අයවැය හෙටයි. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබන වර්ෂය සඳහා වන අයවැය ලේඛනය හෙට (12 ) ප.ව 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එය ඔහු විසින් මුදල් ඇමැතිවරයා වීමෙන් පසු ඉදිරිපත් කරන මංගල අයවැය ලේඛනයයි. එසේම වත්මන් ගෝඨාභය රාජපක්ෂ රජයේ දෙවන අයවැය ලේඛනයයි. එසේම මෙය නිදහස් ශ‍්‍රී ලංකාවේ 76 වැනි අයවැය ලේඛනය ද වේ. මේ අයවැය ඉදිරිපත් වන්නේ පෙර නොවූ විරූ දැවැන්ත අභියෝග රැුසක් සමග බව රහසක් නොවේ. එසේම මහජනතාව කොරෝනා විපතින් හොඳටම පීඩාවට පත්ව ඉතා අමාරුවෙන් සිටින මොහොතක බව ද අප කවුරුත් දන්නා කාරණයකි. ඒ නිසා මේ අයවැය මහජනතාවට අලූතින් කිසිදු බරක් නොපටවන අයවැයක් විය යුතු බව අපගේ අදහසයි. මහජනයා මෙන්ම රජය ද කොරෝනා විපත හමුවේ ඉතා දුෂ්කර ආර්ථික තත්ත්වයකට මුහුණ දී සිටින මොහොතක රටේ ආර්ථිකය පණ ගන්වා ගැනීමට සිදු වනු ඇත්තේ වැටී සිටින මහජනයා ද නැගිට්ටුවා ගනිමිනි. කොරෝනා විපතින් අප උගත් පාඩම් ද තිබේ. ඒවා ද සැලකිල්ලට ගනිමින් මහජනයා සිටින අමාරු තත්ත්වය තේරුම් ගනිමින් එම මහජන අපේක්ෂා ඉටු කිරීමට සමත් අයවැයක් ඉදිරිපත් කළ යුතුව තිබේ. මේ ගැන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ අයවැය සම්පාදකයන් නොදන්නවා නොවේ. එහෙත් මේ රජයේ ගෙවී ගිය කෙටි කාලය අනුව අපට නිරීක්ෂණය වන්නේ මේ රජය බලයට පත් කළ අති මහත් බහුතර මහජන අපේක්ෂා කිසියම් දුරකට පළුදු කළ ගමනක් රජය පැමිණ ඇති බවයි. මේ පසුබිම තුළ 2022 – අයවැයෙන් කවර ලෙස මහජන අපේක්ෂා ඉටු කිරීමට පියවර ගෙන ඇති ද යන්න අපට හෙට හවස වන විට අයවැය කතාවට සවන් දීමෙන් දැනගත හැකිය. අප දැන් මොනවා කතා කළත් මේ වන විට අයවැය සකස් කර අවසන්ය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇත්තේ තවත් පැය කිහිපයකි.
මෙවර අයවැයෙන් ප‍්‍රධාන වශයෙන්ම කොරෝනා වසංගත තත්ත්වය යළි හිස එසවීමට නොදී පාලනය කර ගනිමින් ජනජීවිත යථා තත්ත්වයට පත් කර ගැනීමට ප‍්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුය. ආර්ථිකය පණ ගන්වා ගත යුතු වන්නේ ඒ සමගමය. ඒ අවශ්‍යතාව රජය හඳුනාගෙන තිබේ. එය මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල මහතා විසින් 2021.07.28 දින අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා උපදෙස් ලබා දෙමින් නිකුත් කළ ජාතික අයවැය චක‍්‍රලේඛයේ සඳහන්ව තිබේ. මේ නිසා දැන් කොරෝනා අවදානම කිසියම් දුරකට සමනය වී යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත වී තිබුණත් ජනයාගේ ආදායම් මට්ටම් වහාම යථා තත්ත්වයට පත් වන්නේ නැත. ආර්ථික ක‍්‍රියාකාරකම් ද වහාම පණ ගැන්වෙන්නේ ද නැත. ඒ සඳහා කාලයක් ගත වේ. මාසික වේතන ලබන අය හැර අනිත් බොහෝ දෙනෙක් පත්ව ඇත්තේ අති දුෂ්කර තත්ත්වයකටය. ඒ සමගම භාණ්ඩ මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් ජනයාට අති විශාල මිල පීඩනයකට මුහුණ දීමට ද සිදුව තිබේ. ඒ ගැන පසුගිය දිනවල අප කොතෙකුත් කතා කර තිබේ. සාමාන්‍යයෙන් මහජනයාට භාණ්ඩ සුලභව මෙන්ම භාණ්ඩ පහසු මිලකට ද මිලදී ගැනීමට ඉඩ සැලසිය යුතුව තිබේ. එහෙත් අපට පෙනෙන්නේ මේ කරුණු දෙකම ඉටු කිරීමට රජය අපොහොසත්ව ඇති බවයි. ලෝක තෙල් මිල ගණන් මෙන්ම ඇතැම් භාණ්ඩවල ලෝක මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සත්‍යයකි. එහෙත් ඒවා වරින් වර ක‍්‍රමානුකූලව වැඩි වීමට අවසර නොදී සිටි රජය එකවර විශාල මිල වැඩි වීම්වලට ඉඩ සලසා ඇත. හොඳම උදාහරණය ගෑස් මිල වැඩි වීමයි. අද ඒ වැඩි මිලට ද මිලදී ගැනීමට ගෑස් නැත. ඇතැම් අය විශාල ලෙස ගෑස් මිල ගණන් වැඩි වීම හමුවේ භූමිතෙල් ලිප් මිලදී ගත්තේය. එහෙත් අද වන විට භූමිතෙල් ද හිඟය. භූමිතෙල් මිලදී ගැනීමට ද විශාල පෝලිම් දක්නට ඇත. ඒ නිසා මේ සියල්ල ලෝක වෙළෙඳපොල මිල ගණන් වැඩි වීමට බැර කිරීමට පුළුවන් කමක් නැත. අද රටේ වෙළෙඳ අමාත්‍යංශයක්, පාරිභෝගික කටයුතු අමාත්‍යංශයක් තිබෙනවා ද යන්න මහජනයාට ප‍්‍රශ්නයකි. වෙළෙඳ ඇමැතිවරයා බොහෝ විට කතා කරන්නේ සතොසේ භාණ්ඩ මිල ගණන් ගැනය. ඒ නිසා ඔහු රටේ වෙළෙඳ ඇමැතිවරයා ද එසේත් නැත්නම් සතොස භාර ඇමැතිවරයා ද යන ප‍්‍රශ්නය මතුවෙයි. වෙළෙඳපොළේ සීනි හිඟයක් තිබේ. සතොස මගින් අඩුවට සීනි මිලදී ගත හැකි බව කිව්වත් මහජනයා මැසිවිලි නගන්නේ සීනි කිලෝවක් මිලදී ගැනීමට සතොසට ගිය විට වෙනත් භාණ්ඩ මිල දී ගැනීමට ද පාරිභෝගික ජනයාට බලපෑම් කරන බවයි. එසේ කොන්දේසි පනවමින් භාණ්ඩ විකිණීම වැරදි වැඩක් බව අපගේ අදහසයි. සීනි කිලෝවක් ගැනීමට මුදල් ගෙන යන ජනයාට වෙනත් භාණ්ඩ ගැනීමට ඉල්ලා සිටින නිසා ඇතැම් පාරිභෝගිකයන් කර ඇත්තේ සීනිත් නොගෙන හිස් අතින් නැවත පැමිණීමයි. මේ නිසා වෙනත් භාණ්ඩ මිල දී ගැනීමට පාරිභෝගික ජනයාට බලකිරීමක් තබා ඉල්ලීමක්වත් කළ යුතු නොවේ. එය අමාරුවෙන් සිටින මහජනයා අගතියට සහ තවත් පීඩාවට පත් කිරීමකි. මේ නිසා ලෝක මිල ගණන් වැඩි වීමේ යථාර්ථය අප බැහැර නොකරමු. එහෙත් ජනයාට පෝලිම්වල ඉන්නේ නැතුව පහසු මිලකට භාණ්ඩ හිඟයකින් තොරව මිල දී ගැනීමට හැකි වාතාවරණය හෙට ඉදිරිපත් කරන අයවැය ලේඛනයෙන් හෝ උදා කරදෙන ලෙස අපි ඉල්ලා සිටිමු.
මෙවර අයවැයෙන් නිෂ්පාදන ආර්ථිකය දිරිගැන්වීම සඳහා කිසියම් ප‍්‍රවේශයක් ගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඒ අනුව අපනයන ආදායම මෙන් දෙගුණයක් ආනයනය කර භාණ්ඩ පරිභෝජනය කරනවා වෙනුවට නිෂ්පාදනය කර භාණ්ඩ පරිභෝජනය කරන ආර්ථිකයකට අප වැඩි වශයෙන් ගමන් කළ යුතුව තිබේ. මේ ගැන ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඞ්සන් සමරසිංහ මහතා ද ඊයේ (10) ඔහු විසින් මෙහෙයවන ‘දස දෙසින් 7’ උදෑසන වැඩසටහනේ දී මේ ලියුම්කරුගෙන් විමසීමක් කළේය. ඒ සඳහා පිළිතුරු දෙමින් මේ ලියුම්කරු ද සඳහන් කළේ කොරෝනා වසංගතයෙන් උගත් පාඩම් ද ප‍්‍රයෝජනයට ගනිමින් ගෘහ ආර්ථිකයන් සවිමත් කරන, අපට හැකි දේ අපේ ගෙවත්තේම හැකිතාක් දුරට වගා කරගන්නා වැඩපිළිවෙළකට ගමන් කළ යුතු බවයි. මෙය හැම දෙනාටම එක ලෙසම කළ හැකි දෙයක් නොවන බව සත්‍යයකි. කෙසේ වෙතත් අනාගතය ගැන සිතා රටක් වශයෙන් ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් අප ආරක්ෂිත පියවර ගත යුතුව තිබේ. මේ ගැන ගිය සතියේ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගෙන් කළ විමසුමක දී ඔහු මේ ලියුම්කරුට කීවේ මෙවන් අදහසකි.
‘වර්තමාන ගෝලීය සෞඛ්‍ය අවදානම තුළ අපි මෙතෙක් ආනයන ආදේශන ගැන කතා කළ විදියට නෙවෙයි රටක් වුණහම කිසියම් ප‍්‍රමාණයක නිෂ්පාදනයක් තමන්ගේ පැවැත්මට තියෙන්න ඕන. විශේෂයෙන් දූපත් රටකට ස්වභාවිකව ලැබෙන ආරක්ෂණය තුළ කොපමණ දුරට ආහාර භෝගවලින් සහ බලශක්තියෙන් ස්වයංපෝෂිත වෙන්න පුළුවන් ද කියල බලන්න ඕන.’
මේ අනුව හැම දේම ලේසියට ආනයනය කර පරිභෝජනය කරනවා වෙනුවට වැඩි වැඩියෙන් නිෂ්පාදනය කර පරිභෝජනය කරන ආර්ථිකයකට ගමන් කිරීම සඳහා මේ අයවැයෙන් ප‍්‍රවේශ වනු ඇතැයි ද අපේක්ෂා කළ හැකිය. රටේ තිබෙන අති විශාල වෙළෙඳ හිඟයෙන් පේන්නේ අපි නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට වැඩියෙන් භාණ්ඩ ආනයනය කර පරිභෝජනය කිරීමට හුරුවී සිටින බවයි. අපනයන ආදායම මෙන් දෙගුණයක් ආනයන වියදම තිබීමෙන් එය පැහැදිලි වේ. මේ වසරේ (2021) ජනවාරි සිට අගෝස්තු දක්වා මාස අටේ දී අපේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 7903 කි. එසේම කෙතරම් ආනයන සීමා තිබුණත් එම කාලයේ අපගේ ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 13ල411 කි. මේ අනුව එම කාලයේ ජනිත වී ඇති වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 5509 කි. එහෙත් ගිය වසරේ (2020) පළමු මාස අටේ දී වාර්තා වූ වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 3812 කි. මේ අනුව සැලකිය යුතු ආනයන සීමා තිබිය දී පවා අපේ වෙළෙඳ හිඟය මේ කාලයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1697 කින් වර්ධනය වී ඇත. මේ කාලයේ භාණ්ඩ ආනයන වියදම් වර්ධනය වීමට සැලකිය යුතු ලෙස තෙල් මිල ගණන් වැඩි වීම ද හේතුවක් වී ඇත. මේ අනුව 2020 වසරේ පළමු මාස අටට සාපේක්ෂව තෙල් ආනයන වියදම මේ වසරේ (2021) මුල් මාස අටේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2395.9 දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 704.7 ක් දක්වා සියයට 41.7 කින් වර්ධනය වී ඇත. අපට තිබෙන ඩොලර් ප‍්‍රශ්නය ද ඉතා උග‍්‍රය. ඒ අතරම විශාල විදේශ ණය වගකීම් පියවීමට ද තිබේ. සංචාරක ආදායම් ද කඩා වැටී ඇත. මාලදිවයින වැනි රටවල් කොරෝනා වසංගතය හමුවේ සංචාරක කර්මාන්තය වේගයෙන් පණ ගන්වා ගැනීමට සමත් වී ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් අප ඉතා දුර්වලය. මේ අනුව අපගේ අඩුපාඩු සහ දුර්වලතා හමුවේ අපේ සංචාරක පැමිණීම් සහ සංචාරක ඉපයුම් යථා තත්ත්වයට පත් වීමට තවත් කාලයක් ගත වනු ඇත. කෙසේ වෙතත් සංචාරක කර්මාන්තයේ මේ දුර්වලතා ගැන රජය වහාම නිවැරදි කිරීමේ ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබේ. එසේ නැතහොත් අපට සිටීමට සිදුවනු ඇත්තේ අපේක්ෂාවන්ට බොහෝ පසුපසිනි.
මේ හැම දෙයක් ගැනම අප පසුගිය කාලයේ බොහෝ කතා කර තිබේ. අලූතින් පත් වූ මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නායකත්වයෙන් ද මේ ගැන පියවර ගෙන තිබේ. ඒ සඳහා සය මාසික ප‍්‍රතිපත්ති මාලාවක් ද මහ බැංකුව විසින් හඳුන්වා දුන්නේය. ඒ අනුව මේ වන විට කිසියම් දුරකට විනිමය ප‍්‍රශ්නය සමනය වී තිබෙනවා විය හැකිය. එහෙත් ප‍්‍රශ්නය විසඳී නැත. අප මෙතෙක් කතා කළ ඉන්ධනවලට අපට වෙනත් විකල්පයක් නැති නමුත් අපට ඉන්ධන භාවිතය සීමා කර ගැනීමට පියවර ගත හැකිය. එනම් පුනර්ජනනීය බලශක්ති භාවිතයට අපට වැඩි වැඩියෙන් යොමු විය හැකිය. මේ අනුව මෙවර අයවැයෙන් අවධානය යොමු වනු ඇතැයි සිතිය හැකි තවත් ප‍්‍රධාන පරිවර්තනයක් වනු ඇත්තේ තෙල් මත යැපෙන ආර්ථිකයෙන් මිදී පුනර්ජනනීය බලශක්ති ආර්ථිකයකට වැඩි වශයෙන් යොමු වීමට අවශ්‍ය ප‍්‍රවේශය ද ගනු ඇති බවයි. එය තෙල් ආනයන වියදම් අඩු වීමට පමණක් නොව විදුලි නිෂ්පාදන වියදම් ද අවම කර ගැනීමට හේතු වන්නකි. එය කර්මාන්තවල නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීමට ද හේතු වන්නකි. එනම් අප ඉන්ධන යොදා ගන්නේ ප‍්‍රවාහනයට පමණක් නොවේ. විදුලිය නිෂ්පාදනයට ද අප තෙල් පුච්චයි. මෙතරම් සුර්ය බලය තිබෙන රටේ අපි ඉන් වැඩක් ගත යුතුව තිබේ.
කොරෝනා වසංගතය හමුවේ රජයේ බදු ආදායම් අඩු වී ඇත. ලබන වසරේ ද ආර්ථිකය ක‍්‍රමයෙන් පණ ගැන්වීමත් සමග බදු ආදායම් එකතු වීමේ මන්දගාමී බවක් ඇති වනු ඇත. එසේම රජය ණය ගැනීම් ද සීමා කර ගනිමින් දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය ද ලබන වසරේ (2022) දී සියයට 95 දක්වා අඩු කර ගැනීමට මෙවර අයවැයෙන් ඉලක්ක කර ඇත. මේ අනුව ලබන වසරේ රජයේ මූල්‍ය අවකාශය පටු වේ. එනම් රජයට වියදම් කිරීමට හැකිවන මුදල් ප‍්‍රමාණය සීමා වනු ඇති බවයි. ඒ අනුව ජනයා අමාරුවෙන් සිටියත් බොහෝ ආකර්ෂණීය සහන ලබාදීමට රජයට හැකිවනු ඇතැයි සිතීමට අපහසුය. එහෙත් විශාල පීඩනයක් බවට පත්ව ඇති මේ ජීවන වියදම් බරට කිසියම් හෝ සහනයක් සැලසීමට රජයට කටයුතු කළ හැකි නම් එය ඉතාම වටිනා දෙයකි. එසේම එකතු වී ඇති විදුලි සහ ජල බිල් ඇතුළු වෙනත් බිල්පත් අය කිරීම් මෙන්ම නොගෙවූ ණය වාරික නැවත අය කර ගැනීමේ දී ඒවා එකවර අයකර නොගෙන ඒ සඳහා සහන ක‍්‍රමවේදයක් අවශ්‍ය බව ද ජනයා මේ අමාරු මොහොතේ අපේක්ෂා කරන්නකි
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]