කෙටි කතාව
සාමාන්‍යයෙන් ඔහු අවදි වන්නේ හිරු පායා සෑහෙන වේලාවක් ගතවූ පසුවය. ජනෙල් පියන අතරින් ඔහු නිදන කාමරයට හිරුරැස් වැටෙයි. කාමරයේ බිම අතුරා ඇති දම් පැහැති කළාලය හිරුරැස් වැටී දීප්තියෙන් බැබළෙයි. එහෙත් අද දින ඔහු හිරු උදාවට පෙර අවදිව ඇත. ඔහු සුපුරුදු පරිදි අම්මාගේ උණුහුම ලබාගැනීම සඳහා ඇඳ අතගා අම්මා සිටිනුයි බැලුවේය. අවදිවූ වහාම අම්මාගේ බෙල්ල බදා ගෙන සිප ගැනීම ඔහුගේ සිරිතය. එවිට ඔහුට අම්මාගේ සුපුරුදු සුවඳ දැනේ. එහෙත් අද ඇය නැත. ඇඳ හිස්ය. නිසලය. ඔහුගේ පුංචි හදවත තුළ සියුම් වේදනාවක් හට ගත්තේය. ඔව් අම්මා නැත. ඇය මිය ගොසිනි.
එර්කින් හෝන්දු මාන්දු ගතියෙන් අවට බැලුවේය. ඔහුගේ ආච්චි පැරණි සිරිතට අනුව පැදුරක නිදාගෙන සිටියාය. අම්මා නොමැති ඇඳ හිස්ව ඇත.
ඒ ඇඳ මත වාඩිගෙන එර්කින් උකුල මත තබා ගන්නා අම්මා ඔහුගේ ඔලුව අතගාමින් කම්මුල් සිප ගන්නා අයුරු ඔහුට සිහිවිය. එර්කින් අම්මාගේ ගෙල වටා දමා තිබූ රන් මාලය සමග සෙල්ලම් කළ අයුරු ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නට විය. ඔහු අම්මාගේ මුහුණ සිප ගනී. ඉන්පසු සිනාසෙයි. ඔව් දැන් ඔහුට අම්මා අවශ්‍යව ඇත. ඇයව නැවත දකින්නේ කෙසේද?
ඔහුට ඉකි ගැසිනි. ඔහු ඇස් පිස දමා ගත්තේය. තමා තනිවී ඇති බව ඔහුට හැඟිණි. ඔහුට අම්මා අවශ්‍ය විය. ඇගේ උකුලේ හිස ඔබාගෙන ඇගේ උණුසුම් අත්වලින් තම මුහුණ පිරිමද්දවා ගැනීමට ඔහුට අවශ්‍ය විය. එහෙත් ඔහුගේ මව පෙනෙන්නට නැත. ඇය ගොස් ඇත්තේ කොහිද ඇය ආපසු එන්නේ කවදාද? ඔහුට ඇයට දැඩි ලෙස අවශ්‍යව තිබියදී ඇය කොතෙක් කලක් ඔහුගෙන් ඈත්ව සිටීද?
ඇය අසනීපයෙන් එම ඇඳේ වාඩිවී සිටියදී තමාට කියූ කතාවක් හදිසියේම ඔහුට මතක් විය.
“එර්කින් මගේ රත්තරන් පුතේ. මම ගියාට පස්සේ පුතාට මාව ගොඩාක් ඕනෙ වුණොත් මල් ටිකක් අරගෙන මගේ මිනී වළ ළඟට යන්න. එතකොට පුතාට සැනසීමක් ලැබේවි. මටත් ඒක සැනසීමක්. මම පුතාව දැක්කා. මගේ පුතාට මාවත් මට පුතාවත් නැතිවේවි. පුතා ලොකු මහත්වෙලා කසාද බැන්දහම දෙන්නම මගේ මිනී වළගාවට එන්න ඕනේ. මට පුතාගේ බිරිඳවත් බලන්න ඕනෙ තේරුණාද?
අම්මා මිය ගියේ ඇයි? එය සිදුවිය යුත්තක්ම වීද? ඇය අසනීප වූයේ ඇයි? අනෙක් මිනිස්සු ද අසනීප වෙති. එහෙත් මිය යන්නේ නැත. ඇය පමණක් මිය ගියේ ඇයි? මේ සියල්ල වැරදිය. ඇය ඉතාම කරුණාවන්ත අම්මා කෙනෙකි. අනෙක් සියලුම අම්මලට වඩා ලස්සන අම්මා කෙනෙකි. අම්මා කවදාවත් අකරුණාවන්ත ලෙස කතා කර නැත. එවැනි කරුණාවන්ත ලෙස කතා කර නැත. එවැනි කරුණාවන්ත අම්මා මිය ගියේ ඇයි?
එර්කින්ට මෙය වටහා ගත නොහැකි විය.
ඔහු එම විශාල ඇඳේ තනිවම කඩවුණු බලාපොරොත්තුවලින් යුතුව වාඩිගෙන සිටියේය. ඔහුගේ ඇස්වලින් නැවත කඳුළු කඩා වැටිණ. එහෙත් ඉතාම සුළු දෙයට පවා අඬන ළමයින්ට අම්මා අකමැතිය. කෙසේ වෙතත් ඔහුට එක දෙයක් අවශ්‍යව ඇත. අම්මා ඔහුගේ බඳ වටා අතක් යවා ඔහු බදාගෙන සිපගත යුතුය. ඔහුව ඈ ළඟට ගෙන උණුසුම් කළ යුතුය.
ඇගේ කට හඬ ඇසීමට ඔහු ආශා කළේය. එහෙත් ඇය අද එහි නැත. අම්මා එහි නැත. කාමරයේ බිත්ති, බිම එලා ඇති කළාලය. ඔහු වටා ඇති සියල්ල සීතලය. ඔහුට අම්මා අවශ්‍ය විය.
එර්කින් තවමත් ඇඳ මත වාඩිගෙන සිටියේය. බිත්තියේ එල්ලා ඇති අම්මාගේ සහ තාත්තාගේ ඡායාරූප දෙස ඔහු බැලුවේය. එහෙත් එයින් ඇති ඵලය කුමක්ද? එය පින්තූරයක් පමණි. ඔහු දිග සුසුමක් හෙළුවේය.
නිවස නිහඬය. අඳුරුය. අම්මාගේ නම රානෝයි. එහි තේරුම ලස්සන, නිහතමානී සහ සිත් ඇද ගන්නා සුලු යන්නයි. මේ සියලු ගුණාංග ඇය සතුවිය. ඇගේ විශාල කළු කෙස් කළඹ නිතඹ දක්වා වැටී තිබිණ. ඇගේ දෙතොල් නිතරම සිනහව රැඳී ඇත. ඇගේ ඇස් හැමවිටම දීප්තියෙන් බැබලිණි. ඇය සිල්ක් ඇඳුමින් සැරසුන විට ඇගේ අගය වැඩි විය.
විසිහය හැවිරිදි වියේදී ඇය සුව කළ නොහැකි රෝගයකට ගොදුරු වූවාය. සියලුම ශක්තිමත් මිනිසුන් හැර දමා ඇයව ඒ සඳහා තෝරා ගත්තේ ඇයි? පළමු වරට ඇයගේ ශරීරයේ අසනීපයක් ඇතිවුණු විට ඇය වැඩි සැලකිල්ලක් නොදැක්වූවාය. ඔවුහු ඇයව ශල්‍ය කර්මයකට භාජනය කළහ. එහෙත් ප්‍රතිඵලයක් නොවීය. රනෝගේ ශරීරය දිරා යෑමට පටන් ගත්තේය. ඇගේ මුහුණ අඳුරු වී කම්මුල් ගිලී ගියේය. නහය ඉදිරියට නෙරා ආවේය. ඇගේ අත් පා දර කෝටු බවට පත් විය. දැඩි හිරු රශ්මියෙන් වියළී ගිය පලතුරු ගෙඩියක් මෙන් ඇය මැලවී ගියාය. සෙමින් ගලා යන ගඟක් මෙන් ක්‍රමයෙන් ඈ තුළින් ජීවිතය ඉවත් විය. ලස්සන රානෝගෙන් ඉතිරි වූයේ ස්වල්පයක් පමණි.
අවසානයේදී ඔවුහු ඇයට වේදනා නාශක බෙහෙත් සහ නිදි පෙති වර්ග දුන්හ. ඇය මුළු දවස පුරා ම ඇඳ මතට වී බ්ලැන් කේට්ටුවෙන් සිරුර වසාගෙන සිටියාය. සමහර අවස්ථාවල ඇය මහත් වෙහෙසක් දරා කොට්ටය යට තිබූ ඇගේ සටහන් පොත ගෙන යමක් සටහන් කළාය. ඇය මරණයට මුහුණ දුන් ධෛර්යමත් ආකාරය අසූ හැවිරිදි මහල්ලන්ගේ පවා ගෞරවයට භාජනය විය. නිරවුල් සිතුවිලි ඇති ශක්ති සම්පන්න අයකුට මිස වෙනත් අයකුට මෙලෙස ධෛර්යය උපදවා ගත නොහැකි බව ඔව්හු පැවසූහ. හැඬීම් විලාප හැම පැත්තෙන්ම ඇසිණ.
ජනේලයෙන් පිටත මීදුමෙන් වැසී ඇත. හිරු නැගෙන්නට ආසන්නය. මෙවැනි වේලාවට එර්කින්ගේ මව නිවසේ සහ කුස්සියේ වැඩවල නිරත වන්නීය. ඇය ඔහුට අමතන හඬ ඔහුට ඇසෙන්නාක් මෙන් විය.
එර්කින් රත්තරන් පුතේ. ඇවිත් උණු කිරි වීදුරුවක් බීල යන්න.
ඔහු වට පිට බලා ඔහුගේ නිල් පැහැති ඇඳුම් ඇඳ ගත්තේය. එහෙත් ඔහුට සොයා ගත හැකි වූයේ එක සපත්තුවක් පමණකි. තොප්පිය ගැන ඔහු සැලකිල්ලක් දැක්වූයේ නැත.
ආච්චි තවමත් ඇගේ වටිනා පැදුර මත තද නිද්දේ පසුවන්නීය. මුළු නිවසම තද නින්දේ පසුවෙයි. ඒර්කින් පමණක් අවදියෙන් සිටියි. ඔහු නිශ්ශබ්දව නිවසින් පිටවිය. අම්මා කුස්සියේවත් ඉස්තෝප්පුවේවත් නැත. ඔහු පඩි පෙළ බැස්සේය. මිදුලේ කිසිවකු නැත. උදෑසන සීතලේ ගැහෙමින් ඒර්කින් මල් පාත්ති වෙත ගියේය. ඔහු කළ යුත්තේ කුමක්දැයි දැන් ඔහු දනියි. ඔහු ලස්සන විශාල රතු රෝස මල් දෙකක් කඩාගෙන ගේට්ටුව වෙත ගියේය. ඔහුගේ එක කකුලක සපත්තුවකි. අනෙක් කකුලේ නිදන කාමරයේදී පාවිච්චි කළ සෙරෙප්පුව දමාගෙන ඇත. ඔහු පාරට බැස්සේය. ඔහුට අම්මා දැකීමට අවශ්‍ය විය. මුළු ලොවෙන්ම ඔහුට අවශ්‍ය එකම දෙය අම්මා දැකීමයි.
ඔහු රෝස මල් දෙක ප්‍රවේශමෙන් අල්ලාගෙන පටු පාර පසු කර ගොස් ප්‍රධාන පාරට අවතීර්ණ විය. විශාල මෝටර් රියකින් අම්මා ගෙන ගිය පාර ඔහුට මතකය. මුලින් මෝටර් රථ පාරක් දිගේ ගොස් ඊට පසු ට්‍රෑම් රථ යන පාරක් දිගේ ඇය ගෙන ගිය අයුරු ඔහුට සිහි විය. ඔහුට පාර හොඳින් මතකය. අවට කිසිවකු පෙනෙන්නට නැත. ගසක් යට වී සිටින බල්ලන් දෙදෙනකු එකිනෙකා ඉව කරති. උන් ඒර්කින්ව ගණන් ගත්තේ නැත. දිග කොස්සක් අතින් ගත් මිනිහෙක් ඉදිරියෙන් පැමිණෙනු දක්නට ලැබිණ. එහෙත් ඔහු ඒ අසල නිවසකට ඇතුළුවී නොපෙනී ගියේය. ට්‍රෑම් රථයක් දක්නට ලැබිණ. මෝටර් රියක් ඔහු පසු කරගෙන ගියේය.
එර්කින් යාම්තම් ඒ දෙස බැලුවේ ඔහුට වේගයෙන් ගමන් කළ නොහැකි එක කකුලක ඇති සෙරෙප්පුව ඔහුගේ ගමනට බාධා කරයි. අනෙක් කකුලේ ඇති සපත්තුවේද ලේස් ගැට ගසා නැත.
ට්‍රෑම් රථ යන පාර හරහා මාරු වූ ඒර්කින් ජලයෙන් පිරි පොකුණක් අසලට ගියේය. ඒ අසල මෝටර් රථ රැසක් දක්නට ලැබිණ. උදෑසනම රෝස මල අතින් රැගෙන යන කුඩා දරුවා පසුපස ගිය බොහෝ දෙනෙක් ඔහු දෙස විමතියෙන් බැලූහ. සමහරු හිස සැළුහ.
ඒර්කින් විශාල පාලමක් අසලට පැමිණියේය. බෑගයක් අතින් ගත් කණ්ණාඩි පැළඳ ගත් තැනැත්තෙක් ඔහු ඉදිරියට ආවේය.
“කොහෙද යන්නේ පුංචෝ.”
ඒර්කින් ඔහු දෙස බලා නිහඬ විය.
“ඔය ළමයා කාගෙද?”
“තාත්තගේ”
“මොකද මේ තට්ට තනියම”
ඔහු පිළිතුරු නොදුන්නේය.
සමහර විට මේ ළමයා ඒ අසල ඇති තට්ටු නිවාසයක ළමයකු වන්නට ඇත. මෙසේ සිතූ ඔහු නතර නොවී යන්නට ගියේය. ඒ අතර මහල්ලෙක් නතර වී ඒර්කින්ගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය.
“මේ ළමයා කොහෙද යන්නේ”
ඒර්කින් පිළිතුරු නොදුන්නේය. ඔහු යන ගමනින් ඔවුනට ඇති වැඩය කුමක්ද? ඔහු කාර් යද්දී පාර හරහා මාරු වුණේ නැත. ට්‍රෑම් රථ යන පාර මැදින් යන්නේද නැත.
“ළමයා මෙහෙ එන්න තව මල් ටිකක් දෙන්නම්.”
“මා ළඟ මල් තියෙනවා. තමා අතවූ රෝස මල් පෙන්වමින් ඒර්කින් පැවැසුවේය.”
“මා ළඟ හුඟාක් හොඳ මල් තියෙනවා. මෙහෙ එන්න. මල් ටිකක් දෙන්නම්.”
ඒර්කින් නතර විය. මහල්ලා ළඟ ලස්සන මල් ඇත්නම් ඒවා ලබාගත යුතුය. අම්මාට හොඳම මල් රැගෙන යා යුතුය. ඔහු ආපසු මහල්ලා වෙත ආවේය.
ආ පුතේ මේවා ගන්න. මහල්ලා රතු රෝස මල් හා සුදු රෝස මල් දෙකක් ඒර්කින් අත තැබුවේය. මේ අතර ළමයාගෙන් ප්‍රශ්න කිරීමට ඔහු අමතක නොකළේය.
“පාන්දර කොහෙද යන්නේ පුතේ?”
“අම්මට බලන්න”
“අම්මා කොහෙද ඉන්නේ”
“අම්මා මැරිලා”
“ආ… එහෙමද?” මේ ළමයා පාන්දරින් නිවසින් පිටවීම පිටුපස කිසියම් රහසක් ඇති බව මහල්ලා ඒ වන විටත් අනුමාන කර තිබුණි.
පුතා උඹලගේ අම්මා හමුවෙන්න හුඟාක් දුර යන්න තියෙනවා. තනියම ගියාට උඹට අම්මට හම්බවෙන එකක් නැහැ. ගෙදර ගිහිල්ලා තාත්තත් එක්ක එන්න.
ඒර්කින් හිස සැලුවා පමණි.
“පුතා අතරමං වේවි”
“මං අම්මව සොයා ගෙන යනවා.”
කිසිවකු තමාගේ ගමන බලයෙන් නතර කරතැයි සිතූ ඒර්කින් වේගයෙන් ගමන් කොට නොපෙනී ගියේය. විශාල ජනකාය මැදින් ගමන් කළ ඔහු පිළිබඳව කීපදෙනකුගේ අවධානය යොමුවූ අතර ඔහු සැලකිය යුතු දුර ගමන් කළේය.
ඔහු පොකුණක් අසලට ආවේය. ජලය අහසට විදින ආකාරය දෙස ඔහු බලා සිටියේය. ඒ අසල පරෙවියෝ රැස්ව සිටිති.
නැවත ඔහු සෙනඟ අතරට එක්විය. ඔහුට හමුවන සෑම කාන්තාවක් දෙසම ඔහු විමසිල්ලෙන් බැලුවේය. මේ එක් කෙනෙක් තමාගේ අම්මා නම්? ඒත් එසේ නොවීය. අම්මාව දකින්න නොලැබුණු බැවින් ඔහු දිගටම ගියේය.
ඔහු කඩ සාප්පු ඇති ප්‍රදේශයට පැමිණීයේය. සාප්පුවල වීදුරුවලින් කිරි බෝතල් තබා ඇති අයුරු පෙනේ. ඔහුට බඩගිනිත් ඇති විය. ඔහු සාප්පුව තුළට ගොස් කවුන්ටරය අසල සිට ගත්තේය.
ඔහු සුදු කබායකින් සැරසුණු මහත කාන්තාවක් දෙස බලාගත්වනම සිටියේය. ඇගේ අත් දුවනවා මෙන් වැඩ කරයි. කේජු කැපීම, කිරි බෝතල් ගැනීම සහ ඒවා විකිණීම සඳහා ඈ වෙහෙස වන්නීය.
කොතෙක් වැඩ තිබුණ ද පිරිමි ළමයා කෑදර ලෙස තමා දෙස බලා සිටිනු ඇය දුටුවාය. ඔහු සමහර විට අම්මා හෝ ආච්චි සමග එන්නට ඇත. ඔවුන් බඩු ගන්නවා ඇතැයි ඇය සිතුවාය. එහෙත් ළමයා බොහෝ වේලාවක් එතැන රැඳී සිටියේය. ඔහු දෙමාපියන්ගෙන් මග හැරීවත්ද? ඇය සෙනඟ අතරින් ළමයා වෙත ගියේය.
“මොකද පුතා මෙතන කරන්නේ”
ඒර්කින් පිළිතුරු නොදුන්නේය. ඔහුගේ ඇස් කේජු බටර් සහ කිරි බෝතල් වෙත යොමුවී ඇත. ළමයා මනාව හැඳ පැළඳ නැති බවත් ශීතලෙන් සිටින බවත් ඇයට පෙනිණ.
“කාත් එක්කද ආවේ? අම්මා එක්කද? තාත්තා එක්කද? අතරමං වුණාද?
ඒර්කින් හිස සැලුවේය.
“බබාට මොනවද ඕනේ?”
“මොකුත් එපා”
ඇය කේජු කෑල්ලක් කපා කිරි වීදුරුවක් වත් කර ඔහුට දුන්නේය. සමහර විට එය ඇගේ උදේ ආහාරයෙන් කොටසක් වන්නට ඇත.
ඒර්කින් එක හුස්මට කිරි වීදුරුව බී කේජු කෑල්ල ගිල දමා කරුණාවන්ත කාන්තාව දෙස බලා මුව පුරා සිනාසී දොර දෙසට ගියේය. ඔහුට අපතේ යැවීමට කාලය ඉතිරි වී නැත. තව දුර යෑමට ඇත. එම නිසා ඔහු ඉදිරියට ගියේය.
ඔහු තවත් පාලමක් පසු කොට ගොස් ට්‍රෑම් රථ හා ට්‍රොලි බස් මාරු වන ස්ථානයට පැමිණියේය. ඔහුගේ බඩගින්න දැන් නිවී ඇතත් කකුල් වෙහෙසට පත්ව ඇත. ඔහු පදික වේදිකාවේ අසල වූ බංකුවක් වෙතට ගොස් වාඩි ගත්තේය.
ඔහු බංකුවට හේත්තු විය. මෝටර් රථ එහාටත් මෙහාටත් කලබලයෙන් දිව්වේය. මිනිස්සු එහෙ මෙහෙ ගියහ. ටික වේලාවක් ගත වන විට ළමයාගේ හිස පහතට වැටී තිබුණි. ඔහු නින්දට වැටී ඇත. කාර්වල සද්ද ඔහුට බාධාවක් නොවීය. නින්දේ සිටියත් ඔහු රෝස මල් තදින් අල්ලාගෙන සිටියි. ටික වේලාවකට පසු ඔහු බංකුව මත දිගා විය. එහෙත් මල් අත හැරියේ නැත.
එතැන පසුකර ගෙන ගිය අය ළමයා බංකුවක් මත නිදා සිටින අයුරු මවිතයෙන් බැලූහ. කීපදෙනෙක් නතර වූහ. ළමයා අසනීපයෙන්ද එහෙත් අසනීප ළමයාට මෙතරම් හොඳින් හුස්ම ගත නොහැක.
ඒ ප්‍රදේශයේ රාජකාරි කළ උඩු රැවුලකින් හා කරුණාවන්ත පෙනුමකින් යුත් පොලිස් නිලධාරියකු මීළඟට ඔහු අසලට පැමිණියේය. ඔහු කළ යුතු දේ ගැන මොහොතක් කල්පනා කර ළමයා අසලින් වාඩිවිය. ඔහු බොහෝ වේලාවක් ළමයාගේ නින්දට රැකවල් කරන්නාක් මෙන් ඒ අසල සිටියේය. පාර පවිත්‍ර කරන යන්ත්‍රයේ සද්දයත් සමගම ඒර්කින් අවදි විය. ඔහු ඇස් විවෘත කර හිස ඔසවා බලන විට පොලිස් භටයා දක්නට ලැබිණ.
“කොහොමද පුතා?”
“පුතා අතරමං වුණාද? පුතාගේ අන්තිම නම මොකක්ද?”
කිව යුත්තේ කුමක්දැයි නොදත් ඒර්කින් නිහඬ විය.
“මම බබාව ගෙදර එක්ක යන්නද? බබා කොහෙද ඉන්නේ?”
“අරහෙ”
ළමයා තමන් පැමිණී දෙසට අත දිගු කර පෙන්නුවේය.
“මාත් එක්ක යන්න එන්න. මම බබාව එක්ක යන්නන්”
“නැහැ මං අම්මා බලන්න යනවා.”
“අම්මා කොහෙද ඉන්නේ”
“අම්මා මැරිලා”
ඔහුට සියල්ල වැටහිණ. ක්‍රියා කළ යුත්තේ කෙසේ දැයි මොහාතක් කල්පනා කළ ඔහු දෙතොල් තද කරගෙන ළමයා දෙසට හැරිණ.
“අපි දෙන්නාම බබාගේ අම්මා බලන්න යමු. මාත් යන්නේ ඒ පැත්තට. බබා වගේ ළමයෙක් මටත් ඉන්නවා.
පොලිස් නිලධාරියාගේ කාරුණික භාවය ගැන ලියැවුණ ගීතයක් ඒර්කින්ට මතක් විය. ඔහු අසුණින් නැගිට පොලිස් භටයාගේ අත අල්ලා ගත්තේය. ඔහු දිගටම ගමන් කළහ. උස පොලිස් භටයෙක් හතර හැවිරිදි පුංචි ළමයෙක්, පුංචි ළමයා දැඩි වෙහෙසට පත්වී ඇත. ඔහු කෙතරම් වෙහෙසට පත්ව සිටියේද යත් ඔහුට පයින් යා නොහැකි විය. පොලිස් භටයා ළමයා වඩා ගත්තේය.
මිනිත්තු 15 කට පසු ඔහු පොලිස් කාර්යාලය වෙත පැමිණියහ. ඒ අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා දොර විවෘත කරගෙන ඉදිරියට දිව ආවේය.
“කොහෙදි ද හම්බවුණේ?” එයාගේ තාත්තා ළමයාව හොයාගෙන මුළු නගරයම පෙරළනවා. එයාට බාගෙට පිස්සු වගේ පුතාගේ නම මොකක්ද? ඒර්කින්ද?”
ඒර්කින් හිස සැලුවේය.
මම දුරකථන පණිවුඩයක් දෙන්නම්. එතකොට බබාගේ තාත්තාට සැනසිල්ලක් වේවි.
“පැය භාගයකට පමණ පසු මෝටර් රථයකින් පැමිණ ඒර්කින්ගේ පියා දුවගෙනවිත් පුතාව වඩා ගත්තේය. තාත්තා අපි යං. අම්මා අපි එනකං බලා ඉන්නවා.
“ඔව් පුතේ අපි යං අපි දැන්ම යං! යැයි පැවැසූ ඔහු අනෙක් අය දෙසට හැරුණි.”
මගේ නෑදෑයෝ වගයක් එන නිසා පාන්දරින්ම මට ගුවන්තොටුපළට යන්න සිද්ධ වුණා. පුතාව ආච්චි ළඟ දාලයි ගියේ. මට සමාවෙන්න.”
අඩක් සිහි විකල්ව ගොස් සිටි ආච්චි සැනසීමට ඔහු වහා මෝටර් රිය පදවා ගෙන ගෙදර ගියේය. අම්මා බැලීමට යෑමට සූදානම් වන ලෙස ඔහු ඒර්කින්ට පැවැසුවේය. ඒර්කින් නැවත වරක් පිරිසුදු කබායකින් සැරසුණි. මිදුලේ නවතා තිබූ මෝටර් රියට මුලින්ම නැග්ගේ ඔහුය. මේ දෙස බලා සිටි ඒර්කින්ගේ පියා වහා නාන කාමරයට ගොස් මුහුණ සෝදා ගත්තේය. තමාගේ ඇස්වල සබන් තැවරුණ බව ඔහු ආච්චිටත් ඒර්කින්ටත් පැවැසුවේය. අවසානයේ ඔවුහු විශාල මල් මිටියක් රැගෙන පිටත් වූහ.
පියා සහ පුතා අලුත් පස් ගොඩක් මත මල් තැබූහ. ඒර්කින් අලුත් පස් ගොඩ දෙස බැලුවේය. ඒ පස් යටද අම්මා ඉන්නේ? අම්මාට අලුත් සිල්ක් ඇඳුම් අන්දවා වැලලුවේ ඇයි? ඇඳුම්වල දූවිලි ස්වල්පයක් ගෑවුණත් අම්මා එය පිරිසිදු කරයි. ඇය දැන් පස් ගොඩක් යට සිටියි. අම්මාගේ ලස්සන මූණ රත්රන් කරාබු පස් යට කර ඇත්තේ ඇයි?
“ඒර්කින්ට හිස් බවක් දැනින.
“අම්මා එළියට එන්නේ නැද්ද?”
ඔහු හදිසියේම විමසුවේය.
“නැහැ” ඔහුගේ පියා අකමැත්තෙන් පිළිතුරු දුන්නේය.
පියා සහ පුතා කනත්ත අතහැර ආපසු ගෙදර පැමිණියහ. දින කීපයකට පසු ඒර්කින්ට අසනීප විය. ඔහුට දරුණු උණක් ගැනිණ. අම්මා කියා අඬවමින් ඔහු තමා වෙත පැමිණෙන හැම කෙනෙක්ම පිළිගත්තේය. ඔහු තාමත් රතු රෝසමල් දෙකක් රැගෙන අම්මා වෙත යෑමට සූදානම් වෙයි.
මිර්ෂුක්සින්
ප්‍රකට කවියකු හා කෙටිකතාකරුවකු වූ මිර්ෂුක්සින් උපත ලැබුවේ 1921 දීය. උස්බෙක් රාජ සම්මානය පවා දිනූ ඔහු කෙටිකතා, කවි සහ ළමා කතා පොත් 200ක් පමණ ලියා ඇත.
අනුවාදය
බොබී ජී. බොතේජු