අබලන් පාරුවක අවසන් ගමන් ගිය කින්නියා අහිංසකයෝ

171

හය දෙනෙක් මරුට

මිය ගිය අය අතර එකම පවුලේ තිදෙනෙක්

කින්නියා තොටුපළට මීටර් 50ක් දුරින් පාරුව පෙරළෙයි

දින ගණනාවක් තිස්සේ ඇද වැටෙන වර්ෂාව හේතුවෙන් රටේ ඇතැම් ප‍්‍රදේශ මුල්කර ගනිමින් සිදු වූ විපත් බොහෝය. එම විපත් හේතුවෙන් මිනිස් ජීවිත කීපයක්ද අකල්හී මරණයට පත්වූහ. එම මරණවලට හේතුව බවට පත් වන්නේ මිනිස් ජීවිත මතට පස්කඳු කඩා වැටීමයි. ක‍්‍රමයෙන් එම ඛේදවාචකය නිමාවට පත්වෙමින් පවතින වටපිටාවක තවත් ඛේදවාචකයක් පිළිබඳ පුවතක් ඉකුත් 23 දා වාර්තා විය. ඒ අනුව එකක් පසුපස එකක් ඛේදවාචක නිර්මාණය වෙමින් ඇත. මිනිස් ජීවිතවලට හිමිවිය යුතු අවම සුරක්‍ෂිත බව පවා අහිමිවෙමින් පවතින බවට ඉඟි පළ කරමින් එම අවාසනාවන්ත පුවත වාර්තා වූවේ ති‍්‍රකුණාමලය කින්නියා ප‍්‍රදේශය මුල්කර ගනිමින්ය. වාර්තා වන ආකාරයට එම අවාසනාවන්ත සිදුවීම් මාලාව පෙළ ගැසෙන්නේ පහත සඳහන් ආකාරයෙන් ය.

කින්නියා කුරින්ඤන්කර්නි ගම් වැසියන් හා බාහිර ලෝකය එකට මුහුවෙන ගොඩබිම් මාර්ගය දිරාපත් වෙමින් අබලන් තත්ත්වයට පත්වීම ආරම්භ වන්නේ කලක පටන්ය. මෙම මාර්ගයේ පිහිටි පැරණි පාලම කඩා වැටීමට ආසන්න බව වටහා ගත් ප‍්‍රදේශවාසීන් කලක පටන් පාලකයන්ගෙන් කළ ඉල්ලීමක් විය. එනම් ගමට ප‍්‍රමාණවත් ප‍්‍රවාහන පහසුකම් පිණිස පාලම අලූත්වැඩියා කරදෙන ලෙසය. ඉබි ගමනින් ගමට එන සංවර්ධනය හමුවේ එම ඉල්ලීම එක්වරක් ‘මුල්ගලකට’ පමණක් සීමා විය. ගම්වාසීන් පවසන ආකාරයට එම මුල්ගල පැළ කරන ලද්දේ මැතිවරණයක් ඉලක්ක කර ගනිමින්ය. එම මැතිවරණයෙන් ‘යහපාලනය’ පහළ විය. ඒ හරහා කුරින්ඤන්කර්නි ජනතාව ඉල්ලා සිටි යහපත පහළ වූයේ නැත. තත්ත්වය තව තවත් අයහපත් වී ඇත.

අබලන් පාරුවක අවසන් ගමන් ගිය කින්නියා අහිංසකයෝ

යහපාලන රජයෙන් පසු වත්මන් රජය බලයට පත්විය. එවරද කින්නියා කුරිඤ්ඤන්කර්නි වැසියන්ගේ ඉල්ලීම බවට පත් වූයේ අබලන් පාලම වෙනුවට අලූත් පාලමක් ඉදිකර දෙන ලෙසය. කින්නියා නගර සභා සහ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ මුල්කර ගනිමින් පදිංචි විශාල පිරිසකට ඉන් සෙතක් වන බව ඔවුහු දිගින් දිගට ම පෙන්වා දුන්නහ. ඒ පිළිබඳ ඉල්ලීම් කළහ. එම ඉල්ලීම් සහ අවශ්‍යතාවය හඳුනාගැනීමෙන් අනතුරුව එම සංවර්ධන කටයුත්ත නැවත ආරම්භ කරනු ලබන්නේ වත්මන් රජයේ මැදිහත්වීම මතය.

ඒ අනුව 2021 අපේ‍්‍රල් මස නව පාලමක් ඉදිකිරීමේ කටයුතු අරඹන වත්මන් රජය අදියර තුනක් යටතේ එම කටයුත්ත ආරම්භකර ඇත. එහිදී ගම්වැසියන්ගේ පහසුව පිණිස කිලෝ මීටර 3 1/2 කින් යුත් විකල්ප මාර්ගයක් ඉදිකිරීමට ද අවසර ලබා දී ඇත. නව පාලමේ ඉදිකිරීම් අවසන්වන තෙක් එම විකල්ප මාර්ගය පාවිච්චි කරන බවටවන කොන්දේසිය මත නව පාලමේ ඉදිකිරීම් ආරම්භකර ඇත. කිලෝ මීටර 3 1/2ක දුර ප‍්‍රමාණයකින් යුත් විකල්ප මාර්ගය භාවිත කිරීම පිණිස ගතවන කාලයත් එම මාර්ගය හරහා ගමන් කිරීමට පොදු ප‍්‍රවාහන සේවා නොමැති වීමත් එතැන් සිට ගම්මුන්ට මුහුණ දීමට සිදු වූ තවත් ගැටලූවක් වී ඇත. එම දුර ගමන් කිරීම පිණිස ත‍්‍රිරෝද රථයක් අයකර ඇති මුදල රු 500 ක් බැවින් දිනපතා එවැනි මුදලක් වැය කිරීමට ඔවුන්ට ආර්ථික ශක්තියක්ද නැත.

ගමට පාලම් පාරුව පැමිණෙන්නේ ඉන් අනතුරුවය. (මෙම අනතුරින් පසු හෙළිදරව් වන කරුණුවලට අනුව එම පාලම් පාරුව පිළිබඳ විවිධ කතා මතුවෙමින් ඇත. එම කතා පිටුපස ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය දේශපාලන බලවතුන්ගේ නම් ගම් පවා සඳහන්ව ඇත.) එතැන් සිට ගම්වැසියන් බාහිර ලෝකයට පැමිණීම පිණිස කලපු දිය තරණය කළ යුතුය. මිනිස් ජීවිත පමණක් නොව යතුරුපැදි, තී‍්‍රවිල් රථ ආදිය පටවාගත් අබලන් පාලම් පාරුවක් කුරින්ඤන්කර්නි කලපුව හරහා එහා මෙහා ගමන් කිරීම එගම් වැසියන්ට සාමාන්‍ය දර්ශනයක් බවට පත්වන්නේ පාලමක් වෙනුවට පාරුවක් ගමට පැමිණීමත් සමගය.

ඉකුත් 23 වන දිනය ද එවැනි දිනයක්ය. උදෑසන හිරුඑළිය වෙනදා මෙන් දීප්තියෙන් තොරය. ඊට හේතුව බවට පත්ව ඇත්තේ අහස වැහිබර වීමය. කලපුදිය මුසු වීම හේතුවෙන් හමන සුළඟ පවා තෙත බර ගතියකින් යුක්තය. මේ සියල්ලට වඩා එදින දකින්නට ලැබුණා දෙයක් බවට පත්ව ඇත්තේ කලපු දිය කඳ තරමක් උස්ව එමෙන්ම වේගවත්ව පහළට ගලාගෙන යෑමය. පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳ ගම්මුන්ට තැකීමක් නැත. ඔවුන් උදෑසනම තොටුපළ වෙත පැමිණෙන්නේ පාලම් පාරුව මතින් කලපුව තරණය කිරීම පිණිසය. එලෙස පැමිණෙන එකා දෙන්නා තොටුපළ අසල එක්රැස් වන අතර පාරුව ගමන් ආරම්භ කරන්නේ පමණ ඉක්මවන ලද පිරිසක් පාරුව මතට ගොඩවීමෙන් අනතුරුවය. එම පිරිස අතරට එකම පවුලට අයත් මව්වරුන් දුවා දරුවන් සහ සහෝදර සහෝදරියන් ද අයත් වූහ.

අබලන් පාලම් පාරුව සිය මරණීය චාරිකාව ආරම්භ කර කලපු දිය මත තරමක දුරක් ගමන් කර ඇත. තම කුඩා දරුවන් දෙදෙනා රැගත් මවක් කලපුවේ අසිරිය දකින සිය කුඩා දරුවන් දෙදෙනා ඇය සමීපයට ගැනීමට උත්සුක වන්නේ වෙනදාට නොදැනෙන කුමක්දෝ අමුත්තක් විසින් කරන ලද බලපෑම හේතුවෙන්ය. පාරුවේ ගමන් ගත් අනිකුත් පිරිස ද ආගිය තොරතුරු ආදිය පිළිබඳව කතා බහ සිදුකරමින් පාරුවේ අවදානම් සහගත ගමනකය. බැරි බරක් සහිත පාලම් පාරුවට කලපු දිය මත තවදුරටත් ගමනක් නැත. කුමන හෝ හේතුවක් මත පාරුවේ සමබරතාවය බිඳී යන්නේ ඉන් අනතුරුවය.

අබලන් පාරුවක අවසන් ගමන් ගිය කින්නියා අහිංසකයෝ

ගමනාන්තයට මෙපිටින් පිහිටි ගැඹුරු දිය මත පාරුව ගිලී යෑමට ආරම්භ වීමත් සමග උදාවී ඇත්තේ මරණීය විනාඩි කීපයක් ය.

පාලම් පාරුව පෙරළීමත් සමග ඇතැමෙක් දියට පැන පිහිනන්නට වූ අතර කාන්තාවන් කුඩා දරුවන් ඇතුළු තවත් පිරිසක් මර විලාප නඟන්නට වූහ. ජීවිතය ඉල්ලා ඔවුන් නඟන විලාප හඬ ඇසීමත් සමග ප‍්‍රදේශවාසීන් ඒ පිළිබඳව විමසිලිමත්ව ඇත. එහිදී ඔවුන්ට දකින්නට ලැබී ඇත්තේ උදේ හවස මුණ ගැසෙන තම සහෝදර ගම්වාසීන් පිරිසක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන ආකාරයක්ය. දියේ ගිලෙමින් පැවැති පිරිස බේරා ගැනීම පිණිස කරන ලද මෙහෙයුම් ආරම්භ වන්නේ ඉන් අනතුරුව. ගම්වාසීන් කින්නියා පොලිසිය සහ නාවික හමුදාව එක්ව සිදු කළ මෙහෙයුම් මගින් විසි දෙනකු පමණ පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වන අතර පාලම් පාරුවේ ගමන් ගත් පිරිස අතරින් හය දෙනෙකු ඒ වන විට ද මරණයට පත්ව තිබීම කින්නියා ඛේදවාචකය විසින් ඉතිරි කළ බරපතළ රිදුම විය. මියගිය පිරිස අතර එකම පවුලේ තිදෙනෙක් වූහ. උදෑසන සිය නිවසින් පිටත්වූ මවක් සහ කුඩා දරුවන් දෙනෙක් ඒ අතර විය. ඊට අමතරව මියගිය පිරිස අතරට එකම පවුලේ අක්කා නගෝ දෙදෙනෙක්ද අයත් වූහ. මියගිය අනෙක් පුද්ගලයා 70 හැවිරිදි අයෙක්ය. තවත් විසි දෙනෙක් පමණ පිරිසක් මෙම අනතුර හේතුවෙන් එදින රෝහල්ගත කොට ඇත. එය ඛේදවාචකයක් ලෙස ඉතිහාසයට එකතු වන අතර සිදුවීමෙන් කුපිත වන ප‍්‍රදේශවාසීන්ගේ නොසන්සුන් භාවය හේතුවෙන් ප‍්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුට අයත් නිවසක් වෙත ගල්මුල් ප‍්‍රහාරයක් ද එල්ලවී ඇත. වාර්තා වන ආකාරයට කින්නියා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට කිසියම් පිරිසක් විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයක් හේතුවෙන් රාජ්‍ය දේපළ ආදියට පවා හානි සිදුවී ඇත.

අබලන් පාරුවක අවසන් ගමන් ගිය කින්නියා අහිංසකයෝ

හය දෙනකු මරණයට පත්කළ ඛේදවාචකයේ අතුරු ප‍්‍රතිඵල නිකුත් වන්නේ ඒ ආකාරයෙන්ය. එහි උණුසම තවදුරටත් ගමන් කර මේ වන විට මැති සබය දක්වා පැමිණ ඇත. මිනිස් ජීවිත හයක් රටට අහිමි කළ එම අවාසනාවන්ත සිදුවීම දේශපාලන මුහුණුවරක් ගැනීම ආරම්භ වන්නේ එතැන් සිටය. මේ වන විට එම සිදුවීම පිළිබඳව පක්‍ෂ, විපක්‍ෂව අදහස් හුවමාරු වෙමින් ඇත. පිරිසක් තවත් පිරිසක් වෙත චෝදනා එල්ල කරමින් ඇත. එම අනතුරින් මියගිය පිරිසටවත් තවදුරටත් මරණය සමග ජීවත් වන කුරින්ඤන්කර්නි ඇතුළු අවශේෂ ගම්දනව් ආදියේ ජීවත් වන දුප්පත් ජනතාවටත් එම තර්ක විතර්ක ආදියෙන් පලක් නැත. ඔවුන් තවදුරටත් උස් හඬින් ඉල්ලා සිටින්නේ පාට, පක්‍ෂවලින් තොර සංවර්ධනයක් තම ගම්බිම් මත ඇති කළ යුතු බවත් එම ප‍්‍රමාදවීම හේතුවෙන් මියගිය ගම්වාසීන්ගේ ජීවිත පිළිබඳ වගකීම දේශපාලනඥයන් විසින් භාරගත යුතු බවත්ය. ‘හදිසි අනතුරු’ පැමිණෙන්නේ කලින් දැනුම් දීමකින් තොරවය. එබැවින් කළ යුතුව ඇත්තේ මිනිස් ජීවිත නිකරුණේ අනතුරේ හෙළන එපමණක් නොව මරණයෙන් කෙළවර කරන එවැනි අනතුරුදායක ස්ථාන පිළිබඳ කල්තබා හඳුනා ගැනීමත් ඊට නිසි විසඳුම් සැලසීමත්ය. සුපුරුදු පරිදි කින්නියා අනතුරෙන් පසු එම ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ගමනාගමන පහසුව පිණිස ලංගම බස් රථ සේවාවක් ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වූ පුවතක් ද විය. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක් නැත. කින්නියාවේ වේවා රටේ වෙනත් පළාතක වේවා මෙවැනි විපත් හේතුවෙන් රටට අහිමි වෙමින් පවතින්නේ මිනිස් ජීවිතය. විපතක් සිදුවීමත් සමග වන්දි මුදලක් හෝ ශෝකය ප‍්‍රකාශ කිරීම තුළ ජීවිතයකට වටිනාකම් ලබාදිය නොහැකිය. එබැවින් පළමුව කළ යුත්තේ මිනිස් ජීවිත සුඛිත මුදිත කිරීම කෙසේ වෙතත් අවම සුරක්‍ෂිත බවක් තුළ හෝ ජීවිත ආරක්‍ෂා කරවීමය.

කින්නියා ඛේදවාචකය එකක් පමණය. මෙවැනි අනාරක්‍ෂිත ස්ථාන රටේ තවත් ස්ථාන බොහොමයක ඇත. දිරා ගිය වැල් පාලම් මතින් ජීවිතයත් මරණයත් අතර සක්මන් කරන මිනිසුන්ද ඒ අතර වෙති. මහත්වරුනි… කින්නියා සිදුවීම මුල්කරගෙන හෝ ඔවුන් ගැන සොයා බලනු මැනවි. මිනිස් ජීවිත යනු මැතිවරණ පෝලිමට එක්වී කතිර සලකුණු කරන නොවටිනා සත්ව කොට්ඨාසයක් පමණක් බව නොසලකනු මැනවි.

****

අබලන් පාරුවක අවසන් ගමන් ගිය කින්නියා අහිංසකයෝ

මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ ඉකුත්දා පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක් සිදුකළ ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එහිදී සඳහන් කර සිටියේ අනපේක්‍ෂිත අයුරින් කින්නියා කුරින්ඤන්කර්නි කලපුවේ පාරුව පෙරළීමෙන් ඇතිවූ අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය පාසල් දරුවන් මෙන්ම වැඩිහිටියන් සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාට රජයේ සහ තමන්ගේ බලවත් කනගාටුව ප‍්‍රකාශ කරන බවයි. රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටියේය.

මේ පාලම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ප‍්‍රදේශයේ ජනතාව පීඩාවට පත්වුණා. ඒ හේතුවෙන් අනාරක්‍ෂිත බෝට්ටු යොදාගෙන ඒ අය තමන්ගේ ගමනාගමන පහසුකම් සිද්ධ කළා. ජනතාවගේ එකම ඉල්ලීම බවට පත්වුණේ පාලම හදල දෙන්න කියපු කාරණය පමණයි. යහපාලන කාලයෙත් විවිධ ඇමැතිවරු ගිහින් මුල්ගල තියල ආවා. නමුත් පාලමක් ඉදිවුණේ නෑ. තවුෆික් මන්තී‍්‍රතුමා මගෙන් කළ ඉල්ලීමකට අනුව මම 2021 අපේ‍්‍රල් මාසේ ගිහින් ඒ කටයුතු ආරම්භ කළා. ඊට පෙර 2020 නොවැ. 24 වැනිදා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමක් සංවිධානය කළා. ඒ සඳහා ප‍්‍රදේශයේ සියලූම දේශපාලනඥයන්, ප‍්‍රාදේශීය සභා, නගර සභා මන්තී‍්‍රවරුන් සහභාගි වුණා. එතනදී සියලූ දෙනාම මේ පාලම හදල ඉවර වනතුරු වෙනත් විකල්ප මාර්ග පාවිච්චි කරන්න එකඟ වුණා. අමාත්‍යාංශයක් විදිහට එතනදී තමයි කිලෝ මීටර් 3 1/2 ක් දිග විකල්ප මාර්ගයක් ඉදිකරන්න අපි විසින් අවසර ලබා දුන්නේ.

එහෙම විකල්ප මාර්ගයක් ඉදිකරල තිබියදී තමයි මේ පාරුව සඳහා අවසර ලබාදීල තිබෙන්නේ. මෙතනදී කින්නියා නගර සභාව තමන්ට නැති බලයක් පාවිච්චි කරල තිබෙනවා. කෙටි මාර්ගවලින් මුදල් උපයන පරමාර්ථයෙන් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේකේ පළමු වගඋත්තරකරුවා කින්නියා නගර සභාව. මොකද අපි අවසර ලබා දෙන්න බැහැ කියද්දී මේ පිළිබඳව ඉන්න රජයේ නිලධාරීන් ඒ වගේම ප‍්‍රාදේශීය ලේකම් ඇතුළු සියලූ දෙනා අවසර ලබා දෙන්න එපා කියද්දී කින්නියා නගර සභාවේ නගරාධිපතිතුමා කරන ලද කි‍්‍රයාදාමය නිසා තමයි මේ අනතුර සිද්ධ වෙන්නේ. මේ මියගිය පිරිස වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න නම් කින්නියා නගරාධිපතිවරයාගේ වැඩ වහාම අත්හිටුවන්න ඕන. ඒ වගේම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් සිදු කරන්න ඕන කියල මේ සභාවෙන් මම ඉල්ලා සිටිනවා.

රුවන් ජයවර්ධන
ති‍්‍රකුණාමලය – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment