අප වර්ජනය කරන්නේ ඇයි?

184
  • වැටුප

ජාතියක් ලෙස ‘‘වැටුප” යනු කුමක්දැයි තේරුම් ගත යුතුව ඇත. ‘‘වැටුප” වෘත්තීය සමිති සටන් මාතෘකාවක් ලෙස බොහෝ අය සිතති. නමුත් ‘‘වැටුප” යනු රටක වැදගත්ම තීරණාත්මක සාධකයක් වේ. ආයතනයක ඵලදායිතාවයට බලපාන වැදගත්ම හා සංකීර්ණ සාධකයක් වන්නේ ‘‘වැටුප” වේ. එම නිසා යම් කිසි ආයතනයකින් නිවැරදි ඵලදායිතාව ලබා ගැනීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා වැටුප නිවැරදිව කළමනාකරණය කළ යුතුය. එසේම එම ආයතනය රාජ්‍ය අංශයේද පෞද්ගලික අංශයේද යන තත්ත්වයෙන් තොරව ඕනෑම සංවිධානයක වැටුප කියන දේ නිවැරදිව කළමනාකරණය කිරීම සඳහා එම ආයතනයේ භාරකරුවන් කටයුතු කළ යුතුය. පුද්ගලික අංශයේ එලෙස කටයුතු සිදු කෙරේ. රාජ්‍ය අංශයේ ආයතනයන්ගෙන් ඉහළම ඵලදායිතාවක් බලාපොරොත්තු වන්නේ නම් වැටුප යන්න නිවැරදිව කළමනාකරණය ඉතාමත්ම අත්‍යවශ්‍යය.

  • වැටුප තීරණය කිරීම

වැටුප තීරණය කිරීමේදී සැලකිය යුතු ප‍්‍රධානම කාරණයන් වන්නේ අදාළ රාජ්‍ය නිලධාරියාගේ වගවීම, වගකීම, සුදුසුකම්, රාජකාරියේ ස්වභාවය සහ කාර්ය සාධනය යනාදිය වේ. යම් කිසි ආයතනයකින් නිවැරදිව/ ඵලදායි සේවාවක් ලබා දීමට නම් එහි මානව සම්පත නිවැරදිම සංයුතියකින් තිබිය යුතුමය. ඒ එහිදී වැටුප හා වැටුප් පරිමාණ නිවැරදිව රාමුගත කිරීම සිදු කළ යුතු වේ. නිවැරදි සංයුතිය ලැබෙන්නේ ඒ තුළින් වේ. යම් කිසි ක්ෂේත‍්‍රයක් ප‍්‍රමිතියෙන් යුතුව නිවැරදිව සේවාව පවත්වාගෙන යෑම සඳහා සුදුසුකම් ලත් පිරිස් ඒ තුළට ආකර්ෂණය කර ගත යුතුය. එසේ ආකර්ෂණය කර ගත් පිරිස් සේවය තුළ රඳවා ගැනීමට, අදාළ ස්ථානවලට යෙදවීම, උපරිම කාර්යක්ෂමතාව ලබා ගැනීම යන කාරණාවේදී ඒ සඳහා ලබා දෙන මූල්‍ය වටිනාකම වැදගත් බව සැලකිය යුතුය. වැටුප යන්න බොහෝ සංවේදී කාරණයක් බැවින් අන්තවාදී, දේශපාලන හා අනිකුත් බලවේගයන්ට එය අවස්ථාවාදී ලෙස භාවිත කළ හැක. ආයතනය ඇතුළත අස්ථාවර කිරීමට හා එහි ඵලදායිතාව බිඳ දැමීමට එමගින් හැකිය.

  • වැටුප සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කවුද?

යම් ආයතනයක වැටුප් පරිමාණය නිර්මාණය කිරීම සඳහා පළමුව ආයතන ව්‍යුහයක් සැකසිය යුතුය. ආයතන ව්‍යුහයක් සකසා, ඒ අදාළ නිලධාරීන් ලෙස පත් කරන්නේ කවුද යන්න තීරණය කර ඒ ඒ අයට අදාළ වැටුප් පරිමාණ තීරණය කිරීම බොහෝම විද්‍යාත්මකව සිදු කළ යුතු කාරණයකි. ඒ සඳහාම අධ්‍යාපනය ලද අය වේ. ලෝකයේ අනික් රටවල මෙන්ම ශ‍්‍රී ලංකාවේද කළමනාකරණය වැනි ක්ෂේත‍්‍රවල වැටුප් පරිමාණ පිහිටුවීම පිළිබඳව අධ්‍යාපනය ලද පිරිස් සිටී. ඒ අයගේ සහභාගිත්වයෙන් ආයතනික ව්‍යුහය හා වැටුප යන කාරණා ද්විත්වය සකස් කර ගත යුතු වේ. වැටුප යන සාධකය අන්තවාදීන්ට කලබල ඇති කිරීමට, ආයතන අස්ථාවර කිරීමට භාවිත කිරීමට ඇති ඉඩකඩ ඇහිරිය යුතු වේ. ඒ සඳහා වන කළමනාකරණය ඉතාමත් විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අධ්‍යයනයකින් යුතුව කළ යුතු වේ.

  • ඒ සම්බන්ධ අත්දැකීම්.

2003 වර්ෂයේ දිනෙක දිවයින පුවත්පතේ කතුවැකියක දවස් 365 න් දවස් 187 ක්ම සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවල යෙදුනු බව සඳහන් කර තිබිණි. එම තත්ත්වය සෞඛ්‍ය සේවාව ලබා ගැනීමට පැමිණෙන රෝගීන් ඇතුළු මහජනතාවට කිසිසේත්ම හිතකර තත්ත්වයක් නොවේ. එය සෞඛ්‍ය සේවාව අප‍්‍රසන්න තත්ත්වයකට පත්කිරීමක් සේම එපාවීමකි. වර්ජනයන්ට හේතුවී ඇත්තේ එකල වැටුප් පරිමාණ ගැන නොදත් පිරිස් වැටුප් පරිමාණ නිර්ණය කිරීමට පටන් ගැනීම ය. අමාත්‍යාංශය කමිටු තුළ ඉහළ පරිපාලන නිලධාරීන් සිටියද වැටුප් නිර්ණය සම්බන්ධයෙන් ඔවුන් තුළ දැනුම අල්පය. එය වෙන විද්‍යාත්මක ක‍්‍රමවේදයකි. අමාත්‍යාංශ කමිටු තම නිර්ණයන් කැබිනට් කමිටු වලට යොමු කරනු ලබයි.නිරන්තරයෙන් සිදුවන වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් සෞඛ්‍යය පෞද්ගලික අංශයේ සේවයක් කිරීම වඩා ඵලදායි විය හැකියි යන හැඟීමක් මහජනයා තුළ ඇතිවන්නට විය. නමුත් ඒ සඳහා අප විසඳුමක් ලබා දී තිබේ.

  • ඒ සඳහා ලබා දුන් විසඳුම…

ඒ අවධියේ රටේ ජනාධිපති වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියය. අගමැති ලෙස කටයුතු කරනු ලැබුවේ රනිල් වික‍්‍රමසිංහ මහතාය. මුදල් අමාත්‍යවරයා ලෙස චොක්සි මහතා සහ ලේකම්වරයා ලෙස චරිත රත්වත්තේ මහතා කටයුතු කරනු ලැබීය. ඔවුන් සමග සාකච්ඡා කොට වැටුප සඳහා විද්‍යාත්මකව කටයුතු කිරීමට ජාතික වැටුප් කොමිෂන් සභාවක් පත් කරන ලෙස අප ඉල්ලීම විය. අපගේ ඉල්ලීම පරිදි ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වැටුප් කොමිසමක් පත් කරනු ලැබීය. පූර්ණ කාලීන වැටුප් කොමිසමක් හිමි වූයේ එතැන් සිටය. එතෙක් තිබූ වැටුප් කොමිෂන් කොමිසම තාවකාලික වැටුප් කොමිෂන් වේ. එතෙක් මේ වැටුප් කොමිෂන් නම් නම් කර තිබුණේ එහි සභාපතිවරයාගේ නමින් මිස වැටුප් කොමිසමක් ලෙස නොවේ. ඒවා කොමිසමක් යැයි හඳුන්වා දීමට වඩා කමිටු ලෙස හැඳින්වීම යෝග්‍ය වේ. එවන් තත්ත්වයක් තුළ පූර්ණ කාලීන අධ්‍යනයකින් පූර්ණ කාලීන වගවීමක් සහිතව ස්ථිර ජාතික වැටුප් කොමිෂන් සභාවක් බිහි කිරීමට හැකියාව ලැබිණි.

මහින්ද රාජපක්ෂ රජය යටතේ වැටුප් කොමිසමට අවශ්‍ය සහාය ලබා දීම සිදුවුණි. ඒ හේතුව මත 2003 – 2006 දක්වා තිස්ස දේවේන්ද්‍ර මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙරට පළමු වතාවට විද්‍යානුකූල පදනමකින් යුත් ජාතික වැටුප් ප‍්‍රතිපත්තියක් බිහි කිරීම සඳහා ක‍්‍රියාමාර්ග ආරම්භ කෙරිණි.

  • වැටුප විද්‍යානුකූල පරිමාවක පිහිටා තිබේද ?

පිළිතුර නැත යන්නය. එහි ජාතික වැටුප් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුය. ඒ කියන සංකල්පය මේ තුළින් තුළින් බිහිවූ බව සැබෑවකි. ඒ සංකල්පයේදී වැටුප කියන කාරණයෙහි කොටස් කෙසේද? මූලික වැටුප, මූලික වැටුපෙත් ආරම්භක ස්ථාවරය, වැටුප් වර්ධක, මූලික වැටුපේ අවසානය, ශ්‍රේණි උසස් වීම සඳහා ලබා දෙන දීමනා, අනිකුත් වරප‍්‍රසාද, නිවාඩු, ශිෂ්‍යත්ව වැනි කාරණා මේ සියලූ අංග ගැන මේ ප‍්‍රතිපත්තිය ඔස්සේ නිර්ණායක නිර්මාණය කළ යුතුය. තිස්ස දේවේන්ද්‍ර මහතා නිර්මාණය කර ඇත්තේ මූලික වැටුපේ ආරම්භක පියවර පිළිබඳ ප‍්‍රතිපත්තිය පමණය. වැටුප් පරිමාණ නිවැරදි කිරීමේ තවත් අංග බොහෝමයක් සඳහා අවධානයට යොමු කළ යුතුය. නිර්මාණය කළ යුතුය. ඒ සංකල්පය ඉදිරිපත් වූයේ 2006 වර්ෂයේදී වේ. එහෙයින් වැටුප පිළිබඳ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග බෙහෙවින්ම අඩු ව තිබිණි. ඒ අඩුවීම නිරීක්ෂණය කරනු ලැබීය. එලෙස වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අඩු වීමට ප‍්‍රධාන හේතුව ලෙසින් නිරීක්ෂණය වූයේ වැටුප සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම විද්‍යාත්මක සාකච්ඡා මණ්ඩපයක් තිබීම ය. මූලික වැටුපේ ආරම්භක ස්ථාවරය පමණක් ඇති බවය. වැටුප් වර්ධක, වැටුප් අවසාන වීම, දීමනා, අනිකුත් වරප‍්‍රසාද, නිවාඩු, ශිෂ්‍යත්ව වැනි දෑ පිළිබඳ ප‍්‍රතිපත්තියක් ආදී මේ අංග පිළිබඳ ප‍්‍රතිපත්තීන් අත්‍යවශ්‍යය.

ගුරුවරුන් පිළිබඳ සැලකීමේදී ඒ අයගේ විභාග රාජකාරි, ප‍්‍රශ්න පත‍්‍ර බැලීම් ආදී ඔවුන්ටම ආවේණික වූ රාජකාරි පිළිබඳ ප‍්‍රතිපත්ති වැනි දෑ පිළිබඳ ප‍්‍රතිපත්ති නිර්මාණය කිරීම තවම සිදුව නොමැත. යම් යම් ගැටලූකාරී තත්ත්වයන් ඇතිවන්නේ ඒ තුළිනි. දැනට සිදුව ඇත්තේ වැටුප ප‍්‍රශස්ත මට්ටමට පත්වන මාර්ගයට පිවිසීම පමණය. වැටුප් ප‍්‍රතිපත්තිය තවම සර්ව සම්පූර්ණ වී නොමැත .

  • දේශපාලනඥයින් කළ යුත්තේ කුමක්ද?

පළමුව දේශපාලනඥයන් කළ යුතු වන්නේ වැටුප නිර්මාණය කිරීම ජාතික වැටුප් කොමිසමට අයත් රාජකාරියක් මිසක් තමන්ගේ රාජකාරියක් නොවන බව හඳුනා ගැනීමය. අමාත්‍යාංශ වැටුප් කමිටු, කැබිනට් වැටුප් අනුකමිටු ඒ සියල්ල නතර කර යුතුය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය වැටුප් කොමිසම පිහිටු වූ පසු කැබිනට් මණ්ඩලය හරහා වැටුප් පරිමාණයන් ලබා දීමට උත්සාහ කර නැත. වැටුප නිවැරදි අධ්‍යයනයකින් තොරව නිර්ණය වූ පසු ඒ කටයුත්තට බාධා වීම් සිදු වීම අනිවාර්යය. වැටුප් සම්බන්ධ සෑම ගැටලූවක්ම වැටුප් කොමිසමට යොමු කිරීමට ඉහත ජනාධිපතිවරුන් කටයුතු කර තිබිණි. නමුත් යහපාලන ආණ්ඩුව, අධිකරණ සේවයටත්, මහ බැංකුවටත් වැටුප් වැඩි කිරීම කැබිනට් පත‍්‍රිකා මගින් සිදු කරනු ලැබීය. ඒ එහෙයින් වැටුප් පරිමාණවල විශාල අසමතුලිතභාවයන් තිබීම නිසා විශාල අසහනයක් රාජ්‍ය සේවය තුළ ඇතිවිය. එසේම ගුරුවරුන්ගේ වැටුප් ප‍්‍රශ්න සාධාරණ ආකාරයෙන් විසඳීම සඳහා ප‍්‍රවිශ්ඨයක් ලබා ගනු වෙනුවට වැටුප් කොමිෂන් සභාව ඒ පිළිබඳ දැඩි මතධාරීව කළමනාකරණය කිරීම සිදුකිරීම අභාග්‍යසම්පන්න විය. වැටුප් කොමිසම, ඒ පිළිබඳ දැනුම් තේරුම් සහිත විශේෂඥයන්ගේ අවශ්‍ය දායකත්වය නොගෙන ඔවුන් වැටුප සම්බන්ධ කටයුතු සිදු කරන්නට විය. වැටුප් කොමිසමේ සංයුතිය පමණක් නොව එහි කටයුතු කරන්නන් ඒ සඳහා සුදුසු ද යන්න තහවුරු කිරීම රජයේ වගකීමකි.

  • යහපාලන සහ වත්මන් රජය

යහපාලන රජයේ කටයුතු එලෙස වත්මන් ආණ්ඩුවද සිදුකරන බව දැකීමට හැක. ප‍්‍රතිපත්ති සහ නීති රකින ආණ්ඩුවක් ලෙස ඉදිරියට පැමිණියද එය එසේ කළේ ද යන්න ප‍්‍රශ්නයකි.

එබැවින් අප රජයෙන් පහත සඳහන් ඉල්ලීම් ත‍්‍රිත්වය ඉල්ලා සිටිනු ලැබීය . ඒවා නම්,අමාත්‍යාංශ වැටුප් කමිටු, කැබිනට් වැටුප් කමිටු වැනි වැටුප හා වැටුප් නිර්ණයන් සඳහා වගකීම හා වගවීම නොදරන ආයතන වලින් වැටුප් පිළිබඳ තීරණ ගැනීම නතර කිරීම,

වැටුප් කොමිෂන් සභාවට වැටුප පිළිබඳ ප‍්‍රශ්න ඉදිරිපත් කිරීම, ජාතික වැටුප් කොමිෂන් සභාව වඩා ශක්තිමත් කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන විද්වත්භාවය, දැනුම් තේරුම් ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම, මූල්‍ය සහ අනිකුත් ප‍්‍රතිපාදන ලබා දීම. විශ‍්‍රාම ගත් අයට පමණක් සිටිය හැකි වැටුප් කොමිසමක් වෙනුවට දැනුම් තේරුම් ඇති රාජකාරි කළ හැකි අයව පත් කර ගැනීම, වැටුප් නිර්ණය කළ පසු ගැටලූ ඇති වේ නම් ඒ පිළිබඳ වගවීම ගැනීම වැටුප් කොමිසමට පවරන්න කියන දේ අපි පෙන්වා දෙන ලදි.

ජාතික වැටුප් ප‍්‍රතිපත්තියක් රටට අවශ්‍යය. එය පෞද්ගලික අංශයටද ව්‍යාප්ත කිරීමක් පිළිබඳ පසුගිය කාලයේ සාකච්ඡා කකරනු ලැබීය. රටට හා පෞද්ගලික අංශයට ජාතික වැටුප් ප‍්‍රතිපත්තියේ අංග දැනට හෙළි කර ඇත්තේ මූලික වැටුපේ ආරම්භක තත්ත්වයට පමණය. එහි ඉතුරු වැටුප් වර්ධක, දීමනා හා අනිකුත් වරප‍්‍රසාද ඇතුළු නිවාඩු ඇතුළු සියලූ දේ පිළිබඳ අවශ්‍ය කරන ප‍්‍රතිපත්ති රාමුව සකස් කර මුළු රාජ්‍ය සේවයේම නිවැරදි වැටුප් පරිමාණයෙන්ගේ පිහිටුවීම කියන දැඩි වගකීම ආණ්ඩුවක් සතුවේ.

  • වැටුප සකස් විය යුත්තේ කෙසේද?

පළමුව යම් කිසි වැටුප් පරිමාණවල අඩුපාඩුවක් හෝ විෂමතාවක් හෝ වැටුප් ගැටලූවක් ඇති නම් එය අදාළ අමාත්‍යාංශය හරහා හෝ ඍජුවම වැටුප් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුය. එය වැටුප් කොමිෂන් සභාව යම් කිසි කාලයක් ඇතුළත එය අධ්‍යනය කොට වාර්තා ඉදිරිපත් කරන්නට අවශ්‍යය. එලෙස ඉදිරිපත් කළ පසු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එහි ඇති ප‍්‍රතිපත්තිමය, එය අනික් සියලූ ක්ෂේත‍්‍රවලට බලපාන ආකාරය ඒ අයගේ වාර්තාවක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලබා දිය යුතුය. එය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලබා දුන් පසු මුදල් අමාත්‍යාංශයෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන, මූල්‍ය සඛ්‍යතාව පිළිබඳ ඒ අයගේ නිර්දේශ ලබා දිය යුතුය. ඒ අනුව වැටුප් නිවැරදි කිරීම සඳහා හෝ වැටුප් වැඩි කිරීම සඳහා අවශ්‍ය කටයුතු එකවර සිදු කරනවාද, පියවර කිහිපයකින් හෝ වසර කිහිපයකින් සිදු කරනවාද, ඒ වෙනුවට වෙනත් විකල්ප යෝජනා කරනවාද යන්න සාකච්ඡාවට ගැනේ. ඒ සඳහා අනික් වෘත්තීය සමිති වලට තමන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාවක් දී පසුව එය කැබිනට් මණ්ඩලයට යොමු කළ යුතුය. කැබිනට් මණ්ඩලය හෝ අයවැය පනත හරහා මේ කියන මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දෙන විට යම් කිසි නිවැරදි ක‍්‍රමවේදයකට අධ්‍යයන වෙලා තමයි එළියට එන්නේ. එවිට වැටුප් පිළිබඳ සාධාරණ තත්ත්වයක් ඇතිවේ.

  • යෝජිත් වැටුප් ප‍්‍රතිප්තියේ දිශානතිය..
අප වර්ජනය කරන්නේ ඇයි?

ලෝකේ අනිකුත් රටවල ජාතික වැටුප් ප‍්‍රතිප්තියෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර වෘත්තීය කොමිසම (International Occupational Commission) යටතේ වෘත්තීය හා රැකියා පිළිබඳ ජාතික ප‍්‍රතිපත්ති සාදා තිබේ. පාසල් සිසුවෙකුට වුවත් තමන්ගේ කරන්න හදන රාජකාරිය එහි වැටුප යන සියල්ල දැකබලා ගන්න පුළුවන් අයුරින් වෙබ් අඩවිවල පළ කර ඇත. ඒ අනුව තමන්ට කොපමණ දුරට අධ්‍යාපනය හදාරනවාද, විශ්වවිද්‍යාලයකට නොගිහින් රැකියාවටකට පිවිසෙනවාද යනාදිය පිළිබඳ තීරණ ගත හැකිය. මුළු රට තුළම මේ නිසා ස්ථාවරභාවය ඇති වේ. අවම වශයෙන් ශ‍්‍රී ලංකාවේද මෙවන් ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීමට ආරම්භක පියවරවත් තබනවා නම් වඩා යහපත් වේ.

විශේෂඥ වෛද්‍ය
අනුරුද්ධ පාදෙණිය
සභාපති, රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment