අයහපත් කාලගුණයෙන් අනුරපුර කැළඹෙයි

23

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 කට සහන සේවා

පැවති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 කට අයත් වසම් 44 කට බලපෑම් එල්ල වී, මේ වන විට පවුල් 206 කට අයත් පුද්ගලයන් 739 දෙනකු පීඩාවට පත්ව ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි. දිස්ත්‍රික්කයේ පවුල් 144 කට අයත් පුද්ගලයන් 495 දෙනකු ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බවත් සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින එම පිරිස් සඳහා පිසූ ආහාර ලබා දීම සිදුකෙරෙමින් පවතී. කහටගස්දිගිලිය, මිහින්තලේ, හොරොව්පතාන, පදවිය, නැගෙනහිර නුවරගම් පළාත, පලුගස්වැව, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, කැකිරාව, තඹුත්තේගම හා ඉපලෝගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස බලපෑම් වැඩි වී තිබේ.

වැඩිම පුද්ගලයන් පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළය. එහි පවුල් 77කට අයත් 264 දෙනකු පීඩාවට පත්ව සිටිති. කහටගස්දිගිලියේ පවුල් 63 ක පුද්ගලයන් 225 කි. මීට අමතරව පලුගස්වැව පුද්ගලයන් 33ක්, නැගෙනහිර නුවරගම් පළාත පුද්ගලයන් 56 ක්, මැදවච්චිය පුද්ගලයන් 42ක්, කැබිතිගොල්ලෑව පුද්ගලයන් 73 ක්, කැකිරාව පුද්ගලයන් 10 ක්, තඹුත්තේගම පුද්ගලයන් 5 ක් සහ පදවිය පුද්ගලයන් 3ක් වශයෙන් පීඩාවට පත්ව සිටිති.

අයහපත් කාලගුණයෙන් අනුරපුර කැළඹෙයි

පලුගස්වැව, පදවිය, නැගෙනහිර නුවරගම් පළාත හා මිහින්තලේ කොට්ඨාසවලින් අර්ධ නිවාස හානි 4ක් වාර්තා වී තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. කහටගස්දිගිලියේ ව්‍යාපාරික ස්ථාන දෙකකට ද හානි සිදුව ඇත.

වර්ෂාව නිසා දිස්ත්‍රික්කයේ කුඩා වැව් කිහිපයක් කැඩී යෑමේ අවදානමක් පැවැති නිසා වැව් බැම්ම කපා ජලය ඉවත් කිරීමට ද කටයුතු කෙරිණි. ඒ අනුව හොරොව්පතාන කොට්ඨාසයේ තිප්පන්කඩවල හා හොරොව්පතාන යන වැව්වල වැව් බැමි කපා ජලය පිට කෙරුණු අතර හොරොව්පතාන ඉලුක්වැව කැඩී ගොස් ඇත. මිහින්තලේ නොච්චිකුලම වැවට ද හානි සිදුව තිබේ. හොරොව්පතාන වැවේ වාන් ජලය නිසා එම නගරය ජලයෙන් යටව පැවැතිණි. තන්තිරිමලේ, දොඩම්විල වැව කැඩී ඇතැයි ද වාර්තා වේ. මේ යටතේ අක්කර 41 ක වී වගාකර ඇති නිසා මෙම වැවෙහි ජලය ඉතිරිකර ගත යුතු බව ගොවි සංවිධාන නියෝජිතයන් මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම්වරිය වන මංජරී සී. චන්ද්‍රදාස මහත්මියට දැනුම් දී ඇති අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව වැලි කොට්ට ගැසීම සිදු කෙරෙමින් තිබුණි.

මෙහිදී මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවේ දොඩම්විල වැව කැඩී යෑම නිසා එහි ජලය “එළිය වැවට ලැබෙන නිසා එම වැව ද අවදානම් තත්ත්වයක පවතින බවය. එමෙන්ම විලච්චිය අශෝකමාලාගම සපත්තු පාලම කැඩී යෑම නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි. තන්තිරිමලය ප්‍රදේශයේ පවතින මෙම ආපදා තත්ත්වයන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මේ අතර කැබිතිගොල්ලෑව ඇල්ලවැව ප්‍රදේශයේ පුද්ගලයන් කිහිපදෙනකු ගවයින් බලා ගැනීමට ගිය පසුව කිවුලේකඩ පාලම අසලින් පැමිණීමට නොහැකිව කොටුවී සිටි අවස්ථාවේ දී නාවික හමුදාවේ සහය ඇතිව කඹ යොදා ඔවුන් මුදාගැනීමට කටයුතු කළ බව කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් දමිත් කනකරත්න මහතා පැවසීය. හොරොව්පොතාන ප්‍රදේශයේ ආපදා තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී.එන්.කේ. පලිහේන සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය යන මහත්වරුන් දෙදෙනා පැමිණ සිටියහ. මැදවච්චිය ඇති සුරක්ෂිත මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මිය හා ආපදා සහන සේවා නිලධාරීන් එම සුරක්ෂිත මධ්‍යස්ථානයට පැමිණියහ.

මිහින්තලේ – රංග චතූ


advertistmentadvertistment