අයවැය හා නිෂ්පාදන ආර්ථිකය

925

අප රට පවතිනුයේ දැඩි ආර්ථික අර්බුදයක් මැද ය. විශේෂයෙන් කොරෝනා වසංගතය හමුවේ ආර්ථික ක්ෂේත‍්‍ර‍්‍රයන්ට එල්ල වූ බලපෑම හමුවේ එම තත්ත්වය වඩාත් උග‍්‍ර වී ඇත. එනිසාම මෙවර (2022 සඳහා) අයවැය පිළිබඳව වැඩිදෙනකුගේ අවධානය යොමුවිය. පවතින ආර්ථික ආගාධයෙන් රට ගොඩගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ඉතා පැහැදිලිය. අපට ආදායම් ගෙනා ප‍්‍රධාන ක්‍ෂේත‍්‍රයන් වූ සංචාරක ව්‍යාපාරයෙන් වාර්ෂිකව ලැබෙමින් තිබූ ඩොලර් බිලියන පහක ආදායම වසර දෙකක් තිස්සේ ම අපට ලැබුණේ නැත. විදෙස් රැකියා කරන්නන්ගේ මෙරට ආදායම අඩුව තිබේ. සෘජු ආයෝජන මෙන්ම දේශීය ආදායම් මාර්ග අහිමි වීම නිසා අපේ ආර්ථිකයට එල්ල වූ බලපෑම් සුළුපටු නැත. මෙවන් තත්ත්වයන් හමුවේ රට යළි ගොඩනැගීමට නිෂ්පාදන ආර්ථිකයක් ඉලක්ක කරගත් අයවැයක් ඉදිරිපත් කළ බව මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (12 වැනිදා) සිය මංගල අයවැය කතාව ඉදිරිපත් කරමින් කියා සිටියේය.

නිෂ්පාදන ආර්ථික ක‍්‍රියාවලියට පණ දීමේ අවශ්‍යතාවට අපරටට අවැසිව තිබුණේ කාලයක සිට ය. මේ රටේ නිෂ්පාදනය කළ හැකි බොහෝ දේ මෙන්ම ආහාරද්‍රව්‍ය පවා ආනයනය කිරීමට අප රටෙන් කාලයක් තිස්සේ පිටරටට ගලා ගිය මුදල් ප‍්‍රමාණය ගැන නිසි තක්සේරුවක් නොතිබිණි. ඇල්පෙනිත්ත, සරුංගලය පවා පිටරටින් ගෙන්වන තැනට රට පත් වූ විට රටක ආර්ථික පරිහානිය ඇතිවීම අරුමයක් නොවනු ඇත. එනිසා සැබෑ ලෙසට මේ රටේ නිෂ්පාදන ආර්ථික ක‍්‍රියාවලිය පණගැන්වීමට අවශ්‍ය යෝජනා ක‍්‍රියාත්මක වුවහොත් අප රට තුළ නව පරිච්ෙඡ්දයක ආරම්භය සනිටුහන් වනු ඇතැයි අපි දැඩි සේ විශ්වාස කරන්නෙමු. එහෙත් මේ සම්බන්ධයෙන් ප‍්‍රායෝගිකව පැනනගින ගැටලූ ගැන බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවුණොත් අදාළ ඉලක්ක සපුරා ගැනීම දුෂ්කර වනු ඇත.

රජය පසුගිය කාලයේදී රසායනික පොහොර භාවිතෙයෙන් තොරව කාබනික පොහොර වගාවට යොමු වන්නැයි ගොවීන්ට කීය. නමුත් එම පියවරට අනුකූලව ගොවීන්ට පොහොර නොලැබීම නිසා රටපුරා ගොවීන්ගේ උද්ඝෝෂණ මාලාවක් ඇතිවී තිබේ. මෙය විපක්‍ෂයේ සිටින පිරිසකගේ කුමන්ත‍්‍රණයක් බව රජයේ ඇතැම් පාර්ශ්ව චෝදනා කළත් සැබෑ ලෙසට පොහොර නොලැබුණු ගොවීන් අපට දැකගත හැකි විය. මෙම හොඳ යෝජනාව පියවර කීපයක් යටතේ ක‍්‍රියාත්මක කළේ නම් මෙවැනි පොහොර අර්බුදයක් ගොඩනැගෙන්නේ නැත. එනිසාම රටේ ඉදිරි ගමන්මඟ තීරණය කරන අයවැය යෝජනාවලිය ක‍්‍රියාවට නැංවීමේදී සැබෑ ලෙස සැලසුම් කර, අර්බුදයක් ගොඩනොනැෙඟන සේ ක‍්‍රියාත්මක කිරීම බලධාරීන්ගේ වගකීමකි.

නිෂ්පාදන ආර්ථික ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීමට රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමේදී නියමිත සැලසුමක්, ඉලක්කයක් ඔස්සේ ක‍්‍රියාත්මක විය යුතුය. මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා අයවැය කතාවේදීම පෙන්වාදුන් අයුරින් රාජ්‍ය ව්‍යසායයන් 300ක් ක‍්‍රියාත්මක වුවත් එම ව්‍යවසායයන්ගෙන් අපේක්‍ෂිත ප‍්‍රතිලාභ ලැබී නොමැත. එහෙත් මේ සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 670ක් වෙන් කරන බවත් නඩත්තුව සඳහා රුපියල් බිලියන 73ක් වැය කරන බවත් මුදල් ඇමැතිවරයා සිය අයවැය කතාවේදී පෙන්වා දුන්නේය. නිෂ්පාදන ආර්ථික ක‍්‍රියාවලිය යථාර්ථයක් කර ගැනීමට නම් රාජ්‍ය ව්‍යවසායයන් තවදුරටත් සුදු අලි නොවිය යුතුය.

නිෂ්පාදන ක‍්‍රියාවලියන් ඔස්සේ අප ආර්ථිකය ගොඩනැගීමට සැලසුම් කිරීමේදී රාජ්‍ය සේවයෙන් ද උපරිම සහභාගිත්වය ලබාගත යුතුය. සාම්ප‍්‍රදායික රාජ්‍ය සේවකයන් වෙනුවට ක‍්‍රියාශීලී නව දැනුමෙන් සන්නද්ධ රාජ්‍ය සේවකයන් අද රටට අත්‍යවශ්‍ය වී තිබේ. මුදල් ඇමැතිවරයා සිය අයවැය කතාවේදීම අවධාරණය කළ අයුරින්ම නිෂ්පාදන ක‍්‍රියාවලිය කාර්යක්‍ෂම කිරීමට විනා එය අවහිර කිරීමට රාජ්‍ය සේවය කටයුතු නොකළ යුතුය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ විගස තරුණ තරුණියන් තුළ විශාල ප‍්‍රබෝධයක් ඇති වූ බව කවුරුත් දන්නා කරුණකි. එම තරුණ තරුණියෝ තාප්පවල චිත‍්‍ර අඳිමින්, පුරන් වූ කුඹුරු අස්වද්දමින් මහත් ප‍්‍රබෝධයෙන් යුතුව රජයට සහාය පළකළේ දහසක් බලාපොරොත්තු සහිතවය. නමුත් ඒ තරුණ ආකර්ෂණය රඳවා ගැනීමට රජය යම් ප‍්‍රමාණයකින් අපොහොසත් විය. අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරයේදී ප‍්‍රශ්නකර සිටියේ එම තරුණයන් දැන් සිටින්නේ පාස්පෝට් ගන්නා පෝලිමේ ද යනුවෙනි. තාරුණ්‍ය අපේක්‍ෂා කරන රට ගොඩනැගීම රජයේ වගකීමයි. මුදල් ඇමැතිවරයා සිය අයවැය කතාවේදී ප‍්‍රකාශ කළේ රට හැර යන තරුණයන් නොව, තරුණයන් අතරින් ව්‍යවසායකයන්, රැුකියා උත්පාදනය කරන්නන් බිහිවියයුතු බවයි. එය වඩාත් කාලෝචිත අදහසකි. නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීමේ ක‍්‍රියාවලියට සමගාමීව තරුණ ව්‍යවසායකත්වයට ඉඩක් තිබිය යුතුමය

advertistmentadvertistment
advertistmentadvertistment