අභිරහසකින් කෙළවර වූ ගෝර්කිගේ හැට අට වසරක ජීවිතය

564

රුසියානු මහා ලේඛක මැක්සිම් ගෝර්කිගේ 155 වන ජන්ම දිනය මාර්තු 28 වැනි දිනට යෙදී තිබේ. ඒ අළලා කොළඹ රුසියානු මන්දිරය හා රුසියානු සාහිත්‍ය කවය සංවිධානය කරන සමරු උළෙලක් මාර්තු 29 වැනි දින ප.ව. 3.00 ට කොළඹ රුසියානු මන්දිරයේ දී පැවැත්වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

විසිවන ශතවර්ෂයේ මුල් භාගය වනවිට ලොව වඩාත් ම ප්‍රසිද්ධ ලේඛකයා බවට පත්ව සිටියේ, ‘ලෝකය පවතින්නේ හිරුගේ රශ්මියෙන් සහ මවගේ කිරිවලිනි’ යන ලෝක ප්‍රකට කියමනට උරුමකම් කියන රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කි ය. ඇලෙක්ස් මක්සිමෝව් පෙස්කොග් නමින් 1868 මාර්තු 28 වන දින මෙලොව එළිය දුටු ඔහු පසුව නමින් අප කවුරුත් දන්නා හඳුනන ‘මැක්සිම් ගෝර්කි’ බවට පත් වී ය. ගෝර්කි සෝවියට් රුසියානු ලේඛකයකු ලෙස මෙන් ම සමාජවාදී යථාර්ථය පිළිබිඹු කෙරෙන සාහිත්‍ය ක්‍රමයේ ප්‍රාරම්භකයා ලෙස ද හැඳින්වේ. තව ද, ඔහු දේශපාලන ක්‍රියාකරුවකු වශයෙන් ද ප්‍රකට ය.

රුසියානු සාහිත්‍යයේ පෝෂණය උදෙසා මහඟු සේවයක් ඉටු කළ මැක්සිම් ගෝර්කි, ඇලෙක්සි මැක්සිමොවිච් පෙෂ්කොව් නමින් උපත ලබන්නේ රුසියාවේ වොල්ගා ගඟ අසල පිහිටි නිෂ්නි නොව්ගොරොද් නමැති ප්‍රදේශයේ ය. කුඩාකල සිට ම ඇලෙක්සිට දුක් විඳීමට සිදුවූයේ ඔහු දිළිඳු පවුලක උපත ලද හෙයිනි. ‘මගේ ළමා කාලය ගැන කීමට තිබෙන්නේ මට ළමා කාලයක් නොතිබුණු බව‘ යැයි ඔහු පසුකලෙක පවසා තිබෙන්නේ ද ඔහුගේ ළමාවිය සුන්දර සහ ප්‍රීතිමත් එකක් නොවූ බැවිනි. ඇලෙක්සිට මව්පිය සෙනෙහස ලැබීමට හැකි වූයේ ද ඉතා ටික කලකි. ඔහුට අවුරුදු පහේ දී පියා මියගිය අතර, ඉන් ටික කලකට පසු මව ද මිය ගියා ය. ඉන්පසු කුඩා ඇලෙක්සි ඇති දැඩි වූයේ ආච්චි සහ සීයා සමඟ ය. සීයාගේ රැකියාව වූයේ ඇඳුම්වලට සායම් පෙවීම ය. ඉතා දරදඬු පුද්ගලයෙකු වූ සීයා කුඩා ඇලෙක්සිට සැලකුවේ ඉතාමත් නපුරු ආකාරයට ය. ඇලෙක්සිට ආදරය කරුණාව ලැබුණේ තම ආච්චිගෙන් පමණි.

ඇලෙක්සිගේ දුක තුනීකිරීම සඳහා ආච්චි ඔහුට ජනකතා සහ සුරංගනා කතා කියා දුන්නා ය. ඇය කියාදුන් ඒ සුරංගනා කතාවල ප්‍රධාන කාන්තා චරිතය බවට සැමවිට ම පත්වූ තම මව ඇලෙක්සි සිතින් මවා ගත්තේ ය. ඔහු ඒ තරමට ම මවට දැඩි ආදරයක් දැක්වූයේ ය. ආර්ථික දුෂ්කරතා මැද සීයා කුඩා ඇලෙක්සි ටික කලක් පාසල් යැවූ නමුත්, ඇලෙක්සිට අවුරුදු අටේ දී පාසල් ගමන නතර කරන්නට සිදුවී ය. ඉන්පසු ඔහුට සිදුවූයේ, රැකියාවක් කර මුදල් උපයන්නට ය. පාවහන් වෙළෙඳසැලක අත් උදව්කරුවකු ලෙස ඔහු මුලින් ම සේවය කළේ ය. එහි දී කුඩා ඇලෙක්සිට විවිධ ආකාරයේ මිනිසුන් හා ගැටෙන්නට සිදුවී ය.

ප්‍රතිමා පින්තාරු කරන්නකු ලෙස ද, වොල්ගා නදියේ දුම්නැවක පිඟන් සෝදන්නකු ලෙස ද ඔහු සේවය කළේ ය. දුම්නැවේ මුළුතැන්ගෙයි සේවය කරද්දී කුඩා ඇලෙක්සි පොත් කියවීම කෙරෙහි යොමු කළේ එහි සිටි ‘ස්මූරි’ නමැති කෝකියා ය. රසවත් සුරංගනා කතා කියා දුන් ආච්චි ඇලෙක්සි පොත් කියවීමට යොමු කළ පළමු මාර්ගෝපදේශිකාව වූ අතර, ‘ස්මූරි’ එය තව තවත් වර්ධනය කළේ ය. ඉන්පසු ඔහුගේ එක ම පරමාර්ථය වූයේ පොතපත කියවීම ය.

‘මටත් නොදැනීම මම කියැවීමට පුරුදු වීමි. මා පොතක් අතට ගත්තේ ඉමහත් සතුටකිනි.’ ඇලෙක්සි පසු කලෙක ලියූ ඔහුගේ චරිතාපදානයේ සඳහන් කළේ ය.

දුම්නැව නිෂ්නි නගරයට පැමිණි පසු ඇලෙක්සි නැවේ සේවයෙන් සමුගෙන ඒ නගරයේ නිවසක මෙහෙකරුවකු ලෙස සේවය කරන්නට වී ය. එහි දී ද ඇලෙක්සිගේ පොත් උමතුව අඩු වූයේ නැත. එහි දී ඔහුට හමු වූ ඇඳුම් මහන්නෙකුගේ බිරිඳකගෙන් ඉල්ලාගත් පොත් කියවීමට ඔහු කාලය සොයා ගත්තේ ය. දර පැලීමට ගිය අවස්ථාවේ දී දරමඩුවේ හිඳ ඔහු පොත් කියවූයේ ය. නැතිනම්, අටුවට නැග පොත් කියවූයේ ය. ඔහුගේ ස්වාමි දුව ඔහු රාත්‍රී කාලයේ දී ඉටිපන්දම් දවමින් පොත් කියවනවාට කොහෙත්ම කැමති වූයේ නැත. මේ නිසා හොරෙන්-හොරෙන් පොත් කියවන්නට ද ඔහුට සිදුවී ය.

බෙහෙත් සාප්පුවේ සිටි බෙහෙත් කලවම් කරන ගෝල්බර්ග් ද ඇලෙක්සිට පොත් කියවීම කෙරෙහි අගනා උපදෙස් රැසක් ලබාදුන්නේ ය. ගෝල්බර්ග් පැවසූ සියල්ල කුඩා ඇලෙක්සිගේ සිතට හොඳින් කා වැදුණි. ‘මා පළමු වරට බුද්ධිමත්ව පොත්පත් කියවීමට උගත්තේ වයස අවුරුදු දහ හතරේ දී
පමණ ය’ ඔහු සිය චරිතාපදානයේ සඳහන් කර තිබේ. ඔහු කිය වූ සෑම පොතක් ම ඔහුට අලුත් නුපුරුදු ලෝකයකට විවෘත කරන ලද කවුළුවකට සමාන වී ය. ඔහු හිඟාකන සිඟන්නෙකු මෙන් පොත් සොයමින් ඇවිද ගියේ ය. නොයෙක් වධ වේදනා නින්දා අපහාස විඳිමින් අමිහිරි ළමාවියක් ගෙවූ ඇලෙක්සිට සිටි එක ම සහ වටිනාම මිතුරා වූයේ පොත් ය.

පොත් කියවීම පිළිබඳව ඔහු පළ කළේ මෙවන් අදහසකි.

‘මා වැඩි වැඩියෙන් පොත් කියවූ තරමට ඒ පොත් මා ලෝකයට වඩ වඩාත් ළංකොට තැබුවේය. ජීවිතය මට වඩ වඩාත් ප්‍රාණවත්, පැහැදිලි සහ අර්ථවත් එකක් වී ය. මා කියවූ සැම පොතක් ම, පොතක පිටුවක් ම මා සිත් කළඹවා මා නොදැන සිටි ලෝකයකට මා කැඳවා ගෙන ගොස් මගේ හදවත දිරි ගැන්වූ, සන්සුන්කමින් පිරි එහෙත්, කිසියම් බලපෑමක් කළ පණිවුඩයක් මා වෙත ගෙනාවේ ය.’

රස්තියාදුකාරයකු ලෙසත්, අතේ සතේ නැති පාදඩයකු ලෙසත් මුළු රුසියාව පුරා ඇවිද තිබූ ඇලෙක්සි ඒ ඒ සංචාරවල දී ඇසූ දුටු දේ ඇසුරෙන් තමා සතු කරගත් අත්දැකීම් ප්‍රමාණය බොහෝ ය. ළමාවියේ සිට ම ලැබූ එවැනි විවිධ සමාජ අත්දැකීම්වලින් ලැබූ පන්නරයත්, පොතපත කියවා ලැබූ ඥානයත් ඉවහල් කරගෙන ඔහු තරුණ වියේ දී පොතපත ලිවීමට පටන් ගත්තේ ය. ඒ ඔහුගේ අතිජාත මිත්‍රයා වූ ඇලෙක්සැන්ඩර් කලුෂ්කිගේ දැඩි බලකිරීම නිසා ය. ඒ අනුව ඔහු 1892 වර්ෂයේ දී තම ප්‍රථම සාහිත්‍ය නිර්මාණය වූ ‘මකාර් වුද්‍රා’ (Makar Chudra) නම් කෙටිකතාව ප්‍රකාශයට පත් කළේ ය. ‘මකාර් චුද්‍රා‘ කතාවට පාදක වූයේ ඔහු රුසියාව පුරා ඇවිදින විට ඔහුට හමු වූ අහිකුණ්ඨික චරිත කිහිපයකි.

‘අලෙක්සි මක්සිමොවිච් පෙෂ්කොව්’ මැක්සිම් ගෝර්කි බවට පරිවර්තනය වූයේ ‘මකාර් වුද්‍රා’ නිසා ය. ‘කොක්සෙස්’ නමැති දිනපතා පුවත්පතේ ඔහු මේ කෙටිකථාව පළ කළේ මැක්සිම් ගෝර්කි යන අන්වර්ථ නාමයෙනි. ඉන්පසු රුසියාව ම ඔහු ඒ නමින් හඳුන් වන්නට වී ය.

ඔහු නිරතව සිටි වහල් රැකියාවන්ගෙන් ගෝර්කි නිදහස් කොට පිළිගත් රැකියාවකට යොමු කළේ ලෙනින් නම් නීතිඥයා සහ කොරලෙන්කෝ විසිනි. ඒ අනුව, 1893 ප්‍රාදේශීය ප්‍රවෘත්ති පත්‍ර ආයතනයක සේවයට ගිය ගෝර්කිට ලිවීමේ ආශාව මුදුන් පමුණුවා ගැනීමට අගනා අවස්ථාවක් උදා වී ය. ගෝර්කිගේ නිර්මාණ ජනතාව අතරට ගෙනගිය ප්‍රධාන මාධ්‍ය පුවත්පත් වූ අතර, ඔහුගේ කතා කෙමෙන්-කෙමෙන් ජනප්‍රසාදය දිනා ගත්තේ ය. එයින් ජීවිතයට ආර්ථික ශක්තියක් මෙන් ම, ලේඛනයේ පුහුණුවත්, ශික්ෂණයත් ලැබිණි. පුවත්පත් ලෝකයට අවතීර්ණ වීමත් සමඟ ගෝර්කි ලද සම්පතක් වූයේ, ගෝර්කි ලිපි ලියූ පුවත්පතේ සෝදුපත් කියවන්නියක වූ කතරින් වොල්ෂ්කයා නම් යුවතිය ඔහුගේ බිරිඳ බවට පත්වීම ය.

ලේඛකයකු ලෙස සමාජය තුළ ස්ථාවර නමක් දිනාගත් පසු ඔහු සිය කෙටිකතා කාණ්ඩ දෙකක් වශයෙන් ප්‍රකාශයට පත් කළේ ය. මෙම කෘති යුගල කෙටි කලක් තුළ අලෙවි වාර්තා බිඳ දමමින් පිටපත් ලක්ෂයක් අලෙවි වී ය. ලියෝ ටෝල්ස්ටෝයිගෙන් පසුව ජනතාව අතරට ගිය ලේඛකයා මැක්සිම් ගෝර්කි ය.

එසේ අහම්බෙන් සාහිත්‍ය ලෝකයට ආ මැක්සිම් ගෝර්කි පසුව සෝවියට් සාහිත්‍යයේ පීතෘවරයා බවට ද, සමාජ යථාර්ථවාදයේ පුරෝගාමියකු බවට ද, රුසියානු සාහිත්‍යයේ දැවැන්ත පුරුෂයකු බවට ද පත් වී ය. එකී ජනප්‍රසාදයත් සමඟ සමාජයේ කැකෑරෙමින් පැවති විප්ලවීය ව්‍යාපාරයේ ප්‍රධාන භූමිකාවක් ගෝර්කිට පැවරිණි. ඒ අනුව, 1901 දී විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය කණ්ඩායමක් ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පවත්වන ලද දේශපාලන පෙළපාලියක් ක්‍රෑර ලෙස මර්දනය කිරීමෙන් පසුව ගෝර්කි සංකේතාත්මක කාව්‍යයක් වන ‘වැහි ලිහිණියාගේ ගීතය’ (The Song of The Stormy Petrel) රචනා කළේ ය.

මෙම කාව්‍යය අර්ථගන්වා ගැනීමට රුසියානු ජනතාවත්, රුසියානු සමාජයත් කදිම ලෙස සමත්ව සිටියේ ය. මේ කාව්‍ය රචනයේ ප්‍රතිඵල යහපත් නොවී ය. රජය ගෝර්කි අත්අඩංගුවට ගත්තේ ය. එය පළකළ සඟරාව තහනම් කළේ ය. දිගින් දිගට ම එල්ල වූ කෙනෙහිලිකම් සමග 1902 විද්‍යා කලා ඇකඩමියේ ඔහුගේ සාමාජිකත්වය ද අවලංගු කර දැමිණි. මෙයට විරෝධය පාමින් චෙකොෆ් ද, කොරලෙන්කෝ ද සිය තනතුරුවලින් ඉල්ලා අස්වූ හ.

1905 රුසියාව දෙවනත් කළ සන්නද්ධ කැරැල්ලෙන් පසුව ගෝර්කි සිරභාරයට ගැනිණි. ක්ෂයරෝගියකු වූ ඔහුගේ රෝගී තත්ත්වය සිරගෙදර දී උග්‍රවීමත් සමඟ ඔහු නිදහස් කෙරිණි. මේ වනවිට ඔහු ආණ්ඩු විරෝධියකු ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටියේය. එසේ ම ප්‍රගතිශීලී පිරිස් අතර නායකයෙකු බවට ද පත්ව සිටි ගෝර්කි වටා අතිවිශාල ජනකායක් ඒකරාශිව සිටියේ ය.

මිනිස්සු ගෝර්කි උන්මාදයකින් පෙළෙන්නට වූ හ. ඔහු අඳින කාලවර්ණ කබා, ගෙල දක්වා බොත්තම් පියවූ කමීස, බූට්ස්, ඔහු පාවිච්චි කළ ගැට සහිත බස්තම් යනාදිය විලාසිතාවක් මෙන් තරුණයන් අතර පැතිර ගියේ ය. පීටර්ස්බර්ග් නගරයට ගිය ගෝර්කි බැලීමට පැමිණි පිරිස හසුරුවාලීමට පොලීසිය පවා යොදවන්නට සිදුවී ය.

මේ ජනබලය සමඟ නැගී ආ ගෝර්කිගේ ‘සුළු ධන පන්තිකයා’ වැනි නාට්‍ය පොලීසිය විසින් තහනම් කරන ලද්දේ ය. නාට්‍යයේ අවසන් පුහුණුව පැවැති
අවස්ථාවේ දී නාට්‍යාගාරය වටා රැකවල් ලා ගත් පොලීසිය සහ සිවිල් ඇඳුමින් සැරසුණු රහස් පොලීසිය ප්‍රේක්ෂාගාරය වැටලූ හ. මේ අවස්ථාව සියැසින් දුටු සුප්‍රකට නාට්‍යකරු ස්ටැනිස්ලවුස්කි ‘මෙය නාට්‍ය පුහුණුවක් නොව, යුද්ධයකට සූදානම් වීමක්’ බව පැවසී ය.

1905 සන්නද්ධ කැරැල්ලෙන් පසු සිරෙන් නිදහස් වී විදේශගත වූ ගෝර්කිට නැවත රුසියාවට පැමිණීම තහනම් කරන ලද අතර, ඔහු දේශපාලන සරණාගතයකුගේ තත්ත්වයට පත් වී ය. එනිසා, ඉතාලියේ කැප්රි දූපතේ නතර වී තම සාහිත්‍ය කටයුතුත්, දේශපාලන කටයුතුත් කරගෙන යෑමට ගෝර්කිට සිදුවී ය.

අභිරහසකින් කෙළවර වූ ගෝර්කිගේ හැට අට වසරක ජීවිතය

ගෝර්කිගේ සුප්‍රසිද්ධ නවකතාව වන ‘අම්මා’ (The Mother) පළවන්නේ 1907 දී ගෝර්කි දේශපාලන සරණාගතයෙකු වශයෙන් පසුවද්දී ය. එය විප්ලවවාදී සාහිත්‍යයේ ප්‍රථම දැවන්ත නිර්මාණය ලෙස සැලකේ. කම්කරු පන්තියේ ජීවන තතු අතිශය දයාන්විත ලෙසත්, පැහැදිලි ලෙසත් පළමුවරට ප්‍රකාශ කෙරුණ සාහිත්‍ය කෘතිය වන්නේ ‘අම්මා’ නවකතාව ය.

‘අම්මා’ නවකතාව ගැන ලෙනින් මෙසේ ප්‍රකාශ කළේ ය.

‘කම්කරුවන් විප්ලවයට සහභාගි වූයේ, ඉවකින් මෙනි. මෙය කම්කරු ජනතාවට අවශ්‍ය පොතකි. ඔවුන් මේ කාලෝචිත කෘතිය කියවා ඉමහත් ප්‍රයෝජන ලබනු ඇත.’

‘අම්මා’ නවකතාව සමාජවාදීන් විසින්ද, කම්කරු ජනතාව විසින් ද මහත් ගෞරවයකින් වැළඳගනු ලැබී ය. කෘතිය පළ වී ටික කලකින් ම එය විදෙස් භාෂා රැසකට පරිවර්තනය වී ය. ලොව වටා කෝටියකට අධික ප්‍රමාණයක් පිටපත් අලෙවි වී ය. කාර්මික විප්ලවයේ විවිධ ලක්ෂණ රුසියාවට ඇතුළුවීමත්, ධනවාදයේ නැගීමත්, ඒ සමඟ ම රුසියානු ජන සමාජයේ ඇතිවූ කලබලකාරී ස්වභාවයත් එහි මැනවින් පිළිබිඹු කර තිබේ.

‘අම්මා’ නවකතාවත් සමඟ ගෝර්කි සිය නිර්මාණකරණයේ නව ප්‍රවේශයකට යොමු වී ය. ඔහුගේ නවකතා වඩාත් පරිණත නව මගක් ගත් අතර, රුසියානු සමාජයේ අන්ත දරිද්‍රතාව, ක්‍රෑරත්වය හා ම්ලේච්ඡ බව ඔහුගේ මේ නිර්මාණවලට පාදක වී ය.

ගෝර්කි සහ ලෙනින් හොඳ මිතුරන් වුව ද, ලෙනින්ගේ දේශපාලනය තුළ සැමවිට ම ගෝර්කි නොසිටියේ ය. ඔහු කෙදිනකවත් බෝල්ෂේවික් පක්ෂයේ සාමාජිකයකු නොවී ය. එහෙත්, එයට සහාය පළ කළේ ය. 1917 දී ‘නව ජීවිතය’ (The New Life) නමින් ගෝර්කි ආරම්භ කළ පුවත්පතේ ලෙනින්ගේ ‘කොමියුනිස්ට් හිස්ටීරියාව’ ඔහු විවේචනය කළේ ය.

1917 නොවැම්බර් බොල්ෂෙවික්වරුන් බලය අල්ලාගත් පසු සිදු වූ බිහිසුණුකම් ගැන කම්පා වූ ගෝර්කි කොමියුනිස්ට් පාලනයේ පළමු දේශපාලන ක්‍රියාමාර්ග නොබියව විවේචනයට ලක් කළේ ය. බුද්ධිමතුන් හා ලේඛකයන් ආරක්ෂා කිරීම සඳහා රජයෙන් ආධාර ලබාගත් ගෝර්කි ‘ජාත්‍යන්තර සාහිත්‍යය’ නමින් දැවන්ත ප්‍රකාශන ආයතනයක් ඇරඹී ය. මෙමගින් නව සෝවියට් සාහිත්‍යය වැඩෙන්නටත්, නව ලේඛක පරම්පරාවකට වැඩෙන්නටත් අතහිත දීමට ගෝර්කිට හැකි වී ය.

ගෝර්කි රුසියාවේ ඇතිවුණ මර්දනකාරී පාලනයට එරෙහිව බොහෝ දේ ලීවේ ය. සමාජවාදී නායකයන් බලය නිසා දූෂණය වී ඇතැයි ද, ඔවුන් ජනතා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ද, පුද්ගල නිදහසට ද, සියලු ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට ද එරෙහි ආකල්පයක් දක්වන්නේ යැයි ද ප්‍රකාශ කළේ ය. මෙයින් කලකිරීමට පත් ඔහු රුසියාව අතහැර ඉතාලියට ගියේ ය. එහි සිට සඟරාවක් සංස්කරණය කරන්නටත්, සාහිත්‍ය කටයුතු සිදු කරන්නටත් පටන් ගත්තේ ය. ඔහුගේ අගය රුසියාවට හොඳින් දැනෙන්නට වී ය. ඔහු සිය හැටවන ජන්ම දිනයේ දී යළි රුසියාවේ මොස්කව් නගරයට ගියේ, රුසියානු පාලකයන් ඔහු සමඟ නැවත හොඳහිත ඇතිකර ගැනීමෙන් පසුව ය. එවිට අසාමාන්‍ය ගෞරවයකින් ඔහු පිළිගැනීමට සෝවියට් නායකයන් සැදී පැහැදී සිටිය හ.

1917 විප්ලවයෙන් පසු අවධිය හෙවත් පශ්චාත් විප්ලවීය අවධිය ගෝර්කි ලියූ අලුත් නිර්මාණවල පිළිබිඹු නොවී ය. ඒ වනවිට රුසියාවේ සම්භාව්‍ය සාහිත්‍යකරුවෝ මරණයට පත්ව සිටිය හ. ඉතිරිව සිටි ප්‍රධාන සාහිත්‍යධරයා වූයේ ගෝර්කි පමණි. විප්ලවයෙන් පසු ඇති වූ සෝවියට් සමාජවාදී පාලනය විසින් ගෝර්කි පිළිගනු ලැබුවේ නව සෝවියට් සාහිත්‍යයේ පීතෘවරයා හැටියට ය.

ඔහු සිය ජීවිතයේ අවසන් භාගයේ ‘සමාජවාදී යථාර්ථවාදය’ (Social Realism) නම් සමාජ සංකල්පය ඉදිරිපත් කළේ ය. එය සෝවියට් රුසියාවත්, නව සෝවියට් සාහිත්‍යයත් කෙරෙහි අතිමහත් බලපෑමක් ඇති කළේ ය. සමාජවාදී යථාර්ථවාදයේ නිර්මාතෘවරයා වශයෙන් ද ඔහු ගෞරවාදරයට ලක් වී ය.

රුසියානු සාහිත්‍යයත්, 1917 විප්ලවයෙන් පසු ඇරඹි සෝවියට් සාහිත්‍යයත් අතර පාලමක් ඉදිකළ තැනැත්තා ගෝර්කි ය. ප්‍රබල සාහිත්‍යකරුවකු ලෙස ගෝර්කි වඩාත් ම වැදගත් වන්නේ රුසියාවේ වඩාත් ම කැළඹිලි සහිත දේශපාලන වටපිටාව නියෝජනය කළ සාහිත්‍යකරුවා ද වඩාත් ජනප්‍රිය සාහිත්‍යකරුවා ද වශයෙන් බව අසත්‍යයක් නොවේ.

1936 ජුනි මස හදිසියේ රෝගාතුර වූ ගෝර්කි එම මස 18 වැනිදා මෙලොව හැර ගියේ ය. ගෝර්කිගේ මරණය අභිරහසකි. ඔහු මියගියේ ස්වාභාවිකව ද නැත් ද යන්න තවමත් ගැටලුවකි. මේ මරණය සිද්ධවූයේ දක්ෂිණාංශිකවාදීන්ගේ සහ ට්‍රොට්ස්කිවාදින්ගේ සෝවියට් කුමන්ත්‍රණයකින් බව සමහරු කියති. ස්ටාලින්ගේ රහස් නියෝගයකින් ගෝර්කි මරණයට පත්කළ බව තවත් මතයකි. එසේ ම රහසිගත දේශපාලන ක්‍රියාදාමයකින් ගෝර්කිගේ වෛද්‍යවරුන් ලවා වස දී මරා දැමූ බව තවත් පිරිසකගේ මතයකි. මේ මතවාදවලින් පෙනෙන්නේ ගෝර්කි මිය ගියේ ස්වාභාවිකව නොවන බව ය. ඒ කෙසේ වුවත්, තව බොහෝ කලක් තව බොහෝ දේ කරන්නට සිටි ඒ අසහාය ලේඛකයාගේ අකල් මරණය මුළුමහත් ලෝක සාහිත්‍යයට ම දරාගත නොහැකි පාඩුවකි.

● අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment