අඹ පැනය විසඳූ රටේ විදුලි පැනයකට ගැටේ!

383

● මාධ්‍ය නිදහසටත් දෙයිද බැටේ!

පොසොන් සතිය නිමිත්තෙන් ආරම්භ වූ ආමිස හා ප්‍රතිපත්ති පූජා මෙන්ම විශේෂයෙන් සිංහල බෞද්ධ ජන කොටස් විසින් ඒ අසිරිමත් මිහිඳු මංගල්ලය වෙනුවෙන් දැක්වූ විවිධ ආධ්‍යාත්මික පූජාවන් ද අවසන් වී තිබේ. සියවස් ගණනක් ඈත අතීතයට විහිද යන ලංකාවේ අසිරිමත් මෙන්ම ඓතිහාසික සංස්කෘතික සිදුවීමක් ලෙස ද පිළිගනු ලබන මහින්දාගමනය නිසැකයෙන්ම මෙරටේ සමාජ – ආර්ථික – දේශපාලන හා සංස්කෘතික ක්‍ෂේත්‍රවල මහා පරිවර්තන රැසකට හේතු වූ ආකාරය ද යළි යළි විස්තර කළ යුතු නොවේ. කුමක් වුවත් පොසොන් සතිය විසින් තාවකාලිකව යටපත් කරන ලද සමාජ දේශපාලන සංවාද යළිත් කරළියට පැමිණෙමින් තිබේ. විශේෂයෙන් ආණ්ඩුව යළිත් සිය දේශපාලන අභිලාෂයන්ට අනුකූලව අලුත් ක්‍රියාකාරකම් කීපයක්ම බලාත්මක කිරීමේ සූදානමක් ගැන ද දැකගත හැකිය. රටේ මහජන ජීවිතයට හෝ ඔවුන්ගේ යහපත සඳහා යැයි කිව නොහැකි අලුත් මෙහෙයුම් දෙකක් සඳහා ආණ්ඩුව ඉදිරිපත් වී සිටීමද විවාදාත්මකය. මෙයින් එකක් ආණ්ඩුව ගෙන ඒමට සැරසෙන විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ යෝජනාවන්ය. අනෙක නිල කාලය අවසන්ව විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන අධීක්‍ෂණය සඳහා දේශපාලන නියෝජිතයන් පත් කිරීමේ සූදානමය. මේ හැරුණු විට ජනාධිපතිවරණයක් පිළිබඳව කෙරෙන ප්‍රකාශ හා දේශපාලන අවධානය ගිලිහී යෑම සම්බන්ධ අදහස් ද වේ. එසේම බොහෝ දෙනෙකුගේ අවධානයෙන් ගිලිහී ගොස් තිබෙන පොසොන් සතිය සම්බන්ධයෙන් රජය දැක්වූ අලස ප්‍රතිචාරය පිළිබඳ කරුණ ද යළිත් වෙනත් ආකාරයකින් සමාජගතව තිබේ.

මිහින්තලේ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන ලද අධිචෝදනා පත්‍රයක් බඳු එම සිදුවීම දේශපාලනික මෙන්ම සංස්කෘතික වසයෙන්ද බරපතළ ප්‍රශ්න කිරීමක් බව අපගේ අදහසය. දේවානම්පියතිස්ස රජුට එදා මිහිඳු හිමියන්ගේ අඹ පැනය විසඳා රට අභිනව සභ්‍යත්වයක හා ශිෂ්ටාචාර මාවතකට යොමුකරවීමට හැකිවිය. එහෙත් අපේ නූතන පාලකයන්ට මිහින්තලේ විදුලිය පැනය විසඳා ඒ රාජ්‍ය සම්ප්‍රදාය ආරක්‍ෂා කිරීමට නොහැකි වූයේ ඇයි? ආණ්ඩුව හා වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් අතර උද්ගත වූ අර්බුදයට දේශපාලන හේතු තිබුණි දැයි ඍජුව කිව නොහැක. එහෙත් උන්වහන්සේ මේ රජයේ ඇතැම් ක්‍රියාකාරකම් පිළිබඳව සාධනීය විවේචනයක් ඉදිරිපත් කළ බව අපට මතකය. ඒ එදා මිහින්තලයට පැමිණි ආණ්ඩුවේ අගමැති දිනේෂ් ගුණවර්ධන අබියසදීය.

මිහින්තලාරාමාධිපතිගේ ඒ විවේචනය ආණ්ඩුවේ සමහරුන්ට නොරිසි වුවද එයින් ඉදිරිපත් කළ බොහෝ දේ මෙරටේ දේශපාලන පරිහානිය පිළිබඳ සැබෑ චිත්‍රයක් බව නිසැකය. එහෙත් පොසොන් උත්සවයට රාජානුග්‍රහයක් ලබා දීමට එය හේතුවී යැයි කිව හැකිද? මන්ද යත් පොසොන් උළෙල රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීම සියවස් ගණනක ඉතිහාසයත් සමග පැවත එන සාධනීය සිරිතකි. ඉකුත් පොසොන් සතිය මුළුල්ලේම රාජ්‍ය මාධ්‍ය ඇතුළු මෙරටේ සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විසින් ඒ ඓතිහාසික සම්ප්‍රදාය කෙබඳු ද යන්න විග්‍රහ කරන ලද්දකි. ඒ සම්ප්‍රදාය අපට බිඳිය නොහැකි ජාතික සංස්කෘතික වගකීමක්ද වේ.

කෙසේ හෝ වේවා එදා ඉන්දියාවේ විශිෂ්ට ගනයේ පාලකයකු වූ අශෝක අධිරාජයා විසින් ලාංකික ජනතාවට කරන ලද ආධ්‍යාත්මික පරිත්‍යාගය වූයේද බෞද්ධ දර්ශනයත් ඒ සමග බැඳුණු සංස්කෘතියත්ය. සැබැවින්ම ඉන්දියාව තම දේශයෙන් බිහිවූ විශ්වීය දාර්ශනිකයකුගේ මෙන්ම උදාර මුනිවරයකුගේ අකාලික ධර්මය අපට ලබා දීමත් සමගම මෙරටේ සිදුවූ සභ්‍යත්ව හා සංස්කෘතික වර්ධනයත් සුපෝෂණයත් විස්මිත පෙළහරක් වැන්න. කි.පූ. 247-207 අතර සියවස් ගණනාවක ඉතිහාසයක සාඩම්බර පරිච්ඡේදයක් ලෙස ද ඒ මහින්දාගමනය හැඳින්විය හැකිය. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ සමයෙහි ආරම්භ වූ මහින්දාගමන සැමරුම හෙවත් පොසොන් උළෙල අද දක්වා ගලා ඒමෙන් තහවුරු වන්නේ ද එහි අගය මෙරටේ ජාතික සංස්කෘතික උරුමයක් බවට හඳුනා ගැනීමට සමත් පාලනයක් ද වූ බවය. ආමිස හා ප්‍රතිපත්ති පූජා මෙන්ම සිරකරුවන් නිදහස් කිරීම වැනි කටයුතු එදාත් සිදුවී ඇත. කිත්සිරිමෙවන් රජු පොසොන් උත්සවය රාජ්‍ය උළෙලක් ලෙස පැවැත්වීමේ ආඥාවක්ද නිකුත් කළ බව ඉතිහාසයේ සඳහන් වේ. මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ ‘ලංකාවේ බුදු සමයෙහි ඉතිහාසය” නමැති ග්‍රන්ථයෙහි ද මෙම මහින්දාගමනය ලංකාවේ පාලනය සමග ගසට පොත්ත මෙන් කාවැදී තිබුණු බවද රාහුල හිමියෝ පෙන්වා දෙති. එසේම පසුකාලීනව මෙරට ආක්‍රමණය කළ ලන්දේසි හා ඉංග්‍රීසි පාලන යුගවලදී පවා ඒ ඒ ආණ්ඩුකාරවරුන්ට බුද්ධාගම සම්බන්ධයෙන් පැවති දීර්ඝ සම්ප්‍රදායන්ට ගරු කිරීමට ද සිදුවිය.

බුද්ධ ශාසනයෙහි ආරක්‍ෂකයා මෙන්ම එහි ලෞකික නායකත්වය සඳහා පාලකයා ක්‍රියාකළ යුතුය යන්න අද දක්වාම පවතින වගකීමක් බවද සඳහන් වේ. කලින් කල ඇතැම් රජවරුන් ශාසනික ප්‍රතිසංශෝධනවලට පවා මහනාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි මැදිහත්වීම ද කර ඇත. රජු සංඝ විධානය පිළිගත් ආකාරයටම නූතන රාජ්‍ය නායකයන්ට ද එයට ගරු කිරීමට සිදුව ඇත. දේශපාලන හා ලෞකික කටයුතුවලදී මහා සංඝයා හා පාලකයන් අතර ගැටුම් සිදු වූයේ අද ඊයේ නොවේ. එහෙත් ඒවා ප්‍රබුද්ධ ලෙස සමථයකට පත් කර ගැනීම පැනසර පාලනයක වගකීමය.

අප මෙම කරුණු සඳහන් කළේ මෙවර පොසොන් උත්සවය සම්බනධයෙන් රාජ්‍ය අනුග්‍රහය නොලැබීමත් එයට තුඩුදුන් යම් යම් කරුණු පිළිබඳ පළවූ තොරතුරු විමසා බැලීමෙනුත් පසුවය. මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියෝ මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කරති. ආණ්ඩු පාර්ශ්වයෙන් මෙම ජාතික පුණ්‍ය මහෝත්සවය සම්බන්ධයෙන් පළ කළ රළු විවේචන මෙන්ම එපාවාහෙට හොදි බෙදන ආකාරයේ ප්‍රතිචාර ද රටම දුටු දේවල්ය. විදුලිය ලබාදීම පිළිබඳ ඇතිවූ මත ගැටුම දික් වූයේ ඇතැම්විට කිසියම් කණ්ඩායමක හෝ පුද්ගලයකුගේ අනිසි ක්‍රියාකාරකම් නිසාද? පොසොන් උත්සවය කට ළඟට එන තෙක්ම රාජ්‍ය නිලධාරීන් හෝ බෞද්ධ ශාසන කටයුතු භාර පිරිස් ක්‍රියාකළ ආකාරය අනුමත කළ නොහැකි බව විහාරාධිපති හිමියෝ පවසති. කුමක් වුවත් මිහින්තලේ ආලෝක පූජාව සම්බන්ධයෙන් රජය ලබා දුන් මුදල පවා ප්‍රතික්‍ෂේප කරමින් ඒ සඳහා පිණ්ඩපාතයෙන් ලබාගත් සම්මාදම් යොදා ගත් බව මිහින්තලාරාමාධිපති හිමියෝ දැඩි ධර්ම සංවේගයකින් ප්‍රකාශ කළහ.

කොහොමටත් මේ රටේ නායකකාරකාදීන් වටකරගත් පිරිස් අතර ඒ නායකයන් පමණක් නොව ආණ්ඩු පවා මහජන අප්‍රසාදයට ලක් කළ චරිත ද සිටි බව රහසක් නොවේ. එබඳු චරිත අදත් ස්වාර්ථය සඳහා ඒ මුග්ධ උපදෙස් දෙන්නේ දැයි දැන්ම කිව නොහැක. එහෙත් අපට එකක් කිව හැකිය. එනම් ආණ්ඩුවක් හෝ මැති ඇමැතිවරුන් හෝ ඒවායින් පාඩම් ඉගෙන නිවැරැදි වන අවස්ථා ඉතාම අඩු බවය.

අඹ පැනය විසඳූ රටේ විදුලි පැනයකට ගැටේ!

මිහින්තලාරාමාධිපති සඳහන් කරන ආකාරයටම උන්වහන්සේ සිහිපත් කළේ පෙර සිරිතකි. ආණ්ඩුව ආර්ථික පසුබෑමකට ලක්ව සිටින බව සත්‍යයකි. එහෙත් ආණ්ඩුව මෙහිදී ක්‍රියාකළ ආකාරය අනුමත කළ නොහැක. මූල්‍ය කළමනාකරණය ගැන වැදි බණ කියන දේශපාලන චරිතවලට සිනාසීම හැර වෙන කළ හැකි දෙයක් ද නැත. එහෙත් බුදුදහම මැනවින් දත් ජනාධිපති රනිල්ට මෙන්ම ජාතික සංස්කෘතික අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටි අගමැති දිනේෂ් ප්‍රමුඛ ස්වල්ප දෙනෙක් හෝ මේ ආණ්ඩුවේ සිටිති. විපක්ෂවල ද සිටිති. එනිසා මේ උළෙලට රජයෙන් දැක්වූ ප්‍රතිචාර අපගේ ද සංවේගයට හේතුවේ. ඇත්තටම ආලෝක පූජාව විවෘත කිරීම සඳහා රාජ්‍ය නායකයා හෝ ඔහුගේ නියෝජිතයකු සහභාගි නොවීම ගැන ද අපට විවේචනයක් තිබේ. මිහින්තලා විහාරාධිපති හිමියන්ගෙන් අප කළ විමසීමකදී උන්වහන්සේ සඳහන් කළේ මිථ්‍යාදෘෂ්ටිකයන් – සම්‍යක් දෘෂ්ටිකයන් බවට පත් කළ උතුම් මිහිඳු මහනාහිමියන් වෙනුවෙන් ආලෝක පූජාවක් කිරීමට ආණ්ඩුවක් ඉදිරිපත් නොවීම පෞද්ගලිකව තමන් වහන්සේට කළ දෙයක් නොව බුද්ධ චීවරයටත් බුද්ධ ශාසනයටත් කළ අවැඩක් බවය. දේශපාලනඥයන්ට ආගම් අවශ්‍ය වන්නේ බලය සඳහා පමණක් බවය. රුපියල් ලක්‍ෂ 30ක් ආණ්ඩුව ලබා දුන්නත් ඒවා සතයක් හෝ නොගෙන දුප්පත් ජනතාවගේ හා වෙනත් ආගමිකයන්ගේ ද සහායෙන් එම ආලෝක පූජාව සිදු කිරීමට පාත්තරය රැගෙන පිඬුසිඟා ගිය බවද නාහිමියන් ප්‍රකාශ කළේ හැඟීම්බරවය. එසේම බෞද්ධ සම්ප්‍රදාය නොතකන නූතන පාලකයෝ සිටිත් නම් ඔවුන්ට ද පෙර රජ දවස දුන් ශාසනික තහංචිය වන ‘පත්තනික්කුජ්ජන කර්මය සිදු කිරීමට පසුබට නොවන බවද උන්වහන්සේ සඳහන් කළහ. එයින් අදහස් කෙරෙන්නේ පාත්‍රයට බෙදන දන් ප්‍රතික්‍ෂේප කර එය උඩුබැලි අතට මුනින් අතට හරවන බවය. ධාතුසේන රජු මරා දැමූ කාශ්‍යපට ද එදා ඒ තහංචිය පනවා තිබුණු බවද ඉතිහාසයේ එයි. කුමක් වුවත් මෙරටේ බෞද්ධ කේන්ද්‍රස්ථානයක් වන මිහින්තලාව මෙන්ම එහි නායක හිමිපාණන් සමග වූ එම මතභේදය සංසිඳවා ගැනීමට ආණ්ඩුවට බාධාවක් තිබිය නොහැකි බවද අපගේ අදහසය.

දැන් අපි මේ දිනවල දැඩි විවේචනයට ලක්ව තිබෙන ආණ්ඩුව බලාත්මක කිරීමට සූදානම් වන ප්‍රකාශන අධිකාරි පනත් කෙටුම්පතට අදාළ බව කියැවෙන යෝජනා ගැන සහ එහි අරමුණු පිළිබඳව විමසා බලමු. මාධ්‍ය මර්දනය යනු මෙරටේ හැම කණ්ඩායමක්ම බලයට පත් වූ පසු උනන්දු වන කාර්යයකි. මාධ්‍ය නිදහස යනු හැමදාම විපක්‍ෂය විසින් ආරක්‍ෂා කරනු ලබන බලයට පත්වීමත් සමග ඇස හකුලුවා බලන සංකල්පයකි. අපි මෙහිදී මාධ්‍ය මර්දනයේ චෝදනා පත්‍ර, මාධ්‍යකරුවන් ඝාතනය යනාදිය ගැන කතා නොකරමු. ඒවා බොහෝ විට බොහෝ චරිත තිගැස්සීම්වලට ලක් කරනු ලබන දේවල්ය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන දෙසාබාමින් හැමදාම කිරීමට තැත් කරන මේ දුෂ්ට හා මුග්ධ මාධ්‍ය මර්දන පිළිවෙත අපි දැඩිව හෙළා දැකිය යුත්තකි. අද වන විට මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී සිතියම හකුලමින් සිටින බවට ආණ්ඩුවට විවෘත චෝදනාවක්ද තිබේ. අමුතු විග්‍රහයකට නොගියත් මේ වනවිට පළාත් සභා හෝ පළාත් පාලන ආයතන කිසිවක මහජන නියෝජතියෝ නොවෙති. පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ටම ජනවරමක් නැතැයි තර්කයක්ද වේ. මහජනයා පත් කළ ජනාධිපති පලවා හැරීමෙන් පසු නිත්‍යානුකූල විධිවිධාන අනුව පත්වූ ජනාධිපතිවරයෙක් සිටියි. ඒ ජනාධිපති රනිල්ය. එහෙත් ඔහුට ද ජනවරමක් නැත.

අද ජනාධිපති රනිල් ඒකාධිපතියකු මෙන් කටයුතු කරන බව විපක්‍ෂයේ දැඩි විවේචනයකි. ඔහු එදා පෙනී සිටි 21 වැනි සංශෝධනයත් එහි ප්‍රජාතන්ත්‍රවාදී හරයත් අමතක කර ක්‍රියාකරන බවද සමහරු චෝදනා කරති. පාර්ලිමේන්තුවේ බහුතරය යොදා ගනිමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙහෙයුමක ඔහු නිරතව සිටින බවට විපක්‍ෂය මෙන්ම පොහොට්ටුවෙන් විපක්‍ෂයට ගිය අයද පවසති. ස්වාධීන කොමිසම් නොතකා ඒවා මෙහෙයවීමට ජනාධිපති ලෙස ඔහු ක්‍රියාකරන බවද තවත් විවේචනයකි. පළාත් පාලන කොමිසම අක්‍රිය වූයේත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ගෙදර ගියේත් ජනාධිපතිගේ අප්‍රසාදය නිසාය. එබඳු කරුණු මේ ආණ්ඩුවට එරෙහිව තිබියදීත් දැන් ඔවුන්ට මාධ්‍ය මර්දනයක් අවශ්‍ය වීමද ප්‍රශ්නකාරී වේ.

විපක්‍ෂ නායක සජිත් සඳහන් කළේ විපක්‍ෂයේ සියලු කොටස් එක්ව මෙම පනත පරාජයට පත් කිරීමට ඒකමතික නිගමනයකට එළඹ සිටින බවය. ආණ්ඩුවේ සමීපතමයන් හා දේශපාලන ළිං මැඩියන් මෙබඳු පනතකට පක්‍ෂව කතා කිරීම අපට තේරුම්ගත හැකිය. එහෙත් දැනට ඉදිරිපත්ව තිබෙන යෝජනා කීපයෙන් වුවද මේ පනතෙහි සාහසිකත්වය දැන මැන ගත හැකිය. ඇත්ත වසයෙන්ම මේ යෝජනා මිලිටරි මනසක දුෂ්ටත්වය හා ඒකාධිපති වියරුවක සංඥා පිළිබඳ ප්‍රකාශනයක් වැන්න. මේවා මැනවැයි යෝජනා කළ අය කවුරුන් වුවද එබඳු අයට කිසිදිනක මහජන ප්‍රසාදයක් හිමි නොවිය යුතුය. ඒවා එතරම්ම දැඩි කෲර ප්‍රතිචාර බව විපක්‍ෂ දැනටමත් පෙන්වා දෙයි. සත්‍යය හා ප්‍රකාශන අයිතිය පවරනු ලබන පංච විධ කමිටුවක් ගැන සඳහන්ව ඇත. අධිකරණ බලයක් අනුව මාධ්‍ය ආයතනවලට පැමිණ අදාළ ලියවිලි, රූපරාමු රැගෙන යෑමේ බලය ආණ්ඩුවේ නිල ඇඳුම් නැති මාධ්‍ය පොලිසියකට පැවරීම අනුමත කළ හැකිද? ඇමති කට්ටටත්, නිල ප්‍රතිලාභවලටත් මජර දේශපාලනඥයන් බහුල යුගයක මේවා ඉදිරිපත් වුවද තවමත් ප්‍රජාතන්ත්‍රවාදය එහෙම පිටින්ම වැළලී ගොස් නැති බවද කිව යුතුය. විපක්‍ෂ නායක සජිත් අවධාරණය කළ පරිදිම මේ ඉතිරිවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්‍ෂා කිරීම අප කාගේත් යුතුකම හා වගකීම වේ. මෙහි වඩාත්ම උත්ප්‍රාසය දනවන යෝජනාව වන්නේ මෙම කොමිසමේ සාමාජිකයන් පස්දෙනාම ජනාධිපති පත්කිරීම් වීමය. සත්‍යය හා අර්ථ නිරූපණ සියල්ල ඒ අයගේ අභිමතය පරිදි සිදුවීමය. මාධ්‍ය නියාමනය යන සීලාචර යෙදුම හා උපාසක සීලය පෙන්වමින් මේ යෝජනා කමිටුවේම අයෙක් ඒවාට අර්ථ නිරූපණ ද කිරීම තවත් විහිලුවකි.

මාධ්‍ය ආචාරධර්ම මාධ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තිබෙන විවේචන සියල්ල බැහැර කළ නොහැක. රාජ්‍ය මාධ්‍ය හා පෞද්ගලික මාධ්‍ය යන දෙතැන්හිම විවිධ දුබලතා, අයුතු හා සාවද්‍ය භාවිත තිබේ. ඒවාට නියාමනයක් අවශ්‍යය. මෙරටේ විශිෂ්ට මාධ්‍ය භාවිතයක ආදර්ශය වූ එදා ලේක්හවුස් හා එදා ගුවන් විදුලිය ආණ්ඩුවල හොරණෑ බවටත් දේශපාලන කුක්කන්ගේ රාජධානි බවට පත්වීමත් අද දක්වාම සිදුවී තිබේ. පසුව පැමිණි රූපවාහිනියත් ඒ ජරාවළටම වැටුණි. මොනවා වුවත් රූපවාහිනිය ඇරඹූ ජයවර්ධන ආණ්ඩුව එය භාර කළ ඇම්. ජේ. පෙරේරා වර්ගයේ පඬිවරු අද ඒ කිසිම තැනක නොවෙති. මාධ්‍ය අභ්‍යාස ආයතන ගැන ද අඬහැර ඇසුණි. පොදුවේ හැම මාධ්‍යයක්ම යොමුව ඇත්තේ වෙළෙඳ තරගයකටය. (පසුගිය දිනවල කෝප් කමිටුවකදීත් මෙම රේටින්ස් යුද්ධය ගැන කරුණු හෙළිවිය. මාධ්‍යවල බරපතළම පරිහානිය ඇත්තේ සමාජ මාධ්‍යවල බව ඒ සම්බන්ධ ප්‍රාමාණිකයෝම පවසති. ඇතැම් විනෝදාත්මක විචිත්‍රාංග සඳහා කැඳවීම් ලබන නිළියන්, නිරූපිකාවන් දෙස බලන විට ද මේ රට මෙසේ හෝ විනයකින් සුරැකී තිබීම ආශ්චර්යකි. කලකට පෙර ප්‍රකට විද්වත් හිමිනමක් ප්‍රකාශ කළේ මරඟනන් දැක නැති නම් එක්තරා රූපවාහිනි වැඩසටහනක් නරඹන ලෙසය. අද ඒ බාල ජනප්‍රිය ලකුණු වටිනා දේවල් බවට ද පත්ව තිබේ. මේ යථාර්ථය හා සංස්කෘතික හර පද්ධතීන් ගැන නම් නියාමනයක් අවශ්‍ය බව කිව හැක. එහෙත් මේ සූදානම් වන ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ මාධ්‍ය නියාමනයට අපට එකඟ විය නොහැක.

අවසන් වශයෙන් පළාත් පාලන ආයතනවල බලය හොර පාරෙන් තම දේශපාලන හිතවතුන්ට ලබාදීමට මේ ආණ්ඩුව දරණ ලැජ්ජාසහගත ප්‍රයත්නය ගැන ද යමක් සඳහන් කළ යුතුය. ඇත්තටම මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී, පමණක් නොව සියලු සීලාචාර මිනිසුන්ගේ ද පිළිකුලට ලක්වන අධම යෝජනාවකි. මෙයට එරෙහිව අධිකරණයට යන බවද විපක්‍ෂ පවසති. පළාත් පාලන ඡන්දයට මූල්‍ය ප්‍රතිපාදන නැතැයි කියූ කතාවද බොරුවක් බව ජ.වි.පෙ. විජිත හේරත් කියයි. එයත් ප්‍රශ්නයකි. ඇත්තටම මේ ආණ්ඩුව කොහේ යන්නේදැයි මොනවා කරන්නේදැයි ආණ්ඩුවෙන් පිටතට පැමිණි අප මෙන්ම ප්‍රබුද්ධ ජනතාවද නගන ප්‍රශ්නවලට පදනමක් තිබෙන බව අපට ද පෙනේ.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment