අභිනව ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරී ධුරය ලබන ඊතලවැටුණවැවේ ඤාණතිලක නාහිමි

49

අසදෘශ මහාසෑය වන ස්වර්ණමාලී චෛත්‍ය රාජයා සිරිලක මුදුන් මල්කඩකි. එම ස්ථානයේ භාරකාරත්වය ලැබීම සසර ගමන් මගේ පිංවත්ම අවස්ථාවකි. මිරිසවැටිය පිංබිමේ කළ ඒ පිං පිරීමෙන් වාසනාවන්ත වූයේ ඊතල්වැටණුවැවේ ඤාණතිලක නාහිමියන් ය. වව්නියාව මඩුකන්ද – මාමඩුව ප්‍රදේශයේ ඉපිද (1969—05—-01) රත්මල්ගහවැව ප්‍රදේශයේ ළමා කාලයගත කළ ඤාණතිලක දිසානායක කුල කුමරුවා කේ. බී. සීතා මැණිකේ හා එන්. ගුණවර්ධන මව්පිය යුවළගේ දෙටු පුත්‍රයායි.

සාමණේර සමය

එවක රුවන්මැලි සෑ චෛත්‍යාරාමාධිපතිව වැඩ වාසය කළ ඇතිනිමලේ ගුණරතන නාහිමියන්ගේ සහ අටමස්ථානාධිපතිව වැඩ විසූ පල්ලේගම ඤාණරතන නාහිමියන්ගේ ගුරුහරුකම් ලබමින් 1981 මැයි 13 වැනිදා ඤාණතිලක කුලකුමරුවා ඤාණතිලක හිමි නමින් සසුන්ගත විය.

උන්වහන්සේට රුවන්මැලි සෑ ස්ථානයේ සාමණේර අවධිය දැනුම, ශික්ෂණය හා අපමණ අද්දැකීම්වලින් පිරුණු සමයක් විය. එමෙන්ම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආවතේව පුද පූජා හා පිංකම්වලට එක්ව කටයුතු කිරීමේ අවස්ථාව ද උන්වහන්සේලාට හිමිව තිබේ. ඤාණතිලක හිමියන්ට වැඩිදුර අධ්‍යාපනය සඳහා සඳලංකාවේ ශාස්ත්‍රෝදය මහපිරිවෙණට ඇතුළත්වීමට අවස්ථාව හිමිවිය. 1989-05-23 දින උන්වහන්සේ උපදම්පදාව ලැබූ සේක.

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරු උන්වහන්සේ ඉන් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජවිද්‍යාපති පශ්චාද් උපාධිය ලබාගත්තේ ය. ඇතිනිමලේ ගුණරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් 1993 වසරේ දී රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරි ධුරයට පත්වූ අතර රුවන්මැලි සෑ විහාරවාසීව වැඩ විසූ ඤාණතිලක හිමියන්ට ලාබාල අවධියේ දීම බොහෝ වගකීම් සපිරි මිරිසවැටිය විහාරයේ නායකත්වය භාරගන්නට විය. එදා සිට සෑ මළුවේ සංවර්ධන කටයුතු මෙන්ම ආගමික ස්ථානයක් ලෙස මිරිසවැටිය ස්ථානයේ සමාජ සේවාව ඉහළින්ම පවත්වාගෙන යන්නට ඤාණතිලක හිමියන්ට බොහෝ අවස්ථාවන් නිර්මාණය කරන්නට සිදුවිය.

දාගැබ පිළිසකර කිරීම

1987 පොසොන් පොහොය දිනයේ දී දාගැබේ කොත් පැළඳවීමට සියලු කටයුතු සූදානම් කර තිබුණ ද ඊට පෙරදා රාත්‍රියේ පිරිත් ආරම්භවීමත් සමඟ දාගැබ ගුගුරා කඩා ඇදහැළිනි. 1991 මාර්තු 12 වැනි දින පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අධීක්ෂණය යටතේ දාගැබෙහි ප්‍රතිශංස්කරණ කටයුතු නැවත ආරම්භ විය. 1994 දී අභයගිරි විහාරාධිකාරීව වැඩවිසූ පෙරිමියන්කුලමේ උපතිස්ස නාහිමියන් අපවත් වීමෙන් පසු සිරිනිවාස නාහිමියන්ට මිරිසවැටිය විහාරය අත්හැර අභයගිරියේ වගකීම් භාරගැනීමට සිදුවිය. මිරිසවැටියේ උන්වහන්සේ අරඹා තිබූ සංවර්ධන කටයුතු පුළුල් කිරීම උදෙසා ඤාණතිලක නාහිමියන් වෙත අටමස්ථානාධිපති පල්ලේගම ඤාණරතන නාහිමියන් වගකීම් පවරා ඇත්තේ මෙම අවස්ථාවේ ය. ඒ වනවිට දාගැබ ගඩොල් බඳන ලද පෙනුමින් යුතුව තබා අංගනය සකස් කිරීමට යෝජිත විය. මිරිසවැටිය විහාරාධිකාරී ලෙස වැඩ භාරගත් ඊතල්වැටුණුවැවේ ඤාණතිලක හිමියන්ට දශක ගණනක් තිස්සේ නිම කළයුතු එම වැඩ කොටස් රාශියක් භාරගන්නට සිදුවිය. දාගැබ කපරාරුකර සුදු හුණු පිරියම් කිරීම, ආයක තැනීම, මළුව සැකසීම, ප්‍රකාරය සකස්කිරීම, විහාරගෙය නවීකරණය, විදුලි පද්ධතිය හා ආලෝක පද්ධතියක් සැකසීම, වැලි මළුව සැකසීම ආදි සංරක්ෂණ කටයුතු සමඟ පුරාවිද්‍යාත්මක සංරක්ෂණ මෙහෙයවීම, ආදී පුළුල් වැඩ කොටසක් ඒ අතර සිදුවිය. කෙටි කලකින් එම ඉලක්කයන් සපුරා අද ඇති අංග සම්පූර්ණ චෛත්‍ය මළුව ගොඩනඟන්නට උන්වහන්සේට හැකිවිය.

වර්තමානයේ අලංකාර විහාර මන්දියරයකින් ද සතර දිශාවේ ශෛලමය පුන්කලස් සහිත සුදු යකඩ ගේට්ටුවලින් ද සමාධි බුද්ධ ප්‍රතිමාවකින් හා දුටුගැමුණු රජුගේ අලංකාර ශෛලමය ප්‍රතිමාවකින් සෑ මළුව අලංකෘතව තැබීමට නාහිමියන් සමත් විය. එම මළුවේ වසංගත රෝග දුරුකිරීම සඳහා ඉකුත් වසරේ මහා පරිත්‍රාණ ධර්ම දේශනයක් ද පැවැත්වීමට නාහිමියෝ කටයුතු කර තිබුණේ එම අවස්ථාවේ එවැනි පිංකම් කිරීම පවා අභියෝගාත්මකව තිබියදී ය. වර්තමාන මිරිසවැටිය පුදබිම දාන මාන පිංකම්වලින් පිරුණු දිනෙන් දින සැදැහැවතුන්ගේ ආකර්ශනය ලබන ස්ථානයකි.

ජාතික – ආගමික – සාමාජීය සේවාවන්

එදිනෙදා ජනජීවිතයේ දී ජනතාව මුහුණ දෙන අගහිඟකම් සෑම දෙයක්ම පාදක කරගෙන මෙම පරිත්‍යාග වැඩසටහන් සංවිධානය කිරීම ඥාණතිලක නාහිමියන්ගේ පුරුද්දක් විය. සෑම වසරකම ගොවි පවුල් දහසකට උපකාර කිරීම, පාසල් ළමුන් දහසකට ශිෂ්‍යත්ව ආධාර ලබාදීම, ගැබිනි මවුන් දහසක් දෙනාට වසර කීපයක් සඳහා පිරිමැහෙන ද්‍රව්‍ය ආධාර ලබාදීම, සාමණේර හිමිවරුන් දහස් නමකට අධ්‍යාපන උපකරණ හා පිරිකර පූජා කිරීම මෙන්ම දුෂ්කර වෙහෙර විහාරස්ථානවලට අවශ්‍ය සියලුම ආකාරයේ ගෘහ උපකරණ හා පාරිභෝජ්‍ය ද්‍රව්‍ය පිරිනැමීම ඤාණතිලක නාහිමියන්ගේ සමාජ සේවා වැඩසටහන් අතර ප්‍රමුඛ තැනක් ගනී. ඕනෑම තරාතිරමක නායකයකුට කිවයුතු දේ මුහුණුට කීමේ ශක්තියත්, ඊටම ආවේණික වදන්මාලාවක් හා ලගන්නාසුළු ස්වරයකුත් උන්වහන්සේ සතු ය.

කිරිඅම්මා දානය

මිරිසවැටිය ස්ථානයටම ආවේණිකව කිරිඅම්මා දානය ආරම්භ කළේ ත්‍රස්තවාදය හමුවේ පරාජිතව සිටි ජාතිය අවදි කිරීමේ ශාසනික මෙහෙයක් ලෙස ය.

උන්වහන්සේ මිරිසවැටිය භාරගත්දා සිට ගෙවුණු දශක දෙකක්ම රටේ යුද ගිනිදැල් පැවැතිණි. ඒ වෙනුවෙන් කරන සත්ක්‍රියාවක් ලෙස කිරි අම්මාවරුන් දහසක් ආදී වශයෙන් විශාල පිරිස් කැඳවා මෙම දානයන් සංවිධානය කරන්නට නාහිමියෝ කටයුතු කළහ.

කුලපති ධුරය

රජරට ප්‍රදේශයෙන් බිහිවූ ප්‍රථම කුලපති හිමිනම ලෙස 2020 ජූලි 24 වැනිදා රටේ ඉහළම නිලධාරීන් එක්ව උන්වහන්සේව මහත් හරසරින් පිළිගැනීම සිදුවිය. හුදෙක්ම ගරු තනතුරක් වූ නමුත් කුලපතිවරයකු මේ දක්වා රජරටින් පත්ව නැත. නාහිමියන්ගේ සේවාව සාම්ප්‍රදායික කුලපති තනතුරෙන් බැහැර එකක් බව පෙනේ. වර්තමානයේ ඉදිවෙමින් පවතින තාක්ෂණ පීඨයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන හා සැලැස්ම අනුමත කිරීමට උන්වහන්සේ ජනාධිපතිවරයා හා සෘජුව සාකච්ඡා කළ සේක. විශ්වවිද්‍යාලය අරඹා ඇති කාබනික පොහොර වැඩසටහන, තිරසර කෘෂි නිෂ්පාදන වැඩසටහන ආදියට ද නාහිමියෝ මැදිහත් වූහ. සරසවි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩසටහන් හා පාපැදි ආදී පරිත්‍යාගයන් ද උන්වහන්සේ අතින් සිදුවෙමින් පවතී. අභිනවයෙන් අටමස්ථානාධිපති ධුරයට පත් නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක සාහිත්‍යශූරී පල්ලේගම හේමරතන නාහිමියන් රුවන්මැලිසෑයේ භාරකාරත්වය පිරිණැමුවේ ඤාණතිලක නාහිමියන්ට ය. එය මහා විහාරයේ සමගිය හා ශක්තිය අනාගතයටත් ආරක්ෂා කරමින් ගත් ජයග්‍රාහී තීන්දුවක් බවත් එම තීන්දුව ගැනීමට තමාට කැපවීමෙන් සහාය වූ අන්අයට ප්‍රසාදය පලකරන බවත් පවසමින් හේමරතන නාහිමියෝ ඉකුත් බදාදා මෙම පත්වීම නිවේදනය කළහ. ඒ අටමස්ථාන සංඝ සභාව ගත් තීරණයක් ලෙස ය.

අනුරාධපුර විශේෂ –
පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment