අයවැයෙන් ජනතාවට ලැබෙන සහන ගැන ඉඟියක්… කඩා වැටුණු ජන ජීවිතය ගොඩනඟන සැලැස්මක්… විශේෂ අනාවරණයක්!

866

අයවැය 2022

ලබන වර්ෂය (2022) සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 12 වැනිදාය. ඒ සඳහා ඇත්තේ තවත් සති තුනකටත් වඩා අඩු කාලයකි. මෙය බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා වීමෙන් පසු ඔහු විසින් ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනයයි. මේ අයවැය ලේඛනය සම්පාදනය කිරීමට රජයට සිදුව ඇත්තේ කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ අන්කවරදාටත් වඩා ඉතාමත් අභියෝගාත්මක වාතාවරණයකය. මේ රජයේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්තිය සකසන විට අප රට හෝ ලෝකය කොවිඞ් – 19 වසංගතයට මුහුණ දී සිටියේ නැත. මේ නිසා එම ප‍්‍රතිපත්තිය ඒ අයුරින්ම ක‍්‍රියාවට නැගීමේ ප‍්‍රායෝගික හැකියාවක් ද නැත. මේ අනුව රජය දැන් අපේක්ෂා කරන්නේ කොවිඞ් වසංගතය නිසා මතුව ඇති ආර්ථික අභියෝග කළමනාකරණය කර ගනිමින්” එසේම මේ වසංගත තත්ත්වය උපරිම ලෙස පාලනය කර ගනිමින් ජනජීවිත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා මහජනයා වෙත ප‍්‍රතිලාභ ළඟා කර දීමට හැකිවන ආකාරයේ අයවැයක් ඉදිරිපත් කිරීමටය. ඒ බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල මහතා විසින් නිකුත් කරන ලද 2022 – අයවැය කැඳවීමේ ජාතික අයවැය චක‍්‍රලේඛයේ සඳහන් වේ. රජයක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් යනු කිසිදු ලෙසකින් වෙනස් නොවන ලේඛනයක් විය යුතු නොවේ. කොවිඞ් වසංගතය සමග අනපේක්ෂිත ලෙස උදා වී ඇති නව වාතාවරණය හමුවේ මතුව ඇති අභියෝග ජය ගැනීම සඳහා රජයේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්තිය ද සුදුසු වෙනස්කම් සහිතව ක‍්‍රියාවට නැගීමට සිදුවනු ඇත. මේ රජයේ පළමු අයවැය මේ වර්ෂය (2021) වෙනුවෙන් සකස් කළේ සෞභාග්‍යයේ දැක්මෙහි සඳහන් අරමුණු ජය ගැනීමේ ගමනට ශක්තිමත් පදනමක් ඇති කරමින් වුවත් කොවිඞ් වසංගත තත්ත්වය යළි හිස එසවීමත් සමග රට වැසීමේ ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදු වීම නිසා ඒ අරමුණු ජය ගැනීමට බාධා ඇති විය. මේ ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා 2021.07.28 දින නිකුත් කළ ජාතික අයවැය චක‍්‍රලේඛයේ මෙසේ සඳහන් වේ.

අයවැයෙන් ජනතාවට ලැබෙන සහන ගැන ඉඟියක්… කඩා වැටුණු ජන ජීවිතය ගොඩනඟන සැලැස්මක්... විශේෂ අනාවරණයක්!

‘2021 මුල් කාර්තුවේ දී කොවිඞ් 19 වසංගත තත්ත්වය නැවත හිස එසවීම නිසා” අපේක්ෂිත ආදායම් ළඟා කර ගැනීමට බාධා ඇති වූ අතර ව්‍යසනය නිසා ඇති වූ අමතර වියදම් හේතුවෙන් සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජයේ වියදම් අනපේක්ෂිත පරිදි ඉහළ ගිය හෙයින් මෙම වසරේ අයවැය කළමනාකරණය අහියෝගාත්මක වී ඇත. රටේ බහුතර ජනතාවක් කඩිනමින් එන්නත්කරණය කර මෙම තත්ත්වය හැකිතාක් ඉක්මනින් යථාවත් කරගෙන 2022 වර්ෂය සඳහා නව ප‍්‍රවේශයකින් කටයුතු කිරීම රජයේ අපේක්ෂාව වේ..

මේ සඳහන අනුව මේ වසරේ (2021) අයවැය කළමනාකරණය ඉතාම දුෂ්කර තත්ත්වයට පත් වූයේ කොවිඞ් වසංගතයට මුහුණ දීම සඳහා ගත් ක‍්‍රියාමාර්ග හේතුවෙන් රජයේ ආදායම් සහ වියදම් තත්ත්වයන්ට ඇති වූ අහිතකර බලපෑම්ය. කෙසේ හෝ මේ වන විට කොවිඞ් එන්නත්කරණය වේගයෙන් රටේ ජනයාට ව්‍යාප්ත කිරීමට හැකිව ඇති අතර මේ වන විට වසංගත තත්ත්වය සැලකිය යුතු දුරකට පාලනය වී තිබේ. එහෙත් කොවිඞ් අවසන් වී නොමැත. ඒ නිසා අප දිගටම සෞඛ්‍ය උපදෙස් අකුරට පිළිපදිමින් තම
රැකියා සහ ආර්ථික කටයුතු වඩාත් ආරක්ෂිතව සිදු කරමින් අපගේ පුරවැසි වගකීම ද ඉහළින්ම ඉටු කළ යුතු වේ. එහෙත් මේ වන විට ඇතැම් අයගේ හැසිරීම නම් ඉතා කනගාටුදායකය. ඔවුන් හැසිරෙන්නේ කොවිඞ් මුළුමනින්ම අවසන් වූ පරිද්දෙනි. මේ තත්ත්වය කොවිඞ් යළි හිස එසවීමට සහ පසුබෑමට ලක්ව ඇති ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට බාධාවක් විය හැකිය. එබැවින් රජය දිගටම සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව කටයුතු නොකරන අය සම්බන්ධයෙන් දැඩිව කටයුතු කළ යුතු වේ. කෙතරම් උපදෙස් දුන්නත් වගකීමෙන් කටයුතු නොකරන පිරිස් ද සිටින නිසා අවසානයේ සියලූ ජනයාට දොස් කීමෙන් ඵලක් නැත. ඒ නිසා රජයට සහ සෞඛ්‍ය අංශවලට ද අප කියන්නේ මේ තත්ත්වය සැහැල්ලූවෙන් නොසලකා හුදු උපදෙස් දීම්වලට පමණක් සීමා නොවී රටේත් සියලූ ජනයාගේත් ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය උපදෙස් කඩකරන අයට එරෙහිව දිගටම දැඩි පිළිවෙතක් අනුගමනය කිරීම අවශ්‍ය බවයි. එසේ නැතුව යම් හෙයකින් වසංගත තත්ත්වය යළි හිස එසවුවහොත් එය ලබන වසරේ (2022) අයවැය අපේක්ෂා මෙන්ම පොදුවේ ආර්ථික අපේක්ෂා ඉටු කර ගැනීමට මෙන්ම ජනජීවිතය යථාවත් කරගැනීමට ද බාධාවක් වනු ඇත.

මේ පසුබිම තුළ 2022 අයවැය සකස් කිරීමේ දී හඳුනාගෙන ඇති ප‍්‍රමුඛතා ක්ෂේත‍්‍ර අතර පළමු කරුණ ලෙස හඳුනාගෙන ඇත්තේ ‘වසංගත තත්ත්වය පාලනය කිරීම සහ ජනජීවිතය කඩිනමින් යථාවත් කිරීමයි. අපත් සිතන්නේ වඩාත්ම ප‍්‍රමුඛම කරුණ මෙය බවයි. මේ නිසා රජය ද අනවශ්‍ය වියදම් නොකිරීමට පමණක් නොව ඇතැම් විට අවශ්‍ය වියදම් පවා සීමා කර වඩාත් ප‍්‍රමුඛතා පදනමක් මත අත්‍යවශ්‍යම වියදම්වලට ලබන වර්ෂයේ දී සම්පත් වෙන් කිරීම වඩාත් හොඳය. මෙවර අයවැයෙන් හඳුනාගෙන ඇති සෙසු ප‍්‍රමුඛතා ක්ෂේත‍්‍ර වන්නේ මේවාය.

  • දේශීය කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කාබනික පොහොර ප‍්‍රමාණවත් පරිදි නිෂ්පාදනය කිරීම හා ඒවා නිසි ප‍්‍රමිතියකින් යුතු බව තහවුරු කිරීම.
  • සංචාරක ක්‍ෂේත‍්‍රය පුනර්ජීවනය හා දිරිමත් කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම.
  • සැමට වාරි සෞභාග්‍යා” කි. මී 100”000 යේ මාර්ග සංවර්ධනය වැනි දැනට ක‍්‍රියාත්මක ග‍්‍රාමීය හා නාගරික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන ජාතික වැඩසටහන් අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීම.
  • මෙතෙක් ආනයනය කළ නමුත් දේශීයව නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත ප‍්‍රවර්ධනය කිරීමට පහසුකම් සැලසීම හා අපනයනාභිමුඛ කර්මාන්ත ප‍්‍රවර්ධනය.
  • සේවාලාභීන්ට මාර්ගගතව සේවා ලබා ගැනීමට හැකිවන පරිදි ඩිජිටල්කරණය රාජ්‍ය ආයතන” පාසල් සහ විශ්වවිද්‍යාල තුළ පුළුල් ලෙස භාවිත කිරීම.
  • සංවර්ධන ක‍්‍රියාවලිය කඩිනම් කිරීමට සහාය වන ආකාරයෙන් සහ මහජනතාවට පහසුවෙන් රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගැනීමට හැකිවන පරිදි ආයතනික ක‍්‍රම සරල කිරීම.
  • භාණ්ඩාගාරය මත යැපෙන වාණිජ ව්‍යවසායන් ප‍්‍රතිසංස්කරණය කර ඒවායේ මූල්‍ය ශක්තිය හා ස්ථාවරත්වය ඇති කර ගැනීම.

මෙහි සඳහන් කරුණු අතර ආනයන ආදේශන කර්මාන්ත දිරිගැන්වීමට සහ අපනයන කර්මාන්ත ප‍්‍රවර්ධනයට ද මුල් තැනක් දී ඇත. ඒ අනුව විදේශීය වෙළෙඳපොළ පාදක කරගත් තොරතුරු තාක්ෂණ කර්මාන්ත දිරි ගැන්වීම” සාම්ප‍්‍රදායික අපනයනයන් හා අමුද්‍රව්‍ය සැපයීම් වෙනුවට අගය එක් කළ නිෂ්පාදන අපනයන දිරිමත් කිරීම කෙරෙහි යොමු වීම සහ කාබනික කෘෂි නිෂ්පාදන සඳහා ඉල්ලූමක් පවතින විදේශ වෙළෙඳපොළ අවස්ථා විවර කර ගැනීම හා නිෂ්පාදන විවිධාංගීකරණය තුළින් අපනයන වැඩි දියුණු කිරීම සඳහා පදනමක් ඇති කර ගැනීම යන ක‍්‍රියාමාර්ගවලට ද මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත. මේ කරුණු අතර කාබනික කෘෂිකර්මයට වහාම යොමු වීම සම්බන්ධයෙන් නම් ප‍්‍රශ්නයක් තිබේ. මේ ගැන රජයේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ 39 වැනි පිටුවේ සඳහන් වන්නේ ඉදිරි දශකය තුළ ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු අතර ඒ සඳහා කාබනික පොහොර නිෂ්පාදන වේගවත් කළ යුතු බවයි. වසර දහයකින් කරන බව කී දේ එක රැයින් කිරීමට උපදෙස් දුන්නේ කවරෙක්දැයි අප දන්නේ නැත. නිවැරදි දෙයක් වුවත් ක‍්‍රියාත්මක කළ යුතු වන්නේ නිවැරදි ආකාරයටය. මෙවැනි පුළුල් වෙනසක් ක‍්‍රමානුකූලව මිස එක රැයකින් වහාම කළ හැකි නොවේ. මේ පොහොර ප‍්‍රශ්නය නිසා මේ වන විට රටේ බලවත් ප‍්‍රශ්න මතු වී ඇත. මෙය රටේ නිෂ්පාදනය අඩු වීමට මෙන්ම ගොවි ජනයාට බලවත් පාඩු සිදු වීමට සහ දේශීය කෘෂි නිෂ්පාදන මිල ඉහළ යෑමකට ද ඉඩ සලසන දෙයකි. ඇමැති රමේෂ් පතිරණ පසුගිය කැබිනට් සාකච්ඡාවේ දී ප‍්‍රකාශ කළේ මේ පොහොර ප‍්‍රශ්නය නිසා තේ නිෂ්පාදනයේ අඩු වීමක් සිදුව ඇති බවයි. මේ අනුව මේ පොහොර ප‍්‍රශ්නය රටේ අපනයන ආදායමට ද අහිතකර ලෙස බලපාන තත්ත්වයක් උද්ගත කරනු ඇත. මේ නිසා නිවැරදි දෙයක් වුවත් නිසි සැලසුමකින් තොරව කඩිමුඩියේ කිරීමට යෑමෙන් සිදුවන විපාකවලට දැනටමත් අපට මුහුණ දීමට සිදුව ඇති අතර එය ලබන වසරට ද අහිතකර ලෙස බලපෑම් ඇති කිරීම වැළැක්වීම සඳහා කාබනික කෘෂිකර්මයට යොමු වීම වඩා සැලසුම්සහගතව සහ ක‍්‍රමානුකූලව ක‍්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කිරීම සියලූ දෙනාගේම ඇඟට ගුණය.

මේ වන විට අප මුහුණ දී සිටින ප‍්‍රධාන ප‍්‍රශ්නය ඩොලර් හිඟයයි. අනෙකුත් විනිමය ලැබීම් සීමිත වීමට අමතරව මෙයට ප‍්‍රධාන හේතුව කොවිඞ් නිසා අපගේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3 ක් පමණ වූ සංචාරක ආදායම් අපට අහිමි වීමයි. ඒ සමගම සැලකිය යුතු විදෙස් ණය වගකීම් පියවීමට සිදුව තිබීම ද ප‍්‍රශ්නය වඩාත් උග‍්‍ර කර ඇත. මේ නිසා මෙවර අයවැයෙන් හැකිතාක් සංචාරක ප‍්‍රවර්ධනය ඇතුළු විනිමය ඉපයුම් වැඩි කර ගැනීමට තුඩු දෙන අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ඉතා වැදගත්ය. ආනයන පාලන ක‍්‍රියාමාර්ග හරහා හැකි උපරිම මට්ටමින් විදේශ විනිමය වියදම් අවම කර ගැනීමට රජය සහ මහ බැංකුව පියවර ගෙන තිබුණත් තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ආනයනික ද්‍රව්‍යවල ලෝක මිල ගණන් විශාල ලෙස ඉහළ යාම නිසා අපනයන ආදායම් වර්ධනය වන වේගයට වැඩි වේගයකින් ආනයන වියදම් වැඩි වී වෙළෙඳ හිඟය ද වැඩි වී තිබේ. මේ නිසා තෙල් භාවිතය සීමා කරගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ට ඉතා ඉක්මනින් යොමු වීම අවශ්‍ය වේ. මේ අතර බොහෝ දෙනෙක් අපගෙන් ද විමසන්නේ මෙවර අයවැයෙන් වාහන ගෙන්වීමට ඉඩ දෙනු ඇතිද කියාය. එහෙත් තවමත් අප මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය හමුවේ පුද්ගලික පරිහරණය සඳහා වාහන ගෙන්වීමට ඉඩ දෙනු ඇතැයි සිතීමට අපහසුය. එහෙත් මහ බැංකුව රජයට යෝජනා කිරීමට යන පරිදි විදේශ රටවල සිටින ලාංකිකයන්ට විදේශ විනිමයෙන් රජයට වාහන බදු මුදල් ගෙවන්නේ නම් ඒ සඳහා වාහන ගෙන්වීමට ඉඩ දීමේ වරදක් නැත. එවිට රටට අලූතින් විදේශ මුදල් ලැබීමක් ද සිදු වේ. මේ නිසා එම යෝජනාව ක‍්‍රියාත්මක වනු ඇති බවට විදේශ රැකියා කරන අය අපේක්ෂාවෙන් සිටින බව ද පෙනේ. කෙසේ වෙතත් අයවැයේ සඳහන් යෝජනා මොනවාද යන්න අපට දැනගැනීමට ලැබෙන්නේ නොවැම්බර් 12 වැනිදා පවත්වන මුදල් ඇමැතිවරයාගේ අයවැය කතාවේදීය.

ජනයා බදු මිල වැඩි වීමේ පීඩනය හමුවේ ජීවත් වන්නේ ඉතාම අපහසුවෙනි. සෑම දෙයකම මිල වැඩි වී තිබේ. සහල් මිල පාලනයෙන් රජය ඉවත් වීමත් සමග මෝල් හිමියන් මිල පාලනය සියතට ගත්තේය. ඔවුන් ප‍්‍රකාශයට පත් කළ මිල ගණන් ද වැඩි වී තිබේ. සීනි පාලන මිල ද මේ වන විට ක‍්‍රියාත්මක නොවන අතර වෙළෙඳපොළ තුළ සීනි හිඟයක් ද තිබේ. මේ අතර ඉන්දියන් තෙල් සමාගම තෙල් මිල ගණන් ද වැඩි කර ඇත. අපේ තෙල් සංස්ථාව ද මිල වැඩි කිරීමක් ඉල්ලා තිබේ. මේ නිසා අපේ තෙල් සංස්ථාව ද වැඩි දිනක් යාමට මත්තෙන් මිල ඉහළ නැංවීමක් සිදු කරනු ඇත. මෙලෙස සෑම දෙයකම මිල ඉහළ ගොස් ජනයාට දැරීමට අපහසු මිල පීඩනයකට මුහුණ දීමට සිදුව තිබේ. මේ නිසා කි. මී. 100”000 යේ මාර්ග සංවර්ධනය ඇතුළු මහාමාර්ග ඉදිකිරීම” යටිතල පහසුකම් සංවර්ධනය සහ ඇවිදින මංතීරු යනාදිය ඉදි කිරීම් තරමක් පසුවට කල් තබා ජනජීවිතය යථාවත් කර ගැනීමට සහාය වීමට ප‍්‍රමුඛ අවධානය හා සම්පත් වෙන් කරමින් රජය විසින් මෙවර අයවැයෙන් ජනයාට සහන සැලසිය යුතුව තිබේ. රජයට මුදල් නොමැති බව ඇත්තය. එසේ නම් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය වැනි දේ මේ අමාරු අවස්ථාවේ තරමක් පමා කිරීම වඩා හොඳය. සියලූ දේ කිරීමට ජනයා ජීවත්ව සිටිය යුතුය. කොවිඞ් වසංගතය හමුවේ ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වීම සහ අඩු වීම සිදුව ඇත. ඇතැමුන්ට රැකියා අහිමි වී ඇත. ඒ සමගම අහස උසට බඩු මිල ද වැඩි වීමෙන් ඔවුන්ට ජීවත් වීම ඉතාම දුෂ්කර තත්ත්වයට පත්ව තිබේ. ඒ ගැන රජයේ අයට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ජනයා අද ඔවුන්ගේ බැංකු ණය පවා ගෙවීමට අපහසු තත්ත්වයට පත්ව තිබේ. මේ අයවැයෙන් රජයේ සම්පත් වෙන් කිරීමේ දී කොවිඞ් වසංගතය හමුවේ දුෂ්කර තත්ත්වයට පත්ව ඇති ජනජීවිත ඉහළට ඔසවා තැබීම ප‍්‍රමුඛම කාරණය වේ. ඒ නිසා වැටී ඇති ආර්ථිකය පණ ගන්වා ගත යුත්තේ මෙසේ ජනජීවිත ද කඩිනමින් යථාවත් කරගනිමින් බව අයවැය සැකසීමේ කටයුතුවලදී තීන්දු තීරණ ගන්නා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ” ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරු ඇතුළු සියලූ අයවැය සම්පාදකයන්ට අපි සිහිපත් කරමු. එම කරුණ මෙවර අයවැය සම්පාදනයේ ප‍්‍රමුඛ කරුණක් ලෙස හඳුනාගෙන තිබීම සතුටට කරුණකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment