අභයගිරි විහාරයේ ගේට්ටු ඉදිවන්නේ පුරාවිද්‍යා නිර්දේශ මතයි… අටමස්ථානාධිපති නාහිමි ප‍්‍රමුඛ හිමිවරු පවසති

404
abaya

* පසුගිය සතියේ පළවූ අභයගිරිය ‘ලෝක උරුමයෙන් ඉවතට’ ලිපියට නිවැරිදි කිරීමකි
 
 බෞද්ධ ලෝකයේ සිත් සතන් කිළිටි වන ආකාරයේ ලියැවිල්ලක් පසුගිය සතිඅන්ත පුවත් පත් කිහිපයකට සම්පාදනය කර තිබීම වහා නිවැරදි කළ යුතුව තිබේ.
 
 හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා, විහාරාධිකාරී හිමියන් විසින් අභයගිරියට මකර තොරණක් ඈඳන්නට යන බවත් එයින් මහා පුරාවස්තු විනාශයක් සිදුවන බවත් එකී ලිපියෙන් කියන්නට උත්සාහ දරා තිබුණි. එවැනි පටු හා නීති විරෝධි ඉදිකිරීමක් කරන්නට තරම් තැනක මහාවිහාරීය භින්ෂූන් හෝ අටමස්ථානය නොපවතින බව අවධාරණය කරනු කැමැත්තෙමු.
 
 * ත‍්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂාව
 
 2019 පාස්කු ප‍්‍රහාරයෙන් පසු අනාරක්ෂිතව ඇති සිද්ධස්ථාන හා පුරාවස්තු සුරක්ෂිත කිරීම සඳහා විවිධ ක‍්‍රියාමාර්ග ගැනීමට රජය බොහෝ වැඩ පිළිවෙළවල් ගොනුකරනු ලැබිණි. අභයගිරි සංකීර්ණයේ ඇති ලෝකප‍්‍රකට සමාධි බුද්ධ ප‍්‍රතිමාව ඇතුළු ස්මාරක සඳහා ද ආරක්ෂක යකඩ වැටවල් යම් ප‍්‍රමාණයකින් හෝ සකස් කිරීමට අටමස්ථානයේ භික්ෂුන් වහන්සේලා හා බලධාරීන් සාකච්ඡා කර යම් යම් තීරණවල සිටියත් එවැන්නක් ඉටුකිරීමට වගකිව යුතු අංශ ඒ වැඩ පිළිවෙළවල් ඉදිරියට ගෙනගියේ නැත.
 
 සතර දොරටුවම රිසි සේ විවෘතව ඇති අභයගිරි සෑ මළුවේ ආරක්ෂාව තහවුරු නොකර ඇස්කන් පියාගෙන සිටීම කළ නොහැක්කක් නිසා අටමස්ථාන කොමිටියේ පූර්ණ අවසරය හා අනුමැතිය සහිත පොදු තීරණයක් ලෙස මෙම කාර්යට මුලපුරන ලද්දේ 2019 පාස්කු ප‍්‍රහාරයට මාස කිහිපයකට පෙරය. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලැස්මකට අනුව ගේට්ටු සවි කිරීමට අභයගිරි විහාරාධිකාරි හිමියන් විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා ඇත. මුලින්ම 2019-02-20 දින අනුරාධපුර සහකාර පුරාවිද්‍යා කොමසාරිස්වරයාට ලිපියක් යොමුකරමින් අභයගිරි දාගැබ් වහන්සේගේ සතර දොරටුවල ගේට්ටු සවිකිරීමේ අවශ්‍යතාව ඉටුකරදෙන ලෙස එමගින් ඉල්ලා ඇත.
 
 එහි සටහන් කර තිබුණේ පරසතුරු උවදුරුවලින් හා ස්වාභාවික උපද්‍රව වලින් පරිහානියට හා ගරාවැටීමට පාත‍්‍රවී තිබූ මෙම දාගැබ් වහන්සේ පුරා අවුරුදු 35කට ආසන්න කාලයක් අපමණ පරිශ‍්‍රමයක් දරා පුරාවිද්‍යා නියමයන්ට අනුකූලවන පරිද්දෙන් නිසියාකාරව සංරක්ෂණය කොට ඇති අතර අක්කර 14ක පමණ වපසරියකින් යුතු විශාල සලපතල මළුවකින් හා වැලි මළුවකින් සමන්විත වේ. මෙහි පිවිසීමේ දොරටු හතරක් පවතින අතර ඒවායෙහි ආරක්ෂිත ගේට්ටු නොමැති බැවින් හා පැය 24 පුරාවට විවෘතව පවතින බැවින් ඉතා අනාරක්ෂිත බවක් උසුලන අතර අයාලයේ ඇවිදින ගවයින්ගේ හා සුනඛයින්ගේ මළපහවලින් දිනපතාම සෑ මළුව අපවිත‍්‍රතාවයට පත්වේ. යථෝක්ත කාරණා පිළිබඳව සලකාබලා පිවිසුම් දොරටුවලට ආරක්ෂිත ගේට්ටු සවිකිරීමට යෝජනා කරන අතර ඒ සඳහා අවශ්‍ය අවසරය ලබාදෙන ලෙස ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමි. ආරක්ෂිත ගේට්ටුවේ දළ සැලසුම් පිටපතක් ද මේ සමඟ ඉදිරිපත් කරන අතර එය සුදුසු නොවන්නේ නම් සුදුසු සැළසුමක් සකස් කරදෙන ලෙස ද කාරුණිකව සිහිපත්කරමි. යනුවෙනි.
 
 * විධිමත් අනුමැතිය
 
 අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා විසින් එම කරුණ අනුමත කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යා අංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ශාස්ත‍්‍රීය) වෙත යවන ලදි. ඔහු විසින් කලාප භාර පුරාවිද්‍යා නිලධාරි ලවා පරීක්ෂා කර අනුමැතිය ලබාදී ඇති බවත් සලපතල මළුව හෝ දොරටුවල පෞරාණික ගල්වලට හානි නොවන අයුරින් ස්ථානයට ගැලපෙන සැලැස්මක් ඇඳ දෙන ලෙස ඉල්ලන බවත් එම ලිපියේ සඳහන් විය.
 
 ඒ අනුව වාස්තු විද්‍යා අංශය මගින් ගේට්ටුවේ සැලැස්ම සකසා 2020 සැප්තැම්බර් 22 වැනිදා අනුමත කර මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කර තිබේ. එය 2020-09-07 දිනැති සැලසුම් අංක 4388-1 වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සියලූ බලධාරීන් අනුමත කර තිබේ.
 
 එලෙස විධිමත්ව, නීත්‍යානුකූලව හා ස්ථානයට උචිත ලෙස සකස් කරන ලද සැලැස්මට අයත් දෙපස ගේට්ටු කුලූනු ඉදිකරගෙන යන අවස්ථාවේ යම් වරදක් ඇත්නම් පැමිණ අධීක්ෂණය කරන ලෙස ද අභයගිරි විහාරාධිකාරි හිමියන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් කල් ඇතිව නිරන්තරයෙන් ඉල්ලා ඇත. විශේෂයෙන්ම කරනු ලබන කටයුතු සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමාට දුරකථනයෙන් කතා කර දැනුම් දුන් අතර අනුරාධපුර සහකාර පුරාවිද්‍යා කොමසාරිස්තුමා සමඟ ද නිරන්තරව සාකච්ඡා කරනු ලැබිණි. එලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් නොතිබියදී අභයගිරියේ මකර තොරණක් ඉදිකරන බවට හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු විමසීමකින් තොරව කරන ලද චෝදනාවේ පදනම කුමක්දැයි අදහාගත නොහැක.
 
 ඉදිකරන ලද ගේට්ටු කුලූනුවල උස මට්ටමේ සුළු වැඩිවීමක් ඇතැයි කරන ලද දැනුම්දීමට අනුකූලතාවයක් ද අප විසින් දක්වනු ලැබිණි.
 
 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිරීමට අපොහොසත් මෙම බැ?රුම් කාර්යය සඳහා මුදල් හදල් සපයාගෙන වගකීමක් ඉටුකරන මෙවන් අවස්ථාවක එවැනි ප‍්‍රකාශ තුළින් ඒ සඳහා කැපවන පිරිසත් අනුරාධපුර පුදබිමට ගෞරවයෙන් සිටින ලෝකවාසී බෞද්ධ ජනයාත් කලකිරෙනු ඇත. මේ තුළින් ආගම දහම පවා හෑල්ලූවට ලක් කෙරෙන බව අප අවබෝධ කරගත යුතුව තිබේ.
 
 අනෙක් අතට මෙම යුගයේ අනුරාධපුර පුදබිමේ කළ යුතු සියලූ කාලීන සංරක්ෂණයන් හා සංවර්ධනයන් කිසියම් දූරදර්ශී පිළිවෙතකට අනුව අටමස්ථානාධිපති නාහිමියන් ප‍්‍රධාන අටමස්ථාන කොමිටියේ සම්මුතීන්ට අනුව සිදුකරන බව ද පෙන්වාදීමට කැමැත්තෙමු. මෙවැනි සංවර්ධනයන්ගේ පරමාර්ථය මුදල් සම්මාදන් කිරීමේ අවශ්‍යතාවයකින් කරන්නකැයි කීම මහ සඟරුවනට ද්වේශයෙන් කරන ලද මහා බරපතළ අවමානයකි.
 
 * සර්වඥ ධාතු
 
 විශේෂයෙන්ම එම ලිපියෙන් අභයගිරි දාගැබේ ධාතුන්වහන්සේලා තැන්පත්ව නොමැති බවට දක්වා ඇති පදනම් විරහිත ප‍්‍රකාශයත් අභයගිරිය ධර්මරුචි භික්ෂූන්ගේ මධ්‍යස්ථානයක් වී බවට ගෙන එන ප‍්‍රකාශය සාවද්‍යය. එය පුරාවිද්‍යාවට මෙතෙක් ලැබුණු සාධක කීපයක් මත එළඹුණු පටු නිගමනයකි. ධර්මරුචි භික්ෂූන් වැඩසිටි ස්ථානයක් යන අදහස තුළින් පෙන්වා දෙන්නට එම ලිපියේ උත්සාහ දරා ඇත්තේ එම භික්ෂූන් වැඩසිටි ස්ථානවල ප‍්‍රඥා පාරමිතාව ලියූ ධර්ම ග‍්‍රන්ථ තැන්පත් කිරීම ස්වභාවය නිසා අභයගිරියේ වටිනාකම ද ධර්ම ග‍්‍රන්ථ තැන්පත් කිරීමට ලඝු කිරීමේ අරමුණින් ය. ධර්මරුචි නිකාය වැඩවිසීම එක් යුගයක එක් පැතිකඩක් පමණි. කලින් කලට ඒ සියල්ල වෙනස්ව තිබේ. අභයගිරියේ ධාතූන් වහන්සේලා තැන්පත් කර නැතැයි පුරාවිද්‍යාත්මකව ගවේෂණය කර හෝ සනාථ කර නොමැති පසුබිමක එම ලියුම්කරුවාට එවැනි නිගමනයන් ඉදිරිපත් කිරීමේ අයිතියක් නොවේ.
 
 අනෙක් අතට පුරාවිද්‍යාත්මක සාධක වලට අමතරව ඉතිහාස තොරතුරු ඉදිරිපත් කිරීමේ දී ඓතිහාසික මූලාශ‍්‍ර (ලිඛිත), ජනප‍්‍රවාද හා ආගමික තොරතුරු අහක දැමිය නොහැකි ය. සොළොස්මස්ථානයට අයත් අභයගිරිය දාගැබ් වහන්සේ සව_ඥ ධාතු තැන්පත් කර නැති තැනකැයි එම ලිපියේ දක්වා තිබීම පවතින සාධක පිටුදැකීමකි.
 
 බොහෝ වංශකතාවන්හි මෙහි නිදන්කර ඇති සුවිශේෂී නිදන් වස්තු පිළිබඳ තැබූ සටහන් විරල වන නමුත් සද්ධර්ම රත්නාකරයට අනුව මෙහි සර්වඥ ධාතූන් තැන්පත්කළ වෘෂභයකුගේ හැඩයේ ධාතු කරඬුවක් නිධන්කර ඇති බව කියවෙයි. බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක‍්‍රි.ව.411 – 413 අභයගිරියේ වැඩ සිටි චීන ජාතික ෆාහියන් හිමියන්ගේ වාර්තාවල සඳහන්කර තිබේ.
 
 4 වැනි සියවසේ දී බුදුන්ගේ වාම දන්ත ධාතුව ලංකාවට ගෙනඒමෙන් පසු මහජන වන්දනාව පිණිස තැන්පත් කර තැබීමට තෝරා ගන්නා ලද්දේ ද අභයගිරිය යි. අනුසංවච්ඡරං නෙත්වා විහාර මභයුත්තරං
 
 තස්ස පූජා විධිං කාතු මේව නියෝජයි යනුවෙන් මහාවංසයේ සඳහන් පරිදි කිත්සිරි මෙවන් රජු වාර්ෂිකව දළදා වහන්සේ අභයගිරියට වැඩම කරවා පුදපූජා පැවැත්වීමට නියෝග කළ බව එමගින් තහවුරු වෙයි. එමෙන්ම කිත්සිරිමෙවන් රජුගේ පටන් අනුරාධපුර රජ කළ සියලූ රජවරුන් සෑම වර්ෂයකම මෙහි දළදා පෙරහැර පවත්වා දළදා වහන්සේ තැන්පත් කර වන්දනාමාන කළ බව බොහෝ ඓතිහාසික ලේඛනවල සඳහන් වේ.
 
 ..මහියංගනං නාගදීපං – කළ්‍යාණං පදලාංඡුනං
 දිවාගුහං දීඝවාපී – චේතියංච මූතියංගනං
 තිස්සමහා විහාරංව – බෝධිං මරිචවට්ටියං
 සුවණ්ණමාලී මහා චේතියං – ථූපාරාම භයාගිරිං
 ජේතවනං සේලචේතියං – තථා කාචරගාමකං
 ඒතේ සෝළසඨානානි – අහං වන්දාමි සබ්බදා”.

 
 අප ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩමවා වදාළ පසු උන්වහන්සේගේ පා පහසින් පවිත‍්‍ර වූ ස්ථාන පිළිබඳ සඳහන් වන සොලොස්මස්ථාන වන්දනා ගාථාවේ අභයගිරිය ඇතුළත් බව ලාංකිකයින්ට අමුතුවෙන් කිවයුත්තක් නොවේ.
 
 මේ නිසාම භෞතික වටිනාකමකට එහා ගිය පූජනීයව හා අඛණ්ඩව පවතින ජීවමාන සිද්ධස්ථානයක් ලෙස අභයගිරි දාගැබ සහිත විහාර සංකීර්ණය බෞද්ධ ලෝකයාට මුදුන් මල් කඩකි.
 
 * සාවද්‍ය පුවත්
 
 අභයගිරි දාගැබේ සතර දොරටුවේ මකර තොරන් ඉදිකිරීමට සැරසෙන බව එම ලිපියේ දක්වා තිබිණි. ඒ සියලූ කරුණු කිසිදු වගවිභාගයකින් තොරව කරන ලද පදනම් විරහිත චෝදනාවකි.
 
 අතීත උරුමය විකෘති කර දැමීම හෝ පුරාවස්තුවලට හානි කිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ට වඩා විමසිල්ලෙන් සිටින්නේ භික්ෂුන් වන අපය. අණපනත් තිබූ තරමට හෝ මහජනතාව දුරස්ථ කිරීමෙන් හෝ ආගමික සිද්ධස්ථාන ආරක්ෂා වන්නේ නැත. අතීතයේ සිට ඒවා මේ දක්වා අරක්ෂා වූයේ ද අනාගත පරපුරට උරුම වන්නේ ද භින්ෂූන්වහන්සේ ප‍්‍රධාන ජනීජනයා මහත් ශ‍්‍රද්ධාවෙන් හා භක්තියෙන් ඒ හා බැඳී සිටින තරමට ය.
 
 වට්ටගාමිණි අභය රජතුමා තමාට නැවත බලයට ඒමට උදව් කළ මහාවිහාරික භික්ෂූන් වහන්සේ කෙනෙකු වූ කුපික්කල විහාරවාසී මහාතිස්ස ස්වාමින්වහන්සේ ට පෞද්ගලිකව පිරිනැමීම සඳහා මෙය ඉදිකළ බව ඉතිහාස කතාවේ සඳහන් වේ. එදා සිට අද දක්වා මෙම සිද්ධස්ථාන ආරක්ෂා කළේ, වැඩිදියුණු කළේ” සංවර්ධනය කළේ අපේ භික්ෂූන් වහන්සේලා ය. රාජධානියේ පරිහානි යුගවල පවා භික්ෂූහු එම කාර්ය භාරය ඉටුකළ හ. මුලින්ම දාගැබ ඉදි කළ වළගම්බා රජතුමාගේ ඉදිකිරීම් කර්මාන්තය
 
 ගරාවැටුණු පසු බලයට පැමිණි රජවරුන් හෝ පාලනය කළ භික්ෂූන් ඒවා පුරාවස්තු හැටියට පමණක් වෙන් කර තැබුවේ නම් අද අභයගිරි දාගැබ” අටමස්ථානය හෝ ලක්දිව අනෙක් පූජනීය ස්ථාන මේ රටේ ඉතුරු වන්නේ නැත. එක් යුගයක් ඇවෑමෙන් අභාවයට යන ස්මාරක ඊළඟ යුගයේ දී පිළිසකර කරවීමෙන් හා සංවර්ධනය කිරීමෙන් ඉතිහාසය ගොඩනැගී ඇති බව බොහෝ වර්තමාන පුරාවිද්‍යා නිලධාරීන්ට නොවැටහීම කනගාටුවට කරුණකි.
 
 රජරට රාජධානියේ අඳුරු යුගවලින් පසු නැවත අභයගිරියේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටීමට පටන් ගත්තේ 1875 න් පසුව ය. එදා පටන් අද දක්වා වැඩ වසන ලද අභයගිරි විහාරයේ නායක හිමිවරුන් හා අටමස්ථානාධිපතීන් වහන්සේලා ඇතුළු මහාවිහාරීය භික්ෂූන් කළ කැපවීම්වල ප‍්‍රතිඵලය අද මෙලෙස පවතින බව කිවයුතු ය. 1981න් පසු මධ්‍යම සංස්කෘතික අරමුදලට මෙය සංරක්ෂණය කිරීමට පසුබිම සාදා දෙන්නේත් පාලකයින්ට ගතයුතු තීන්දු සඳහා මඟපෙන්වන්නේත් මේ භික්ෂූන් ම ය. ඒ නිසා සිද්ධස්ථාන කෙරෙහිත් භික්ෂුන් වහන්සේලා කෙරෙහිත් රටවැසියා තුළ ඇත්තේ අප‍්‍රමාණ ගෞරවයකි.
 
 මේ නිසා ජනයා ආගම දහම කෙරේ ඇති ශ‍්‍රද්ධාව හා භක්තිය ඉතිහාසය, සංස්කෘතිය කෙරේ ඇති අභිමානය මෙලෙස කෙලෙසීම නිවැරදි කළ නොහැකි බරපතල වරදක් බව පෙන්වාදීමට කැමැති අතර මෙය භික්ෂූන් වහන්සේලා හා රාජ්‍ය අතර භේද භින්නතා ගොඩනගා ඉ;තහාසය විකෘති කර බෞද්ධ ජනතාවගෙන් වෙන්කර හුදෙකලා තත්ත්වයට පත්කිරීමේ කූට උපක‍්‍රමයකි. වර්තමාන පුරාවිද්‍යා කොමසාරිස්තුමා හා මුළු මහත් රජයම අපහසුතාවයකට ලක් කිරීමකි. වගකිව යුතු උසස් නිලයක් දැරූ කෙනෙකු වශයෙන් වගකීම් විරහිත වූ” බෞද්ධ ලෝකය කලකිරවන මෙවැනි ප‍්‍රකාශ පළ කිරීම කෙරෙහි බලවත් කනගාටුව හා අප‍්‍රසාදය පළකර සිටිමු.
 
 
 1. ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි – .අටමස්ථානාධිපති බෝමලූව පංසල.
 
 2. පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි – .විහාරාධිකාරී රුවන්වැලිසෑය පංසල.
 
 3. පූජ්‍ය රැලපනාවේ ධම්මජෝති නාහිමි – .විහාරාධිකාරී ලංකාරාම පංසල.
 
 4. ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමි – .විහාරාධිකාරී අභයගිරි පංසල.
 
 5. පූජ්‍ය ඊතල්වැටුණුුවැවේ ඤාණතිලක හිමි – .විහාරාධිකාරී මිරිසවැටිය පංසල.
 
 6. පූජ්‍ය ඉහළහල්මිල්ලෑවේ රතනපාල හිමි – .විහාරාධිකාරී ජේතවන විහාරය.
 
 7. පූජ්‍ය කහල්ලේ ඤාණින්ද හිමි – .විහාරාධිකාරී ථූපාරාම පංසල.

advertistmentadvertistment
advertistmentadvertistment