අමුද්‍රව්‍ය ආවේ නැත්නම්  කර්මාන්ත ගෙනියන්න බැහැ

163

* මව්බිම ලංකා පදනමේ ප‍්‍රධාන ලේකම්  කුලතුංග රාජපක්ෂ
 

 අත්‍යවශ්‍ය භාණ්ඩවලට මෙන්ම කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ද රේගුවෙන් කඩිනමින් නිදහස් කර ගැනීමට ප‍්‍රමුඛත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව මව්බිම ලංකා පදනමේ ප‍්‍රධාන ලේකම් හා ඞී.එස්.අයි. සැම්සන් සමූහ ව්‍යාපාරයේ සම්මානිත කළමනාකාර අධ්‍යක්ෂ කුලතුංග රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. මේ වන විට කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමටවත් ණයවර ලිපියක් විවෘත කර ගැනීමට ඩොලර් නොමැති බව ද වෙනත් අත්‍යවශ්‍ය නොවන නිමි භාණ්ඩ රටින් ගෙන්වීමට වඩා මේ කර්මාන්ත අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට විදේශ විනිමය සැපයීම ඉතා වැදගත් බව ද රාජපක්ෂ මහතා කියයි. පහතින් සටහන් වන්නේ මේ දිනවල ඩොලර් ප‍්‍රශ්නය හමුවේ කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ප‍්‍රශ්න සම්බන්ධයෙන් ‘දිවයින’ ඇසූ ප‍්‍රශ්නවලට කුලතුංග රාජපක්ෂ මහතා ලබා දුන් පිළිතුරුයි.

අමුද්‍රව්‍ය ආවේ නැත්නම්  කර්මාන්ත ගෙනියන්න බැහැ

ප‍්‍රශ්නය – වර්තමාන විනිමය ප‍්‍රශ්නය හමුවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලූ මොනවාද?

 පිළිතුර – පළමු කරුණ විශේෂයෙන් කර්මාන්ත කරගෙන යනකොට කිසිම කර්මාන්තයක් කරන්න බෑ පිටරටින් යම්කිසි ප‍්‍රමාණයක් ආනයනය කරන්නේ නැතුව. සියයට සියයක් දේශීය අමුද්‍රව්‍යවලින් හදන කර්මාන්ත තියෙන්නේ අතළොස්සයි. ඒ නිසා වැඩි හරියක් කර්මාන්තවලට පිටරටින් යම් කිසි ප‍්‍රමාණයක් අමුද්‍රව්‍ය ආනයනය කරන්න ඕන. පාවහන් කර්මාන්තය ගත්තොත් සියයට 60 ක්ම අමුද්‍රව්‍ය පිටරටින් ආනයනය කරගන්න ඕන. බොහොම ටිකයි මෙහෙන් ගන්න පුළුවන්. ඒවගේම රබර් කර්මාන්ත ශාලාවලත් හැමෝම හිතන් ඉන්නේ රබර් ඔක්කොම ලංකාවේ තියෙනවා කියල. එහෙම නෑ. ලංකාවේ තියෙන රබර් ප‍්‍රමාණය මදි. ඒ නිසා දේශීය රබර් භාවිතා කරන ගමන්ම ඒ හා සමාන ප‍්‍රමාණයක්ම පිටරටිනුත් අපි ආනයනය කරනවා. ඒ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය සියයට සියයක්ම අපි ආනයනය කරනවා. මේ දෙකම කරන්න පුළුවන් අපනයන ක්ෂේත‍්‍රයේ ඉන්න අයට. ඒ අයට ඩොලර් තියෙනවා. නමුත් බොහෝ කර්මාන්තශාලාවල බී ඕඅයි හැර සියයට සියයක්ම අපනයනය කරන්නේ නැහැ. ඒවායේ සියයට 50 ක් විතර දේශීය වෙළෙඳපොළට ඉදිරිපත් කරන ගමන් තමයි ඉතුරු ඒවා අපනයනය කරන්නේ. ඒ නිසා ඒ අයට නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරන්න තියෙන ඩොලර් ප‍්‍රමාණය මදි. ඒ අය තමයි ලොකුම අමාරුවක වැටෙන්නේ. හේතුව සමහර වෙලාවට පිටරට යවන භාණ්ඩවල මිලට අපි ඒකෙ තියෙන පිරිවැය බෙදා හදා ගන්නවා දේශීය වෙළෙඳපොළත් එක්ක. අනිත් එක සමහර භාණ්ඩ තියෙනවා ඒකෙ නිෂ්පාදන වියදම අඩු වෙන්න නිෂ්පාදනය කරන්න ඕන අවම ප‍්‍රමාණයක් තියෙනවා. පොඩි ප‍්‍රමාණයක් හදල ඒකෙ පිරිවැය පියව ගන්න බෑ. එවිට තමයි පිරිවැය බෙදිලා යන්නේ. දැන් එහෙම කරන්න විදියක් නෑ කර්මාන්ත ශාලා දුවන්නේ ධාරිතාවෙන් සියයට 40 ක් නැත්නම් 50 ක් විතර. එහෙම අඩු ධාරිතාවකින් දුවනකොට අනිවාර්යෙන්ම නිෂ්පාදන වියදම වැඩි වෙනවා. හේතුව මුළු පිරිවැය අඩු ප‍්‍රමාණයක් අතර බෙදී යන නිසා. ඒ නිසා විශේෂයෙන්ම දේශීය වෙළෙඳපොළට භාණ්ඩ සපයන දේශීය කර්මාන්ත ශාලා ලොකු අමාරුවක වැටිලා තියෙනවා.

 අනිත් ප‍්‍රශ්නය තමයි අපිට පිටරටින් භාණ්ඩ ආනයනය කිරීම සීමා වෙලා තියෙන නිසා නැව් ඒම සහ කන්ටේනර් පෙට්ටි එන එක සීමා වෙලා තියෙනවා. අපනයනය කරන්නත් නැව් සහ කන්ටේනර් දෙකම තියෙන්න ඕන. මේ දෙකේම හිඟයක් පවතිනවා. ඒ නිසා අපනයනය කිරීමේත් යම් කිසි ප‍්‍රශ්නයක් තියෙනවා. ඊට අමතරව නව ගාස්තු සියයට 150 සිට සියයට 300 ක් දක්වා පමණ වැඩි වෙලා තියෙනවා. එන නැව් ප‍්‍රමාණය අඩු නිසා මේක ලංකාවට වැඩියෙන්ම බලපානවා. නැව් වැඩියෙන් එන තැන්වලට ඒක අඩුවෙන් බලපානවා. ඒක ජාත්‍යන්තර ප‍්‍රශ්නයක්. නමුත් අපට ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ චීනේ වගේ රටක අමුද්‍රව්‍ය පිටරටින් ගේනවා අඩුයි. නමුත් අපේ රටේ අමුද්‍රව්‍ය වැඩි ප‍්‍රමාණයක් පිටරටින් ගේන නිසා නැව් ගාස්තු යනාදී වියදම් වැඩියි. ගේන එකට වගේම භාණ්ඩ අපනයනය කරන එකටත් මේ නැව් ගාස්තු වැඩි වෙලා තියනවා. දෙපැත්තෙන්ම මේක බලපානවා. මේ නැව් ගාස්තු වැඩි වීම ගැනුම්කරුවන් බොහොම කීප දෙනයි ඒක භාර ගන්නේ. අපනයනකරුවන් ගැනුම්කරුවන් සමග ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ නැව් ගාස්තු සමග නම් නැව් ගාස්තු දරා ගන්න වෙනවා. ලාභෙන් ඒක අඩු කරගන්න වෙනවා. ඒක කර්මාන්තකරුවන් මුහුණ දෙන ඊළඟ ප‍්‍රශ්නය.

 ප‍්‍රශ්නය – කර්මාන්තකරුවන් මුහුණ දෙන වෙනත් ප‍්‍රශ්න මොනවා ද?

 පිළිතුර – ඊළඟ ප‍්‍රශ්නේ තමයි රජය පෞද්ගලික අංශයෙන් අහන්නේ නැතුව හිතුමතේ කම්කරු ක්ෂේත‍්‍රයට බලපාන නීති වෙනස් කරනවා. දැන් මෙතෙක් කල් 55 න් විශ‍්‍රාම ගිය අයට විශ‍්‍රාම ගන්න වයස අවුරුදු 60 දක්වා වැඩි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කාය ශක්තිය වැඩියෙන් වැය කරලා වැඩ කරන අය ඉන්නවා. වයසට යෑමත් සමග ඒ අයගේ කාය ශක්තිය ක‍්‍රමානුකූලව අඩු වෙනවා. ඒ වගේ අයට නිෂ්පාදනය කරන ප‍්‍රමාණය මත තමයි ඇතැම් කර්මාන්තශාලාවල ගෙවන්නේ. සාමාන්‍යයෙන් කර්මාන්තශාලාවල වැඩ කරන සේවකයකුගේ වැටුපෙ කොටස් තුනක් තියෙනවා. එකක් තමයි මූලික පඩිය. අනිත් එක දිරි දීමනාව. ඊළඟ එක අතිකාල දීමනාව. මේ තුනෙන් තමයි තමන්ගේ පඩිය සැකසෙන්නේ. අවුරුදු 55 විතර වූ හුඟක් අයට කාය ශක්තිය නෑ අර දිරි දීමනාව ගන්න. අතිකාල කරන්නත් ඒ අයට අමාරුයි. ඒ අයට බොහෝ වෙලාවට ඉක්මනින් ගෙදර යන්න ඕනෑකම තියෙනවා. දැන් විශ‍්‍රාම ගැනීම 60 ට වැඩි කළ විට අර ඵලදායි නොවන සේවකයාත්

 තියාගන්න වෙනවා. එතනත් ප‍්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒක අපෙන් අහන්නේ නැහැ. එහෙත් කර්මාන්ත ශාලා හිමියන් වැඩ කරන අය අඩු නිසා අවුරුදු  55 න් වැඩි අයත් කොන්ත‍්‍රාත් පදනම මත තියාගන්නවා. ඒ දක්ෂ කට්ටිය. අදක්ෂ අය තමයි විශ‍්‍රාම යවන්නේ. මේකෙන් අපේ පිරිවැය වැඩි වෙලා මේ නීතිය අපට බලපාල තියෙනවා නරක විදියට.

 තව එකක් හිටි ගමන් මේ රු. 5000 ක් වැඩි කරන්න කියල යෝජනාවක් ඇවිත් තියෙනවා. මේ පෞද්ගලික අංශය ආණ්ඩුව නොකීවත් පඩි වැඩි කරන අවස්ථා එමට තියෙනවා. ඒ ගැන සැලකිල්ලක් නෑ. ඒක මේ අයට අවශ්‍ය අවශ්‍ය විදියට දේශපාලන වාසියට ගන්නවා. එතන ලොකු වැරැුද්දක් තියෙනවා.

 දැන් හැම ආයතනයකම කම්කරු හිඟයක් තියෙනවා. ඇබෑර්තු ඇත කියලත් දාල තියෙනවා. නමුත් සමෘද්ධි ලාභීන් එන්න එන්න වැඩි වෙනව මිසක් අඩුවෙන විදියක් අපට පේන්නේ නෑ. සමෘද්ධිලාභීන්ට ගෙවන එක පළාතේ මන්ත‍්‍රීතුමා අනුමත කරනවා මෙයාට ගෙවන්න කියල. ඒක ජන්දේ බලාගෙන කරන වැඩක්. නමුත් හරි නම් රජය ප‍්‍රතිපත්තියක් ගේන්න ඕන සමෘද්ධිලාභීන් ප‍්‍රසිද්ධ කරන්න. ඒ ඒ ප‍්‍රදේශවලින් මෙච්චර ඉන්නවා කියල, අහවල් ගමෙන් මෙච්චර ඉන්නවා කියල ප‍්‍රසිද්ධ කරලා ඒ පළාතේ මන්ත‍්‍රීතුමාට වගකීමක් භාරදෙන්න ඕන ඒ ප‍්‍රමාණය වසරින් වසර අඩු කරන්න. ඒ අයට රස්සාවක් කරන්න හදල දෙන්න පුළුවන්. අපි වුණත් කැමතියි එතනින් ගන්න. ඒ අය රස්සාවට යන්නේ නැත්තේ වැඩිය ලේසියි ගෙදර ඉඳන් සමෘද්ධිය ගන්න එක. නිකන් හිඟා කන මානසිකත්වයක් අපි ගෙනත් තියෙනවා.

 ප‍්‍රශ්නය – කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගන්න තියෙන ගැටලූ මොනවා ද?

 පිළිතුර – කන්ටේනර් ආවම දවස් 180 කින් තමයි පිටරට සැපයුම්කරුට ගෙවන්නේ. නමුත් සියලූ සැපයුම්කරුවන් මේ දින 180 ට එකඟ වෙන්නේ නැහැ. එවිට අපට අල්ල ගන්න වෙනවා ටේ‍්‍රඩින් හවුස් එකක්. ඒ අය සල්ලි ගෙවල අරන් අපට දවස් 180 ක් දෙනව. ඒත් අපට එහෙම ණයවර ලිපිවලින් දුන්නට වෙනම යවන්න විදියක් නැහැ. පිටරට ඉන්න වෙළෙන්දෝ නම් උන්ඩියල් ක‍්‍රමයට සල්ලි යවනවා. කර්මාන්තකරුවන්ට එහෙම යවන්න සල්ලි නැහැ. නමුත් රජය කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට ප‍්‍රමුඛත්වය දෙන්නේ නැහැ. එතන විශාල වැරැුද්දක් තියෙනවා. ඒ අමුද්‍රව්‍ය ආවම වරායේ තියෙනවා. ඩොලර් නැත්නම් ඒවා නිදහස් කරගන්න විදියක් නැහැ. ඊළඟට වරායේ ප‍්‍රමාද ගාස්තුවත් ගෙවන්න වෙනවා. මම දැක්ක පසුගියදා පත්තරේ බැසිල් රාජපක්ෂ ඇමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉක්මනින් වරායෙන් මුදා හරින්න කියල කමිටුවක් දාල තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර කිව්වට දැනටත් ඇපල් සහ මිදිත් ගෙන්වනවානේ. අමුද්‍රව්‍ය කර්මාන්තශාලාවලට අත්‍යවශ්‍යයි. නමුත් ඒ අමුද්‍රව්‍ය නිදහස් කරගන්න කිසිම කමිටුවක් දැම්මේ නැහැ. ගෙන්නල විකුණන භාණ්ඩවලට ඒක දැම්මේ. අල, පරිප්පු යනාදියට.

 ප‍්‍රශ්නය – ඒ කියන්නේ ආහාර ද්‍රව්‍යවලට පමණයි?

 පිළිතුර – අපි කියන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදා හැරීම වැදගත්. එසේම කර්මාන්ත අමුද්‍රව්‍යයත් ඉතා වැදගත්. ඒත් සමහර ඒවා ආනයනය කරන්න වුවමනාවක් නැහැ. මේ වෙලාවේ අපි පටි තද කරගන්න ඕන. නමුත් අමුද්‍රව්‍ය ආවේ නැත්නම් කර්මාන්තවලට ප‍්‍රශ්නයක් ඇති වෙනවා. මේ වෙලාවේ සමහර රටට අත්‍යවශ්‍ය නැති නිමි භාණ්ඩත් ගෙන්වනවා. ඒවා කොහොම හරි වරායෙන් නිදහස් වෙනවා මොන විදියකට හරි. කොහොම වෙනවා ද දන්නේ නැහැ. ඒ අය බැංකු හරහා නෙවෙයි ගේන්නේ. ඒ අයට පසුව ගෙවීමට ගෙන්වා ගන්න වෙන ක‍්‍රම තියෙනවා. දැනට වෙළෙඳපොළේ ඕන භාණ්ඩයක් තියෙනවා.

 ප‍්‍රශ්නය – අනවශ්‍ය දේවලූත් රටට එනවා. එහෙත් ඔබ කියන්නේ අමුද්‍රව්‍ය ගෙන්වාගන්න බැරි වුණොත් කර්මාන්ත කරගෙන යන්න බැරි වෙනවා කියලයි. එසේ නම් මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් රජයට හෝ බැසිල් ඇමැතිතුමාගේ කමිටුවට ඔබතුමාලා කරන යෝජනාව කුමක් ද?

 පිළිතුර – කර්මාන්ත අමාත්‍යාංශය දන්නවා කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවා ද කියල. ඒ අමුද්‍රව්‍ය මොනවා ද කියල එම අමාත්‍යාංශයෙන් නිර්දේශයක් ගන්න විතරයි තියෙන්නේ. සමහර නිමි භාණ්ඩ සමහර කර්මාන්තවලට අමුද්‍රව්‍ය වෙනවා. ඒ නිසා සියලූම කර්මාන්තවලට අදාළව කර්මාන්ත අමාත්‍යාංශය හරහා නව කමිටුවක් දාල එම අමුද්‍රව්‍ය නිදහස් කරන්න කිව්වා නම් හරි. කිසි ප‍්‍රශ්නයක් නැහැ. දැනට අනවශ්‍ය භාණ්ඩත් ගේනවා නිමි භාණ්ඩ හැටියට. රබර් කර්මාන්තය ගත්තොත් ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවා ද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඒක දන්නවා. ඒවාටත් අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න ණයවර ලිපියන් විවෘත කරන්න ඩොලර් නැහැ. ඒ නිසා රටට මේ විදේශ විනිමය නැති වෙලාවේ කලින් නොකළට කර්මාන්ත ඇමැතිතුමා හරහා යම්කිසි පරිපාලනයක් කරන්න වෙනවානේ. විදේශ විනිමය හිඟ වෙලාවේ කර්මාන්ත අමුද්‍රව්‍ය නිදහස් කරගන්න ප‍්‍රමුඛත්වය දෙන්න ඕන කියන එකයි කියන්නේ.

 ප‍්‍රශ්නය – කර්මාන්ත අමාත්‍යාංශය හරහා බැසිල් ඇමැතිතුමාගේ කමිටුවට නිර්දේශය ලබා දෙන්න පුළුවන් ඒ ප‍්‍රමුඛත්වය දෙන්න කියල?

 පිළිතුර – ඔව්. දැනට දීල තියෙනවනේ ආහාර ද්‍රව්‍ය නිදහස් කරගන්න ප‍්‍රමුඛතාව. එතකොට කර්මාන්ත අමුද්‍රව්‍යවලටත් කර්මාන්ත අමාත්‍යාංශයට කමිටුවක් දාගන්න පුළුවන්නේ. ඒකත් අවශ්‍යයි. මොක ද කර්මාන්ත කරේ නැත්නම් භාණ්ඩ හිඟ වෙනවා. මිනිස්සුන්ට රස්සාවත් නැති වෙනවා. සමහර අමුද්‍රව්‍යවලට ලංකාවේ ආදේශකයක් නැහැ. ඒ නිසා ඒවගේ අමුද්‍රව්‍ය ගෙන්වා ගන්න බැරි වුණොත් ඒ කර්මාන්ත වහන්න වෙනවනේ. දැනට වරායෙන් නිදහස් කරගන්න ප‍්‍රමුඛතාව දෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණයි. ඒ දේම කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය කඩිනමින් නිදහස් කර ගැනීමටත් කරන්න පුළුවන්. ඒ දේ කරන්න කියල අපි රජයට යෝජනා කරනවා. එසේ නොකළොත් කර්මාන්තවලට වැඩ කරගෙන යෑමට බැරි තත්ත්වයක් උදාවෙනවා.

 තව විශාල ප‍්‍රශ්නයක් තියෙනවා. රජය දාල තියෙනවා සුපිරි ලාභ බද්දක්. බදු අය කළ හැකි ආදායම බිලියන දෙකට වැඩි නම් බද්දක් ගෙවන්න කියලා. මේක 2020රැු21 ලාභවලින් ගෙවන්න කියන්නේ. සාමාන්‍යයෙන් කර්මාන්තශාලාවක් කරනකොට අඩුම ගාණේ වසර තුනක ආයතනික සැලැස්මක් තියෙනවා. ඒකට මුදල් වෙන් කරනවා. මේ බද්දෙන් ලොකු ගාණක් පසුගිය වසරට ගෙවන්න කියල තියෙනවා. මේක එක සැරයක් වුණත් ගෙවන්න සමාගම්වල ලාභ සල්ලිවලින් නෑ. ඒ ලාභ තියෙන්නේ වත්කම්වලට හිර වෙලා. අපිට වත්කම්වලින් බදු ගෙවන්න බෑනේ. අපට ලාභයක් පේනවා. ඒත් ලාභය තියෙන්නේ සල්ලිවලින් නෙවෙයි. ඒ නිසා මේක මේ විදියට ගෙවන්න කියන එක හරිම අසාධාරණයි. අද බිලියන දෙකයි කියන්නේ ලොකු ගාණකුත් නෙවෙයි. නීත්‍යානුකූලව බදු ගෙවන සමාගම්වලට තවත් මෙහෙම අතිරේක බද්දක් අපිට කලින් දැනුම් දීමක් නොකර දැම්මහම අපට ගෙවන්න විදියක් නෑ. අඩු ගාණේ ගෙවන්න තියන මුදල අනාගත ආදායම් බදුවලින් කොටස් වශයෙන් ගෙවන්න කිව්වා නම් අපට යම්කිසි සහනයක් වෙනවා. සල්ලි අවශ්‍යතාව නිසානේ මේක කරන්නේ. ඒත් ඒ සල්ලිවලින් ආණ්ඩුව කරන්නේ මොනවා ද කියලවත් අපි දන්නේ නෑ. අපි දැනගන්න ඕන ඒ බදු මුදල් භාවිත කරන්නේ මොනවාට ද කියල.

 සාකච්ඡා කළේ –  ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment