අයිඑම්එෆ් එකෙන් ණය ගැනීම දේශද්‍රෝහී වැඩක් යැයි කියූ පොහොට්ටුවේ අය අද අත්පුඩි ගහනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

87

තව වසර කිහිපයකින් අර්බුදය තවත් උග්‍ර වෙනවා – උදය ගම්මන්පිල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගෙන ඔවුන් සමග ගණුදෙනු කිරීම දේශද්‍රෝහී, ජාතී ද්‍රෝහී රට විකුණන වැඩ පිළිවෙළක් යැයි එදා කී පොහොට්ටුවේ පාර්ලිමේන්තු නියෝජිතයන් දැන් අයිඑම්එෆ් ගිවිසුමට

අත් පුඩි ගසා ඔල්වරසන් දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය.

ඔවුන් බැටළු හම් පොරවා ගත් වෘක්කයන් බඳු යැයිද හෙතෙම කියා සිටියේ මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමි වූ ණය පහසුකම් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දින පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයේ අදහස් දක්වමිනි.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. නිවේදන, ලිපිලේඛන, පෙත්සම්, ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය සිදු කරනු ලැබීය.

අනතුරුව, මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු විසින් පිළිතුරු සැපයීම සහ 27/2 යටතේ විශේෂ ප්‍රශ්න විසඳීම සහ ඒවාට පිළිතුරු සැපයීම සිදුවිය.

අනතුරුව මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමි වූ ණය පහසුකම් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දින පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයේ ප්‍රථම ආරම්භ කෙරිණ.

(රෝහිණී විජේරත්න මහත්මිය මූලාසනයට පැමිණේ)

විවාදය ආරම්භ කරමින්, විපක්ෂ කායක සජිත් ප්‍රේමදාස මහතා –

රනිල් වික්‍රමසිංහ ජනපති අගමැතිව සිටි 2018, 2019 කාලයේ දී අයිඑම්එෆ් ක්‍රියාත්මක වුණා. එහෙත් ගෝඨාභය රාජපක්ෂ සමයේ බදු සහන දීලා රටේ ආර්ථිකය පහළට ගෙනාවා. සියලු රේටිං පහළට දැම්මා.

අපි අයිඑම්එෆ් යන්න කිව්වාම ඒකට තදින් විරුද්ධ වුණා. පොහොට්ටු නියෝජිතයන් අද රතිඤ්ඤා පත්තු කරනවා. දැන් මේ වෘකයෝ බැටලු හම පොරවාගත් ජනාධිපති මොනවා කිව්වත් අත්පුඩි ගහනවා.

අපි ණය ගන්න හැකි උපරිම සහය දුන්නා. අපේ පක්‍ෂ නියෝජිතයන් ණය දෙන සංවිධාන නියෝජිතයන් හමුවුණා. ජනාධිපති තමයි හොඳම ජ්‍යොතිෂ විශේෂඥයා. මාස 10ක් මන්ත්‍රීකම භාරගත්තේ නැහැ. මගේ තාත්තාගේ උපන් දිනය දවසේ මන්ත්‍රීකම භාරගත්තේ. එයින්ම පේනවා ඔහු වෙලාවල් බලන බව.

ජනාධිපතිට පක්‍ෂ විපක්‍ෂ සියල්ලම අයිඑම්එෆ් ඩීල් එක ගැන සාකච්ඡා කර විනිවිදව කටයුතු කළා නම් මීට වඩා හොඳ ඩීල් එකක් ඇති කරගන්න තිබුණා.

මේ රට බංකොළොත් බව අප්‍රේල් මාසයේ ප්‍රකාශ කළා. ගිවිසුම හදන්න මාස 5කට වඩා ගියා. තවත් මාස ගණනක් ගියා ඊට එකඟතාවට එන්න. වත්මන් ආණ්ඩුව හැමදේම අද්ද අද්දා ගියා. රටට ලබාගත හැකි උපරිම පංගුව දිනා ගැනීමට රම් රජය ක්‍රියා කළේ නෑ.

මේ වාර්තාවේ විශ්ලේෂණ දුර්වලතා රැසක් තියෙනවා. මිනිසුන්ගේ කරපිට බදුබර දාන්න දොළදුකක් ආණ්ඩුවට තියෙනවා. දුම්කොළ

සමාගම්වලට බදු ගහන්න යන්නේ නෑ. මොකද්ද ඒකට හේතුව. මිනිස්සුන්ට පටි තදකරලා ආණ්ඩුව වරප්‍රසාද වැඩි කරගන්න එකඟ වෙලා. විදුලිබිල දෙවතාවක් වැඩි කළා. පොඩිම මිනිස්සුන්ට සියයට එක්දහස් එකසියයකින් බිල වැඩි කළා.

අපි 16 වතාවක් මූල්‍ය අරමුදලට ගියා. වසර 21ක් ඔවුන්ගේ වැඩසටහන් සමග හිටියේ. අපි ගහන ගිවිසුම් රටට ජනතාවට හිතකර ලෙස හැදිය යුතු වුවත් විපක්‍ෂයට සඟවා හොරෙන් තියාගෙන හැදුවා. ජනපති ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර තිබෙනවා. ඔයතරම් මුදල් ලැබෙනවා නම් මැතිවරණයට අවශ්‍ය මුදල් දෙන්න බැරිද? පුළුවන්නම් පළාත් පාලන මැතිවරණය තියන්න බැරිනම් මහ මැතිවරණය තියන්න. අභියෝග කරනවා. අපි ඕනම මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණයට වුවත් සූදානම්.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය :

අද මහ මැතිවරණයක් විපක්‍ෂය ඉල්ලනවා. ඒත් එදා රටේ බලය බන්දේසියක තියලා දුන්නත් කවුරුවත් භාර ගත්තේ නෑ. එදා මේ නායකයා රට භාර ගත්තේ නැත්නම් ගෙදර බත් මුට්ටිය පවා වෙන අය උස්සන් යන කාලයක් එන්න තිබුණා. ඒ තත්ත්වය නැති කළේ ජනාධිපතිතුමායි. රටේ ජනතාවට පීඩනයක් තියෙනවා. නමුත් ඔවුන් ජීවත්වෙනවා. අද සෘණ 10 ක පමණ ආර්ථිකයක රට තියෙන්නේ. ඒ තුළ හිඳිමින් විපක්‍ෂය විවිධාකාර නාඩගම් කරනවා. අයිඑම්එෆ් මුදල් අවශ්‍ය නම් මහා භාණ්ඩාගාරයට ගන්න පුළුවන්. මැතිවරණයට නොවෙයි. අපට අත්‍යවශ්‍ය වියදම්

රැසක් කරන්න තියෙනවා. පළමු වරටයි මූල්‍ය අරමුදල මේ ණය මුදල පාවිච්චි කරන්න දෙන්නේ. ඔවුන් අපේ ඉල්ලීමට එකඟ වුණා.

තිස්හත් ලක්‍ෂයක් ජීවත් කරන්න කියා ඉල්ලනවා. ඔවුන් ජීවත් කරවීම අපේ අරමුණයි. ආදායම වියදම අතර හිඟය පියවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. මේවට අවශ්‍ය බදුගත යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා :

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතුයි. දේශීය ණය ටි්‍රලියන 13ක් තියෙනවා. ටි්‍රලියන 4ක් භාණ්ඩාගාර බිල්පත්. මේවා අරන් තියෙන්නේ බැංකු හා අර්ථසාධක අරමුදල. මේවා ගැන දීර්ඝව සාකච්ඡා කළ යුතුයි. යම් තැනකට පැමිණිය යුතුයි. අපි සාකච්ඡාවට සූදානම්.

දෙවන කොටස ලැබෙන විට බදු සංශෝධන කළ හැකි බව ජනපති කියනවා. වැදගත්ම ලිපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නෑ. ජනපති හා මහබැංකු අධිපති අයිඑම්එෆ් එකට අත්සන් කළා එකඟතා ලිපිය අවශ්‍යයි. සමාජයේ පහළම ස්ථරය ගැන අවධානය යොමු කළ යුතුමයි. විදුලි බිල ඒකක 30ක් තියෙන අය රුපියල් 105 සිට දහස් ගානකට වැඩිවුණා.

සම්ප්‍රදායික දේශපාලනයෙන් එළියට එමු. අඩු ආදායම්ලාභීන්ට කොපමණ සහනාධාරයක් දිය යුතුද? එය රජයේ අයවැය මගින් ලබාදෙමු. ලොව දියුණු රටවල් කරන විධි එහෙමයි. ලයිට් බිල වැඩි අඩු ආදායම්ලාභීන්ට සහන දෙන්න එයට එකඟ වෙන්න අපටත් පුළුවන්. මූල්‍ය අරමුදලට යෑම ගැන අපි විරුද්ධ නෑ. නමුත් ගිවිසුම ගැන එකතැනකට ඇවිත් එකඟ වෙලා ක්‍රියාත්මක කරමු.

සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු :

අයිඑම්එෆ් ගැන කතා කළ බොහෝ අය එය දේශපාලනයට හරවාගෙන කතා කරනවා. මෙය ආරම්භයක් පමණයි. තව ලොකු දුරක් යායුතුයි. මේ රට විනාශයි. මෙයට දේශපාලකයන් ගණනාවක් වගකිව යුතුයි.

එදා සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව භාර ගත්තානම් දැන් බැටලුහම් පොරවාගත් වෘකයන්ට බනින්න අවශ්‍ය නෑ. රනිල් වික්‍රමසිංහ මහතාට ඇති දැනුම ගැන අද මුළු ලොවම දන්නවා. දියුණු වූ හැම රටක්ම වැටිලා තියෙනවා. වැටුණු තැන හඳුනාගෙන ඉදිරියට ගියේ. නමුත් අපේ රටේ සාමුහිකව වැඩකරන්නේ නෑ. තමන්ම බලයට පැමිණිය යුතුයි කියා සිතන්නේ.

සජිත් ප්‍රේමදාසට රනිල් වික්‍රමසිංහ භීතිකාවක් තියෙනවා. නමුත් ජනපති ප්‍රජාතන්ත්‍ර විරෝධි කිසිවක් කර නෑ.

පාර්ලිමේන්තුව නැවත අද (23දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment