අයවැයෙන් ජනතාව අමතක කළාද?

102

වෙනදා ජනයා මැසිවිලි නැඟුවේ බඩු මිල වැඩියි කියාය. එය සෑම ආණ්ඩු කාලයකම ජනයා නිරන්තරයෙන්ම නඟන පොදු චෝදනාවකි. එහෙත් අද සිදුව ඇත්තේ කුමක් ද? බඩු මිල වැඩියි කී ඒ ජනයාට අද වැඩි මිලටවත් මිලදී ගැනීමට වෙළෙඳපොළේ බඩු නැත. ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් හිඟයක් තිබේ. මේ දිනවල රට පුරාම බරපතළ ගෑස් හිඟයක් තිබේ. ගෑස් පෝලිම්, සීනි පෝලිම් මෙන්ම පසුගිය දිනවල ඉන්ධන පෝලිම් ද දක්නට ලැබුණි. ගෑස් නැති නිසාත්,

පසුගියදා ගෑස් මිල විශාල ලෙස ඉහළ ගිය නිසාත් ඇතැම් අය භූමිතෙල් ලිප් මිලට ගත්තේය. එහෙත් භූමිතෙල් ද මිලදී ගැනීමට නැතැයි ජනයා චෝදනා නඟයි. රජය පවසන පරිදි රටේ ඉන්ධන හිඟයක් නොමැති වුවත් ඒ පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමට රජය හෝ බලශක්ති අමාත්‍යාංශය අසමත්ව ඇත. ජනයා එකවර ඉන්ධන ලබා ගැනීමට ඉන්ධන පිරවුම්හල්වලට ගියේ මේ නිසාය. විපක්ෂ වෘත්තීය සමිති නියෝජිතයන් මොනවා කීවත් ඉන්ධන සැපයුම ගැන විශ්වාසයක් රටේ ජනයාට ඇති කිරීමට අදාළ බලධාරීන් නොහැකි වීම ඔවුන්ගේ දුර්වලකමකි. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ද රටේ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත් ජනයාට කලබල නොවන ලෙසත් ඉල්ලීමක් කර තිබුණි. කෙසේ හෝ දැන් නම් ඉන්ධන පෝලිම් එතරම් දක්නට නැත.

අප සිතන්නේ සාමාන්‍යයෙන් පහසු මිලකට අඩු තරමේ අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ ජනයාට හිඟයකින් තොරව සුලභව මිල දී ගැනීමට රජය පහසුකම් සැලසිය යුතු බවයි. වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශ මේ වගකීම් ඉටු කිරීමට අසමත්ව ඇති අතර අයවැයෙන් ද මීට විසඳුමක් ලැබී නැත. මුදල් ඇමැතිවරයා අයවැයට පසු දින පැවති මාධ්‍ය හමුවේ දී කීවේ රටේ නිෂ්පාදනය වැඩි වී භාණ්ඩ සැපයුම වැඩි වීමෙන් භාණ්ඩ මිල අඩු වන බවත් ඊට කෙටිකාලීන විසඳුම් නැති බවත්ය. මුදල් ඇමැතිවරයා එම මාධ්‍ය හමුවේ දී මෙසේ කියා සිටියේය.

‘‘බඩු මිල ප‍්‍රශ්නය සමස්ත ලෝකයටම තියෙන ප‍්‍රශ්නයක්. කවදාවත් කිසිම රජයකින් බඩු මිල අඩු කරලා නැහැ. නමුත් අපි මේ අවස්ථාවේ දී නිෂ්පාදනය වැඩි කරලා වෙළෙඳපොළට බහුලව ද්‍රව්‍ය සැපයීම තුළින් තමයි අපිට මිල අඩු කරගන්න පුළුවන්. ඒ තුළින් වෙනත් රටවලට ගිය මුදල් අපේ ගොවියාට දෙන්න පුළුවන්.’’

ඉල්ලූම් සැපයුම් බලවේග අනුව සැපයුම වැඩි වූ විට මිල අඩු වන බවට න්‍යාය අනුව කිව හැකිය. න්‍යාය අනුව එසේ කිව හැකි වුවත් ඔය න්‍යාය ප‍්‍රයෝගිකව සිදු වී රටේ නිෂ්පාදනය වැඩි වී භාණ්ඩ මිල අඩු වීම යන ක‍්‍රියාවලිය එලෙසම සිදුවනු ඇතැයි සිතීමට අපහසුය. මේ දිනවල පොහොර ප‍්‍රශ්නය නිසා ගොවීන් මෙන්ම කෘෂි විශේෂඥන් පවා පවසන්නේ නිෂ්පාදනයේ අඩු වීමක් සිදු වනු ඇති බවයි. මේ නිසා පිටරටින් ගෙනෙන දේ පමණක් නොව මෙරට නිපදවන දේ පවා නිෂ්පාදනය අඩු වුවහොත් ඒවායේ වෙළෙඳපොළ සැපයුම සීමා වන බව රහසක් නොවේ. එසේ නම් ඔය කියන න්‍යාය අනුවම අපේ රටේ නිපදවන කෘෂි නිෂ්පාදනය පවා මිල අඩු වනවා වෙනුවට වැඩි වනු ඇතැයි සිතිය හැකිය. කෘෂිකර්මය කාබනික පැත්තට යොමු කිරීම කඩිමුඩියේ නොකර එය කිසියම් විධිමත් සැලසුමක් අනුව කළා නම් මෙලෙස ගොවි ජනයා මෙන්ම පාරිභෝගික ජනයා ද අපහසුතාවට පත්වීම වළක්වා ගත හැකිව තිබුණි. එහෙත් රජය බරපතළ අත්වැරදීම් සිදු කරගනිමින් මේ වසංගතය හමුවේ ප‍්‍රශ්න අඩු කරගන්නවා වෙනුවට ප‍්‍රශ්න වැඩි කරගනිමින් සිටින බව පෙනේ. ඒ තුළින් ජනයා ද වඩ වඩාත් පීඩාවට පත් වෙමින් තිබේ. රජයේ බොහෝ දෙනා මේ සියලූ දේ ලෝක වෙළෙඳපොළට සහ කොරෝනා වසංගතයට බැර කරමින් ද සිටී. එහෙත් අප නම් සිතන්නේ වසංගතයේ බලපෑම්වලට අමතරව රජය නිසි පියවර නොගැනීමේ විපාකවලට ද මහජනයාට වි`දීමට සිදුව ඇති බවයි. වෙළෙඳපොළ ක‍්‍රමයට ඉඩ දිය යුතු වුවත් කිසිදු රාජ්‍ය මැදිහත්වීමකින් තොරව එයට පූර්ණ වශයෙන් ඉඩ දීම අපේ රටට සුදුසු නොවේ. වෙළෙඳපොළ ක‍්‍රමය ගැන පමණක් විශ්වාසය තබා භාණ්ඩ මිල අඩු වීම හෝ පාරිභෝගික සාධාරණත්වය ඇති වනු ඇතැයි සිතීම අප වැනි රටකට සුදුසු පිළිවෙතක් නොවන අතර රජය මහජනයා වෙනුවෙන් සුදුසු පරිදි මැදිහත් වීම් සිදු කිරීම අවශ්‍ය වන බව අපගේ අදහසයි. රජය වෙළෙඳපොළ ක‍්‍රමයටම පූර්ණ වශයෙන් ඉඩ දෙනවා නම් විනිමය අනුපාතය සම්බන්ධයෙන් ද ඒ පිළිවෙතම අනුගමනය නොකරන්නේ ඇයි ? ඇමෙරිකානු ඩොලරය සහ රුපියල අතර විනිමය අනුපාතය කෘතීම ලෙස දිගින් දිගටම රු.203 ක අගයේ පවත්වාගෙන යන්නේ ඇයි? එසේ නම් ඒ සම්බන්ධයෙන් ද අපගේ විදේශ විනිමය ලැබීම් වැඩි වීමෙන් තමයි රුපියල ශක්තිමත් වන්නේ කියමින් සියලූ විනිමය පාලන පිළිවෙත්වලින් වැළකී සිටිය හැකිය. එතන දී වෙළෙඳපොළ බලවේගවලට ඉඩ දීමක් නැත. ඒ නිසා රජයේ පිළිවෙත් අතර බරපතළ පරස්පරයන් තිබෙන බව පෙනේ.

මෙවර අයවැයේ අලූත් බදු පැනවීම් සහ වෙනත් බදු වෙනස්කම් කිහිපයක්ම තිබේ. ඉදිරි වර්ෂ පහේ බදු ප‍්‍රතිපත්තියේ පුළුල් වෙනසක් නොවන බව රජයේ ආර්ථික බලධාරීන් ගිය වසරේ (2020) නොවැම්බර් මාසයේ දී අයවැයෙන් පසු ප‍්‍රකාශ කළ බව ද අපට මතකය. කෙසේ වෙතත් රජයට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ නිසා රජයට මුදල් අවශ්‍යය. මේ තත්ත්වය හමුවේ රජයට ආදායම් උපයා ගැනීමට ද සිදුව තිබේ. එහෙත් සාමාන්‍ය ජනයාගෙන් බදු අය කර ගැනීමට ද හැකියාවක් නැත. ඒ නිසා බදු ගෙවිය හැකි ඉහළම ආදායම් ලබන පිරිසගෙන් බදු ආදායමක් උපයා ගැනීම සඳහා අයවැය යෝජනා කිහිපයක් ඉදිරිපත්ව ඇති බව දැකිය හැකිය. මෙවර අයවැය ඉදිරිපත් වූයේ පෙර නොවූ විරූ ඉතාමත්ම අභියෝගාත්මක අවස්ථාවකදීය. කොරෝනා වසංගතයෙන් ආර්ථිකය පසුබෑමට ලක්ව රජයේ ආදායම් අහිමි වී මහජනතාවත් පීඩාවට පත්ව තිබේ. ව්‍යාපාර ආයතනත් සිටින්නේ අහිතකර තත්ත්වයකය. මේ නිසා ආදායම් රැස් කර ගැනීමේ නව උපායමාර්ග වශයෙන් රජය මෙවර අයවැයෙන් ප‍්‍රධාන බදු තුනක් හඳුන්වා දී ඇත. ඒවා නම් අධිභාර බද්ද (sucharge tax), සමාජ සංරක්ෂණ දායක මුදල (social security contribution) සහ විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ( special goods and services tax) යන බදුය.

2020/21 තක්සේරු වර්ෂය සඳහා රු. කෝටි 200 ට වැඩි බදු අය කළ හැකි ආදායමක් උපයන තැනැත්තන් සහ සමාගම් මත සියයට 25 ක එක වරක් පමණක් අය කෙරෙන බද්දක් වශයෙන් අලූතින් අධිභාර බද්දක් පනවා ඇත. මෙමගින් රජය උපයා ගැනීමට අපේක්ෂිත මුදල රු. බිලියන සියයකි. මේ බද්දට යටත් වනු ඇත්තේ රටේ ඉහළම ආදායම් උපයන ආයතන 62 ක් බව මුදල් ඇමැතිවරයා අයවැය කතාව ඉදිරිපත් කරමින් කීවේය. මේ බද්ද වෙනස් කිරීමට තවමත් තමාට බලපෑමක් ඇති වී නැති බවත් එම බද්ද වෙනස් කළ හැකි වනු ඇත්තේ ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය හෝ මහජන බලපෑමක් මත පමණක් බව ද ඔහු පසුගිය දා රුපවාහිනි වැඩසටහක දී කීවේය. දැනටමත් මේ බද්දට යටත් වන ආයතන 62 රජය විසින් හඳුනාගෙන තිබෙන බව කී මුදල් ඇමැතිවරයා ඒවායේ නම් හෙළි නොකර එම සමාගම්වල ආදායම් මට්ටම් ගැන ද එම සංවාදයේ දී කියා සිටියේය. මේ බද්ද නිසා මෙය සරදියෙල් ක‍්‍රමයේ අයවැයක් ලෙස ද ඇතැමුන් හඳුන්වමින් සිටින බව පෙනේ. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ යම් බද්දක් අය කළ හැකි වනුයේ එය ගෙවිය හැකි පිරිසකගෙන් පමණක් බව අපට ද පිලිගැනීමට සිදුවේ.

කොවිඞ් වසංගතය හේතුවෙන් බලපෑමට ලක් වූ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ඊට දායක වීමක් ලෙස සමාජ සංරක්ෂණ දායක මුදලක් ද මෙවර අයවැයෙන් යෝජනා කර ඇත. මෙය ද යෝග්‍ය බව අපගේ අදහසයි. එනම් අපත් සිතන්නේ ආණ්ඩුවටත් පොදුවේ මහජනයාටත් ඉතා අමාරු මේ අවස්ථාවේ ඉහළ ආදායම් ලබන පිරිසකගෙන් මෙවැනි සමාජමය දායක වීමක් අවශ්‍ය බවයි. එහෙත් ඔවුන්ට ද අපහසුවක් නොවන පරිදි එම බදු අයකර ගත යුතු වේ. මේ නිසා එම බද්ද ය කර ගැනීමට යෝජනා කර ඇත්තේ 2022 අපේ‍්‍රල් මස 01 වැනිදා සිටය. එය රු. මිලියන 120 ට වැඩි පිරිවැටුම මත එනම් විකුණුම් ආදායම මත සියයට 2.5 ක් වශයෙන් අය කෙරෙනු ඇත. එහෙත් අයවැයේ තාක්ෂණික සටහන්වල ඇත්තේ මෙහි බදු ප‍්‍රතිශතය සියයට 3 ක් කියාය. මෙය මුදල් අමාත්‍යාංශය විසින් නිරවුල් කළ යුතුව තිබේ. මෙමගින් රජය රු.බිලියන 140ක බදු ආදායමක් උපයා ගැනීමට ඉලක්ක කර ඇත. ගිය අයවැයෙන් ප‍්‍රකාශයට පත්කළ එහෙත් ක‍්‍රියාත්මක නොවූ විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ලබන වසරේ (2022) මුල සිට ක‍්‍රියාත්මක කිරීමට අයවැයෙන් යෝජනා කර ඇත. එහෙත් මේ බද්ද පනවන්නේ කවර භාණ්ඩ වලට ද යන්න අයවැයේ සඳහන්ව නැත. මේ ගැන මුදල් ඇමැතිවරයා කියන්නේ එම බදු අයවන භාණ්ඩ කලින් අනාවරණය කිරීමෙන් වළකින ලෙස තමාට උපදෙස් ලැබී ඇති බවයි. එයට හේතුව ඔහු කීවේය. එනම් සිගරට් මිල වැඩි වන බවට කලින් ඇතැම් අය ප‍්‍රචාරය කිරීම නිසා වෙළෙඳුන් සිගරට් සැඟවීමට ක‍්‍රියා කළ බවද ඒ නිසා එම භාණ්ඩ වර්ග කලින් හෙළි කිරීමෙන් අහිතකර බලපෑම් විය හැකි බව ද ඇමැතිවරයාගේ අදහසයි. ගිය වසරේ අයවැයට අනුව දුම්කොළ මධ්‍යසාර, ඔට්ටු හා සූදු, විදුලි සංදේශ සහ මෝටර් වාහන යන ක්ෂේත‍්‍ර සඳහා මේ බදු පැනවීමට නියමිත විය. මේ බද්ද ලබන වසර (2022) මුල සිට ක‍්‍රියාත්මක වන විට ඊට අලූතින් කවර භාණ්ඩ අයත් වේද ප‍්‍රශ්නයක් වී ඇත. ඒවා නව බද්ද ක‍්‍රියාත්මක කිරීමත් සමගම ප‍්‍රකාශයට පත් කරනු ඇත.

මේ අලූත් බදුවලට අමතරව රජයේ බදු ආදායම් වැඩි කර ගැනීමට රජය ඇතැම් බදු වැඩි කර ඇත. මේ අනුව බැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් මූල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වන අගය එකතු කළ බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කර ඇත. රු. බිලියන 14 ක් මෙමගින් උපයා ගැනීමට රජය අපේක්ෂා කරයි. මෙම බද්ද 2022 ජනවාරි 01 වැනිදා සිට 2022 දෙසැම්බර් 31 දින දක්වා සෑම මසකම ගෙවිය යුතු වේ. සිගරට් නිෂ්පාදන බද්ද වැඩි කිරීම නිසා සිගරට් මිල රු. 5 කින් වැඩි කරමින් රජය රු. කෝටි 800 ක බදු ආදායමක් ලබා ගැනීමට ඉලක්ක කර ඇත. මුදල් ඇමැතිවරයාම අයවැය කතාවේ දී කීවේ සිගරට් බදු වැඩි කරන්නේ වසර තුනකින් බවයි. එසේ නම් අනෙකුත් සියලූම භාණ්ඩ වර්ග මේ වසර තුනක කාලයේ දී විශාල ලෙස වැඩි වී තිබිය දී රජය ජනඝාතක සිගරට්ටුවේ මිල වැඩි කර ඇත්තේ සොච්චමකිණි. දුම්කොළ කර්මාන්තයට රජය මෙතරම් කරුණාවක් දක්වන්නේ ඇයි ද යන්න ප‍්‍රශ්නයකි. මේ අතර සුරා බද්ද වැඩි කිරීමෙන් රුපියල් කෝටි 2500 ක බදු ආදායමක් ද ලබා ගැනීමට රජය ඉලක්ක කර ඇත. අනතුරුවලට ලක්වන වාහනවලින් ගාස්තුවක් අය කර ගැනීමට ද රජය අයවැයෙන් යෝජනා කර ඇතත් මේ ගාස්තුව අයකර ගැනීමේ ක‍්‍රමවේදය පැහැදිලි නැත. එසේම රේගුවේ ඇති වාහන බදු මුදල් හා දඩ අයකර නිදහස් කිරීමට ද යෝජනා කර තිබේ. මේ අනුව මෝටර් වාහන ආශ‍්‍රිත ආදායම් වශයෙන් රුපියල් කෝටි 400 ක ආදායමක් ඇතුළත් කර ඇත. මේ අයවැය අප අයවැයට පෙරම ප‍්‍රකාශ කළ පරිදි රටේ මෙතෙක් පැමිණි ගමන් මගේ දිශානතිය වෙනස් කරන හැරවුම් ලක්ෂයක් සටහන් කරන අයවැයක් බව ද පෙනේ. ක‍්‍රමයෙන් තෙල් ආර්ථිකයෙන් මිදී පුනර්ජනනීය බලශක්ති ආර්ථිකයකට යොමුවීම මෙන්ම වැඩි වශයෙන් ආනයනය කර පරිභෝජනය කරනවා වෙනුවට භාණ්ඩ මෙරට නිෂ්පාදනය කර පරිභෝජනය කරන ඒ නිසාම විදේශ වියදම් අවම කරන නිෂ්පාදන ආර්ථිකයට වැඩි වශයෙන් යොමු වීමේ පරිවර්තන ලක්ෂණ මේ අයවැයේ තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment