අභයගිරිය – ෆාහියන් භික්ෂුව හා බෞද්ධයා

599

චීනයේ බෞද්ධ විහාර තිස්තුන්දාහක් ඇති අතර එරට වෙසෙන මිලියන ගණනක්වූ බෞද්ධ ජනතාව සමග මෙම ආධාර එකතු කර ඇත. ඒ ආර්ථික අර්බුදය නිසා පීඩා විඳින මෙරට ජනතාවට යම් සහනයක් ලබා දීම සඳහාය. චීන බෞද්ධ විහාර මගින් ෆාහියන් පදනම් පිහිටුවා ඇති අතර ඒ හරහා මෙරට බෞද්ධයන් වෙනුවෙන් උපකාර කෙරේ. චීනයේ සිටින භික්ෂුන් ප්‍රමාණය ලක්ෂ දෙක ඉක්මවයි. එම භික්ෂුන් වහන්සේලා එරට විහාරස්ථානවලදී ලංකාව වෙනුවෙන් ආධාර එකතුකරන අයුරු චීන තානාපති කාර්යාල ට්විටර් ගිණුමේද දක්වා තිබිණි.

අනුරාධපුර නගරයේ පිහිටි අභයගිරි විහාරය අක්කර 500 භූමියක ව්‍යාප්තව පවතී. මෙම විහාරය මූලාශ්‍රවල සඳහන් වන්නේ උත්තර විහාර, අභය උත්තර විහාරය, අභයතුර විහාර, බාගිරි වෙහෙර යන නම්වලිනි. මෙහි ඉතිහාසය වළගම්බා රාජ්‍ය සමය (ක්‍රි. පූ.103/ 89-77) තෙක් දිව යන අතර මෙය ක්‍රි. පූ. 89 දී පමණ ඉදිවූ බව පෙනේ. ඒ අනුව වලගම්බා රජු පළා යන විට රජුට අපහාස කළ ගිරි නිගණ්ඨයා පළවාහැර ඔහුගේ නාමයට හා රජුගේ අභය නාමය එකතු කොට මෙම විහාරයට නම් තැබූ බව මහා වංශයේ සඳහන් වේ. මෙම විහාරයේ සංවර්ධිතම අවධිය මහසෙන් රාජ්‍ය (ක්‍රි. ව. 274-301) කාලයයි. එම රාජ්‍ය සමයේ මහා විහාරය බිඳ දමමින් අභයගිරිය ගොඩනංවන ආකාරයක් දැකිය හැකිය. අභයගිරි විහාරය සම්බන්ධයෙන් හැදෑරීමට ඇති වැදගත්ම මූලාශ්‍රය වශයෙන් ෆාහියන් වාර්තාවයි. ක්‍රි. ව. 410-412 අතර කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණි අනුරාධපුර අභයගිරි විහාරයේ වසර දෙකක් වැඩ සිටි චීන ජාතික ෆාහියන් හිමියන් පෙරළා චීනයට යෑමෙන් පසුව උන්වහන්සේ විසින් රචිත දේශාටන වාර්තාව තුළින් අභයගිරි විහාරයේ සමෘද්ධිය, අධ්‍යාපන තත්ත්වය, ආගමික කටයුතු වැනි වැදගත් තොරතුරු රැසක් හෙළිකර ඇත. එමඟින් මෙම විහාරය ක්‍රි. ව. 05 වන සියවසේ ලබා තිබූ දියුණුව මනාව පෙන්නුම් කෙරේ.

අභයගිරිය - ෆාහියන් භික්ෂුව හා බෞද්ධයා

චීනයේ සිට පැමිණි ෆාහියන් හිමි පවසන ආකාරයට රජුගේ අනුග්‍රහය යටතේ අභයගිරියේ භික්ෂූන් වහන්සේලා 5000 ක් වැඩ සිටි බව දක්වයි. මෙම සංඛ්‍යාව අතිශයෝක්තියක් නොවන බව පුරාවිද්‍යාත්මක සාධක අනුව තහවුරු වී ඇත. ඒ අනුව අභයගිරිය දාන ශාලාවේ ඇති බත් දැමීම සඳහා භාවිතා කළ බවට සලකන ගල්ඔරුව සම්බන්ධයෙන් ආචාර්ය රෝලන්ඩ් සිල්වා අධ්‍යයනයක් සිදුකර ඇත. එම පර්යේෂණයට අනුව එම ගල් ඔරුවේ ධාරිතාවය දළ වශයෙන් ඝන අඟල් 481,000 ක් පමණ වූ බව දක්වා ඇත. ඒ අනුව පුරාණයේ භික්ෂුන් භාවිතා කළ පාත්‍රවලට වැලි පුරවා මෙම ඔරුවට දමා ඇත. එහිදී එබඳු පාත්‍ර 5800 ක ප්‍රමාණයක් ඊට දැමිය හැකි බව හෙළි වී ඇත. එමඟින් මෙම දාන ශාලාව මඟින් භික්ෂුන් 5800 ක ප්‍රමාණයකට දෛනිකව දානය සැපයූ බව ඔහු විසින් පෙන්වා දී ඇත. ඒ අනුව පෙනී යන්නේ අභයගිරිය සංඝාරාමය ඉතා ධනවත් ආයතනයක් වූ බවයි. ඇත්තෙන්ම අභයගිරි විහාරය මෙරට තුළ පමණක් නොව දේශදේශාන්තරවල කීර්තියට පත් විශ්වවිද්‍යාලයක් මට්ටමට දියුණුව පැවති ආගමික ආයතනයක් වේ. විශේෂයෙන්ම දකුණු ඉන්දියාව, කාශ්මීරය, චීනය හා ජාවා වැනි විදේශීය රාජ්‍යයන්වල භික්ෂූන්ට ද අධ්‍යාපනය ලබා දුන් මධ්‍යස්ථානයක් බව පුරාවිද්‍යාත්මක සාධක අනුව ද තහවුරු වී ඇත. තවද අභයගිරි විහාරයේ ශාඛාවක් ජාවා රටේ පැවැති බවට සාධක සහිත සංස්කෘත ශිලා ලේඛනයක් මහාචාර්ය ජේ. ද කැස්පාරිස් විසින් හඳුනාගෙන ඇත. මහා වංශය ථේරවාදී මහා විහාර සම්ප්‍රදාය මුල්කරගෙන රචිත කෘතියක් වූ හෙයින් අභයගිරිය අතිශෝක්තියට නඟන්නේ නැත. මෙහි මහා විහාරයට වඩා ව්‍යාප්තව හා නිදහස්ව අභයගිරියේ අධ්‍යාපන කටයුතු සිදු වූවා විය හැකිය. ෆාහියන් හිමි සඳහන් කරන පරිදි රටේ ගෞරවයට පාත්‍ර වූ ධර්මගුප්ත නම් පඬිවරයකු මෙම සමයේ වාසය කොට තිබේ. විමුක්ති මාර්ගය ලියූ උපතිස්ස තෙරණුවෝ ද, අභයගිරි වාසිකයෙකි. උන්වහන්සේ වැඩවාසය කළේ බුද්ධඝෝෂ මාහිමයන් මෙරටට සැපත් වීමට කලිනි. අභයගිරියේ විසූ තවත් මහ පඬිරුවනක් නම් සද්ධම්මෝපයන නම් ග්‍රන්ථය ලියූ අභයගිරි චක්‍රවර්ති ආනන්ද මාහිමියන්ය.

කවරක් නමුත් චීන රජය මෙන්ම එරට වෙසෙන බෞද්ධ ජනතාව අභයගිරි විහාරය ගැන වඩාත් උන්නදු වන්නේ ෆාහියන් හිමි මෙහි වසර දෙකකට අධික කාලයක් මෙහි වැඩ සිටි නිසාය. ඒ වසර 1600කට පෙරය. ඉන්දියාවේ ත්‍රාම්ලිප්ති නැව්තොටින් නැවකට ගොඩවුණු ෆාහියන් හිමි ඇතුළු පිරිස දින 14ක නැව් ගමනකින් පසුව ලංකාවට සැපත් විය. එම කාලය වන විට අනුරාධපුරයේ රජකම් කළේ මහානාම නම් රජතුමා යි. ඉතාමත් දැහැමි රජ කෙනකු වූ මහානාම රජු ෆාහියන් භික්ෂුව ඇතුළු පිරිසට නවාතැන් ගැනීම සඳහා අභයගිරි විහාරය සකස් කරදී ඇත. වසර දෙකකට පසුව නැවත චීනය බලා යෑමේදී උන්වහන්සේ ගමන්ගත් නැව කුණාටුවකට හසුවුණත් මහත් ආයාසයක් දරා ධර්ම ග්‍රන්ථ සියල්ල සුරක්ෂිතව තබා ගෙන ඇත. පසුව උන්වහන්සේ ඒවා චීන බසට පරිවර්තනය කර එරට තුළ බුදු දහම තවදුරටත් ව්‍යාප්ත කළ බව ඉතිහාසයේ සඳහන් වේ. ෆාහියන් භික්ෂුව ශ්‍රී ලංකාව හැඳින්වූයේ ‘සිංහ දේශය’ යනුවෙනි.

මහාචාර්ය රණවීර ලෙස්ලි ගුණවර්ධනයන් ෆාහියන් වාර්තාවේ සඳහන් කරුණු හා වෙනත් විදේශීය මූලාශ්‍ර උපයෝගී කරගෙන අභයගිරිය සම්බන්ධයෙන් මෙලෙස සටහන් කරයි. බෞද්ධ පාණ්ඩිත්‍යයේ හා විශාරදත්වයේ කේන්ද්‍රයක් වශයෙන් අභයගිරි විහාරය ලැබූ කීර්තිය දිවයින් වෙරළින් බොහෝ ඔබ්බව පැතිරිණ. මේ විහාරය ගැන ෆාහියන් විසින් කරන ලද විස්තරය හැරුනු විට තවත් බෞද්ධ විශාරදයකුගේ ගමනක් ගැන විස්තරයක් චීන ඉතිහාස කථාවල අඩංගු වී ඇත. වජ්‍රයාන දර්ශනයේ සුප්‍රකට ආචාර්යවරයකු වූ වජ්‍රබෞධී ඉන්දියාවේ සිට චීනයට යන ගමන් මාස හයක් අභයගිරියේ ගත කළේය. අභයගිරි නිකායේ කෘතියක් ලෙස පී. සී. බග්වි විසින් හඳුන්වනු ලබා ඇති විමුක්තිමග්ග ග්‍රන්ථය ක්‍රි. ව. 505 දී පූනාන්හි භික්ෂුවක් වූ සෙං-චියෙ-පෝ-ලෝ (සංඝපාල) විසින් චීන භාෂාවට පරිවර්තනය කරන ලදී.” (උපුටනය අවසන්)

චීන ඉතිහාසය පිළිබඳ ගවේෂණය කරන්නට වටිනා තොරතුරු රැසකට මූල බීජය සපයන ඓතිහාසික ග්‍රන්ථයක් වන්නේ ලියන්සු නැමති ග්‍රන්ථය යි. එහි සඳහන් තොරතුරුවලට අනුව ක්‍රි. ව. 405 ලංකාවේ රජ කළ පළමු වැනි උපතිස්ස රජතුමා විසින් චීන අධිරාජ්‍යය වෙත බුදු පිළිමයක් පරිත්‍යාග කොට තිබේ. චීනයත් ශ්‍රී ලංකාවත් අතර අන්තර් සහයෝගිතාවයේ ඓතිහාසික වටිනා යුගය ලෙස සඳහන් වන්නේ ටාන් රාජ්‍ය සමය යි. ටාන් සමයේ චීනයේ බෞද්ධ භික්ෂූන් විශාල පිරිසක් ලංකාවට වැඩම කොට බුදු දහම පිළිබඳ හැදෑරීම් සිදු කළ බවට සාක්ෂි හමුවෙයි. චීනයත් ශ්‍රී ලංකාවත් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වන්නේ 1957 පෙබරවාරි මාසයේදීය. චීන අගමැති චව් එන් ලයි මහතා සහ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එදින ප්‍රකාශයට පත් කළේ, දෙරටේ සිතුම් පැතුම් පිළිගෙන ඒවාට ගරු කරමින් සහයෝගිතාවය වර්ධනය කරගත යුතු බවයි. ජනතා සිතුම් පැතුම් පිළිබඳ රාජ්‍යයන් දෙකෙහි ඇති අනුකූලතාවය අතීත මග ශක්තිමත් කරන්නකි. ශ්‍රී ලංකාවේ 7 වැනි නිදහස් දින සමරුවට සහභාගි වීමට ලංකාවට ගිය චීන අගමැති චව් එන් ලයි මහතා සම්බන්ධ සිදුවීමක් දෙරටේ ජනතා හදවත් තුළ මුල් බැස ගෙන තිබේ. නිදහස් දිනය වෙනුවෙන් චීන අගමැතිවරයා ලංකාවේ ජනතාව ආමන්ත්‍රණය කරමින් සිටින විට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට පටන් ගෙන තිබේ. ඒ අසළ සිටි ආරක්ෂකයකු චීන අගමැතිවරයාට කුඩයක් ඇල්ලීමට සැරසුන අවස්ථාවේ අගමැතිවරයා ප්‍රකාශ කළේ, මහ ජනතාව වැස්සෙන් තෙමෙන විට මට කුඩයක් අවශ්‍ය නැත. මම ද මහජනතාව මෙන්ම වැස්සෙන් තෙමෙමි, යන්නයි.

වර්තමානයේ අභයගිරි විහාරයේ චීන බෞද්ධයන් විසින් ඉදිකළ ෆාහියන් හිමියන්ගේ පිළිරුවක්ද දක්නට ලැබේ. පසුගිය සඳුදා එතැනට පැමිණි මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි මහතා ෆාහියන් හිමියන්ගේ පිළිරුවට නෙළුම් මල් වට්ටියක්ද පූජා කළ අයුරු දක්නට ලැබිණි. ඔහු පැමිණියේ චීන බෞද්ධයන් විසින් මෙරටට පරිත්‍යාග කළ ඩොලර් මිලියනයක් එනම් රුපියල් කොටි 40ක් වටිනා වියළි ආහාර පාර්සල් පනස්දහසක් බෙදා දීමේ උත්සවයේ සමාරම්භක වැඩසටහන සඳහාය. එය මෙරට චීන තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය මගින් සංවිධානය කර තිබිණි. චීනයේ බෞද්ධ විහාර තිස්තුන්දාහක් ඇති අතර එරට වෙසෙන මිලියන ගණනක්වූ බෞද්ධ ජනතාව සමග මෙම ආධාර එකතු කර ඇත. ඒ ආර්ථික අර්බුදය නිසා පීඩා විඳින මෙරට ජනතාවට යම් සහනයක් ලබා දීම සඳහාය. චීන බෞද්ධ විහාර මගින් ෆාහියන් පදනම් පිහිටුවා ඇති අතර ඒ හරහා මෙරට බෞද්ධයන් වෙනුවෙන් උපකාර කෙරේ. චීනයේ සිටින භික්ෂුන් ප්‍රමාණය ලක්ෂ දෙක ඉක්මවයි. එම භික්ෂුන් වහන්සේලා එරට විහාරස්ථානවලදී ලංකාව වෙනුවෙන් ආධාර එකතුකරන අයුරු චීන තානාපති කාර්යාල ට්විටර් ගිණුමේද දක්වා තිබිණි. ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය චීන බෞද්ධ සංවිධාන සමග මෙරට බෞද්ධයන්ගේ යහපත උදෙසා නොයෙක් වැඩසටහන් සවිධානය කරයි. ඒ වැඩසටහන් ආරම්භ වන්නේ අභයගිරි විහාරයෙනි. පසුගියදා පැවැත්වුණු ආධාර බෙදීමේ වැඩසටහන අභයගිරි විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කල්ලංචියේ රතනසිරි නායක හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. එම උත්සවය අමතමින් චීන තානාපතිවරයා පැවසුවේ චීනය ලාංකිකයන්ගේ පැරණිම මිතුරා බවයි. මේ බෞද්ධ සබඳතාවය චීරාත්කාලයක් පවතීවා යන්න අපේ පැතුමයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment