අයවැය යෝජනා තුළින් ආර්ථිකය සවිමත් වෙවි: අගමැති අයවැය විවාදයේදී කියයි

96

මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති ප‍්‍රගතිශීලී යෝජනා තුළින් ඉදිරි වසර තුළ සහ ඉන් ඔබ්බට ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත් වනු ඇතැයි තම විශ්වාසය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අයවැය විවාදයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (16දා) පැවසීය.

ඊට අමතරව ඉදිරි කාලපරිච්ෙඡ්දය තුළ, අපේක්ෂිත පරිදි ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය සඳහා පහසුකම් සැලසීම අඛණ්ඩව සිදු කිරීමට අප බලාපොරොත්තු වෙන බවද අගමැතිවරයා සඳහන් කළේය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

”ඉතාමත් සුවිශේෂීව සැලසුම් කරන ලද 2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමැතිතුමාට සුබ පතමින් මගේ කථාව ආරම්භ කිරීමට කැමතියි. බහුවිධ අංශයන්ගෙන් පැන නැගුණු අභියෝග මධ්‍යයේ තීරණාත්මක සංධිස්ථානයක සිට මෙම අයවැය ඉදිරිපත් කළ බව කියන්න ඕනෙ. මේ මගින් ප‍්‍රධාන වශයෙන් කොවිඞ්-19 හේතුවෙන් ඇති වූ බලපෑම්වලින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම ඉලක්ක කර තිබෙනවා.

කොවිඞ්-19 වසංගතය මගින් ජන ජීවිතයට දරුණු දුෂ්කරතා ඇති කරමින් සමස්ත ලෝකයටම බලපෑම් ඇති වුණා. ශ‍්‍රී ලංකාවටත් එම බලපෑම්වලින් මිදීමට හැකි වූයේ නැහැ. ඒ වගේම අප රජය කොවිඞ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට විවිධ ක‍්‍රියාමාර්ග ගත්තා. අප ගත් ක‍්‍රියාමාර්ග නිසාම ආර්ථිකය හැකි ඉක්මනින්ම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකිවන බව අපගේ විශ්වාසයයි.

සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ වුවද, සෞභාග්‍යයේ දැක්මේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට රජය අඛණ්ඩව කටයුතු කළා. අපි මේ වන විට රැුකියා විරහිත උපාධිධාරීන් හැට දහසකට (60,000) පමණ රැුකියා ලබා දී තිබෙනවා. දරිද්‍රතාව අවම කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල නුපුහුණු පුද්ගලයින් ලක්ෂයකට (100,000) රාජ්‍ය අංශයේ රැුකියා අවස්ථා ලබා දී තිබෙනවා.

රාජ්‍ය අංශයේ මෙම නව බඳවාගැනීම් සඳහා වැටුප් ගෙවීමට මසකට රුපියල් බිලියන 3.5ක් පමණ රජය වැය කරනවා. අභියෝග මධ්‍යයේ වුවද රජය රටේ ආර්ථික හා සමාජීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම ද අඛණ්ඩව සිදු කරමින් සිටිනවා. ජල සම්පාදනය, බලශක්තිය, ප‍්‍රවාහනය, නාගරික සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ දරිද්‍රතාව පිටුදැකීම සඳහා සිදු කර ඇති අඛණ්ඩ ආයෝජනයන් කොවිඞ්-19 වසංගතය හමුවේ ආර්ථිකයේ ක‍්‍රියාකාරිත්වය සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව සනාථ කර තිබෙනවා.

කෙසේ වුවද රාජ්‍ය මූල්‍යයනය සම්බන්ධයෙන් දැඩි අභියෝග රැසකට මුහුණ දෙන්නට පසුගිය කාලයේදී අපිට සිදු වුණා. එසේ වුවත් ඉදිරි කාලපරිච්ෙඡ්දය තුළ අපේක්ෂිත පරිදි ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය සඳහා පහසුකම් සැලසීම අඛණ්ඩව සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අපේ ආර්ථිකයේ විදේශීය අංශය වසංගතයේ බලපෑම නිසා අභියෝගයට මුහුණදී තිබෙනවා. විදේශ විනිමය, ද්‍රවශීලතාව වැඩිදියුණු කිරීම සහ රුපියල මත පීඩනය ලිහිල් කිරීම සඳහා ඉදිරි කාලය තුළ විදේශ විනිමය ගලා ඒම සුරක්ෂිත කිරීමට රජය සහ මහ බැංකුව පියවර ගනිමින් සිටිනවා. ගෝලීය සංචාරක කර්මාන්තය නැවත ආරම්භ වීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ද සැලකිය යුතු ධනාත්මක වර්ධනයක් අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා. එසේම විදේශ රැුකියා ප‍්‍රවර්ධනය කිරීමට සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණ, බැංකු පද්ධතිය වෙත ආකර්ෂණය කර ගැනීමට අපි මහ බැංකුවත් සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් සිටිනවා.

විදේශීය අංශයේ ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා කෙටිකාලීන උපාය මාර්ගික සැලසුම් ඇතුළත් ආර්ථිකය පිළිබඳ සියලූ පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ‘සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය (6) මාසික පෙර දැක්ම’ මහ බැංකුව විසින් පසුගියදා ප‍්‍රකාශයට පත් කිරීම පිළිබඳවත් අපි සතුටු වෙනවා.

ආර්ථිකයේ අභියෝගාත්මක කාලයක් පසුකරමින් සිටින බව අපි දන්නවා. මේ අයවැයෙන් ඉදිරිපත් කර ඇති ප‍්‍රගතිශීලී යෝජනා තුළින් ඉදිරි වසර තුළ සහ ඉන් ඔබ්බට ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත් වනු ඇති බව අපගේ විශ්වාසයයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක‍්‍රියාත්මක වන ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප‍්‍රතිපත්තියේ අපගේ අනාගතවාදී සැලසුම් පැහැදිලිව ප‍්‍රකාශ කර තිබෙනවා. එහි ඇතුළත් සැමට ප‍්‍රතිලාභ අත්වන ජනතා කේන්ද්‍රීය සමාජ සහ ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් මනා පිටුබලයක් ලැබී තිබෙනවා.

රට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට අප ක‍්‍රියාත්මක කරන තිරසාර විසඳුම් වැඩ පිළිවෙළ සමඟ අත්වැල් බැඳගෙන රටේ ඉදිරි ගමනට දායක වන ලෙස සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment