අමරපුර උදාවෙන් දිදුලන කල්‍යාණිවංශය

185

දහඅට වන සියවස අගභාගය වන විට ලක්දිව උපසම්පදාව අන්තයටම පිරිහී පැවැති සමයෙහි අසරණ සරණ සිරි සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍යානුග්‍රහය සහිතව ශ්‍යාමෝපාලී වංශික උපසම්පදාව ලක්දිවට ගෙනඑනු ලැබීය.

ඉන් අනතුරුව ඇතිවූ නව ශාසනික ප්‍රබෝධය පහත රට ප්‍රදේශයන්හි වඩාත් ප්‍රචලිත කිරීම සඳහා ප්‍රමුඛස්ථානය ගෙන කටයුතු කළ දෙනමක් වූහ. එනම් කරතොට ධම්මාරාම නායක මාහිමිපාණන් වහන්සේ හා බෝවල ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේය.

එවක ශිෂ්‍ය වැලිතර ඤාණවිමල තිස්ස හිමිපාණන්වහන්සේ ආචාර්යෝත්තම බෝවල ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේගේ මග පෙන්වීම හා ආශිර්වාදය සහිතව රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිවම තම ඥාති හිතෛෂී දායක කාරකාදීන්ගේ හා දානපති ප්‍රභූන්ගේ ආධාරෝපකාරයෙන් උපසම්පදාව ලබාගැනීමේ අරමුණින් 1798 දී සියමයට යන අදහසින් මුහුදු ගමන ආරම්භ කළහ. මෙම ගමන සඳහා හෙරණවරු පස් නමක් හා උපාසකයෙක් ද කැපකරුවන් තිදෙනෙක් ද සහභාගි විය. දුෂ්කර මුහුදු ගමනෙහි වසරකුත් තුන් මාසයක් ගත කොට ගමන් මග වෙනස්ව බුරුමයට (මියන්මාරයට) උන්වහන්සේලා සේන්දු වූහ.

බුරුම රට අමරපුර දේශයෙහි සංඝරාජයාණන් වහන්සේ දැන හැඳින 1800 වසරෙහි ස්වර්ණ ගුහා බද්ධ සීමාවෙහි දී උපසම්පදාව ලැබ කලක් බුරුමයෙහි බණ දහම් හදාරා සංඝරාජ පදවිය සහිත බුරුම රජුගේ සංදේශයක් ලැබූ ඤාණවිමල තිස්ස නාහිමි ප්‍රමුඛ පිරිස 1802 දී ලක්දිව බලා වැඩම වූහ. බුරුම රට ස්වර්ණ ගුහා සීමා මාලකයේ දී උපසම්පදාව ලද වැලිතොට ඤාණවිමල හිමිපාණන් වහන්සේ තිස්සාචරිය අග්ගසාර උප සංඝරාජයාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1803 දී වැලිතොට මාදු ගඟෙහි උදකුක්ඛෙප සීමා මාලකයේ දී උපසම්පදා විනය කර්මය පැවැත්වීමෙන් ශ්‍රී ලාංකේය අමරපුර භික්ෂු වංශය සමාරම්භ විය.

හංසාවතී නුවර කල්‍යාණි සීමාව නමින් හැඳින්වෙන්නේ බුරුම රටෙහි උපසම්පදාව නැතිව පැවැති කාලයක බුරුම රජු විසින් ලක්දිව කෝට්ටේ රාජධානියෙහි රජ කළ බුවනෙකබා රජ සමයෙහි එවන ලද භික්ෂු පිරිසක් කැලණි ගඟෙහි දී සිංහල භික්ෂූන් වෙතින් උපසම්පදාව ලබාගෙන ගොස් ඇත. කැලණි නදියෙහි කරන ලද එම උපසම්පදාව අනුස්මරණය කරනු පිණිස හා එයට ගරු කිරීම පිණිස කල්‍යාණි සීමා නමින් මෙය නම් කරන ඇත. එහෙයින්ම මෙම අවස්ථාව අතිශය සුවිශේෂ වන්නකි.

මේවන විට පනස් හය වන වියෙහි පසුවූ කතළුවේ ගුණරතන තිස්ස නාහිමිපාණන් වහන්සේ ඇතුළු පිරිස වර්ෂ 1808 හි මාර්තු මස පසළොස්වක පොහෝ දින රාජගුරු මේධානන්දධජ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපාධ්‍යාය කොට පාරිශුද්ධ උපසම්පදාව ලැබූහ.

අනතුරුව ටික කලක් එහිම වැඩ සිටිමින් සංඝ කර්ම, විනය කර්ම ආදිය පිළිබඳව පරිචයක් ලබා වර්ෂ 1810 ජුනි මස 17 වන දින දොඩන්දූව වරායෙන් ලක්දිවට සම්ප්‍රාප්ත වූහ. ඉන් අනතුරුව කතළුවේ ගුණරතන තිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් දොඩන්දූව ශෛල බිම්බාරාම මූල මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගුණු භික්ෂු පරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය විය.

ආදිපුරිෂෝත්තම ශ්‍රී කල්‍යාණිවංශ ගණපාමොක්ඛාචරිය භදන්ත ශ්‍රී බෝධිසත්ව ගුණෝපේත මහෝපාධ්‍යාය කතළුවේ ශ්‍රී ගුණරතන තිස්ස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පුරා වසර විසිදෙකක කාලයක් මහානායක ධුරය හොබවමින් උත්තම දිවි ගමනේ අසූ වසරක් ආයු වින්දනය කොට 1832 ජූලි මස අපවත් වූහ.

එතැන් සිට මේ දක්වා කල්‍යාණිවංශ නිකායෙහි ධර්ම ශාස්ත්‍රීය වශයෙන් විවිධ විෂයාන්තර ඥානයෙන් පිරිපුන් දෙස් විදෙස්හි සුපතල මහා කීර්තිරාවයන් සහිත පඬිවරුන් ද, ආගමික වශයෙන් සැදැහැ සිත් දහමින් පෝෂණය කළ ධර්ම සන්නිවේදකයන් ද, ප්‍රථම බෞද්ධ පාසල ආරම්භ කිරීම වැනි සමාජ සේවා ඉටුකොට ග්‍රාමීය ජනතාවගේ සිත් දිනාගත් පොදු ජන අවශ්‍යතා සැපිරීමට නායකත්වය සැපයූ සමාජ ශෝධකයන් ද, සමයාන්තර ඥානය සහිතව බුදු දහමෙහි සත්‍යතාව ලොවට හෙළි කළ මහා වාදීභසිංහයන් ද, ග්‍රාම වාසී මෙන්ම ආරණ්‍යවාසී වශයෙන් ලෝක ශාසනික සේවාවන්හි නියුතුව මහා සඟ පරපුරක් නියෝජනය කරමින් ශතවර්ෂ දෙකක් ද ඉක්මවා ඇති කල්‍යාණිවංශ නිකායට නායකත්වය සැපයූ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මෙහිලා සිහිපත් කරමු.

ඤාණවිමල තිස්ස නාහිමියන්ගේ සමුද්‍ර තරණය පරමාදර්ශ කොට ගෙන තවත් භික්ෂු කණ්ඩායම් හතරක් පසු කලෙක බුරුම රටට වැඩම කරවීමෙන් අමරපුර නිකායෙහි ශාඛා ප්‍රවර්ධනයට දායක විය. ඒ අනුව

බෝගහපිටියේ සිරි ධම්මජෝති නාහිමිපාණෝ (උඩරට අමරපුර නිකාය)

අත්තුඩාවේ සිරි ධම්මරක්ඛිත නාහිමිපාණෝ (අමරපුර ධර්මරක්ෂිත නිකාය)

කතළුවේ ගුණරතන තිස්ස නාහිමිපාණෝ (අමරපුර කල්‍යාණිවංශ නිකාය)

කපුගම සිරි ධම්මක්ඛන්ධ නාහිමිපාණෝ (අමරපුර සිරි සද්ධම්මවංශ නිකාය)

මෙවන් යතීන්ද්‍රියන් වහන්සේලා දිවිකැප කොට කරන ලද මෙම ශාසනික සේවාවෙහි ප්‍රධානතම ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් දක්ෂිණ ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශයන්හි වේගයෙන් අන්‍යාගමික කරනයට නතුව පැවැති ජනතාව ඉන් මුදා ගැනීමට හැකිවිය. එමගින් උත්තේජනය ලැබූ ප්‍රාදේශීය ප්‍රභූවරුන් මුල් වී ගමින් ගම වෙහෙර විහාර ඉදිකරන්නට විය. සියලු වැසියන් වෙත බුදු දහමේ ආශිර්වාදය ලබා ගැනීමට මග විවර විය. එමෙන්ම රටපුරා ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධය ඇති කරවමින් ශාසනික ප්‍රබෝධය දෙස් විදෙස්හි පැතිරයන්නට විය.

අමරපුර කල්‍යාණිවංශ පාර්ශවය:

ගාලු දිස්ත්‍රික්කයේ තල්පේ පත්තුවෙහි කොග්ගලට ආසන්නව ඇති කතළුව ග්‍රාමය වඩාත් ප්‍රකට වන්නේ ඓතිහාසික පූර්වාරාම විහාරස්ථානය පිහිටා ඇති බැවිනි. ලෝක ප්‍රකට බිතු සිතුවමින් හෙබි ඉපැරණි විහාර ගෙයක් සහිත මෙම කතළුව විහාරස්ථානය දහ අටවන සියවසෙහි විදේශික ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට හසුවූ ස්ථානයකි. එකල බෝවල ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ ද මෙම විහාරස්ථානයට නිතර වැඩම කොට ඇත. බෝවල නාහිමියන්ගේ ශාසනික මෙහෙවර හඳුනාගත් කතළුව ප්‍රදේශයෙහි ප්‍රභූවරයෙකු වූ හෙට්ටිතන්ත්‍රිගේ කුමාරදාස කුලසූරිය වෙද වලව්වේ මුහන්දිරම් රාළහාමි තම පුත් රාජරත්න කුලසූරිය කුමරුවා සසුන වෙනුවෙන් භාරදී ඇත්තේ ද කතළුව පූර්වාරාමයෙහි දීය.

තම පියතුමන් වෙතින්ම හෝඩිය කියවා අකුරු කරවීම හා ශතක පොත් වන පොත් කොට ලද ශාස්ත්‍ර ශික්ෂණය සහිතවූ පින්වත් කුල කුමරුවා කතළුවේ ගුණරතනතිස්ස නාමයෙන් මාතර ප්‍රදේශයේ විහාරස්ථානයක දී උතුම් පැවිදි බිමට පත්කරන ලදි. බෝවල ධම්මානන්ද මාහිමියන් වෙතින්ම ධර්ම විනය හදාරා විසි වයස් සපුරා සිටි කල වගේගොඩ ධම්මකුසල මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තෙල්වත්තේ තොටගමු විහාරස්ථානයේ පුරාණ බද්ධ සීමාවේ දී වර්ෂ 1773 දී උපසම්පදාව ලැබූහ. එහෙත් එම සීමාව පිළිබඳව මත භේද ඇති වූයෙන් නැවත වරක් තංගල්ල කැටන්තොට උදකුක්ඛෙප සීමාවේ දී උපස්ම්පදාව ලැබූහ. ඒවන විට උන්වහන්සේ හතළිස් හයවන වියෙහි පසු වූහ.

පිරිසිදු උපසම්පදාවක් ලබා ගැනීමෙහි බලවත් ශ්‍රද්ධා සිතින් කටයුතු කළ උන්වහන්සේ ඤාණවිමල තිස්ස මාහිමියන් ආරම්භ කළ සමුද්‍ර තරණය පරමාදර්ශ කොටගෙන බුරුම රටට වැඩම කොට උපසම්පදාව ලබා ගැනීමට තරම් චිත්ත ධෛර්ය බලසම්පන්න විය. ඒ අනුව ඤාණවිමල තිස්ස මාහිමිපාණන් වහන්සේ සමඟ බුරුම රටට වැඩම කළ බෝගහවත්තේ ජයතු ජිනතිස්ස හිමියන් මාර්ගෝපදේශකත්වය සඳහා සම්බන්ධ කරගෙන තම ආචාර්යෝත්තම බෝවල මාහිමිපාණන් වහන්සේගේ ද ආශිර්වාදය ලබා සාමණේර සත් නමක් හා කැපකරුවන් තිදෙනෙක් සමඟින් 1807 වසරෙහි සැප්තැම්බර් මස 21වන දින දොඩන්දූව වරායෙන් සුලුප්පුවක නැගී බුරුමය බලා පිටත් වූහ. දස දිනක් ගත කොට ඉන්දියාවේ නාගපට්ටනට පැමිණ දින කිහිපයකින් පසුව යෝනක වෙළඳුන්ගේ රුවල් නැවකින් බුරුමය බලා යාත්‍රා කරන අතර මහා කුණාටුවකට හසුව දින කිහිපයක් මාරාන්තික සටනකින් දිවි ගලවාගෙන බුරුම රට රාමඤ්ඤ දේශය වෙත සේන්දු වූහ. දිවි නොතකා උදාර අරමුණ සපල කර ගැනීමේ බෝසත් ප්‍රතිපදාව අනුගමනය කරමින් ගොඩබිමට පත් උන්වහන්සේලාට ප්‍රාදේශීය පාලකයෙකුගේ ආරක්ෂාව රැකවරණය ලබාගත හැකි විය. ඉන් අනතුරුව දින කිහිපයකට පසු රාමඤ්ඤ දේශයේ සංඝනායක මේධානන්දධජ රාජගුරු මහා ස්වාමීන් වහන්සේ වැඩ සිටි හංසාවතී නුවර කල්‍යාණි සීමා ආරාමයට වැඩම කළහ. කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී වංගීස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචරිය අභිධජ මහා රට්ඨගුරු අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය උත්තරීතර මහානායක පරම පූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩසිටියහ.

අමරපුර කල්‍යාණිවංශ පාර්ශවයෙහි අභිනව මහානායක ධුරයට පත්ව ඇත්තේ දෙවිනුවර පරම විචිත්‍රාරාම රාජමහා විහාරාධීශ්වර ශ්‍රී රතනපාල වංශාලංකාර වාගීශ්වර සද්ධර්මශිරෝමණී ආචාර්ය, මහාමහෝපාධ්‍යාය දෙවිනුවර සිරි සුනන්ද මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

එළඹෙන ජුනි මස 17 වන දිනට අමරපුර කල්‍යාණිවංශ පාර්ශවය බිහිවී වසර දෙසිය දාහතරක් සපිරෙන බැවින් ද ස්වනිකායික මෙන්ම අන්‍ය නිකායික නවක මධ්‍යම ස්ථවිර සියලු දෙනා වහන්සේ ලක්දිව සඟ පරපුරෙහි උදාරත්වය සිහිකරමින් නූතන භික්ෂුවගේ ලෝක ශාසනික සේවාවට උත්තේජනයක් වන්නට මෙම අදහස් දැක්වීම ද උත්තේජනයක් වේවායි හඟිමි.

එළඹෙන 17 වන දිනට කල්‍යාණිවංශ නිකාය බිහිවී වසර දෙසිය දාහතරක් සපිරේ. ස්වනිකායෙහි වාර්ෂික උපසම්පදා මහෝත්සවය දොඩන්දූව ශෛල බිම්බාරාම මූලමහා විහාරස්ථානයේ දී සිදුකෙරේ. එයට සමගාමීව සානුනායක විධායක කාරක සභික ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් කෑගල්ල අභයභූමි තපෝවනයෙහි දී උපසම්පදාපේක්ෂකයන් වහන්සේලා වෙනුවෙන් පුහුණු වැඩමුළුවක් ද පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ශාස්ත්‍රපති ගල්කිස්සේ ධම්මිස්සර ස්ථවිර
ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක
වත්තල, එඬේරමුල්ල
ඉසුරු දම් සෙවන විවේක සෙනසුනෙහි අනුශාසක

සංස්කරණය – සුසිල් ජයකොඩි

අමරපුර උදාවෙන් දිදුලන කල්‍යාණිවංශය

0722081522

advertistmentadvertistment
advertistmentadvertistment