අයවැය යෝජනා මැද හෙට දවසේ ඉරණම!

377

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට 2022 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කළේය. ඒ අනුව මේ දිනවල මේ අයවැය ලේඛනයේ හොඳ නරක ගැන පුළුල් සංවාදයක් ඇතිව තිබේ. සුපුරුදු පරිදි ආණ්ඩුවේ අයවැය ගැන හොඳ කියද්දී විපක්ෂයේ අය අයවැයේ කිසිදු හොඳක් නොදකින බව ද පෙනේ. සම්ප‍්‍රදායිකව අප අයවැයක් හඳුන්වන්නේ අනාගත මුදල් වර්ෂයේ රජයේ ආදායම, වියදම සහ ඒ අනුව ජනිත වන අයවැය හිඟය පියවන ආකාරය දක්වමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලේඛනයක් ලෙසය. එහෙත් එය එපමණක්ම නොව රටේ අනාගත ගමන් මගේ දිශානතිය පෙන්වනු ලබන ඉතාම වැදගත් ලියවිල්ලක් ද වේ. එසේම එය රජයේ කිසියම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් ලෙස ද හැඳින්විය හැකිය. අයවැය සම්මත වීමෙන් වන්නේ එම වැඩපිළිවෙළට සහ ඉදිරි වර්ෂයේ වියදම් දැරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමයි. මෙවර අයවැයේ අලූත් බදු පැනවීම් සහ වෙනත් බදු වෙනස්කම් කිහිපයක් ද තිබේ. මේ වසර සඳහා අයවැය ඉදිරිපත් වීමෙන් පසු ඉදිරි වර්ෂ පහේ බදු ප‍්‍රතිපත්තියේ පුළුල් වෙනසක් නොවන බව රජයේ ආර්ථික බලධාරීන් ගිය වසරේ (2020) නොවැම්බර් මාසයේ දී ප‍්‍රකාශ කළ බව ද අපට මතකය. කෙසේ වෙතත් රජයට දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබෙන තත්ත්වය හමුවේ රජයට ආදායම් උපයා ගැනීමට ද සිදුව තිබේ. ඒ සඳහා ඉදිරිපත් වූ අයවැය යෝජනා ලෙස මේවා හඳුනා ගත හැකිය. මේ අලූත් බදු ගැනත් අයවැයේ වෙනත් යෝජනා ගැනත් මේ දිනවල ජනසමාජය තුළත් පාර්ලිමේන්තුව තුළත් කතාබහ වෙමින් තිබේ.

 මෙවර අයවැය ඉදිරිපත් වූයේ පෙර නොවූ විරූ ඉතාමත්ම අභියෝගාත්මක වාතාවරණයකට රට මුහුණ දෙන අවස්ථාවකදීය. කොරෝනා වසංගතයෙන් ආර්ථිකය පසුබෑමට ලක්ව මහජනතාවත් පීඩාවට පත්ව තිබේ. ව්‍යාපාර ආයතනවලටත් අහිතකර තත්ත්වයක් උදා වී ඇත. මේ නිසා ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට මෙන්ම ජනජීවිත යථාවත් කර ගැනීමට ද සිදුව තිබේ. ආණ්ඩුවට මුදල් අවශ්‍ය වුවත් මෙය මහජනතාවට බදු පනවා ආදායම් රැුස් කරගත හැකි මොහොතක් ද නොවේ. මේ නිසා ආදායම් රැුස් කර ගැනීමේ නව උපායමාර්ග වෙත රජය යොමුව ඇත. අයවැය ඉදිරිපත් කිරීමට පෙර දින (11) මේ ලියුම්කරු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා 2022 අයවැය හඳුන්වා දුන්නේ මෙය ස්වශක්තියෙන් නැගී සිටීමට සමත් ජාතියක් ගොඩ නගන අයවැයක් බවය. එවැනි පරිවර්තනයකට රට ගමන් කරවන ලක්ෂණ මෙවර අයවැයේ අපට දැකිය හැකිය. මෙය විදේශ ණය පසුපස නොයා අපේම ශක්තියෙන් ජාතිය නගා සිටුවීමට ප‍්‍රවේශය සලසන අයවැයක් බව ද ඔහු සඳහන් කළේය. අයවැය ලේඛනවල කෙතරම් සුන්දර දේ තිබුණත් වඩාත් වැදගත් වන්නේ ඒවා කෙතරම් දුරට කාර්යක්ෂම ලෙස ඉටු වන්නේ ද යන්නයි. මේ නිසා අයවැය කතාවේ සඳහන් දේ අනුවම අයවැයේ හොඳ නරක තක්සේරු කළ නොහැකිය. මේ ඉදිරිපත් වූයේ නිදහස් ශ‍්‍රී ලංකාවේ 76 වැනි අයවැය ලේඛනය සහ මුදල් ඇමැතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මංගල අයවැය ලේඛනයයි. එසේම මෙය වත්මන් රජයේ දෙවන අයවැය ලේඛනය ද වේ.

අයවැය යෝජනා මැද හෙට දවසේ ඉරණම!

මෙවර අයවැයෙන් ප‍්‍රධාන බදු තුනක් හඳුන්වා දී ඇත. ඒවා මෙසේය.

 1. අධිභාර බද්ද (sucharge tax)

 2. සමාජ සංරක්ෂණ දායක මුදල (social security contribution)

 3. විශේෂ භාණ්ඩ හා සේවා බද්ද (special goods and services tax)

 අධිභාර බද්ද අලූතින් පනවන ලද්දේ 2020/21 තක්සේරු වර්ෂය සඳහා රු. කෝටි 200 ට වැඩි බදු අය කළ හැකි ආදායමක් උපයන තැනැත්තන් සහ සමාගම් මත සියයට 25 ක එක වරක් පමණක් අය කෙරෙන බද්දක් වශයෙනි.

 මෙමගින් රජය උපයා ගැනීමට අපේක්ෂිත මුදල රු.බිලියන සියයකි. එනම් රු.කෝටි දස දහසකි. මේ බද්ද ගැන සඳහන් කරන විට පාර්ලිමේන්තුවේ විපක්ෂය පැත්තෙන් කිසියම් ඝෝෂාවක් පැමිණි විට මේ බද්දට යටත් වනු ඇත්තේ රටේ ඉහළම ආදායම් උපයන ආයතන 62 ක් බව ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුදැයි කියා මුදල් ඇමැතිවරයා අයවැය කතාව ඉදිරිපත් කරමින් ප‍්‍රශ්න කළේය. මේ බද්ද  ගැන ව්‍යාපාරික ප‍්‍රජාව පැත්තෙන් ද විවිධ අදහස් ඉදිරිපත්ව ඇත. මේ බද්ද වෙනස් කිරීමට තවමත් තමාට බලපෑම් ඇති වී නැති බව සහ එය එලෙසම ක‍්‍රියාත්මක කරන බව ද මුදල් ඇමැතිවරයා පසුගියදා හිරු රූපවාහිනියේ ‘සලකුණ’ දේශපාලන වැඩසටහනේ දී කීවේය. එම බද්ද වෙනස් කළ හැකි වනු ඇත්තේ ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය හෝ මහජන බලපෑමක් මත පමණක් බව ද ඔහු සඳහන් කළේය. දැනටමත් මේ බද්දට යටත් වන ආයතන 62 රජය විසින් හඳුනාගෙන තිබේ. එහෙත් ඒවා නම් නොකළ මුදල් ඇමැතිවරයා ඒවායේ ආදායම් මට්ටම් ගැන ද එම සංවාදයේ දී කීවේය.

 අලූතින් හඳුන්වා දුන් දෙවන බද්ද නම් සමාජ සංරක්ෂණ දායක මුදලකි. එය හඳුන්වා දේ ඇත්තේ කොවිඞ් වසංගතය හේතුවෙන් බලපෑමට ලක් වූ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ඊට දායක වීමක් ලෙසය. අයවැයට පෙර ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද අලූතින් කෝවිඞ් බද්දක් හඳුන්වා දිය යුතු බව ප‍්‍රසිද්ධියේ කීවේය. අපත් සිතන්නේ ආණ්ඩුවටත් පොදුවේ මහජනයාටත් ඉතා අමාරු මේ අවස්ථාවේ ඉහළ ආදායම් ලබන පිරිසකගෙන් මෙවැනි දායක වීමක් අවශ්‍ය බවයි. එහෙත් ඔවුන්ට ද අපහසුවක් නොවන පරිදි එය අය කර ගැනීමට අයවැයෙන් මුදල් ඇමැතිවරයා යෝජනා කර ඇත්තේ 2022 අපේ‍්‍රල් මස 01 වැනිදා සිටය. එය රු.මිලියන 120 ට වැඩි පිරිවැටුම මත එනම් විකුණුම් ආදායම මත සියයට 2.5 ක් වශයෙන් පැනවීමට නියමිතය. එහෙත් අයවැයේ තාක්ෂණික සටහන්වල ඇත්තේ මෙහි බදු ප‍්‍රතිශතය සියයට 3 ක් කියාය. ඒ නිසා මේ බද්දේ සැබෑ ප‍්‍රතිශතය කුමක් ද යන්න ගැටලූවකි. මෙය මුදල් අමාත්‍යංශය විසින් නිරවුල් කළ යුතුව තිබේ. මෙමගින් රජය රු.බිලියන 140 ක එනම් රු.කෝටි 14,000 ක බදු ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරයි.

 මීළඟ බද්ද වන විශේෂ භාණ්ඩ හා සේවා බද්දයි. මෙය ක‍්‍රියාත්මක වන්නේ ලබන වසරේ (2022) මුල සිටය. එහෙත් මෙය ඇත්තවශයෙන්ම හඳුන්වා දුන්නේ ගිය වසරේ ඉදිරිපත් කළ 2021 අයවැයෙනි. මේ ගැන අයවැය ලේඛනයේ මෙසේ සඳහන් වේ.

 ‘2021 අයවැයෙන් යෝජනා කෙරුණු දැනට කෙටුම්පත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බද්ද 2022 ජනවාරි මස සිට එම පනතින් ආවරණය වන භාණ්ඩ හා සේවාවන් සඳහා ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.’

 එහෙත් මේ බද්ද පනවන්නේ කවර භාණ්ඩවලට ද යන්න අයවැයේ සඳහන් වූයේ නැත. මේ ගැන මුදල් ඇමැතිවරයා අයවැයට පසුදින (13) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ එම භාණ්ඩ කලින් අනාවරණය කිරීමෙන් වළකින ලෙස තමාට උපදෙස් ලැබී ඇති බවයි. එයට හේතුව ඔහු කීවේය. එනම් සිගරට් මිල වැඩි වන බවට කලින් ඇතැම් අය ප‍්‍රචාරය කිරීම නිසා වෙළෙඳුන් සිගරට් සැඟවීමට ක‍්‍රියා කළ බවද ඒ නිසා එම භාණ්ඩ වර්ග කලින් හෙළි කිරීමෙන් අහිතකර බලපෑම් විය හැකි බව ද ඇමැතිවරයාගේ අදහස විය. කෙසේ වෙතත් ගිය වසරේ අයවැයට අනුව දුම්කොළ මධ්‍යසාර, ඔට්ටු හා සූදු, විදුලි සංදේශ සහ මෝටර් වාහන යන ක්ෂේත‍්‍ර සඳහා මේ බදු පැනවීමට නියමිතව තිබිණි. එහෙත් ඒ බද්ද ක‍්‍රියාත්මක නොවූ අතර දැන් එය ලබන වසර (2022) මුල සිට ක‍්‍රියාත්මක වන විට ඊට කලින් සඳහන් කළ ක්ෂේත‍්‍රම අයත් වේ ද නැතහොත් ඊට අලූතින් කවර භාණ්ඩ අයත් වේද යන්න යන්න පැහැදිලි නැත. එය නව බද්ද ක‍්‍රියාත්මක කිරීමත් සමගම ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි සිතිය හැකිය.

 එසේම අලූත් බදු පැනවීමට අමතරව පැවැති බදු ප‍්‍රතිශත වැඩි කරමින් රජයේ බදු ආදායම් වැඩි කර ගැනීමට ද රජය ඉලක්ක කර ඇත. මේ අනුව බැංකු හා මුල්‍ය සේවා ආයතන විසින් මුල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වන අගය එකතු කළ බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කර ඇත. මෙම බද්ද 2022 ජනවාරි 01 වැනිදා සිට 2022 දෙසැම්බර් 31 දින දක්වා සෑම මසකම ගෙවිය යුතු වේ. මෙමගින් රජය උපයා ගැනීමට අපේක්ෂා කරන ආදායම  රු. බිලියන 14 කි. එනම් රුපියල් කෝටි 1400 කි. සිගරට් නිෂ්පාදන බද්ද වැඩි කිරීමට ද අයවැයෙන් යෝජනා කර ඇත. ඒ අනුව සිගරට් මිල රු. 5 කින් වැඩි වනු ඇත. මෙමගින් රජය රු.කෝටි 800 ක බදු ආදායමක් අපේක්ෂා කරයි. මුදල් ඇමැතිවරයාම අයවැය කතාවේ දී කීවේ සිගරට් බදු වැඩි කරන්නේ වසර තුනකින් බවයි. එසේ නම් අනෙකුත් සියලූම භාණ්ඩ වර්ග මේ වසර තුනක කාලයේ දී කෙතරම් විශාල ලෙස වැඩි වී ඇද්ද? පසුගිය දා ගෘහස්ථ ගෑස් සිලින්ඩරය පමණක් රුපියල් දහසක් ද ඉක්මවා වැඩි වූයේය. අනිත් අතට දුම්කොළ සහ ඒ ආශ‍්‍රිත රෝගවලින් දිනකට 60 දෙනෙක් පමණ මිය යන බව සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව වසරකට 15,000 ත් 20,000 ත් අතර පිරිසක් දුම්කොළ සහ ඒ ආශ‍්‍රිත රෝගවලින් මියයන බව ද සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත. වස විස නැති ආහාර ගැන කතා කරන, කාබනික පොහොර ගැන කතා කරන රජය සිගරට්ටුවේ මිල වැඩි කර ඇත්තේ සොච්චම් මුදලකින් වීම කනගාටුදායකය. එහෙත් රජය මීට වැඩි මුදලකින් සිගරට් මිල වැඩි කිරීමට අපේක්ෂාවෙන් සිටියත් ඇතැම් පාර්ශ්වයන් සහ රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු පවා අයවැයෙන් සිගරට් මිල වැඩි කිරීම ගැන කලින් අදහස් ප‍්‍රකාශ කිරීම නිසා රජය පසුව රු.5 කින් පමණක් සිගරට් මිල වැඩි කිරීමට පියවර ගත් බව ද රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අතර සුරා බද්ද වැඩි කිරීමෙන් රුපියල් කෝටි 2500 ක බදු ආදායමක් ද ලබා ගැනීමට රජය ඉලක්ක කර ඇත.

 අනතුරුවලට ලක්වන වාහනවලින් ගාස්තුවක් අය කර ගැනීමට ද රජය අයවැයෙන් යෝජනා කර ඇත. එම ගාස්තුව රක්ෂණයෙන් ප‍්‍රතිපූර්ණය කර ගැනීමට අවස්ථාව ලබාදෙන බව ද අයවැයේ සඳහන්ය. එහෙත් මේ ගාස්තුව අයකර ගැනීමේ ක‍්‍රමවේදය පැහැදිලි නැත. වාහන දෙකක් අනතුරකට ලක් වුවහොත් ගාස්තුව අයකර ගන්නේ කවර වාහනයෙන් ද, නැතහොත් වාහන දෙකෙන්ම එම ගාස්තුව අය කරගන්නවාද යන්න තවමත් පැහැදිලි නැත. නිවැරදිව ගමන් කරන වාහනයක තවත් වහනයක් ඇවිත් හැප්පී අනතුරක් සිදු විය හැකිය. එවිට මේ ගාස්තුව ඒ වරදක් නැති වාහනයටත් පනවනවාද යන්න ගැටලූවකි. එසේම රේගුවේ ඇති වාහන බදු මුදල් හා දඩ අයකර නිදහස් කිරීමට ද යෝජනා කර තිබේ. කෙසේ හෝ අයවැයේ තාක්ෂණික සටහන්වලට අනුව මෝටර් වාහන ආශ‍්‍රිත ආදායම් වශයෙන් රුපියල් කෝටි 400 ක ආදායමක් ඇතුළත් කර ඇත. තවත් ආකර්ෂණීය යෝජනාවක් අයවැයේ තිබේ. එනම් බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් උපයන ලද රු.බිලියන 8.5 ක මුදලක් මහා භාණ්ඩාගාරයට මාරු කිරීමට කර ඇති යෝජනාවයි.

 විදෙස් ණය සීමා කරගනිමින් ලබන වසරේ ආදායම් වර්ධනය වීම ද මන්දගාමීව සිදු වන නිසා 2022 වසරේ වියදම් කිරීමට සිදු වන රාජ්‍ය මුල්‍ය අවකාශය පටු වේ. මේ නිසා දැඩි වියදම් කළමනාකරණයකට ද රජය යොමුව ඇත. අයවැය ඉලක්ක මෙන්ම පොදුවේ ආර්ථික ඉලක්ක ජය ගැනීමට අපට කොරෝනා වසංගතය පාලනය කර ගැනීම අනිවාර්ය කරුණකි. එය මේ වසරේ (2021) කරුණුවලින් ද අපට පැහැදිලි වේ. මේ අනුව කොරෝනා මඬින්න ගත් ක‍්‍රියාමාර්ග නිසා මේ වසරේ (2021) රටේ නිෂ්පාදිතයට රු. ටි‍්‍රලියන 2.5 ක පාඩුවක් සිදුවන බවට මහ බැංකුව පසුගියදා (11) නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. එනම් වසංගතයේ පැතිරීම වැළැක්වීම සඳහා ගත් ක‍්‍රියාමාර්ග නිසා මේ වසරේ (2021) දී රටේ නිෂ්පාදිතයේ (නාමික වශයෙන් ගණනය කළ) වාර්ෂික පාඩුව රුපියල් ටි‍්‍රලියන 2.5 ක අති විශාල අගයක් බව එහි සඳහන් වේ.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment