අභයගිරිය ලෝක උරුමයෙන් ඉවතට…

640

 සංවාදයට  විවෘතයි – ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

* විහාරාධිපතිගේ බිල්ලට නතු වන අභයගිරිය
 විහාරාධිපතිගේ බිල්ලට නතු වන අභයගිරි ලෝක උරුමය අභයගිරි විහාරය තනන ලද්දේ වලගම්බා රජු විසින් ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවසේය. දාගැබ සෑ¥ භූමියේ එවකට වූයේ නිගණ්ඨාරාමයක් වන අතර වලගම්බා රජු අනුරාධපූරය හැරයන නිමේෂයේ ගිරි නිඝන්ටයා ”මහ කළු සිංහයා පලා යතැ” යි හඬගා කීය. වලගම්බා රජ දෙවන වර රාජ්‍යත්වයට පත්වූ අවස්ථාවෙහි ගිරි නිඝන්ඨාරාමය විද්වංශනය කළ හෙතෙම එතැන අභයගිරි දාගැබ ඉදි කළේය. එම දාගැබත් ඊට අයත් සංඝාරාමයත් නම් කරන ලද්දේ තමාගේත් ගිරි නිඝණ්ඨයාගේත් දෙනම් එක් කොටය. මෙම දාගැබෙහි ධාතුඝරයෙහි තැන්පත් කළ යමක් ගැන වංශකතාවන්හි කිසිවක් සඳහන් නොවෙයි. එහි බුදුන් වහන්සේගේ ධාතු තැන්පත් කළේ නම් ඒ බව වංශකථාවන්හි හෝ සෙල් ලිපිවල සඳහන් නොවී තිබීමට කිසිදු හේතුවක් නැත. මේ හේතුව මතම ද්‍රෝණයක් ධාතූන් තැන්පත් කරන ලද රුවන්වැලි සෑයට මෙය කිසිදු ලෙසකින් සැසඳිය හැකි නොවේ. රුවන්වැලි සෑය බෞද්ධ සැදැහැවතුන්ගේ අපරිමිත ගෞරවාදරයට පාත‍්‍රව ඇත්තේ එම හේතුව නිසාය. ඊට ලැබෙන ගෞරවය අභයගිරිය දාගැබට දිනාගැනීමට නොහැකි වන්නේ එකී හේතුව නිසාය.
 
 තවත් අතෙකින් ගත් කල අභයගිරිය යනු ධර්මරුචි භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථානයයි. ධර්මරුචි නිකාය යනු මහායාන අදහස් දැරූ භික්ෂූන්ගේ මූලස්ථානයයි. සාමාන්‍යයෙන් එම නිකායට අයත් විහාරයන්හි දාගැබ්භි තැන්පත් කරන්නට ඇත්තේ ප‍්‍රඥා පාරමිතාව ලියැවුණු ධර්ම ග‍්‍රන්ථ වීමට ඉඩ තිබේ යැයි සිතිය හැක්කේ එම පාරමිතාව ලියැවුණු රන් පත්තිරු හතක් කැණීම්වලින් සොයා ගැනීම නිසාය. මහායානිකයන් ක‍්‍රිස්තු වර්ෂ පහ සියවසේදී චේතිය ගිරි හෙවත් මිහින්තලේ බලය අත්පත් කර ගත් පසු තැනූ බැව් නිසැක ඉදිකටුසෑයේ මහායාන ධර්ම පාඨ අඩංගු තඹ පත්තිරු රාශියක් සොයා ගැනීම් මගින්ද මහායානික දාගැබ්හි මහායාන සූත‍්‍රයන් තැන්පත් කිරීමේ පුරුද්ද කැපී පෙනෙයි.
 
 අභයගිරිය යනු අනුරාධපුර ලෝක උරුම නගරයේ කැපී පෙනෙන ස්මාරකයකි. තවද එය පැරණි ලෝකයේ දෙවන උසැතිම ගඩොල් නිර්මාණය ද වන්නේය. ලොව උසැතිම ගඩොල් ගොඩනැගිල්ල වන්නේ ද ජේතවනය දාගැබය. එය එකල අඩි 400ක් උසැති විය. මේ අනුව ලොව උසැතිම ගොඩනැගිලි දෙකෙහිම උරුමක්කාරයන් වන්නේ අපය; හෙට උපදින දරුවන් ය. එහෙත් අවාසනාවට මෙම ලෝක උරුම ස්මාරක ලෝක උරුම ලැයිස්තුවෙන් ගිලිහී යෑමේ අවදානමක් දැන් දැන් උදාවෙමින් තිබෙන්නේය. එම අහිමිවීමට මුහුණ දෙන්නේ අභයගිරියේ නව විහාරයෙහි වත්මන් භික්ෂුව හෝ අමාත්‍යවරයා නොවේ; රටමය; උපනූපන් පරපුරය. අගනුවරට නුදුරු කෝට්ටේ පැරණි නගරයේ කබොක් ගල් ගනිමින් ඇවිදිනවාට වඩා වගකීමක් අමාත්‍යවරයාගේ කර මත ඇත්තේය. එම වගකීම ඔහු අතින් ඉටු වන්නේද යන්න බලා සිටීම ජනතාවගේ වගකීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වන්නේය.
 
 අභයගිරිය විහාරයේ පෞරාණිකත්වය මේ වනවිට බරපතල අවදානමකට හා අර්බුදයකට මුහුණපා ඇත්තේය. එහි සුදු හුණු තවරන ලෙස මුලින්ම යෝජනා කරන ලද්දේ වත්මන් විහාරාධිපති ය. ඊට නිසි අවසරය පුරාවිද්‍යා උපදේශක සභාව විසින් ලබා නොදුන් අතර ඔවුන් අග‍්‍රාමාත්‍යතුමන්ට පෙන්වාදෙන ලද්දේ එය හුණු පිරියම් කළහොත් අනුරාධපුර නගරය ලෝක උරුම ලැයිස්තුවෙන් ගිලිහීයෑමේ අවදානමක් උද්ගත විය හැකි බවය. තවද එවැනි තීරණයක් ගතහොත් දාගැබ යට පටන් ඉහළ දක්වාම ගඩොල් ගලවා ඉවත් කිරීමට සිදුවන්නේ අභයගිරි දාගැබ බුබ්බුලාකාරව තනා නොමැති වීම නිසාය. සිදු කරන ලද්දේ එවකට තිබූ ගර්භයට ආධාරක ගඩොල් ස්ථර කිහිපයක් යොදා දාගැබ සවිමත් කිරීමය. එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා උපදේශක සභාවට නම්‍යශීලීව ඇහුම්කන්දීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත විය යුතුය. අභයගිරි දාගැබට වින කටින හස්තයන් දැන් නැවත ක‍්‍රියාත්මක වෙමින් තිබේ. මෙහි පළමු පියවර ලෙස අනුරාධපුරයේ පුරාවස්තු වැනසීමේ සෑම ව්‍යායාමයකදීම ඊට එරෙහිව හඬ නැගූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරිය ව්‍යාපෘති අධ්‍යක්ෂ සම්මානිත මහාචාර්ය ටී. ජී. කුලතුංගයන් මේ වන විට ඉවත් කර අවසානය. පුරාවස්තු වැනසුමට එරෙහිව නිති හඬ නැගූ ප‍්‍රධාන බලවේගයට අනුරාධපුරයේ භික්ෂු බලවේග අනලස්ව ක‍්‍රියාකර ඔවුහු ජයග‍්‍රහණය අත් කරගෙන සිටී. දැන් රිසි සේ උන්වහන්සේලාට කටයුතු කිරීමේ මග විවරව ඇත. එතුමා පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨතම විද්වතා වනු මතු නොව ක්ෂේත‍්‍ර කටයුතු පිළිබඳ දීර්ඝතම අත්දැකීම් ඇති විද්වතාද වන්නේය.
 
 අභයගිරි දාගැබේ පෞරාණිකත්වය නැසෙන පරිදි එහි දොරටුවක් අරා අශෝභන මකර තොරණක් තැනීමේ කාර්ය භාරය මේ වනවිට ලහි ලහියේ සිදුකෙරෙමින් පවතී. වාර්තා වන ආකාරයට දෙපාර්තමේන්තුව විසින් අවසර දී ඇත්තේ බල්ලන් ඇතුළුවීම වැළැක්වීමට ගේට්ටුවක් තැනීම සඳහාය. තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව පුරාවිද්‍යා ඉඩමක අනවසර ඉදිකිරීමක් සිදු කිරීමට කිසිවකුට නොපිළිවන. එය 1988 අංක 24 දරන පුරාවස්තු ආඥාපනතේ අංක 15 ඈ වගන්තිය යටතේ ඇප නොදෙන බරපතල වරදකි. නිලධාරීන්ට දෙස් දෙවොල් තැබීම නිමේශයකට නවතා වහාම මේ සම්බන්ධයෙන් ක‍්‍රියා කර ආඥාපනතේ විධිවිධාන ක‍්‍රියාවට නැගීම අමාත්‍යවරයාගේ වගකීම වන්නේය. අපි එසේ වන්නේදැයි උපේක්ෂාවෙන් බලා සිටින්නෙමු.
 
 දාගැබේ සිවුපස අශෝභන බුද්ධ ප‍්‍රතිමා සතරක් තැබීමේ ව්‍යායාමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත අත් හිටු වුණි. ලෝක උරුමය වළපල්ලට ගියද සම්මාදම් මඩිය තරකර ගැනීම මෙහි එකම අරමුණ බව දැන් පැහැදිලිය. මීළඟ නිසැක කාර්ය වන්නේ සම්මාදම් වැඩි කර ගැනීමේ එම ජුගුප්සාජනක පියවරට විහාරාධිපති විසින් පිඹුරුපත් සැකසීමය. එය රජ කලදී මෙන් නැවතත් නිගණ්ඨාරාමයක් බවට පත්වීම මෙහි අවසන් ප‍්‍රතිපලය විය හැකිය. මේ සම්බන්ධයෙන් ලෝක උරුම මධ්‍යස්ථානය දැනුවත් කොට සංදේශයක් ඉදිරිපත් කිරීමට මා ඇතුළු කණ්ඩායමක් මේ වනවිට කටයුතු කරමින් සිටින බවද මෙහිලා සිහිපත් කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment