අභයගිරිය නම් වළඳන්න එපා අපේ හාමුදුරුවනේ

322

මේ පුවත්පත දිරාගිය පැරණි උපමා, ප‍්‍රස්ථාව පිරුළු, කියමන් යනාදිය පාවිච්චි කරන්නේ නැත. එහෙත් බැරිම තැනකදී එවැනි යෙදුමක් යෙදීමෙහි හබයක් නැත. කන්ද ගිල්ල යකාට අග්ගලාවක් කජ්ජක් ද යන්න එවැනි පරණ දිරාගිය ප‍්‍රස්ථාව පිරුළකි. අප මේ උපහැරණය පාවිච්චි කරන්නේ අභයගිරිය ගිල දැමීමට (වැළඳීමට) එහි විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේ කට හදමින් සිටින බවට දැනගන්නට ඇති හෙයිනි. නායක හාමුදුරුවන් වහන්සේ අභයගිරිය ගිල දැමුවොත් වෙහෙර ගිල්ල හාමුදුරුවන්ට අග්ගලාවත් කජ්ජක්ද යනුවෙන් නව පිරුළක් බිහිවනවා ඇත. භාෂාව යනු මාර මැජික් එකකි. නගන ස්වරය අනුව එකම වාක්‍යයට විවිධ තේරුම් දීමට භාෂාවට පුළුවන. සාමාන්‍යයෙන් සමාජ මාධ්‍යවල පළවන්නේ අභයගිරි විහාරස්ථානයේ අපේ නායක හාමුදුරුවන් වහන්සේ එය බිලිගන්නට යන බවකි. ඒ කතාවට අපි ඉන්තේරුවෙන්ම විරුද්ධ වෙමු. බිලිගන්නෝ යක්කුය. භික්‍ෂූහු බිලි නොගනිති. උන්වහන්සේලා කරන්නේ පිළිගැනීම පමණි. එම පිළිගැනීම ඇතැම් තැනකදී සරල දානයකි. තවත් විටෙක ලාභ සිවුරකි. කලාතුරෙකින් බෙන්ස් කාරෙකක යතුරකි. ඉහත සඳහන් වැකි මගින් අපගේ සඟරුවනට අප ගරහතියි වරදවා නොසිතන්න. අප ගරහනවා නම් ගරහන්නේ උතුම් භික්ෂුන්ට නොව චීවරධාරි කඩකාරයන්ට ය. මේ කතාව දුරදිග ගෙනයෑම නොහොබී. එබැවින් ප‍්‍රස්තුතයට බසිමු.

අනුරාධපුර ලෝක උරුම නගරයේ පිහිටි, ලෝක ඉතිහාසයේ දෙවැනි තැනට උස, ගඩොල් නිර්මාණය වන අභයගිරි දාගැබේ විවිධ විකාර වෙනස්කම් කිරීමට එහි නායක භික්ෂුව කටයුතු කිරීම නිසා යුනෙස්කෝවේ ලෝක උරුම ලැයිස්තුවෙන් එය ගිලිහී යතැයි හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක සූරීහු කියති. එම දාගැබට හුණු ගෑමට නායක භික්ෂුව සූදානම් වන බවත් අභයගිරි විහාර සංකීර්ණයට ඇතුළු වන තැන අශෝභන මකර තොරණක් තනමින් තිබෙන බවත් හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සඳහන් කරයි. අභයගිරිය ඉදිකරන ලද්දේ වළගම්බා රජු විසිනි. ගිරි නමැති නිගන්ඨයාගේ ආරාමය බිමට සමතලා කොට මෙයට අවුරුදු 2100 ට පෙර වළගම්බා රජු මෙම ඉදිකිරීම කළේය. මේ කියන කාලයේදී ලොව තිබූ උසම ගොඩනැගිලි වූයේ ඊජිප්තුවේ පිරමීඩ සහ අනුරාධපුරේ රුවන්මැලි මහා සෑය ය. බොහෝ කාලයක් තිස්සේ නටබුන් බවට පත්ව තිබූ අභයගිරි චෛත්‍යය 1965 දී ප‍්‍රතිසංස්කරණය කිරීමට පටන් ගන්නා ලදී. දාගැබ පුරා වැවී තිබුණු විශාල ගස් ඉවත්කර පේසා වළලූ පාදා වෙහෙර අංගනය මතුකර ගෙන හතරැුස් කොටුව ප‍්‍රතිසංස්කරණය කරමින් එම චෛත්‍යය මෙයට අවුරුදු 2100 ට පෙර පැවති ඔර්ජිනල් තත්ත්වයට ගෙන ඒම රජයේ අරමුණ විය. පුරාවිද්‍යාත්මක ප‍්‍රතිසංස්කරණයකදී අදාළ පුරාතන ඉදිකිරීමේ තිබෙන කෑලි පාදා ගැනීම මිස අලූතෙන් කෑලි එකතු කිරීමක් සිදුවන්නේ නැත. එසේම කැඩුණු තැනක් වෙත්නම් එය ඒ ආකාරයෙන්ම තැබීමට ඉඩ හරිනු ලැබේ. මෙයට අවුරුදු පන්දහසකට පෙර ඊජිප්තුවේ ඉදිකෙරුණු අර්ධ මනුෂ්‍ය, අර්ධ සත්ව ස්පිනික්ස් ප‍්‍රතිමාවේ නාසය වසර දහස් ගණනක් තිස්සේ ආගිය අතක් නැත. මෙයට අවුරුදු 110 ට පමණ පෙර ශ‍්‍රීමත් හාවඞ් කාටර් සහ ශ‍්‍රීමත් මෝටිමර් විලර් යන දෙදෙනා ඊජිප්තුවේ පුරා වස්තු ප‍්‍රතිසංස්කරණය කිරීමේදී ස්පිනික්ස් ප‍්‍රතිමාවේ කැඩුණු නාසය අලූතින් සවි කිරීමෙන් වැළකී සිටියහ. එය පුරා විද්‍යා ඉංජිනේරු කර්මාන්තයේ සම්ප‍්‍රදායකි. හැබැයි කඩාවැටුණු දෙයක් වෙතොත් ඒවායේ කැබලි එකතුකර යළි නගා සිටුවීම පුරා විද්‍යාඥයන් වෙතින් සිදුකෙරේ. උදාහරණයක් ලෙස මීට අවුරුදු 1300 ට පමණ පෙර මොණරාගල දිස්ත‍්‍රික්කයේ මාලිගාවිලදී අග්ග බෝධි කුමාරයා විසින් ඉදිකරන ලද අඩි 39 ක් උස හුණුගල් බුද්ධ ප‍්‍රතිමාවක් 1950 දී දෙකට තුනට කැඞී තිබියදී පුරා විද්‍යාඥයන්ට හමුවිය. මෙම පිළිමයේ කැබලි එකතුකර යළි කෙළින් කිරීම 1989 දී ආචාර්ය ගැමුණු සිල්වා විසින්  භාරගන්නා ලදී. 1991 දී පිළිමය කෙළින් කර අවසන් විය. සාමාන්‍යයෙන් අභයගිරියේ වත්මන් විහාරාධිපති භික්ෂුව මාලිගාවිල පිළිමය භාරව සිටියා නම් මුලින්ම කරනු ඇත්තේ එහි හුණු ගෑමය.

අභයගිරියෙහි ඓතිහාසික වැදගත්කමක් තිබේ. 5 වෙනි සියවසේදී චීනයේ සිට ලංකාවට පැමිණි මහායානික භික්ෂුවක වූ පාහියන් හාමුදුරුවන් වහන්සේ අභයගිරියේ විහාර සංකීර්ණයේ මඳ කලක් වැඩ වාසය කළහ. එකල ජේඞ් ගලින් සාදන ලද අඩි විස්සක් උස කොළ පැහැති බුද්ධ ප‍්‍රතිමාවක් එම විහාර භූමියේ තිබිණ. මෙය පද්මාසන ඉරියව්වේ ප‍්‍රතිමාවකි. මේ ප‍්‍රතිමාව ගැන පාහියන්ගේ දේශාටන පොතෙහි සටහන්ව ඇත. එහෙත් අද එය ආගිය අතක් නැත. එය කැබලි කොට විනාශ කරන ලද්දේ නම් විහාර භූමිය කැණීමේදී ජේඞ් කැබලි හමුවිය යුතුය. එවැනි කැබලි හමු නොවූ බැවින් පිළිම වහන්සේ වෙනත් රටකට පටවන්නට ඇතැයි විශ්වාස කෙරේ. එසේ නම් 1970 න් පසු මේ රට පාලනය කළ දේශපාලඥයන් සහ ඔවුන්ගේ ගොට්ටන් ගේ සැම්පලයේ ප‍්‍රජාවක් එකල මහා විහාරයේ ඉන්නට ඇති. අරලියගහ මන්දිරයේ එල්ලා තැබූ මුල්කිරිගල චිත‍්‍රය එක්දහස් නවසිය අනූ ගණන් වලදී අතුරුදන් විය. එය අදටත් ආගිය අතක් නැත. ගුවන්විදුලි සංස්ථාවේ තිබූ, සුනිල් ශාන්ත සහ ආනන්ද සමරකෝන් වාදනය කළ පියානෝව ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තුළ මෑතක් වනතුරුත් තිබූ අතර අදවන විට ආගිය අතක් නැත. මේ සියලූ දුක් ගැනවිලි අතර අභයගිරියේ ගරුතර නායක හාමුදුරුවන් වහන්සේට අපි මෙසේ කියමු. චෛත්‍යයේ හුණු ගෑමට ඔබ වහන්සේ උත්සාහ නොකළ යුතුය. ඔබ වහන්සේ විසින් කළ යුත්තේ මහණ වී නිවන් මග සාක්ෂාත් කර ගැනීමයි. බිත්තිවල හුණු ගෑමට ආසාවක් ඇත්නම් ඒ සඳහා සුදුසු ගොඩනැගිලි කොළඹින් සොයා දීමට අපට පුළුවන.

advertistmentadvertistment
advertistmentadvertistment