පොළිය සහ පොළිය මත පොළියත් ගෙවීමට සිදුවෙලා
අයිඑම්එෆ් වැඩසටහන හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් ගැන කරුණු කිහිපයක් හෙළිදරව් වූ බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය තුළ රටට සෙතක් සැලසෙනවා නම් එයට සහයෝගය දෙන නමුත් පෙරේදා (27 දා) හෙළිදරව් වූ කරුණු කාරණා ගැන ගැටලු සහගත තත්ත්වයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2028 වන තුරු ණය ගෙවීමේ විරාමයක් තිබුණත් අයිඑම්එෆ් සමග එකඟ වී තිබුණේ ණය ගෙවීමේ විරාමය 2033 දක්වා ඉලක්කයකට යෑමටයි. නමුත් ආණ්ඩුව එම එකඟතාව 2023 දක්වා අඩුකරගෙන ඇති බව විපක්‍ෂ නායකයා පැවසීය.
එසේම අනෙකුත් සියලුම රටවලට සාපේක්ෂව වේගවත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්නට ලැබුණේ අප රට බවට වාර්තා වන බවත් එය සම්පූර්ණ අසත්‍ය බවත් තවමත් අප රටේ ණය ප්‍රතිව්‍යූහගත කරන ක්‍රියාදාමය අවසන් නොමැති බවත් එය සම්පූර්ණ නොවී මෙවැනි අසත්‍ය ජනතාවට පැවසීම වැරදි බවත් අපටත් වඩා වේගයෙන් අංගසම්පූර්ණව ණය ප්‍රතිව්‍යුහගත කළ රටවල් රාශියක් ඇති බවත් ඝානා වැනි රටක් අංගසම්පූර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් හරහා සම්පූර්ණ ණය ප්‍රමාණයෙන් 37%ක ණය කපා ගන්න හැකිව ඇති බවත් එවැනි තත්ත්වයක් මත අප රටේ පොළියේ කපා හැරීමක් නොමැති බවත් පොළිය සහ පොළිය මත පොළියත් ගෙවීමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන් ම අප රටක් ලෙස අංගසම්පූර්ණ ගිවිසුමකට පැමිණ නොමැති බවත් ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හිමියන් සමග පවා එකඟතා නොමැති බවත් එම සාකච්ඡා ජූලි 3 වැනි දා වන තුරු පවතින බවත් අවසන් එකඟතාවට එන්න නොහැකි වුවහොත් ඔවුන් අප රටට විරුද්ධව නඩු දැමීමට පවා නියමිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (27 දා) කළුතර බුලත්සිංහල, මදුරාවල, රෙමුණ මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 265 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එමෙන්ම චීන සංවර්ධන බැංකුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතු බවත් මෙම බැංකුව සැම්බියාවට හා ඉක්වදෝරයට දී ඇත්තේ ද්වි පාර්ශ්වීය ණය වුවත් අප රටට ලබා දී ඇත්තේ වෙළෙඳ වානිජ ණයක් ලෙස බවත් මෙහි ද ගැටලු රාශියක් ඇති බවත් ද්වි පාර්ශ්වීය ණයකරුවන් කොට්ඨාසයක් වන පැරිස් ක්ලබ් එක නිවේදනය කර ඇත්තේ සමානාත්මතාව පදනම් කර ගෙන ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කරුවන් සමග ගිවිසුමකට එන ලෙස නිවේදනය කර ඇති බවත් මේ සඳහා ගන්නා ක්‍රියාමාර්ග දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරු හා විදුහල්පතිවරු තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන්න තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරන්න යෙදුන බවත් එය ඔවුන්ගේ අයිතිය වුවත් එම උද්ඝෝෂණයට මිලේච්ඡ ආකාරයෙන් රජය ඉතාමත්ම මර්දනකාරී ආකාරයට කටයුතු කිරීම තරයේ හෙළා දකින බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කොටස් 7ක් ඇති බවත් සැම දේශපාලනඥයකුම අධ්‍යාපනය ගැන කතා කරන බවත් අධ්‍යාපනයේ මානව සම්පතේ සුදුසු පරිසරය නිර්මාණය කරමින් ඒ අයගේ ආත්ම තෘප්තිය වඩවමින් යන ගමනක් තුළ පමණක් අධ්‍යාපනයේ ප්‍රගතියක් ලැබිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.