අපේ සියලු සිහින බිඳ වැටුණා මගේ දුවගේ මරණයට ලෝකයම යුක්තිය ඉල්ලනවා – මියගිය වෛද්‍යවරියගේ පියා කියයි

461

“අනේ තාත්තට වෙලාවට බෙහෙත් බොන්න කියන්න. මම ගැන කරදර වෙන්න එපා” යැයි කල්කටාවේ රෝහලකදී අමානුෂික ලෙස දූෂණය කර මරා දමන ලද වෛද්‍යවරිය අවසන් වරට සිය මවට ලබා දුන් දුරකථන පණිවුඩයේ සඳහන් වූ වචන කිහිපය විය. ඝාතන සිද්ධියට පැය කිහිපයකට පෙර රාත්‍රී 11 ට පමණ ඇය තම මවට කතා කර ඇත. ඇගේ පියා අධික රුධිර පීඩනයෙන් පීඩා විඳින රෝගියෙකි. බීබීසී හින්දි සේවය සමග පැවති හමුවකදී මියගිය වෛද්‍යවරියගේ පියා පැවසුවේ “අපේ රාජ්‍යය අපේ රට මේ මුළු ලෝකයම මගේ දුවගේ මරණයට යුක්තිය ඉල්ලා සිටිනවා. අවුරුදු 62 දී මගේ සියලු සිහින බිඳ වැටුණා. වැරදිකරුට දැඩි දඬුවම් දිය යුතුයි.

ඇය මට නිතරම කියනවා මගේ බෙහෙත් වෙලාවට ගන්න කියලා. මට එක මාත්‍රාවක්වත් අතපසු නොකිරීමට ඇය වගබලා ගන්නවා. වරක් මගේ සාමාන්‍ය බෙහෙත් ඉවර වුණා. මම හිතුවා ඊළඟ දවසේ ගන්න පුළුවන් කියලා. වෙලාව රාත්‍රී 10 ට 11 ට පමණ වන්නට ඇති. මේක දැනගත්තම මගේ දුව කිව්වා ‘තාත්තාගෙ බෙහෙත් එනකම් මේ ගෙදර කවුරුත් කන්නේ නැහැ’ කියලා. ඒක මගේ දුවගේ ස්වභාවය විතරයි. එයා මට කිසිම දෙයක් ගැන කරදර වෙන්න දෙන්නේ නැහැ” යනුවෙනි.

ලිංගික අපරාධයකට ගොදුරු වූ තැනැත්තියකගේ සහ ඇයගේ පවුලේ අයගේ අනන්‍යතාව හෙළි කිරීම ඉන්දීය නීතියට පටහැනි බැවින් වෛද්‍යවරියගේ පවුලේ නම් සහ අනෙකුත් තොරතුරු මෙම ලිපියේ දක්වා නොමැත.

කොල්කටා නුවරදී 31 හැවිරිදි වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීම ඉන්දියාවම කම්පනයට පත් කර තිබේ. මෙය සිදු වූයේ පසුගිය 09 වැනිදාය.

චතුර පමුණුව


advertistmentadvertistment