයේම ධන කුවේරයන්ගේ අවධානය දිනාගැනීම ප්‍රායෝගිකව සිදුකරන්නේ කෙසේද?

ඕස්ටේ්‍රලියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය ඇතුළු ලෝකයේ ප්‍රබල මෙන්ම ධනවත් රටවල්වලටත් අඩු වැඩි වශයෙන් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙලා තියෙනවා.

ඊට අමතරව මැදපෙරදිග ගත්තොත් හැමදාම යුදමය තත්ත්වයක් තියෙනවා. අද බංග්ලිදේශයේ තත්ත්වය ගැන අපි හුඟක් දන්නවා. මේ සියලුම කරුණුවලින් පෙනී යන්නේ ඕනෑම රටකට ඕනෑම වෙලාවක යම් යම් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒක නිසා මොන බාධක ආවත් අපි දැනගත යුතුයි එය කළමනාකරණය කර ගැනීම.

අපේ රටේ සංචාරක කර්මාන්තය යම් කොටුවකට සීමාවෙලා කියලා ඔබ කලින් කිව්වා. සම්ප්‍රදායික තැනක අපේ සංචාරක කර්මාන්තය තියෙනවා නම් එම කොටුවෙන් අපි එළියට යන්නේ කොහොමද?

සංචාරක කර්මාන්තය ගැන පොඩි පන්තිවල සිටම අපගේ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම ඉතාම වැදගත් කියලා මං යෝජනා කරනවා. ඊට අමතරව සංචාරක කර්මාන්තය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා විශ්වවිද්‍යාල මට්ටමින් යම් ආයතනයක් ස්ථාපිත කිරීම වැදගත් වෙනවා. අපේ රටේ ප්‍රධාන හෝටල් බොහෝමයක හිමිකාරිත්වය තියෙන්නේ විදේශිකයන්ට හෝ විදේශීය සමාගම්වලට. නමුත් දැන් දැන් අපේ රටේ සමාගම් සහ අපේ රටේ හෝටල් හිමියන් නව මුහුණුවරකින් සංචාරක කර්මාන්තයට පිවිසීම ආරම්භ කර තිබීම සතුටට කරුණක්.

පෙරට වඩා විදේශීය සංචාරකයෙකු මෙරටට පැමිණෙන විට ඔවුන්ට අපේ රට ගැන ඉතා හොඳ අවබෝධයක්, රක්ෂණයක්, අපේ රටේ සියලුම අංශවලින් පැමිණෙන විදෙස් සංචාරකයන්ට හොඳ ආගන්තුක සද්කාරයක් ලබාදීම. ඉතා නිවැරදි ආගන්තුක සද්කාරයන් ලබාදෙන්නේ කෙසේද? කියලා අදාළ සංචාරක අංශ දැනුවත් කිරීම.

අපේ රටේ ඇතැම් සංචාරක ස්ථාන දෙස බැලූවිට විදේශිකයන්ට අවශ්‍ය අවම සනීපාරක්ෂක පහසුකම්වත් හරියට ලබාදෙන්නේ නැහැ. නමුත් ඒ ස්ථානයට ඇතුළුවීම සඳහා විදේශිකයෙකුගෙන් රුපියල් 5000කට වඩා අය කරගන්නවා. නමුත් ඔවුන්ට පිරිසිදුව සනීපාරක්ෂක පහසුකම් ලබානොදෙන අවස්ථා ගැනත් වාර්තා වෙලා තියෙනවා. සමහර ස්ථාන හුඟක් අපිරිසිදුයි. ඒ තත්ත්වයන් වහාම වෙනස් කරගත යුතුයි. තවත් උදාහරණයක් ලෙස මෙරටට පැමිණෙන සංචාරකයන් බඩු ගන්න ගියාම ඔවුන්ට විවිධ මිල ගණන් කියමින් කේවල් කරනවා. එසේ නොකොට ඉහළ ප්‍රමිතියකින් යුත් භාණ්ඩ නියම කරන ලද මිලකට ඔවුනට අලෙවි කරන වැඩපිළිවෙළකට ගියානම් ඔවුන් අපේ රටට හරිම කැමතියි.

ඇතැම් අවස්ථාවලදී විදේශීය සංචාරකයන් ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේදී යම් යම් දුෂ්කරතාවයන්ට මුහුණදෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඔවුන්ටම වෙන්වූ ප්‍රවාහන පහසුකම් සලසාදීමට හැකියාවක් තිබෙනවා නම් හොඳයි. උදාහරණයක් ලෙස කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹට විදේශිකයන් වෙනුවෙන්ම සුඛෝපභෝගී බස් රථ සේවයක් යොදාගන්න පුළුවන්.

සම්ප්‍රදායික විදේශීය සංචාරකයන්ට අමතරව එම රටවල විශාල ධන කුවේරයන් මෙරටට ගෙන්වා ගැනීමට ඔබට වැඩපිළිවෙළක් තිබෙනවාද? ඒ ගැන ඔබ අධ්‍යයනයක් කරලා තියෙනවාද?

බොහෝ රටවල විදේශීය සංචාරකයන් අපේ රටට එන්නේ ඒ ඒ රටවල ඍතු භේදය නිසා. එම දේශගුණ වෙනස්කම්වලට අනුවයි ඔවුන් මෙරටට පැමිණෙන්නේ. ඒ වගේම ඔවුන් ජීවන වියදම ගැනත් අවධානය යොමු කරනවා. සමහර සංචාරකයන්ට ඒ රටවල ජීවත්වීමට දවසකට වැයවන මුදලින් අපේ රටට ආවොත් දවස් 5ක් විතර ජීවත්වෙන්න හැකියාව තියෙනවා. ඒකත් හොඳ දෙයක් විදියට ඒ අය දකිනවා. ඒ වගේම අපේ රටේ ආහාර සංස්කෘතියට කැමති විශාල විදේශීය සංචාරකයන් පිරිසකුත් ඉන්නවා. අපේ රටේ නැවුම් එළවළු, පලතුරුවලට ඔවුන් හුඟක් කැමතියි. ඊට අමතරව අපේ රටේ උරුමය, ඉතිහාසය, පුරාවිද්‍යාව, බෞද්ධ ශිෂ්ටාචාරය, හෙළ වෙදකම, භාවනා ක්‍රම ඇතුළු තවත් බොහෝ දේවල් පිළිබඳව දැඩි ලෙස උනන්දුවන විදේශීය සංචාරකයන් රැසක් සිටින බව අප අමතක නොකළ යුතුයි. අපේ වනජීවී සම්පත සහ පරිසරය ලෝකයේ වෙන කිසිම රටක අත්විඳින්න ලැබෙන්නේ නැහැ.

විදේශීය රටවල ඉතා ධනවත් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට ඔබ ඔය සඳහන් කරන කරුණු ප්‍රමාණවත්ද?

හොඳටම ප්‍රමාණවත්. මං දැක්කා පසුගිය ෆෝබර්ස් (Forbus) ලෝක ප්‍රකට සඟරාව කියලා තියෙනවා ලෝකයේ සංචාරකයන්ට හොඳම සංචාරක පාරාදීසය තියෙන රටවල් 5 ඇතුළේ ශ්‍රී ලංකාව ඉන්නවා. එක වතාවක් නොවේ. ෆෝබර්ස් ඇතුළු ජාත්‍යන්තර සඟරා අවස්ථා කිහිපයකදීම මේ බව සඳහන් කරලා තියෙනවා. ඒක නිසා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න ලොකු ලොකු දේවල් පිටරට ගිහිල්ලා කරන්න ඕන නැහැ. අපි කළ යුත්තේ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට පහසුකම් ලබාදී ඔවුන්ගේ ආකර්ෂණය මෙරටට වැඩි වශයෙන් ලබාගෙන ඒ හරහා තවත් විදේශීය සංචාරකයන්ගේ අවධානය දිනාගැනීමයි. පිරිසිදුම වාතය, පිරිසිදුම ජලය, අධ්‍යාත්මික සුවය මේ දේවල් හොඳටම ප්‍රමාණවත් සංචාරක කර්මාන්තය මාර්කට් කරන්න. අද තාක්ෂණය දියුණුවෙලා තියෙන්නේ. ඒක නිසා අපේ රටේ සුන්දරත්වය ඇතුළු විශේෂතා එක මොහොතකින් මුළු ලෝකයේම සංචාරකයන්ට දැකගැනීමට හැකියාව තියෙනවා.

බෞද්ධ දර්ශනය අධ්‍යයනය කිරීමට මධ්‍යස්ථාන, හෙළවෙදකම් කිරීම හා එය හැදෑරීමට මධ්‍යස්ථාන, විවිධ භාවනා ක්‍රම ඇතුළු මේවා ගැන දැඩි උනන්දුවකින් සිටින විදේශීය සංචාරකයන් සිටිනවා. රජය සතුව තිබෙනවා ප්‍රධාන නගර කේන්ද්‍ර කරගත් තානායම්. මේ තානායම් නවීකරණය කරලා අලුතින් කාමර 50 බැගින් හෝ එකතු කරලා යම් අලුත් අත්දැකීමක් විදේශිකයන්ට ලබාදෙන්න පුළුවන් නම් එය ඔවුන්ට නැවුම් අත්දැකීමක් වේවි.

මේ කාරණය ඔබ වගකිව යුතු පුද්ගලයන්ට, නිලධාරීන්ට ඉදිරිපත් කළාද?

කාලයක් තිස්සේම ඉදිරිපත් කළා. නමුත් මං කල්පනා කළා, කිය කියා ඉන්නේ නැතුවම මං මට පුළුවන් මට්ටමින් රටට කරන්න ඕන කියලා. ඒක නිසා තමයි අපේ රටේ පළමු තරු 7 හෝටල් ව්‍යාපෘතිය වන අවියානා ව්‍යාපෘතිය ආරම්භ කළේ. ලෝක නායකයන්, විවිධ ක්ෂේත්‍රවල ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් (ක්‍රීඩකයින්, කලාකරුවන්) ලෝකයේ සිටින අති විශාල ධනවතුන් මෙරටට ගෙන්වීම මූලික කරගෙන මං එම ව්‍යාපෘතිය ආරම්භ කළා.

තරු 5 සහ තරු 7 හෝටලයක තිබෙන වෙනස කුමක්ද?

තරු 5 හොඳම හෝටලය එක රෑ කෑම වේලක් වෙනුවෙන් එක් පුද්ගලයෙකුට අඩුම තරමින් රුපියල් 15,000ක්වත් වියදම් වෙනවා. ඇත්තටම ඒ කෑම වේලේ වියදම බැලුවොත් රුපියල් 5000ක් විතර වේවි. සාමාන්‍ය කඩයක වතුර බෝතලයක් රුපියල් 60යි. නමුත් මේක තරු හෝටලයක රුපියල් 500ක්වත් වේවි. එකම වතුර. මෙහි තියෙන්නේ ස්ටෑන්ඩට් එක. ඒ වගේම Brand name එකත් මේකෙදී බලපානවා. ලෝකයේ පිරිසිදුම වාතය, පිරිසිදුම ජලය, රමණීය පරිසරය, අවියානා පරිශ්‍රයට බදුල්ල, නුවරඑළිය, රත්නපුර, මහනුවර, මාතලේ යන දිස්ත්‍රික්ක 5ක් පේනවා. එහෙම ස්ථාන ඉතාම විරලයි. කඳු නැගීම්, පැරා ග්ලයිඩින් (පැරෂුට්), ජොගින්ග්, පාකින් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා. ඍජු හා වක්‍ර රැකියා දහස් ගණනක් හිමිවෙනවා. රටේ ආර්ථිකයට සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් දායකවීමට නම් තවත් හෝටල් ඉදිවිය යුතුයි.

● ආචාර්ය තිසර හේවාවසම්


advertistmentadvertistment