රටවල් 40කට වැඩම කළ දොරොව්වේ ඥානරතන හාමුදුරුවන්ගේ කතාව…

වසරකට ඩොලර් ලක්‍ෂ ගාණක පරිත්‍යාග ලංකාවට රැගෙන එනවා…

අපේ හාමුදුරුවෝ එකමුතුකමින් වැඩ කරනවා නම් විශාල ශාසනික දියුණුවක් ලබන්න පුළුවන්…

‘මගේ රට’ කියන හැඟීම ලෝකවාසී සිංහල ජනතාවගෙන් වේගයෙන් ඈත් වෙනවා…

නවක වධය නිසා විශ්වවිද්‍යාල ජීවිතය මට එපා වුණා…

රටේ දිළිඳුබව නැති කරන්න බඩු මලු දීලා ඵලක් නෑ අධ්‍යාපනය දියුණු කරන්න ඕන…

සුමධුර හඬින් ධර්මය දේශනා කරමින් ලොව පුරා ධර්ම දූත සේවයෙහි නිරතව සිටින දොරොව්වේ ඥානරතන හාමුදුරුවන්ව අහම්බෙන් මුණගැසිණි. ඒ කොළඹ දී නොවේ, හද්ද පිටිසර මොනරාගල කොඩයාන කනිෂ්ඨ විද්‍යාලයේ දී ය. ඔස්ට්‍රේලියාවේ සිට වැඩම කර සිටි උන්වහන්සේ කොඩයාන කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සියලුම දරුවන්ට පාසල් උපකරණ රැගෙනැවිත් තිබුණහ. දුර රටකින් රැගෙන ආ තෑගි බෝග ලබාගැනීමට කොඩයාන පාසලේ ගැහැනු, පිරිමි දරුවන් ද නොවිසිලිමත්ව බලා සිටියහ. ඒ මුහුණු සතුටින් බැබළිණි. සරුවට පිපුණු මල්වත්තක අසිරියෙන් මුළු පාසල ම සුන්දර වී තිබිණි. ඒ අහිංසක මල් කැකුළු දෙස බලා සිටි දොරොව්වේ ඥානරතන හාමුදුරුවෝ ද අධ්‍යාපනයේ වටිනාකම ගැන ඔවුන්ට අවබෝධ කළහ. මවු භාෂාවට අමතරව ඉංග්‍රීසි, දෙමළ ඇතුළු භාෂා කිහිපයක් ඉගෙනීම තුළින් පහසුවෙන් ලෝකය ජය ගතහැකි මාර්ගය ගැන උන්වහන්සේ අවධාරණය කළහ. සියලු දරු, දැරියන් දැහැන්ගතව එම ධර්ම දේශනාවට සවන් දී සිටියහ.

උන්වහන්සේගේ දේශනයෙන් පසු උත්සවයට පැමිණ සිටි සියලු දරු, දැරියන්ට පාසල් උපකරණ බෙදා දීම සිදු කරුණු ලැබිණි. එම පාසල් උපකරණ කට්ටල පපුවට තුරුලු කරගත් දරු, දැරියන් දැක උත්සවයට පැමිණ සිටි ආරාධිතයන්ගේ සතුට උතුරා යන අයුරු දිලිසෙන දෑස්වලින් අපට පෙනුණි. පාසල් උපකරණ තුරුලු කරගෙන සතුටු වන දරුවන් දෙස බලා දොරොව්වේ ඥානරතන හාමුදුරුවෝ ද නිරාමිස සතුටක් විඳින අයුරු මම දුටිමි. මේ මහා සමාජ සත්කාරයට උර දී සිටින උන්වහන්සේ සමග මොහොතක් කතා බහ කිරීමට මට සිතිණි. මම උන්වහන්සේ අසලට ගියෙමි. උන්වහන්සේගේ දාන පාරමිතාව ගැන කතා කිරීමට පෙර ගිහි, පැවිදි ජීවිතය ගැන සාකච්ඡා කිරීමට මම අදහස් කළෙමි. පැයකට වැඩි කාලයක් දීර්ඝ දේශනයක් පැවැත්වුව ද උන්වහන්සේගේ ගතින් විඩාබර ගතියක සේයාවක් හෝ නො පෙනෙණි. කරුණාබර සිනාවෙන් යුක්තව උන්වහන්සේ පින්බර හඬ අවදි කළහ. නිරහංකාරව පෙළගැසෙන ඒ කතාවට අතුරු ප්‍රශ්න කිසිවක් ඇවැසි නොවිණි. උන්වහන්සේගේ මුවින් ගලා යන දේශනයට මම සවන් දී සිටියෙමි.

“බුද්ධ පුත්‍රයකුගේ වගකීම මිනිසුන්ට ධර්මය අවබෝධකර දීම සහ අසරණයන්ට පිහිට වීම. මම මේ කරගෙන යන්නෙ ඒ යුතුකම. ඒත් මම මිනිසුන්ට උපකාර කරන්න පටන් ගත්තෙ පැවිදි වෙන්නත් ඉස්සර ඉඳලා මගේ අම්මගෙන්. මම පුංචි කාලේ ජීවත් වුණේ දොරොව්ව ගමේ. ගම්පහ දිස්ත්‍රික්කයේ, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙළවර මේ පිහිටි ගම. ගොඩ, මඩ සරුසාර සශ්‍රීක ගමක්. වතු පිටි, හරකා බානවලින් ගමේ මිනිසුන්ට අඩුවක් තිබුණෙත් නෑ. මගේ තාත්තත් ගමේ හොඳ ගොවියෙක්. ධර්මෙ අයියා කිව්වම මුළු ගමේ ම ප්‍රසිද්ධයි. අපේ අම්මගේ ගම යක්කල, අලුත්ගම වුණාට ‘චූටි හාමිනේ’ කිව්වම දොරොව්ව ගමේ ඕන කෙනෙක් දන්නවා. අපේ අම්මා මහා ශ්‍රද්ධාවන්තයි. ඒ වගේම කාරුණිකයි. ගමේ මිනිස්සුන්ටත් හරිම ලෙන්ගතුයි. උදව්වක්, උපකාරයක් කරන්න ඕන වුණාම කර ඇරලා කරන්නෙ. නැති, බැරි අයට ගෙදර කන්න තියෙන දේ හරි දෙනවා. අම්මා නොකා මිනිසුන්ට දෙනවා. අපිටත් දන් දෙන්න පුරුදු කළේ මගේ අම්මා…” උන්වහන්සේ මොහොතකට නිහඬ වූහ.

දොරොව්වේ ඥානරතන හාමුදුරුවන්ගේ පියා ගමරාලලාගේ ධර්මසේන ය. මව ගම්මැද්ද ලියනගේ චූටි හාමිනේ ය. ඔවුන් දෙපළට දාව දරුවන් හත්දෙනෙකි. පිරිමි දරුවන් පස්දෙනෙක් සහ ගැහැනු දරුවන් දෙදෙනෙකි. එම පවුලේ සයවෙනි දරුවා සුසිල් ප්‍රේමචන්ද්‍ර ය. ඔහුට බාල නැඟණියකි. දොරොව්ව මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි සුසිල්, කොල්ලො කුරුට්ටො සමග දුව පැන සෙල්ලම් කිරීම පුරුද්දක් කරගෙන සිටියේය. එමෙන්ම සුසිල් ගම කෙළවරේ පිහිටි සමුපකාර ගල් වළට යෑම පුරුද්දක් කරගෙන සිටියේ ලොකු අයියා එම ගල් වළේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කළ බැවිනි. ගල් වළේ දුව පැන ඇවිදින බොහෝ අවස්ථාවල එහි කළමනාකාරු වික්ටර් අමුතු යෝජනාවක් ගෙනාවේ.

‘පුතේ ඔයා මහණ වෙන්න කැමැති ද…’ ගල් වළට යන සෑම අවස්ථාවකම ඇසෙන එම ප්‍රශ්නාර්ථය සුසිල්ගේ මනස හෝල්මන් කරන්නට විය. ඒ වනවිට සුසිල්ට වයස අවුරුදු දහතුනකි. පැවිදි දිවි පෙවෙත ආරම්භයට හොඳම වයස බව තේරුම්ගෙන සිටි වික්ටර් සුසිල්ව ශාසනයට ඇතුළත් කිරීමේ අදහස චූටි හාමිනේගෙන් ද විමසා තිබිණි. පවුලේ බාල පුතා මහණ වෙනවාට ඇයගේ අකැමැත්තක් නොවිණි. ධර්මසේන ද සතුටු විය. සුසිල්ගේ ද අකමැත්තක් නොවිණි. ඉදිවෙමින් පැවැති පින්නකැලේ වත්තේ පියදස්සනාරාම විහාරස්ථානයේ වැඩ අවසාන වූ පසු පැවිදි වීමේ සිහිනයෙන් සුසිල් එම විහාරස්ථානයට ගියේය. දින, සති ගෙවී යනවිට මවගේ උණුසුම, සහෝදර, සහෝදරියන්ගේ සෙනෙහස, පියාගේ රැකවරණය නැති වී යෑමෙන් සුසිල් සංකාවට පත් විය. දඟකාර යාළු මිත්‍රයින්ගෙන් ඈත්වීම සුසිල්ගේ පුංචි මනසට දුකක් විය. මහණ සිතුවිලි අතහැරි හේ නිවසට ගියේය. එහෙත් සුපුරුදු කෙළිලොල් ජීවන රටාවට ඔහු නොගියේය. නිතර කල්පනාවේ නිග්ම සිටි හේ නැවත විහාරස්ථානයට යෑමට හිත හදාගත්තේය. එවර විහාරස්ථානයට ගිය සුසිල් බණ භාවනා කටයුතුවල නිරත වෙමින් නායක හාමුදුරුවන්ට කීකරුව වැඩ කරගෙන ගියේය. අවසානයේ 1983 වර්ෂයේ නොවැම්බර් මස 19 වැනිදා පින්නකැලේ වත්ත විහාරස්ථානයේ ප්‍රථම කඨින පින්කමේ දී සුසිල් ප්‍රේමචන්ද්‍ර කුල දරුවා ‘දොරොව්වේ ඥානරතන’ නාමයෙන් හලාවත, මීගමුව දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක වෙනිවැල්පිටියේ පියදස්සි නායක හාමුදුරුවන් විසින් සම්බුද්ධ ශාසනයට ඇතුළත් කළහ.

“ඒ කාලේ මහණ වෙන්න පෙර මාස ගාණක් විහාරස්ථානයේ ඉන්න ඕන. එම කාල සීමාවේදී උදේ, සවස හොඳට බුදුන් වන්දනවා. තුන් සූත්‍රය කටපාඩම් කරවනවා. මූලික වත්පිළිවෙත් ටික හොඳට පුරුදු පුහුණු කරවනවා. මම මහණ වෙනකොට ඒ සියලු වත්පිළිවෙත් කරන්න පුළුවන්. මහණ වෙලා පොඩි කාලයකින් පිරිවෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමටත් අවස්ථාව ලැබුණා. ඒ අනුව 1984 අවුරුද්දෙ බලගල්ල සරස්වතී පිරිවෙනට ඇතුළත් වුණා. එම පිරිවෙනේ දී අති දක්‍ෂ ගුරුවරු යටතේ අධ්‍යාපන කටයුතු කරගෙන ගිහින් පිරිවෙනේ අවසාන විභාගය විශිෂ්ට ලෙස සමත් වුණා. උසස් පෙළ අධ්‍යයන කටයුතුවලින් ලැබුණු ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව තිබුණා. බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා මාස කිහිපයක් යනකොට නවක වධය නිසා විශ්වවිද්‍යාල ජීවිතය මට එපා වුණා. අන්තිමේ එම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලා බාහිර උපාධි කරන්න පටන් ගත්තා. වැල්ලම්පිටිය විවේකාරාම විහාරස්ථානයේ වැඩසිටිමින් අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට අවස්ථාව ලබාදෙමින් අගලේවෙල නන්ද නායක හාමුදුරුවෝ මට විශාල ශක්තියක් වුණා…”

අම්මව බලාගන්න ඕන නිසා කිසිම රටක පුරවැසිභාවය ලබාගත්තෙ නෑ…
වියලි ආහාර බෙදා දෙමින්

“මගේ ජීවිතයේ පිටස්තර විහාරස්ථානයක ප්‍රථම වතාවට වැඩ සිටියේ වැල්ලම්පිටිය විවේකාරාම විහාරස්ථානයේ. එම විහාරස්ථානයේ වැඩසිටින කාලයේ දී හුණුපිටිය ගංගාරාමයේ ඉංග්‍රීසි පාඨමාලාවක් හැදෑරුවා. ගංගාරාම විහාරාධිපති ඤාණිස්සර නායක හාමුදුරුවොත් ගොඩක් උපකාර කළා. කොළඹ නතර වී අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරතුර ගාල්ලේ විද්‍යාලෝක විහාරයේ පුක්‍ද්ක්‍දසාර පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු කරන්නත් අවස්ථාව ලැබුණා. එතකොට එම විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ අකුරැටියේ නන්දසාර නායක හාමුදුරුවෝ. අවුරුදු දෙකක කාලයක් එම විහාරස්ථානයේ වැඩ සිටිමින් පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු සිද්ධ කරලා නැවත පින්නකැලේ වත්තේ පියදස්සනාරාම විහාරස්ථානයට වැඩම කරලා 1987 අවුරුද්දේ ජනවාරි 28 වැනිදා පියදස්සනාරාම දහම් පාසල ආරම්භ කළා. ආරම්භයේ සිට ම ළමයි දාහකට වැඩි සංඛ්‍යාවක් දහම් අධ්‍යාපනය ලැබුවා. ටික කාලයක් යනකොට එම දහම් පාසලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතුත් ආරම්භ කළා. ඒත් වැඩි කාලයක් පින්නකැලේ වත්තේ පියදස්සනාරාමයේ වැඩ ඉන්න අවස්ථාව ලැබුණේ නෑ. මුල්ලේරියාවේ නීල මල්ලිකාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මුල්ලේරියාවේ සුභූති නායක හාමුදුරුවෝ එම පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු කරගෙන යෑමට මට අරාධනා කළා. එම පත්වීම භාරගන්නා ලෙස මුල්ලේරියාවේ චන්ද්‍රසිරි නායක හාමුදුරුවොත් ඉල්ලීම් කළා. මම ඉගෙන ගන්න කාලේ මට ගොඩක් උදව් උපකාර කරපු නායක හාමුදුරුනමක්. ඒ ඉල්ලීමට අනුව මම මුල්ලේරියාවේ නීල මල්ලිකාරාම පිරිවෙනේ පත්වීම භාරගත්තා…”

මුල්ලේරියාවේ නීල මල්ලිකාරාම පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු සිදුකරගෙන යන කාලයේ දී, ජපානයේ ජීවත්වන ඥාති සහෝදරයකුගේ ආරාධනාවකට අනුව 2005 වර්ෂයේ දී එරටට වැඩම කිරීමට දොරොව්වේ ඥානරතන හාමුදුරුවන්ට අවස්ථාව උදා වූහ. ජීවිතයේ ප්‍රථම විදෙස් සංචාරය දින කිහිපයකින් නිමා කරමින් මෙරටට වැඩම කළ ඥානරතන හාමුදුරුවන්ට 2006 වර්ෂයේ දී එංගලන්තයට වැඩම කිරීමට අවස්ථාව උදා වූහ. ඒ ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපතිව වැඩසිටි මැදගම වජිරඥාන නායක හාමුදුරුවන්ගේ පාංශකූල පින්කමටය. එම සංචාරයේ දී ස්විට්සර්ලන්තයට ද වැඩම කළ ඥානරතන හාමුදුරුවෝ දීර්ඝ සංචාරයකින් පසුව නැවත මෙරටට වැඩම කළහ. එම සංචාරයට මෙන්ම නැවත, නැවත එංගලන්තයට වැඩම කිරීමට උන්වහන්සේට ශක්තිය, ධෛර්ය, මුදල්මය උපකාර ලබා දී ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ජෝන්හැම් ජේතවන විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටින කැප්පිටියාගොඩ ගුණවංශ නායක හාමුදුරුවෝය. නිතර, නිතර එංගලන්තයට වැඩම කරන ඥානරතන හාමුදුරුවන්ට කැනඩාවට ද වැඩම කරන ලෙසට එරට ප්‍රධාන සංඝ නායක, වෙස්ටන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති කුළුගම්මන ධම්මාවාස හාමුදුරුවෝ ඇරැයුම් කළහ. එම අරාධනාව පිළිගත් ඥානරතන හාමුදුරුවෝ වසර දෙකක් ඇතුළත පස්වතාවක් කැනඩාවට වැඩම කළහ. එරට වැඩ සිටින කාලයේ දී 2012 වර්ෂයේ දී ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවට වැඩම කිරීමට උන්වහන්සේට අවස්ථාව උදා වූහ. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝ නායක හාමුදුරුවන් වන නාඔටුන්නේ විජිත හිමි සහ අකරවිට සංඝානන්ද හාමුදුරුවන්ගේ උපදෙස් අනුශාසනා පරිදි ඥානරතන හාමුදුරුවෝ මේ වෙනකොට වැඩි කාලයක් වැඩ සිටියේ ඔස්ට්‍රේලියාවේය. එමෙන්ම 2005 වර්ෂයේ දී ජපානයෙන් ආරම්භ කළ විදෙස් ධර්ම දූත සේවයේ දී මේ වනවිට ඇමෙරිකාව ඇතුළු ලොව පුරා රටවල් හතළිහකට වැඩම කර සිටින බව ඥානරතන හාමුදුරුවෝ අප සමග පැවසූහ. ඒ බොහෝ රටවලට වැඩම කළේ ධර්ම දේශනා පැවැත්වීමට බව අප සමග උන්වහන්සේ පැවසූහ.

අයි.ටී.එන් රූපවාහිනි නාලිකාවේ සවනක් රැස් ධර්ම දේශනා වැඩසටහනට ඉදිරිපත් වෙමින් පැවිදි ජීවිතයේ ප්‍රථම සජීවී ධර්ම දේශනාවට සම්බන්ධ වූ දොරොව්වේ ඥානරතන හාමුදුරුවෝ මේ වනවිට ලොව පුරා බොහෝ රටවලට වැඩම කර ඇත්තේ විශේෂ ධර්ම දේශනා වැඩසටහන්වලට ලැබෙන ආරාධනාව මතය. ලෝකය පුරා වැඩම කරනවිට ගොඩනැඟෙන සම්බන්ධතා සමග උන්වහන්සේගේ දාන පාරමිතාව ද ඉස්මතු වූහ. එම දාන පාරමිතාවට මුල්ලේරියාවේ චන්ද්‍රසිරි හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය ද ගුරු උපදේශයක් වී තිබේ. විහාරස්ථානයට පැමිණෙන ඕනෑම කෙනෙක්ට ටොෆියක් හෝ ලබාදීමට චන්ද්‍රසිරි හාමුදුරුවෝ පුරුද්දක් කරගෙන සිටීයහ. කන්න තියෙන බත්පත නැති බැරි මිනිසුන්ට ලබා දී කුස පිරෙන්න වතුර බී කුසල් රැස් කළ පින්වන්ත මවකගේ කුසින් මෙලොව එළිය දැක දානයේ ආදීනව හොඳින් තේරුම් ගෙන සිටින දොරොව්වේ ඥානරතන හාමුදුරුවෝ පිරිවෙන්වල ඉගැන්වීමට ලැබුණු වේතනය ද පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියදම් කළහ. අවසානයේ උන්වහන්සේ හිතවත් දායකයන්ගෙන් ඉල්ලීමකට අනුව ‘ඥාන පාරිමි පදනම’ නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඒ හරහා ශාසනික සහ මහා සමාජ සද්කාරයක් කරගෙන යන්නාහ. ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ පිංවත් දායකයන්ගේ නොමසුරු දායකත්වය උන්වහන්සේට නොඅඩුව ලැබෙනු ඇත.

“අදටත් මම මේ පින්කම් සිද්ධ කරන්නේ මගේ අම්මා, තාත්තාට, ගුරුභවතුන්ට පිං අනුමෝදන් කරන්න. මගේ අම්මා අවුරුදු 89ක් අයු සැප විඳලා පහුගිය දවස්වල මිය ගියා. මෙරට භික්‍ෂුන්වහන්සේට ආදර්ශයක් වෙන්න මම අම්මව රැකබලා ගත්තා. අම්මාව රැකබලා ගන්න ඕන නිසා ම විදේශීය කිසිදු රටක පුරවැසිභාවය ලබාගත්තෙ නෑ. අම්මා නැති වෙනකම් මම ළඟින් ඉඳගෙන උපස්ථාන කළා. ඒ වගේම මම ඉගෙන ගත්තෙ මේ රටේ නිදහස් අධ්‍යාපනයට පින්සිද්ධ වෙන්න. කතෘගුණ සැලකීමක් විදිහට මට හැකි පමණින් මගේ රටට උදව් උපකාර කරනවා. දිළිඳුකම නැති කිරීමට ආහාර මලු, මුදල් දීලා වැඩක් නෑ. හොඳම ආයුධය අධ්‍යාපනය. ඒ සම්බන්ධයෙන් මට හොඳ අද්දැකීම් තියෙනවා. ‘හොඳට ඉගෙනගත්තොත් සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්…’ අපේ අම්මයි, තාත්තායි අපි හත්දෙනාට මන්තරයක් වගේ මැතිරුවා. ඒ මන්තරයේ බලයෙන් අපි හොඳට ඉගෙනගත්තා. මේ වෙනකොට මම ලෝකය පුරා වැඩම කර තියෙනවා. ඒ හරහා ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනැඟිලා තියෙනවා. ඒත් මට මහා විශාල පන්සල් නෑ. දිළිඳු දරු දැරියන්ගේ නැණ පහන් දැල්වීමට අපිරිමිත ශක්තියක් තියෙනවා. ඒ උතුම් පින්කම සිද්ධ කිරීම මා සමග විශාල දානපතියන් පිරිසක් ඉන්නවා. මෙරට පාසල් දරුවන්ට, පාසල්වලට, දිළිඳු පවුල්වලට වසරකට රුපියල් කෝටි ගණනක මුදල් සහ ද්‍රව්‍යමය ආධාර ලබාදෙනවා. දැනටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් කිහිපදෙනෙක්ට මෙන්ම පාසල් කිහිපයක විවිධ වයස් මට්ටම්වල දරුවන් විශාල සංඛ්‍යාවකට මාසිකව ශිෂ්‍යත්ව දීමනාවක් ලබාදෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම ජාතියක දිළිඳු දරුවන් ගැන විස්තර වාර්තාවක් අප වෙත ලැබුණොත් ඇති හැකි පමණින් උපකාර කරනවා. අපගේ ආධාර, උපකාර ලබාගන්නා දරුවන්ගේ යුතුකම වෙන්න ඕන හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමයි. මේ කරන සමාජ සද්කාරයෙන් අපිට පිං ලැබෙන්නෙ එතකොටයි. ඒ වගේම දුප්පත් විහාරස්ථානවල නඩත්තු කටයුතු, පිරිවෙන් දියුණු කිරීමට, අධ්‍යාපනය ලබන භික්‍ෂුන්වහන්සේට අවශ්‍ය උපකරණ, මුදල් ලබා දෙන්න අපි කටයුතු කරගෙන යනවා. දුප්පත් පවුල් කිහිපයකට අංගසම්පූර්ණ නිවාස ලබාදීලා තියෙනවා. ලංකාව පුරා දුෂ්කර රෝහල්වලට විවිධ උපකරණ, ආබාධිත අය සඳහා රෝද පුටු ඇතුළු විවිධ උපකරණ විශාල තොගයක් ලබා දීලා තියෙනවා. ඒත් අසරණ පවුල්වලට, දරුවන්ට කරන පරිත්‍යාග කිසිවක් මුහුණු පොතට, සමාජ මාධ්‍යයට එකතු කරමින් දානය ප්‍රසිද්ධ කරන්න අපි පුරුදු වෙලා නෑ…”

“ඒ වගේම ‘මේ මගේ රට’ කියන හැඟීම දැන් අපේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා යනවා. ඒක ලංකාවේ විතරක් නෙමෙයි පිටරටවල ජීවත්වන ශ්‍රී ලංකීකයන්ගෙනුත් වේගයෙන් ඈත් වෙලා යනවා. ශාසනික වශයෙන් අපේ හාමුදුරුවන් අතර පවතින එකමුතුකමත් අඩු වෙලා තියෙනවා. අපේ හාමුදුරුවෝ එකතු වුණොත් මීට වඩා හොඳ ගමනක් යන්න පුළුවන්…” දොරෙව්වේ ඥානරතන හාමුදුරුවන්ගේ සුමධුර හඬින් පෙළගැසුණු කතාව දෙසවනට පමණක් නොව, හදවතේ සියුම් ලේ නහරවලට පවා හොඳින් සන්නිවේදනය විය. ආගමික, සමාජයීය සහ අධ්‍යාපන සේවා යන තුන්දොරම එක ලෙස විවෘත කරමින් උන්වහන්සේ සිදු කරගෙන යන මෙහෙවර ප්‍රශංසනීයයි.

ඥාතීන් නොවන, ජාතීන් නොවන අසරණයන්ට පිහිට වීමට අධි මානසික ශක්තියක් තිබිය යුතුය. බුදුන් වහන්සේගේ දේශනයට අනුව ‘උත්තරි මනුෂ්‍ය ධම්ම’ සාමාන්‍ය මනුෂ්‍ය භාවයෙන් ඔබ්බට ගිය බ්‍රහ්ම විහාරි පුද්ගලයෙක්ම විය යුතුය. දොරොව්වේ ඥානරතන හිමියන්ට ඒ අසාමාන්‍ය ශක්තිය තිබේ. ජාති, ආගම් බේදයෙන් තොරව ඉගෙනගන්න කැමැති දරුවන්ට උදව් උපකාර කිරීමට ඥානරතන හාමුදුරුවෝ කැප වී සිටිති. අප මේ සටහන තබන්නේ අකුරට යන්නට පොතක්, පැන්සලක් නැති දරුවන්හට ඒ පණිවුඩය ලබාදීමටය…

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment