අභිනව දාගැබින් අබිමනට පත් කතරගම අභිනවාරාම විහාරය

94

කතරගම යන නම ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව ද අතිශය ප්‍රකට වූ නාමයකි. එම ප්‍රකට නාමය අද ඊයේ ඇතිවූවක් නොවන්නේ මතු නොව එය ක්‍රිස්තු පූර්ව යුගය තෙක් දිවෙන්නකි. එපමණක් නොව පූර්ව රාජධානියක් වශයෙන් ද ප්‍රකට කතරගම සම්බුදු සිරිපා පහසින් පාරිශුද්ධත්වයට පත් උතුම් පුණ්‍ය භූමියකි. වසර 2600කට පෙර සිදුවූ එම අසිරිමත් සිදුවීම සිදු වනවිට තත්කාලීනව රුහුණු රට පාලනය වූයේ මහාසේන නම් වූ තේජාන්විත රජු යටතේ බව ඉතිහාසය මගින් අනාවරණය වේ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා 500 නමක් සමාපත්ති සුවයෙන් වැඩහිඳ දේශිත දහමින් රජතුමා ප්‍රධාන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මගඵල ලැබුවේ මතු නොව එම ස්ථානයෙහි කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරවූ ආකාරය ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වේ. එම චෛත්‍ය රාජයාණන් වහන්සේ පූර්ණ චන්ද්‍රාකාරයෙන් ශෝභමාන වූ ආකාරයත් ඒ ආශ්‍රිතව විහාරස්ථානයන් ද රාශියක් පැවැති බවත් දප්පුල සෙල්ලිපිය හා සද්ධර්මරත්නාකාරය ආදී මූලාශ්‍රයන්ගෙන් පෙනී යයි. මීට වසර 2330 කට පෙර මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි හා දෙවන පෑතිස් රජතුමාගේ අනුග්‍රහයෙන් අෂ්ට ඵල රුහ බෝධීන් වහන්සේ වැඩමවා කතරගම පුද බිමෙහි රෝපණය කිරීමෙන් මුළු මහත් රෝහණ ජනපදයම පූජනීයත්වයට පත් වූ බව නොරහසකි.

රෝහණ රාජාවලියෙහි සමාරම්භක සමය

හෙබවූ මහාසේන මහරජු රණශූරයකු වූයේ මතු නොව තත්කාලීනව අගරජ කෙනකු වශයෙන් ද හඳුන්වා ඇති අතර තථාගතාගමනයෙන් පසු මාර්ගඵලලාභී සැදැහැවත් බොදුනුවකු වීම නිසාවෙන් දේවත්වයෙහි ලා සලකා ඇති ආකාරය පිළිබඳව ද ඉතිහාසය මගින් අනාවරණය කරනු ලැබේ. අනතුරුව රෝහණ රාජධානිය මුල් කොටගෙන බිහි වූ රජවරුන් රාශියක් පිළිබඳ තොරතුරු සඳහන් වන අතර අනුරාධපුර පාලකයන් සොළී රජවරුන් වූයේ මතු නොව රුහුණේ පාලකයන් හා ඔවුන් අතර වූයේ ගැටුම් සහිත වාතාවරණයකි. එහි උච්ඡතම අවධිය කාවන්තිස්ස පාලන සමය වූ අතර ගැමුණු කුමරු ඒ පිළිබඳ දැඩි කනස්සල්ලෙන් පසුවූ රාජ කුමාරයෙකි. ඒ අනුව ත්‍රිසිංහලය එක්සේසත් කිරීමේ අරමුණින් මහා සඟරුවන පෙරටු කොටගෙන සේනා සංවිධානය කොට සම්බුදු සසුනේ දියුණුව පිණිස සටන් වදින්නෙමැයි ප්‍රතිඥා දී අෂ්ට ඵල රුහ බෝධීන් වහන්සේ සමීපයේදී භාරහාර වී යුද ජයග්‍රහණයේ සංකේතයක් සේ මහාසේන දෙවිඳුන් සඳහා කතරගම මහ දෙවොල දුටුගැමුණු මහ රජතුමා විසින් ඉදිකරවන ලද බව ඉතිහාසය මගින් අනාවරණය කරනු ලැබේ. දුටුගැමුණු එළාර සටනේදී රණබිම තුළ ඉමහත් ශක්තියක් වූ රජකීය හස්තිරාජයා වන කඩොල් ඇතුගේ උත්තුංග දළ යුගල අදත් කතරගම මහ දෙවොල තුළ සුරක්ෂිතව පවතින්නේ මතු නොව වාර්ෂික පෙරහැර මංගල්‍යය අතරතුරදී ප්‍රදර්ශනය කිරීම ද සිදු කෙරෙනුයේ මතු නොව කතරගම හා බැඳුණු රාජකීය සබඳතාවය පිළිබඳ සාධකයක් වශයෙන් එය හැඳින්විය හැකිය.

අතිශය දුරාතීතයක තොරතුරු සඳහන් කතරගම ඉතිහාසයෙහි අසිරිමත් බව සඳහා කතරගම ක්ෂත්‍රීයයන්ගෙන් පසු රෝහණ රජ පරපුරෙහි මහා නරපතියන් හේතු වූයේ මතුනොව 1505 දී සිදුවන පෘතුගීසි ආක්‍රමණය සමඟ මුහුදුබඩව ව්‍යාප්ත වූ ඔවුන්ගේ ආධිපත්‍යයත් සමග ශ්‍රී ලංකාවේ පෞරාණික විහාරාරාම වනසාලමින් ඒවායේ සම්පත් තමන් සතුකර ගැනීම සිදුවිය. ඉන් අනතුරුව ලන්දේසීන් මෙන්ම පසුකාලීනව ඉංග්‍රීසීන් ද මෙම මහා විනාශයන් සිදු කරනුයේ මතු නොව 1818 ඌව කැරැල්ලට නායකත්වය දුන් වීර කැප්පෙටිපොල නිලමේතුමා සැඟව සිටින බවට සැක කරමින් නැවතත් කතරගම පුදබිම ගිනිබත් කරන ලදී. එපමණක් නොව කතරගම මහ දේවාලයෙහි වගකිවයුතු නිලයක් වූ බෙත්මේ නිලය ද තහනම් කරන ලද්දේ එම තනතුර සතුව පාලන බලතල ද පැවතීම නිසා වන අතර පසුකාලීනව ‘බෙත්මේ’ යන හැඳින්වීම කපු ධුරයන් දරන්නන් හැඳින්වීම සඳහා ද භාවිත වූ බව සඳහන් වේ. මෙසේ ක්‍රමයෙන් විනාශයට පත් කතරගම පුදබිම වනගතව ගිය අතර මෙහි වගකීම් දරන ලද කපු පරම්පරාවලට අයත්ව තත්කාලීනව වගකීම් දරන ලද ආදිතමයන් අසල වනගත බිම්වල පදිංචිව සිටිමින් කතරගම පූජා භූමියෙහි තෙරුවන් වෙනුවෙන් සහ කතරගම දෙවියන් වෙනුවෙන් තම ශක්ති ප්‍රමාණයෙන් තම රාජකාරීන් ඉටුකරන ලද ආකාරය පිළිබඳව තොරතුරු සඳහන්ව ඇත.

විදේශ ආක්‍රමණයන්ගෙන් විනාශ වී වනගතව පැවැති කතරගම පුදබිම තුළ පිහිටි ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ද නටබුන්ව පැවැති අතර එහි සංඝාරාමයන් ද පැවැතී ඇත්තේ ඉතා නොදියුණු තත්ත්වයකිනි. දුරාතීතයෙන් පසු දහනව වැනි සියවසෙහි මුල් යුගයේ ආරම්භ වන මෙම විනාශය 20 වැනි සියවසෙහි මධ්‍යතන සමය තෙක් පැවැති අතර 1920 දශකය වන විට ද කතරගම පුදබිමට පැමිණෙන භික්ෂූන් වහන්සේ නමකට රැයක් පහන් කිරීමට සුදුසු ස්ථානයක් නොවූයෙන් විවිධ උපද්‍රව සහිතව ගස් යට හා ලඳු කැලෑවල නිදිවර්ජිතව

රැඳී සිටීමට සිදුවීමේ පුවත් අසන්නට ලැබේ. මෙම වාතාවරණය නිසා කතරගම මහා දේවාලයේ භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් සිදුවන ආගමික චාරිත්‍ර සඳහා ද භික්ෂූන් වහන්සේලා කැඳවා ගැනීමේ දුෂ්කරතාවයක් ද පැවැතියේ මතු නොව ඒ සඳහා බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වැඩමවා ගන්නා ලද්දේ තිස්සමහාරාම නාග මහා විහාරයෙහි විහාරවාසී වූ පූජ්‍ය කතරගම ආයුපාල මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ය. එයට විශේෂිතම හේතුවක් වූයේ ඉපැරණි කපු පරපුරට අයත් වූ තත්කාලීනව කතරගම මහා දේවාලයෙහි ප්‍රධාන කපු ධුරන්දරව කටයුතු කළ ටී. ආර්. බාරිස් අප්පු කපු මහතා ආයුපාල නාහිමියන්ගේ ඥාතිවරයකු වීම මතු නොව උන්වහන්සේ ද එම කපු පරම්පරාවට අයත් කෙනකු වීම ය. තිස්සමහාරාමයේ සිට එකල කතරගමට පැමිණීම සඳහා බොහෝ විට භාවිත කරන ලද්දේ කරත්ත බව බොහෝ දෙනා දන්නා කරුණක් වන්නේ මතු නොව එසේ පැමිණීම හෝ පා ගමනින් පැමිණීමේ දී තම ඥාතිවරයකු වූ නාහිමියන් පත්වන අපහසුතාවය තේරුම්ගත් ටී. ආර්. බාරිස් අප්පු කපු මහතා තම දයාබර භාර්යාව වූ දිසන්හාමි උපාසිකාව සමග සාකච්ඡා කොට 1924 වර්ෂයේදී තම නිවස සඟසතු කොට නාහිමියන්ට පූජා කොට කතරගම පුදබිමෙහිම නතර කර ගත් බව සඳහන් වන අතර එය කතරගම අභිනවාරාම විහාරයෙහි ආරම්භයයි. එසේ නම් කතරගම අභිනවාරාම විහාරය ආරම්භ කොට මේ වනවිට වසර සියයකට ආසන්න ව ඇති අතර 1990 දක්වා මෙහි ආදි කර්තෘවර රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ධුරය දරමින් පූජ්‍යතර කතරගම ශ්‍රී ආයුපාල නාහිමියෝ ඉමහත් ශාසනික සේවාවක් සිදු කරන ලදහ. උන්වහන්සේ එම කාලයෙහි යොදාගත හැකි සම්පත් යොදා ගනිමින් තමන් වහන්සේට සම්පූර්ණ කළ හැකි පහසුකම් සහිතව එම විහාරස්ථානය පවත්වාගෙන යන ලද අතර විෂ වෛiවරයකු ලෙස සර්ප විෂ හා අක්ෂි රෝග සඳහා බටහිර ඖෂධ නොතිබුණු එම යුගයේ එම ප්‍රදේශයෙහි බහුල වශයෙන් සර්ප විෂ, අක්ෂි රෝග සඳහා ගොදුරු වූ ජීවිත දහස් ගණනක් බේරාගත් බව සඳහන් කළ යුතුව ඇත. උන්වහන්සේගේ එවන් බහුවිධ සේවාවන් අතර ශාසනික වශයෙන් සිදුකර ඇති විශාලතම සේවාවක් වන්නේ තමන් වහන්සේගෙන් පසු මෙම පූජනීය ස්ථානය වැඩි දියුණු කොට රැකබලා ගත හැකි දැන උගත් ශිෂ්‍යවරයන් වහන්සේ නමක් වූ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම මහ විදුහලෙහි විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රපති කපුගම ශ්‍රී සරණතිස්ස නාහිමියන් ශාසනයට දායාද කිරීමයි.

1990 වර්ෂයෙහි කතරගම අභිනවාරාම විහාරස්ථානයෙහි විහාරාධිපතිත්වයට පත්වන ගෞරවාර්හ කපුගම සරණතිස්ස නාහිමියන්, ප්‍රදේශයෙහි ප්‍රමුඛතම පාසල වන කතරගම ජාතික පාසලෙහි විදුහල්පති හිමියන් වශයෙන් හා විහාරස්ථ ශ්‍රී සුගුණතිස්ස ආයුපාල දහම් පාසලේ විදුහල්පති හිමියන් ලෙසත් සිදුකරන ලද සහ සිදු කරනු ලබන අධ්‍යාපනික සේවාව අප්‍රමාණ වූවකි. සිසු සිසුවියන් 2500 ඉක්මවා සිටින දහම් පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් හා ආහාරපානාදිය ලබාදෙමින් ක්‍රියාකරනුයේ මතු නොව තම විහාරස්ථානයට දෛනිකව පැමිණෙන විවිධ වූ ප්‍රභූවරුන්ට මෙන්ම ඕනෑම තරාතිරමක ගිහි පැවිදි ජනී ජනයා ආහාරපානාදියෙන් සන්තර්පණය කරමින් සුහද ආගන්තුක සත්කාරයෙන් යුතුව දක්වන දානපතිත්වය ගිහි පැවිදි සියල්ලන්ට ම ආදර්ශයක් වනු ඇත. එපමණක් නොව භික්ෂූන් වහන්සේලා අතර අතිශය ප්‍රියශීලීව ක්‍රියාකරන මුන්වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අවශ්‍යතා සඳහා කොතෙක් දුර බැහැර වුවත් අතිශයින් අවිවේකී වුවත් ඒ සඳහා සහභාගි වනුයේ තම ගමන් රථයෙහි ඊට අවශ්‍ය වන බොහෝ දෑද ගෙනය. පුදබිම තුළදී ඇතිවන ඕනෑම ගැටලුවකදී තමන්වහන්සේට ආවේණික භික්ෂු පෞරුෂයෙන් යුතුව එම ගැටුම් නිරාකරණය සඳහා ඍජු මැදිහත්වීම් සිදු කරන මුන්වහන්සේ ආධිපත්‍යයට පත්වන විට තිබූ අභිනවාරාමය අපට හොඳින් මතක ඇත්තේ මතු නොව පැවැති අසංවිධිත ගොඩනැඟිලි සමූහය මෙන්ම විහාර සංකීර්ණය සැබැවින්ම අද වනවිට අභිනව ආරාම පද්ධතියක් බවට පත්ව ඇති අයුරු අපූර්ව වූ සිදුවීමකි. අංගසම්පූර්ණ විහාරස්ථානයක් වීම සඳහා ත්‍රිවිධ චෛත්‍ය පිහිටිය යුතු බව බොහෝ ප්‍රකට කරුණක් වන අතර මෙහි ඒ සඳහා අඩුවක් පැවැතියේ චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් පමණි. එම අඩුව අපේ කපුගම නාහිමියන් විසින් නිර්මාණය කරවා ඇත්තේ කළගුණ සැලකීමේ උතුම් බුද්ධානුශාසනය ද මතකයේ තබාගෙන බව පැහැදිලි වන්නේ මතු නොව එය ගිහි පැවිදි සකල සමාජයටම අමතකව අතපසු වූ කරුණකි. එනම් ත්‍රිසිංහලය එක්සේසත් කොට සිංහල බෞද්ධ ප්‍රබෝධය ඇති කළ රණශූර වීර වික්‍රමාන්විත නරපතියකු වූ දුටුගැමුණු මහ රජතුමාට උපහාර වශයෙන් දුටුගැමුණු මහා සෑය නමින් නම්කොට තිබීමය. වෙනත් රජදරුවන්ගේ නම්වලට උපහාර වශයෙන් ඔවුන්ගේ නම්වලින් විවිධ චෛත්‍ය ස්ථාන ඉදිකරවා ඇතත් දුටුගැමුණු රජු නමින් විහාරස්ථානයක මෙවන් දාගැබක් ඉදිවී නොමැත. මෙම උතුම් ඓතිහාසික කාර්යය සඳහා මෑත අතීතයෙහි තිස් අවුරුදු බෙදුම්වාදී යුද්ධය ජග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ලබාදෙන ලද අනුග්‍රහය ද සුවිශාල වන අතර එම උතුම් චෛත්‍ය නිර්මාණය සඳහා සුවිශාල මූල්‍ය දායකත්වය කළුබෝවිල මහානාම පේන්ට් සෙන්ටර් අධිපති මහානාම විදානගමගේ පේමදාස මැතිතුමා සහ දර්ශනී පේමදාස මැතිනිය විසින් දරා ඇති අතර එය සම්බුදු සසුනේ චිරස්ථිතිය සඳහා දක්වන ලද මහත් අනුග්‍රහයක් වශයෙන් අගය කළ යුතුව ඇත. මෙය විහාරාධිපති පූජ්‍යතර කපුගම සරණතිස්ස නාහිමියන්ගේ ඉල්ලීමක් අනුව සිදුවූවක් නොවන බවද සඳහන් කරනුයේ මතු නොව අභිනවාරාමය අභිනව ආරාම සංකීර්ණයක් හැටියට අංගසම්පූර්ණ කිරීමේ නාහිමියන්ගේ අභිලාෂයෙහි මූල සාධකයක් වන අතර අභිනව බෝධි රෝපණය සමග ඉදිකරවා ඇති බෝධි ප්‍රාකාරය ද සමගින් ත්‍රිවිධ චෛත්‍ය සම්පූර්ණ කිරීමක් වනු ඇත. සැබැවින්ම රට බේරාගත් උදාර නරපතියකුට උපහාර වශයෙන් ඉදිකරවන ලද මෙම සෑ රදුන් අපේ ඉතිහාසයේ තවත් අමරණීය මතක සටහනක් වන්නේ මතු නොව පූජ්‍ය කපුගම සරණතිස්ස නා හිමියන් මෙම ස්ථානය මෙසේ අංගසම්පූර්ණ ආරාම සංකීර්ණයක් බවට පත් කරන ලද්දේ පමණක් නොව කතරගම නව නගරයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය සහ සිතුල්පව්ව මාර්ගයෙහි ඉදිකරවන්නට යෙදුන ශ්‍රී බෝධිරාජ විහාරය ද මුන් වහන්සේගේ උතුම් පැවිදි ජීවිතයේ අමරණීය මතක සටහන් බවට පත්වන මහත් සාධකයන්ය.

මෙසේ ඓතිහාසික කතරගම මහා දේවාල සංකීර්ණයෙහි නිර්මාතෘ තුන් සිංහලය එක්සේසත් කොට රට ආරක්‍ෂා කරගනිමින් සම්බුදු සසුනට අප්‍රමාණ මෙහෙයක් කළ මහා සැදැහැති දුටුගැමුණු මහරජ උපහාර චෛත්‍යරාජයන් වහන්සේ නිරාවරණය කොට බොදුජන වන්දනාවට පත් කිරීම අගෝස්තු මස 02 වැනි දින මහනුවර මල්වතු විහාර පාර්ශ්වයේ උතුම් අනුනායක ධුරීන කුලපති ආචාර්ය නියංගොඩ විජිතසිරි මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුතුව සිදු කිරීමට නියමිතව තිබේ. එම උතුම් ශාසනික කාර්යය සඳහා අපගේ ශුභාශිංසනය ද පළ කරනු කැමැත්තෙමු.

කොළඹ 06 හැව්ලොක් සිටි සාම විහාරාධිපති දක්ෂිණ ලංකාවේ සමථ බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝ නායක
●අතපත්තුකන්දේ ආනන්ද නාහිමි

සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment