අභිනව අටමස්ථානාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වහන්සේ වෙත අක්තපත්‍රය හා විජිනිපත ප්‍රදානය කිරීමේ පුණ්‍යමහෝත්සවය ලබන 28 වැනි දිනට රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට නියමිතව ඇත.
මෙම ලිපිය පළවන්නේ ප්‍රතිභාවසම්පන්න කවියකු, ගීත රචකයකු වන අභිනව අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත කරුණු ලබන ගෞරවයක් වශයෙන් ය.
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නො බැඳුණා නම්
මෙදා වියෝවක් නෑ!
මෙම මියුරු ගීතය නො ඇසූ ශ්‍රාවකයෙකු අපේ රටේ ඇතැයි සිතිය නො හැකි ය. සහෘද සිත් ඉතා ගැඹුරින් ඇඳ බැඳ ගත් එහි රචකයා පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ වෙති. බොහෝ දෙනෙකු උන්වහන්සේව හඳුනන්නේ ද ගීත රචකයෙකු වශයෙනි. අනුරාධපුර, ස්වර්ණමාලි මහා චෛත්‍යරාමාධිකාරී නාහිමි ලෙස ද ඇතැමෙකු උන්වහන්සේව දනිති. එහෙත් හේමරතන නාහිමියෝ, ශ්‍රී ලාංකික භික්‍ෂූ ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයකු බව බොහෝ දෙනා නො දනිති.
අනුරාධපුර මහාවිහාරය, නිර්මල ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය ලෙස මුළු ලෝකයේ ම අති සම්භාවනට පාත්‍ර වූ සිද්ධස්ථානය යි. ක්‍රි.පූ. 236 වැන්නේ දී මිහිඳු මහ රහතන් වහන්සේ විසින් පිහිටවනු ලැබූ මහා විහාරය, ලෝකයේ අඛණ්ඩව පවත්නා දීර්ඝ ලිඛිත ඉතිහාසයක් සහිත විහාරය ද වේ. ඉතා පූජනීය වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රධාන රුවන්වැලි මහා සෑය, ථූපාරාමය, මිරිසවැටිය, ලංකාරාමය, අභයගිරිය, ජේතවනාරාමය යන දාගැබ් හයෙන් සහ මහාවිහාරයේ පොහොය ගෙයවූ ලෝවාමහාපාය යන සිද්ධස්ථාන අට හෙවත් සුප්‍රකට අටමස්ථානය, මහා විහාරයට අයත් වේ. මෙම සිද්ධස්ථාන වටා පැතිරුණු මිල කළ නො හැකි ආගමික සහ ඓතිහාසික නටබුන්වලින් ‘ඓතිහාසික අනුරාධපුරය පූජා භූමිය සමන්විත වේ. යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස ඓතිහාසික අනුරාධපුරය 1982 දී ප්‍රකාශයට පත්කර ඇත්තේ එබැවිනි. එවැනි අති පූජනීය බෞද්ධ උරුමයන්ගෙන් පිරුණු ඓතිහාසික මහා විහාරයේ අධිපතිධුරයට හෙවත් ‘අටමස්ථානාධිපති පදවියට පත්වෙන භික්‍ෂූන් වහන්සේ, සමස්ත බෞද්ධ ලෝකයේම සම්භාවනාවට පාත්‍ර වන සංඝ පීතෘවරයෙක් වීම ප්‍රායෝගික සත්‍යයකි.
හේමරතන නාහිමියෝ 1954 පොසොන් මස 15 වැනි දින ජන්මලාභය ලබා ඇත්තේ, නුවරකලාවියේ දකුණු කෙළවරේම පිහිටි පල්ලේගම ග්‍රාමයේදී ය. කරඳගොල්ල වළව්වේ නිලමේ සහ කරුණාවතී කුමාරිහාමි මාතාව උන්වහන්සේගේ දෙමවුපියෝ වූහ. ඔවුහු තම පුත්‍ර රත්නයට ‘නන්දසේන’ යැයි නම් තැබූහ. ගමට සමීප වූ බුලාගල ප්‍රාථමික විදුහලෙන් පාසල් ගමන ඇරඹූ නන්දසේන කුමරුවා, අනතුරුව පැල්වෙහෙර විදුහලෙන් සහ කණ්ඩලම, සිද්ධාර්ථ විද්‍යාලයෙන් ශිල්ප හැදෑරුවේ ය.
1968 වසරේ වෙසක් මාසයේ 9 වැනිදා නන්දසේන ප්‍රධාන ජයතිලක සහ යටිගල්පොත්තෙන් පැමිණ සිටි රූපසිරි යන කුලදරුවන් තිදෙනා, බෝමළුව පරම්පරාවේ පැවිදි වූයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවණේ බෝමළුව පන්සලේදී ය. එම පැවිදි බව ලැබීමේ දී නන්දසේන කුලකමරුවාට ‘පල්ලේගම හේමරතන’ යන නාමය ලැබුණි. ජයතිලක සහ රූපසිරි පිළිවෙලින් ‘පල්ලේගම සිරිනිවාස’ සහ ‘යටිගල්පොත්තේ සෝමරතන’ ලෙස නම් ලැබූහ.
එතැන් සිටි මහාවිහාර පිරිවෙනෙන් දහම් අධ්‍යාපනය ලැබීම ආරම්භ කළ හේමරතන පොඩි හාමුදුරුවෝ කොළඹ මාලිගාකන්ද පිරිවෙනෙන් පිරිවෙන් අධ්‍යාපනය නිම කළේ පණ්ඩිත උපාධිය දිනා ගනිමිනි. අනතුරුව උන්වහන්සේ මහනුවර මල්වතු විහාරයෙන් මහණ උපසම්පදාව ලදහ. ඉන්පසුව කැලණිය විශ්වවිද්‍යාලයෙන්, පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී (විශේෂ ගෞරව) උපාධිය දිනාගැනීමට උන්වහන්සේ සමත් වූහ. එය මහාවිහාරයේ බෝමළුව පරම්පරාවේ භික්‍ෂූන් වහන්සේ නමක් එවැනි උපාධියක් දිනාගත් ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාස ගත විය.
1977 වසරේ දී එවකට අටමස්ථානාධිපතිව වැඩවිසූ පල්ලේගම ඥානරතන නාහිමියෝ හේමරතන හිමියන්ව රුවන්වැලිසෑයේ සිට බෝමළුව පන්සලට කැඳ වූහ. එතැන් සිට උන්වහන්සේව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවාව භාර භික්‍ෂූන් වහන්සේ ලෙස පත්කළේය. එය කවර භික්‍ෂූන් වහන්සේ නමකට වුවද ලැබෙන අති දුර්ලභ භාග්‍යයකි. කිව නො හැකි තරමේ බරපතළ වගකීමකි.
හේමරතන හිමියන් එතැන් සිට 1988 වසර තෙක් දශකයකට වැඩි කාලයක් පුරා ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන වූ පූජනීය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවාව, අප්‍රමාණ ශ්‍රද්ධාවකින් යුක්තව නො පිරිහෙළා ඉටුකළේ ය. එයින් උන්වහන්සේ ලද අත්දැකීම් සම්භාරය අති විශාල ය. ක්‍රි.පූ.236 වැන්නේ රෝපණය කළ දින පටන් ගෙවී ගිය සියවස් විසිතුනක පමණ වූ දීර්ඝ ඉතිහාසය පුරා බෝධීන් වහන්සේට ඉටුකරන දුර්ලභ චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත්, පුද පූජා ආදිය පිළිබඳ මේ කාලයේ දී හේමරතන හිමියෝ මනා අවබෝධයක් ලබාගත්හ.
ඉන්පසුව බෝමළුව පන්සලේ සිට ජේතවනාරාමයට වැඩම කළ හේමරතන හිමියෝ 1997 තෙක් එහි වැඩසිටියෝ ය. එවකට ජේතවනාරාමයේ සංඝාවාසයක් තිබුණේ නැත. තිබුණේ කටුමැටි ගසා වහලයට පොල් අතු සෙවිලි කර බිමට ගොම මැටි ගෑ ඉපැරණි කුටියක් පමණකි. එය තුළ ද කරවටක් උසට වේ හුඹස් බැඳ තිබුණේ ය. එහි ඉතා කටුක ජීවිතය මැදිහත් සිතෙන් විඳගනිමින් එවකට ජේතවනාරාම දාගැබේ සිදුකළ කැණීම් සහ සංරක්‍ෂණ කටයුතු වෙනුවෙන් හේමරතන නාහිමියෝ ඉමහත් දායකත්වයක් ලබාදුන්හ. ඒ සඳහා උන්වහන්සේට ජේතවනාරාම ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂක ධුරයක් පිරිනැමිණි.
1997 දී හේමරතන හිමියන්ට, ස්වර්ණමාලී මහා චෛත්‍යරාමාධිකාරීන් වහන්සේ ලෙස වැඩ භාරගැනීමට සිදු විය. ඒ සමග ම උන්වහන්සේ නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ. දෝණයක් පමණ සර්වඥ ධාතූන් වහන්සේ නිධන් කළ ලෝකයේ අසදෘෂ මහා දාගැබ ලෙස පිදුම් ලබන රුවන්වැලි මහා දාගැබේ මතු දියුණුවට එතැන් සිට පුරා වසර විසිපහක් තිස්සේ හේමරතන නාහිමියන් ඉටුකළ සේවාව සදානුස්මරණීය එකකි.
මේ සියල්ල මැද හේමරතන නාහිමියෝ දුර්ලභ ප්‍රතිභාවකින් පිරිපුන් ගීත රචකයෙකු ද වන්නා හ. අතීතයේ දී ධර්මසේන, වෑත්තෑවේ, තොටගමුවේ, වීදාගම ආදී මහ යතිවරුන් ගත් මඟට පිළිපන් නූතන පරපුරේ නිර්මාපකයන් වහන්සේ, උන්වහන්සේ ම බව එම නිර්මාණ විමර්ශනය කිරීමෙන් හඳුනාගත හැකි ය. එදා එකී මහ යතිවරුන් ගiයෙන් සහ පiයෙන් පොදු ජනයා උදෙසා බණ කීහ. මෙදා හේමරතන නාහිමියෝ සිය ගීතයෙන් ඉතා සූක්‍ෂම ලෙස බණ කියති. අප මේ ලිපිය ආරම්භ කළ අතීතය සිහිනයක් පමණයි ගීතය පමණක්වූවද එයට මනා නිදසුනකි. බෞද්ධ දර්ශනයේ හරය කැටිකරගත් අනිත්‍යතාව, අනියත බව, තණ්හාව, අටලෝ දහම ආදිය උන්වහන්සේ ඉතා සියුම් ලෙස සිය ගීත රචනාවන්ට පාදක කර ගනිති. ජාතක කතාවල දී මෙන් සත්වයාගේ චිත්ත සන්තානයේ අඳුරු අහුමුළු, මානව බන්ධුත්වයේ සැඟවුණු පැතිකඩ ආදිය හද සසල කරවමින් මහත්වූ මානව දයාවකින් ප්‍රතිනිර්මාණය කරති.
පූජ්‍ය පල්ලේගම හේමරතන නම්වූ මෙම සංඝ පීතෘවරයාණන්ව ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අටමස්ථානාධිපති පදවියට, අටමස්ථාන කාරක සභාව විසින් පසුගිය දා තෝරා ගන්නා ලදී. ඒ තේරීම මහාවිහාර සංඝ සභාව ඒකමතිකව සම්මත කළේ උන්වහන්සේ පිළිබඳ අචල විශ්වාසයකිනි.
අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රධාන අටමස්ථානය පිළිබඳ අතැඹුලක් සේ වූ පුළුල් අවබෝධයකින් පරිපූර්ණ ය. පුරාවිද්‍යාව පිළිබඳ ගැඹුරු ශාස්ත්‍රීය ඥානයකින් බෞද්ධ දර්ශනයට අනුගත වෙමින් විශිෂ්ට ගීත රචකයෙකු ලෙස පතළ මානව දයාවකින් යුක්ත ය. මේ සියල්ල අටමස්ථානාධිපති නාහිමියන් වහන්සේ හෙවත් බෝමළුවේ තෙරුන්නාන්සේ ලෙස උන්වහන්සේට අනුරාධපුර මහා විහාරය අතීතයේ තිබූ පූජනීය හා සම්භාවනීය තත්ත්වයට නැවත ඔසවා තැබීමටත්, ඓතිහාසික අනුරාධපුරය නම්වූ ලෝක උරුමය අනාගතයට සුරක්‍ෂිත කර තැබීමටත් මහත්වූ ශක්තියක්ම වනු ඇත.
● කේ.එම්. අයි. ස්වර්ණසිංහ