අයවැය 11ක් ඉදිරිපත් කර වාර්තාවක් තැබූ රොනී ද මැල්

258

නිදහස් ආර්ථිකය හඳුන්වා දෙන්නට පුරෝගාමී වෙමින්

1977 පිහිටුවන ලද ජේ. ආර්. ජයවර්ධන රජයේ මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා වූ රොනී ද මැල් මහතා මෙරට අයවැය ලේඛන 11ක් එක දිගට මැතිසබයට ඉදිරිපත් කරමින් වාර්තාවක් පිහිටුවූ කෘතහස්ත ඇමැතිවරයෙකි. දෙවිනුවර මහජන මන්ත්‍රීවරයා ලෙස 1977 මැතිවරණයේදී යළිත් වරක් මැතිසබයට තේරී පත්වූ හෙතෙම මෙරට නිදහස් වෙළෙඳ ආර්ථිකය හඳුන්වාදීමේ පුරෝගාමියා ද වන්නේය. ඔහු මියයන විට 99 වැනි වියේ පසුවිය. මේ සමග පළවන ලිපිය ඔහු ජීවතුන් අතර සිටියදී 1984 දී කල්පනා සඟරාවට එහි සංස්කාරක කෘතහස්ත පත්‍රකලාවේදී දිවංගත ගුණදාස ලියනගේ සූරීන් විසින් ලියන ලද සංවාද සටහනකින් උපුටා ගත්තකි.

මහජන බැංකුව එදා පලකළ කල්පනා සඟරාවේ නිර්මාතෘවරයා වන්නේද රොනී ද මැල් මහතාය.

අයවැය 11ක් ඉදිරිපත් කර වාර්තාවක් තැබූ රොනී ද මැල්

වික්ටෝරියා ජලාශය විවෘත කෙරුණු දා ඊට එක්වූ එවක බි්‍රතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර්, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන, ගාමිණී දිසානායක සමඟ ලලිත් ඇතුලත්මුදලි යන ඇමැතිවරු සමඟ

මොරටුවේ පදිංචිකරුවකු වූ ආර්. ජේ. ද මැල් මහතා, වැවිලිකරුවකු මෙන්ම මිනිරන් පතල් අයිතිකරුවෙක්ද විය. ඔහුගේ බිරියට කුළුඳුල් දරුවා උපන්නේ 1925 අප්‍රේල් මස 11 වැනිදා මොරටුවේදීය. ඒ පිරිමි දරුවෙකි. රොනල්ඩ් ජෝෂප් ගොඩ්ප්‍රි ද මැල්, දරුවාට තබන ලද සම්පූර්ණ නමය.

ඊළඟට උපන් දරුවා ද පිරිමි ළමයෙක් විය. ඔහුට ‘රයිල්’ යන නම තබන ලදී. මුළු පවුලම මේ පිරිමි දරුවන් දෙදෙනාට පමණක් සීමා විය. (රයිල් අද සිය දේපළ බලා කියාගෙන කොළඹ ජීවත් වෙයි.)

රොනල්ඩ් හෙවත් රොනී ද මැල් මුලින්ම ඉගෙනීමට ගියේ මොරටුවේ වේල්ස් කුමාර විiාලයටය. එහි ඉගෙනීම අවුරුදු දෙකකට පමණක් සීමා විය. ඊළඟට ගියේ ගල්කිස්සේ සාන්ත තෝමස් විiාලයටය.

අයවැය 11ක් ඉදිරිපත් කර වාර්තාවක් තැබූ රොනී ද මැල්

රොනී – මල්ලිකා යුවළ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ

රොනී ළමා කාලයේදී ඉගෙනීමට මෙන්ම ක්‍රිකට්, ටෙනිස්, පිහිනීම් වැනි ක්‍රීඩාවලට ද එකසේ දක්‍ෂයෙක් විය. අද මෙන්ම එදා ද ඔහු කාටවත් බය නැති එඩිතර ශිෂ්‍යයකු හැටියට කැපී පෙනුණේය. නොයකුත් හිතුවක්කාරකම් ද කළේය. රෑට රෑට බෝඩිමෙන් පැන ගොස් බාලිකා විදුහල්වල ශිෂ්‍ය නිවාසවල ශිෂ්‍යාවන්ට කොළොප්පම් කළ තරුණ ශිෂ්‍ය කල්ලිවලට ද රොනී ඇතුළත් විය.

“මම ඒ කාලෙ හරිම චණ්ඩියා. අපේ වෝඩ්න් හැටියට හිටපු කැනත් ආර්. එස්. ද සේරම්ගෙන් මම කීපවතාවක්ම ගුටිකාල තියෙනවා”

“ඔබ ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගත්තෙ අනාගතේ කොයි විදිහෙ දෙයක් කරන්න බලාපොරොත්තුවෙන්ද?”

“කිසිම සැකයක් නැතුව මම තීරණය කරල තිබුණා අනාගතයේදී දේශපාලනඥයෙක් වෙන්න. මම අහම්බෙන් දේශපාලනයට ඈඳිච්ච කෙනෙක් නොවෙයි. වයස අවුරුදු අටේදියි මම තීරණය කළේ දේශපාලනය කරන්න.”

අයවැය 11ක් ඉදිරිපත් කර වාර්තාවක් තැබූ රොනී ද මැල්

අයවැය ලේඛනයක් ඉදිරිපත් කරද්දී…. එවක අගමැති රණසිංහ ප්‍රේමදාස මහතාද පසෙක වෙයි.

“කරුණාකරල ඒ ගැන ටිකක් විස්තර කරල දෙන්න පුළුවන් ද?”

“ඔව් ඒ කාලෙ සාන්ත තෝමස් විද්‍යාලයෙ කතාවක් කරන්න ආව, ඒ විද්‍යාලයෙම ආදි ශිෂ්‍යයෙක්ව හිටපු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මයා. එදා බණ්ඩාරනායක මහත්මය කරපු කතාව අහල මාව වශීවෙලා ගියා. දේශපාලනය කොයි තරම් හොඳ දෙයක් ද කියල මට හිතුණා. ඒ නිසාම අනාගතයේදී දේශපාලනඥයෙක් වෙන්න තීරණය කරල ඒ අනුව හැඩගැසුණා.”

රොනී කුඩා කාලයේ සිටම සම්භාව්‍ය සාහිත්‍යය, ග්‍රීක්, ලතින් ආදී විවිධ විෂයයන් ඉගෙන ගත්තේය. එහෙත් දේශපාලනඥයකු වීමට තීරණය කිරීමෙන් පසු ග්‍රීක්, ලතින් වැනි දේ අත්හැර දමා ඉතිහාසය ඉගෙනීමට පටන් ගත්තේය.

“දේශපාලනඥයාට අත්‍යවශ්‍ය දෙයක් ඉතිහාසය. නීතියටත් වඩා හැම අතින්ම වැදගත් දෙයක් ඉතිහාසය. දේශපාලනයේ සියලුම පෙරළි තේරුම් ගන්න ඉතිහාසය අත්‍යවශ්‍යයි. ඉතිහාසයෙන් උගත් පාඩම් නිසා තමයි මට හැමදේටම මුහුණ දෙමින් අවුරුදු අටක් එක දිගට මේ මුදල් ඇමැතිකම කරන්න පුළුවන් වුණේ.”

රොනී ද මැල් පෙනී සිටි හැම විභාගයකින්ම ශ්‍රී ලංකාවේ පළමුවැනියා හැටියට සමත් වෙමින් වාර්තා පිහිටුවූයේය. අන්තිමේදී 1947 අවුරුද්දේ බී. ඒ. (ගෞරව) උපාධිය සමත් කළේ ද ලංකාවේම පළමුවැනියා හැටියටය. ඉතිහාසය ඔහුගේ විශේෂ දස්කම් ප්‍රදර්ශනය කළ විෂයය විය.

උපාධි පරීක්‍ෂණයෙන් ලත් විශිෂ්ට සාමාර්ථ්‍යය නිසාම රොනී වෙත තුති පැසසුම් පමණක් නොව, ශිෂ්‍යත්ව සහ වෙනත් ගරු නම්බු ද ගලා එන්නට විය. 1947 වර්ෂයේ විශිෂ්ට කලා උපාධිධාරියා වෙනුවෙන් පිරිනැමුණු ‘මුන්චර්ජි ප්‍රාම්ජි – ඛාන් රන් පදක්කම’ පිරිනමන ලද්දේ ඔහුටය. බි්‍රතාන්‍ය විශ්වවිiාලයක පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා ලංකාණ්ඩුව මගින් පිරිනැමෙන ඉංග්‍රීසි විශ්වවිiාල ශිෂ්‍යත්වය පිරිනමන ලද්දේ ද ඔහුටය. 1947 ලංකා විශ්වවිiාලයේ කලා අංශයේ පශ්චාත් උපාධි ශිෂ්‍යත්වය පිරිනමන ලද්දේ ද ඔහුටය.

මේ අනුව අන්තර්ජාතික මුදල් සහ අන්තර්ජාතික වෙළෙඳාම සම්බන්ධයෙන් පී.එච්.ඩී. උපාධිය සඳහා අධ්‍යාපනය ලැබීමට රොනී ද මැල් එංගලන්තයේ කේම්බි්‍රජ් විශ්වවිiාලයට තෝරා ගනු ලැබීය. කේම්බි්‍රජ් විශ්වවිiාලයට ගොස් පී.එච්.ඩී. උපාධිය අවසන් කර ඉන්පසු නීතියත් හදාරා ආපසු ලංකාවට පැමිණ දේශපාලනයට බහින හැටි ගැන රොනී සිහින දකිමින්, එංගලන්ත ගමනට දිනය එළැඹෙන තුරු බලා සිටියේය. එහෙත් සිදුවූයේ අනෙකකි.

එංගලන්ත ගමන අත්හැර දමා සිවිල් සේවයට බැඳිය යුතු බව රොනීගේ පියා තදින්ම කියා සිටියේය. පියාගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව වූයේ පුතා සිවිල් සේවකයකු වනු දැකීමය. පියාගේ හිත නරක් කිරීමට තිබුණු අකමැත්ත නිසාම රොනී සිවිල් සේවයට බැඳුණේය. එහෙත් කැමැත්තකින් නොවේ.

වයස 22 දී සිවිල් සේවකයකු හැටියට මුලදී ඩඩ්ලි සේනානායක මහතා යටතේ සහකාර ලේකම් හැටියට කළ සේවය රොනී ද මැල් මහතාගේ හිතේ තදින්ම සටහන් වී ඇත්තේ විශේෂ හේතු කීපයක් නිසාය. කෘෂිකර්ම හා ඉඩම් ඇමැති හැටියට කටයුතු කළ තරුණ ඩඩ්ලි සේනානායක මහතා සමග රාජකාරි කිරීමට රොනී මහත් ඇල්මක් දැක්වීය. ඊට ප්‍රධාන හේතුව වූයේ ඩඩ්ලි තුළ තිබුණු චාම් නිහතමානී පැවැත්මය.

“දේශපාලන වශයෙන් මම වාමාංශිකයෙක් බව ඩඩ්ලි දැනගෙන හිටියා. ඒ මහත්මයට පක්‍ෂව ඡන්දයක් පවා නොදෙන බවත් දැනගෙන හිටියා. ඒත් මට කවදාවත් විරුද්ධව වචනයක් පවා කිව්වෙ නෑ. මගේ වැඩ කිරීමේ ශක්තියෙන් විතරක් ප්‍රයෝජනය ගන්න උත්සාහ කළා.”

කෙසේ වෙතත් රොනී සිවිල් සේවයේ රැඳී සිටියේ මාස හයක් පමණකි. එය තිත්ත වී ඉල්ලා අස්වීමේ ලියවිලි ඉදිරිපත් කළේ පූර්ණකාලීන දේශපාලනය ගැන ද හිතේ ඇතිවය. ඉල්ලා අස්වීමේ ලියුම එවකට සිටි ස්වදේශ ඇමැති සර් එඩ්වින් විජයරත්න මහතා අතට ගියේය. සර් එඩ්වින් එවක අධිකරණ ඇමැති නිශ්ශංක විජයරත්න මහතාගේ පියාය. නිශ්ශංක – රොනී මිතුරුදම නිසා සර් එඩ්වින් රොනී ගැන හොඳින් දැන සිටියේය. ඒ නිසා රොනී සිය කාර්යාලයට ගෙන්වා ඉල්ලා අස්නොවන ලෙස තදින්ම අවවාද කළේය. ඒ අතරතුර ඩඩ්ලි ද තදින්ම කියා සිටියේ ඉල්ලා අස්නොවන ලෙසය. රොනී ඒ සියල්ලට කන්දී තවදුරටත් සිවිල් සේවයේ රැඳුනේය.

1952 අවුරුද්දේ රොනී ද මැල් විවාහ ජීවිතයට ඇතුළත් විය. මනාලිය වූයේ මල්ලිකා ප්‍රනාන්දු මෙනවියයි. ඇය එවකට ලංකාවේ සිටි ලක්‍ෂපතියන් ටික දෙනාගෙන් කෙනකු වූ ශ්‍රීමත් ලියෝ ප්‍රනාන්දු මහතාගේ දියණියකි. පානදුර බස් සමාගමේ අයිතිකරුව සිට ලියෝ ප්‍රනාන්දු මහතා මියයන තුරුම බුත්තල මන්ත්‍රීවරයා ද විය. අක්කර 3,300 කින් යුත් ගීකියනකන්දේ අයිතිකරු වූයේ ද ලියෝ ප්‍රනාන්දු මහතාය. රොනී ද මැල් මහතා ගීකියනකන්දට අධිපති වූයේ මෙම විවාහ මංගල්‍යය නිසාය.

සිවිල් සේවකයකු වශයෙන් ඉහළම තත්ත්වයක සිටි මේ මහා ධනවතාගේ හදවත නිතරම කීවේ අවස්ථාවක් බලා සිවිල් සේවයෙන් ඉවත්වන ලෙසය. ඒ සඳහා සුදුසු අවස්ථාවක් බලමින් සිටින විට 1956 මහ මැතිවරණය එළැඹියේය. මතුගම මන්ත්‍රීවරයාව සිටි විල්මට් ඒ. පෙරේරා මහතා දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කිරීම නිසා මතුගම ආසනය සඳහා ඉදිරිපත් වන ලෙස බණ්ඩාරනායක මහතා රොනීට කීය. ඉමහත් ප්‍රීතියට පත් රොනී, දේශපාලනයට පිවිසීම සඳහා සිවිල් සේවයෙන් ඉල්ලා අස්වීමට කටයුතු සූදානම් කළේය.

එහෙත් ඊට විරුද්ධව ඒ වතාවේ කෙළින්ම නැගී සිටියේ මල්ලිකා ද මැල් මැතිනියයි.

“මං දන්නෙ නෑ මොකද කියල, මගේ මැතිනි දේශපාලනේට ඒ දවස්වල පුදුම විදිහෙ විරුද්ධකමක් පෙන්නුවා. දේශපාලනේ තිත්ත වෙලයි එයා හිටියේ. අන්තිමේදී මට සිද්ධ වුණා බණ්ඩාරනායක මහත්මයට ගිහිං කාරණා පැහැදිලි කරල දිගටම සිවිල් සේවයේ රැඳිල ඉන්න.”

“ඉතින් සිවිල් සේවයේ ඉන්න ගමන් දේශපාලනය කළේ නැද්ද?”

“මොකද නැතුව රහසින් දේශපාලනය කළා. විශේෂයෙන් 1954 – 56 කාලෙ සර් ජෝන් කොතලාවල පරද්දන්න ඉතාමත් බලවත් විදියට කටයුතු කළේ අපි. මේ කටයුත්ත සඳහා බණ්ඩා, පිලිප්, මෙත්තානන්ද, ඇන්. කිව්. දියෙස් වගේ අයත් එක්ක එකතුවෙලා මම අවුරුදු දෙකක්ම වෙහෙසුණා. බෞද්ධ බලවේගය, ශාසනාරක්‍ෂක සමිති වගේ දේවල් සංවිධානය කළේ අපි. පුවත්පත් සමාගම් බණ්ඩට විරුද්ධව ගෙනගිය මහා ව්‍යාපාරයට විරුද්ධව පොඩි පොඩි පත්තර ගහල මහජනයා අතරට අරං ගියෙ අපි. මේ සඳහා අපට නාවල රහස් අච්චු කන්තෝරුවකුත් තිබුණා. බණ්ඩාරනායක මහත්මයාගේ ප්‍රචාරක කටයුතු වැඩි හරියක් කළේ අපේම මුදල් වියදම් කරල. කොහොම හරි අන්තිමේදි අපි සටනින් ජය ගත්තා.”

බණ්ඩාරනායක මහතා බලයට පත් වීමෙන් පසු වඩාත් කැපී පෙනෙන සිවිල් සේවකයකුගේ තත්ත්වයට පත් රොනී, පිලිප් ගුණවර්ධනගේ ප්‍රගතිශීලී පියවර හැම එකක්ම වාගේ පිටුපසින් සිටියේය. කුඹුරු පනත සහ විවිධ සේවා සමුපකාර පනත එයින් කීපයකි. මහජන බැංකුව පිහිටුවීම සඳහා වූ මුල් පනත ද පිළියෙල කරන ලද්දේ රොනී විසිනි. එහෙත් එය ක්‍රියාත්මක වීමට පෙරාතුව පිලිප්ට අස්වීමට සිදුවීම නිසා පසුව වෙනස්කම් ඇති විය.

එක්දහස් නවසිය පනස් ගණන්වලදී බණ්ඩාරනායක මහතාගේ රජය බස් ජනසතුවට සැරසෙන විට මේ රටේ තිබුණු ලොකුම බස් කොම්පැනිවලින් එකක් වුයේ රොනී ද මැල් මහතාගේ මාමණ්ඩියගේ (ලියෝ ප්‍රනාන්දු මහතා) පානදුර බස් කොම්පැනියයි. එපමණක් නොව තවත් විශාල බස් සමාගමක් වූ සවුත් වෙස්ටන් බස් සමාගමේ ලොකුම කොටස්කරු වූයේ ද ලියෝ ප්‍රනාන්දු මහතාය. එහෙත් පවුලේ අයිතිවාසිකම් අමතක කර දමා රොනී කෙළින්ම බස් ජනසතුව වෙනුවෙන් සටන් කළේය.

එපමණකින් නොනැවතුණු ඔහු පසු කාලයේ මහා වතු අධිරාජ්‍යයක. අධිපතියා වශයෙන් සිටගෙන වතු ජනසතුවට පක්‍ෂව සටන් කළේය. රක්‍ෂණ සමාගම්වල සහ වැල්ලවත්ත රෙදි මෝලේ ද රොනීගේ පවුලේ අයට විශාල වශයෙන් කොටස් තිබුණු නමුත් ඔහු ඒවා ජනසතු කිරීමට ද පක්‍ෂව සටන් කළේය.

“මට ඕනෑ කළේ පවුලේ ධනය ආරක්‍ෂා කිරීම නොවෙයි. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රටක් බවට පත් කිරීමටයි.”

රොනී ද මැල් තවත් වරක් සිවිල් සේවයෙන් ඉල්ලා අස්වීමට ලියුම ඉදිරිපත් කළේය. ඒ 1960 අවුරුද්දේදීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයා හැටියට බුලත්සිංහල ආසනයට ඉදිරිපත් වන ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කළ ආරාධනය එම ඉල්ලා අස්වීමට හේතු විය.

ඒ වතාවේ ද මල්ලිකා ද මැල් මැතිනිය ඊට තදින්ම විරුද්ධ වූවාය. “මේ පොඩි ළමයි තුන්දෙනත් අතරමං කරල දාන්නද හදන්නෙ?’ හඬා වැළපුණු මැල් මැතිනිය මේ ප්‍රශ්නය උඩම රෝගාතුර වූවාය. කරකියා ගත හැකි දෙයක් නැති තැන රොනී ගොස් බණ්ඩාරනායක මැතිනියට කරුණු පැහැදිලි කරදී ඉල්ලා අස්වීමේ ලියුම ද අස්කර ගත්තේය.

එහෙත් ඒ තත්ත්වය පැවතියේ අවුරුදු දෙකක් තරම් සුළු කාලයක් පමණකි. ඒ වන විට ලංකා ගුවන්විදුලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය දරමින් සිටි රොනී, දේශපාලනයට බැසීම පිණිස 1962 දී සිවිල් සේවයෙන් ඉල්ලා අස්විය. තුන්වතාවක්ම සිවිල් සේවයෙන් ඉවත්වන්නට බැරිව ආපසු සිවිල් සේවයේම ඇලී සිටි රොනී ද මැල් අන්තිමේදී එම සිවිල් සේවයෙන් අස්වූයේ විශ්‍රාම වැටුපට පවා හිමිකම් නැතිවය. ඔහු මහා මෝඩ තීරණයක් ගත්තේයැයි කිට්ටු මිත්‍රයෝ හා නෑදෑයෝ චෝදනා කළහ.

“ඉතින් ඒ වතාවේ ඉල්ලා අස්වන කොට ඔබේ මැතිනිය විරුද්ධ වුණේ නැද්ද?”

“විරුද්ධ වෙලා වැඩක් නෑ. සේරම කරල ඉවර වෙලයි එයාට කිව්වෙ. ඊටත් වැඩිය ඒ කාලෙ වෙනකොට මම මගේ මැතිනියත් ටිකක් දුරට මගේ පැත්තට නම්මගෙනයි හිටියේ.”

1965 මහ මැතිවරණයේදී බිබිල ආසනයට තරග කළත් ජයගත නොහැකි විය. එහෙත් 1967 දෙවිනුවර අතුරු මැතිවරණයෙන් ජයගෙන හා පුරා කියා පාර්ලිමේන්තුවට ආ රොනී එදා සිට දිගටම එම අසුන රැක ගත්තේය. හැත්තෑවේ මහ මැතිවරණයෙන් පසු පිහිටුවන ලද ආණ්ඩුවේ රොනීට වැදගත් තැනක් ලැබෙනු ඇතැයි වැඩි දෙනා බලාපොරොත්තු වූ නමුත් ඔහුට හිමිවූයේ ‘සහභාගිවන්නාගේ’ කොටසක් නොව ‘නරඹන්නාගේ’ කොටසකැයි කීමේ වරදක් නැත.

“ඇත්ත වශයෙන්ම හැත්තෑවේදී බලයට පත් වෙච්ච අය වැඩ කරපු ආකාරය ගැන මම හුඟාක් කලකිරුණා. රට මහ ප්‍රපාතයකට පත් වෙමින් තිබුණු බව මම දැක්කා. න්‍යායවාදවලට වහල් වෙන්නෙ නැතුව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රාමුවක් තුළ අපේ රටටත් ඉදිරියට යන්න බැරි ඇයි කියල මට හිතුණා. විශේෂයෙන් චීනය, යුගෝස්ලාවියාව, හංගේරියාව, වගේ සමාජවාදී රටවල් පවා ප්‍රායෝගිකව කටයුතු කරල විශාල දියුණුවක් අත්කරගෙන තියෙනවා.” රොනී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්‍ෂයට බැඳී මේ මූලික සාකච්ඡා ඇරඹුනේ 1974 අවුරුද්දේය.

1975 දී ජේ. ආර්. ජයවර්ධන මහතාත් සමග අත්වැල් බැඳගත් රොනී ද මැල් මහතා 1977 මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්කර ගත්තේය. අලුතෙන් පිහිටුවන ලද රජයේ මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිකම ඔහු වෙත පවරන ලදී. “මේ රටේ ඉතිහාසයේ පළමු වතාවට එකදිගට අයවැය ලේඛන 11ක් ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමිකර ගැනීමට යන ඔබ රටේ ප්‍රගතිය ගැන මොකද කියන්නේ?’

“මේ රට ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රටක් බවට පත් කිරීමයි එදත් අදත් මගේ බලාපොරොත්තුව. උග්‍ර ධනවාදයට මම විරුද්ධයි. තුන්වෙනි ලෝකයේ රටක විශේෂයෙන් ලංකාව වැනි රටකට උග්‍ර ධනවාදී ආර්ථිකයක් ඔරොත්තු දෙන්නෙ නැහැ. තවමත් මේ රටේ ආර්ථිකය සියයට 60ක් විතර රජය සතුවයි පවතින්නේ. එක්සත් ජාතික පක්‍ෂයේ මූලික ප්‍රතිපත්තිය තමා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය. ඒ නිසා අපට වැඩ කරන්න ලේසියි. න්‍යාය ධර්මවල එල්ලිලා ඉන්නෙ නැතුව වර්තමාන තත්ත්වයට අනුව අනාගතය හැඩගසා ගත යුතුයි. පසුගිය අවුරුදු හය අපි ගිය පාර වැරදි නම් ඒවායෙන් පාඩම් ඉගෙනගෙන හරි මාර්ගයට පිවිසීම අපේ යුතුකමක්.’ (1984 ලියන ලද්දකි.)

අයවැය 11ක් ඉදිරිපත් කර වාර්තාවක් තැබූ රොනී ද මැල්

කෘතහස්ත පත්‍රකලාවේදී ගුණදාස ලියනගේ



advertistmentadvertistment
advertistmentadvertistment