දෙහිඕවිට සිට ගම්පොළට පැමිණ වැරදි මාර්ගයකින් අම්බුලුවාව කඳු මුදුන නැගීමට ගිය සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක අයකු මතට විශාල ගලක් පෙරළීවිත් ඊට යටවීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දෙහිඕවිට, මුරුත්තෙට්ටුව ප්‍රදේශයේ පදිංචි ගාර්දියේ සමරතුංගලාගේ දමින්ද සමරතුංග නමැති තිස්හත් හැවිරිදි දෙදරු පියෙකි.
මොවුන් සිව්දෙනා ත්‍රිරෝද රථයක් කුලියට ගෙන අලුයම දෙකට ප්‍රදේශයෙන් පිටත්ව උදෑසන හත වන විට ගම්පොළට පැමිණ තිබේ.
ගම්පොළ නගරයෙන් ආහාරද රැගෙන අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කඳු මුදුන පිවිසුම් මාර්ගය වෙත යමින් සිටියදී ඊට කිලෝමීටරයක් පමණ ආසන්නව තිබියදී ත්‍රිරෝද රථයේ එක් රෝදයක හුළං අඩුවූ බව මොවුන් සඳහන් කර තිබේ.
පසුව හුළං පුරවා ගැනීමට රථය ගම්පොළ නගරය වෙත යවා මොවුන් එම ස්ථානයෙන් ඉහළට තිබූ කුඩා කැලෑ මාර්ගයකින් කන්ද නැගීම ආරම්භ කර තිබේ.
කන්ද නගිමින් සිටියදී කුඩා ඇළ මාර්ගයක් හමුවී එහි තිබූ ජලය බීමට දෙදෙනකු නැවතී සිටියදී අනෙක් දෙදෙනා කන්දේ ඉහළට නැග තිබේ.
ඉන් එක් අයකු අඩිය තැබූ විශාල ගලක් ගැලවී පහළට පෙරළී ඇති අතර ඔවුන් දෙදෙනා කෑගසා පහළ දෙදෙනාට අයින් වන ලෙස පවසා තිබේ.
ඒ අනුව පහළ දෙදෙනා දෙපැත්තට දිව ගොස් ඇති අතර එහිදී දකුණු පස සිටි අය යට කර ගනිමින් එම ගල පහළට පෙරළී ගොස් තිබේ.
පසුව ඉතිරි තිදෙනා ගලට යටවූ අය ඔසවාගෙන යළි පහළට පැමිණ ඔවුන් පැමිණි ත්‍රිරෝදයෙන්ම ගම්පොළ රෝහලට රැගෙන ගියද ඒ වන විටත් එම පුද්ගලයා මියගොස් සිට තිබේ.
මෙහිදී මරණ පරීක්ෂක නලීන් මැදිවක මහතා ඉදිරියේ සාක්ෂි දුන් මියගිය අයගේ බිරිඳ වන හේවාරාලලාගේ වසන්ති ලසන්ති කුමාරි සඳහන් කර සිටියේ තම සැමියා සූපවේදියකු බවයි.
පසුදින මිතුරන් සමඟ සාදයකට ගොස් පැමිණ නිදාගත් සැමියා තමාට ද නොකියා අලුයම මෙම ගමන ගොස් සිටියදී අනතුර සිදුවූ විට ඔහුගේ මිතුරෙකු ඒ බව තම මවට පවසා ඇති බවත් මෙහිදී ඈ පවසා සිටියාය.
ගම්පොළ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සචින් රණතුංග මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් මොහුගේ පපුවට හා උදරයට සිදු වූ හානිවලින් මියගොස් ඇතැයි සඳහන් කර තිබුණි. ඒ අනුව හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා මෙය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් බව තීන්දු කළේය.
ගම්පොළ ස්ථානීය අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. චම්පික විමලරත්න මහතාගේ උපදෙස් මත උ.පො.ප. මෙන්ඩිස්, පො.සැ. වරු වන (20191) නිලන්ත, (71950) කපිල, පො.කො. (77177) අනුරුද්ධ යන නිලධාරිහු පරීක්ෂණ පැවැත්වූ අතර පොලිස් සැරයන් කුලතිලක මෙහි සාක්ෂි මෙහෙය විය.
ගම්පොළ – සුරංග දිල්හාන්