අමුද්‍රව්‍ය ගෙන්වීමට ඩොලර් නැතිව ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයත් නවතී.

145

රට තුළ පවතින ඩොලර් අර්බුදය නිසා අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වීමෙන් අත්‍යවශ්‍ය ආයුර්වේද ඖෂධ වර්ග රැසක් නිෂ්පාදනය අත්හිටුවීමට මේ වනවිට සිදුව ඇතැයි ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයෝ පවසති.අරලු, බුලු, නෙල්ලි සිට ආයුර්වේද අමුද්‍රව්‍ය 180 ක් පමණ ඉන්දියාවෙන් ආනයනය කරන බවත් මේ වනවිට එම අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වීම නිසා තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවත් ඔවුහු පවසති.

එසේම ඩොලරයේ මිල ඉහළ යෑම නිසා ආනයනය කරන අමුද්‍රව්‍යවල මිල ගණන් ද දෙතුන් ගුණයකින් ඉහළ ගොස් තිබීමෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කර අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි ද ඖෂධ නිෂ්පාදකයෝ පවසති. රුපියල් හත්දහසත් අටදහසත් අතර මිලකට පැවති පෙරුම්කායම් කිලෝවක් මේ වනවිට රුපියල් තිස්දහසක් පමණ වී ඇති බවත් එවැනි මිලකට අමුද්‍රව්‍ය මිලදී ගෙන ඖෂධ නිෂ්පාදනය කර අලෙවි කළ නොහැකි බවත් පැවසේ.

මේ සම්බන්ධව දේශීය ඖෂධ රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතාගෙන් කළ විමසුමේදී ඇමැතිවරයා පැවසුවේ පවතින මෙම ගැටලුවලට විසඳුම් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා අද (03 දා) නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේදී ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍යවරුන් කැඳවා ඇති බවයි.
එහිදී දේශීය අමුද්‍රව්‍ය භාවිත කර නිෂ්පාදනය කළ හැකි අත් බෙහෙත්, පාරම්පරික ඖෂධ නිෂ්පාදනය කර රෝග ප්‍රතිකාර සඳහා යොදා ගැනීම සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment