අයිඑම්එෆ් සමග රටේ ඉදිරි ගමන

115

අප අපේක්ෂා කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුමක් ලබා ගනිමින් එම අරමුදල සමග එකඟ වන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ක්‍රමයෙන් රට මුහුණ දී සිටින ඉතිහාසයේ බලවත්ම ආර්ථික අර්බුදයෙන් මිදීමටය. දැන් එම ක්‍රියාවලියේ කිසියම් තීරණාත්මක කඩඉමක ආසන්නයට අපි පැමිණ සිටිමු. එනම් අප ගිය වසරේ සැප්තැම්බර 01 වැනිදා මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ලබාගත්තේය. එහෙත් අප ඉල්ලා ඇති මූල්‍ය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය තවමත් අවසන්ව නැත. දැන් අප සිටින්නේ එම ක්‍රියාවලියේ අවසන් අදියරේ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉන්දියාව ලබා දුන් සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇත. අනෙකුත් ණය හිමියන්ගෙන් ද එවැනිම කැපවීම් බලාපොරොත්තුවෙන් සිටින බව අයිඑම්එෆ් ප්‍රකාශකයෙක් විදෙස් මාධ්‍යයට පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට ලැබීමට නියමිතව ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.9 කි. මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණයවල තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට අනුකූලව ඉන්දියාව මූල්‍යකරණ සහතික හා ණය සහන ලබා දීමට කැපවී සිටින බව අයිඑම්එෆ් කළමනාකාරිත්වයට පෙන්වා දී ඇති බව මූල්‍ය අරමුදලේ එම ප්‍රකාශකයා ජාත්‍යන්තර මාධ්‍යයට පවසා ඇති සඳහනෙන් තහවුරු වේ.

ඉන්දියාව ලබා දී ඇති කැපවීම සාදරයෙන් පිළිගන්නා බව ද එම ප්‍රකාශකයා පවසා ඇති අතර දැන් ඔවුන් චීනය සහ පැරිස් සමාජය ඇතුළු අනෙකුත් ණය හිමියන්ගේ මූල්‍යකරණ සහතික අපේක්ෂාවෙන් සිටී. ඒ අප වෙත අදාළ ණය මුදල මුදා හැරීම සඳහා ඊට පෙර එම අරමුදලේ විධායක සභා අනුමැතිය ලබා දීමටය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය ද ශ්‍රී ලංකාවට මූලික ප්‍රතිචාරයක් ලබා දී ඇත. එනම් චීන ආනයන සහ අපනයන බැංකුව විසින් අපට ලබා දී ඇති ණය සඳහා වාරික ගෙවීම වසර දෙකකින් කල් දැමීමට ය. වාර්තා වන පරිදි එම වසර දෙක ලෙස නම් කර ඇත්තේ ගිය වසර (2022) සහ මේ වසරයි (2023). ගිය වසර දැනටමත් ගෙවී අවසන්ය. මේ වසරේ ද මාසයක් ගෙවී ගොස් ඇත. මේ අනුව මේ ක්‍රියාවලිය පිළිබඳව සමීප විශ්ලේෂකයින් පවසන්නේ චීනය ලබා දී ඇති සහනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට යෑමට ප්‍රමාණවත් මට්ටමේ සහතිකයක් නොවන බවයි. මේ චීන ප්‍රතිචාරය ගැන මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයා සඳහනක් නොකර සිටියේ මේ නිසා විය හැකිය.

රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඉන්දීය එකඟතාව හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත සහාය ශක්තිමත් වනු ඇති බවයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ අපට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම ලබා ගැනීම සඳහා වන ක්‍රියාවලියේ අවසන් අදියරට අප පැමිණ සිටින බවයි. මේ අනුව චීනය සහ ජපානය ඇතුළු අනෙකුත් ණය හිමි රටවල් ඇතුළත් පැරිස් සමාජයේ මූල්‍යකරණ සහතික ලැබී බොහෝ දුරට මේ වසරේ (2023) පළමු කාර්තුවට පෙර මේ මූල්‍ය පහසුකම අප වෙත ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් දැන් අපි සිටිමු. එසේ වුවහොත් අයිඑම්එෆ් සමග එකඟ වී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් අපට ඉදිරි වසර තුනක පමණ කාලය ගත කිරීමට සිදුවෙනු ඇත. මේ පසුබිම තුළ මේ වසර (2023) ද පොදු ජනයාට තවදුරටත් දුෂ්කර සහ තීරණාත්මක වසරක් වනු ඇති බව සිතිය හැකිය.

අප අයිඑම්එෆ් සහය පැතුවේ බොහෝ ප්‍රමාද වී බව රහසක් නොවේ. එහි විපාක ද අපි දැන් විඳිමින් සිටිමු.

අයිඑම්එෆ් එක සමග අප විසින් 2022 අප්‍රේල් අග සිට වත්මන් විනිමය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළේය. මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ලැබුණු එම අරමුදලේ නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹියේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක් පමණ වන විස්තීර්ණ ණය පහසුකමක් යටතේ මාස 48 ක වැඩපිළිවෙළක් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා ය. දැන් තිබෙන්නේ එම මූල්‍ය පහසුකම අපට ලබා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීමට ය. ඒ සඳහා අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් ඇති කරගෙන ඒ බව අප අයිඑම්එෆ් එක වෙත දැනුම් දිය යුතු වේ. මේ සඳහා අපගේ ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍යකරණ සහතික ලබාගත යුතු වේ. අප විසින් ණය ලබාගෙන ඇති ප්‍රධාන ණය හිමියන් වන්නේ චීනය, ඉන්දියාව සහ ජපානයයි. මින් ඉන්දියාවේ සහාය අපට මේ වන විට ලැබී එය මූල්‍ය අරමුදල පිළිගෙන අවසන්ය. දැන් තිබෙන්නේ චීනය ඇතුළු අනෙක් පාර්ශ්වයන්ගේ එකඟතාව ලබා ගැනීමටයි. ජපානය සමග වන සාකච්ඡා බොහෝ දුරට අවසන්ව ඇත. ප්‍රශ්නය තිබෙන්නේ විශේෂයෙන් චීනය අප වෙත තවමත් මූල්‍යකරණ සහතික ලබා නොදීම නිසාය. මේ ගැන එම රටවල් සමහ තවදුරටත් සාකච්ඡා කළ යුතුව ඇත. චීනය සමග වන සාකච්ඡා පසුගිය කාලයේ යම් ප්‍රමාදයකට ලක්වුවද දැන් ඒ සාකච්ඡා සිදු වෙමින් ඇත. චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමැති චෙන් ෂෝ මහතා ද පසුගිය දා අප රටට පැමිණ ගියේය. මේ ගැන ජනාධිපතිවරයා ද අදහස් දක්වා තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවට කීවේ

මේ වන විට අපේ ආර්ථිකය නිසි මගට ගැනීම සඳහා කටයුතු කරගෙන යන බවත් දැන් අපට තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට බවත්ය. මින් ඉන්දියාවේ එකඟතාව දැන් ලැබී ඇති නිසා තීරණාත්මක සාධකය බවට පත්ව ඇත්තේ චීනයයි. ඒ සඳහා සාකච්ඡා කරගෙන යන අතර දැනට එම සාකච්ඡා සාර්ථක බව ද ජනපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා පවසන පරිදි ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවල සාර්ථකත්වයක් තිබේ නම් ඒ අනුව අපට මූල්‍ය අරමුදලේ ණය පහසුකම ඉක්මනින් ලැබීම සම්බන්ධයෙන් අපේක්ෂා තබාගත හැකිය. එහෙත් චීනයේ ප්‍රමාදය නිසා එම ක්‍රියාවලිය සඳහා කෙතරම් කලක් ගතවනු ඇති ද යන්න ගැන අපට තවමත් නිශ්චිතව යමක් කිව නොහැකිය. එය බාහිර පාර්ශ්වයක් මත තීරණය වන දෙයක් වන නිසාය. ඒ මත මේ ක්‍රියාවලියේ වේගවත් බව තීරණය වේ. ඒ අනුව අයිඑම්එෆ් සමග අපගේ ඉදිරි වසර තුනේ කාලය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් සහ ඒ අනුව එම අරමුදලේ වාරික ලබා ගනිමින් ගමන් කිරීමට සිදුවෙනු ඇත. මේ කියන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී එහි අවදානමට ලක් වෙන පාර්ශ්වයන් සිටී. වැඩි වශයෙන්ම එහි අවදානමට ලක් වන්නේ අඩු ආදායම්ලාභීන් සහ දුප්පත් ජනතාවයි. ඒ නිසා ඒ අයට සමාජ ආරක්ෂණය ද සැලසිය යුතු වේ. මේ සම්බන්ධයෙන් ද මේ වන විට ගැටලු පැන නැගී ඇත. එනම් එම ප්‍රතිලාභී ජනයා හඳුනා ගැනීමේ ක්‍රියාවලියේ නිරත රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අදාළ සුබසාධක ප්‍රතිලාභීන් අලුතින්ම හඳුනාගැනීමට තවමත් නොහැකිව තිබීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට පවසා ඇත්තේ එම අරමුදල සමග එක්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී අවදානමට ලක්වෙන අය ඉලක්ක කර ගනිමින් සමාජ ආරක්ෂණ වැඩසටහන් දියත් කිරීම අවශ්‍ය බවයි. මේ නිසා එම අවදානමට ලක්වෙන පිරිස් හඳුනා ගැනීමේ කටයුතු ප්‍රමාද වීමට ඉඩ දීම සුදුසු නොවේ. ඒ බව අප මීට පෙරද සඳහන් කර ඇත. ඒ නිසා නිලධාරීන් සමග පවතින ගැටුම වහාම විසඳාගෙන ඒ ක්‍රියාවලිය වේගවත් කරගත යුතුව තිබේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පසුගිය ජනවාරි 23 වැනිදා රැස් වූ අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපක්ෂපාතිව පෙනී සිටිමින් සිය උපරිම සහය ලබා දීම, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අරමුණ බව එම කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත. මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූ මහ බැංකු නිලධාරීන් පෙන්වා දී ඇත්තේ 2023 පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය පළමු වාරිකය ලබා දෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි. එසේ වුවහොත් එය අපේ රටට ලොකු සහනයක් වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගත වීම සඳහා සිදුකළ යුතු සමාජ ප්‍රතිසංස්කරණ සහ ඒවායේ බලපෑම පිළිබඳව ද මෙහිදී කමිටුවේ අවධානය යොමු විය. කලින් අප ඉහත සඳහන් කළ සමාජයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට සිදුවන සමාජ බලපෑම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරතුරුව සැලකිල්ලෙන් පසුවන බවත් එම බලපෑම් අවම කිරීම සඳහා රජයේ වියදම් හැකිතාක් සීමා කිරීම වැනි ඇතැම් ආරක්ෂණ ක්‍රම අනුගමනය කර ඇති බවත් මහ බැංකුවේ නිලධාරීහු මෙහිදී පෙන්වා දී ඇත. එය ඉතා හොඳය. අප නම් සිතන්නේ තවදුරටත් අඩු කළ හැකි සහ අවම කරගත හැකි රාජ්‍ය වියදම් පවතින බවයි. 2023 පෙබරවාරි 04 වැනිදා පැවැත්වෙන නිදහස් සමරුවට යන වියදම් ගැන ද අදහස් ඉදිරිපත් වෙමින් තිබේ. එය පැවැත්විය යුතුය. එහෙත් හැකිතාක් චාම් ලෙස සහ අවම වියදමින් එය කළ හැකි නම් රට වැටී ඇති තත්ත්වය අනුව එය වඩාත්ම සුදුසු වනු ඇත. අනෙකුත් අවම කළ හැකි රාජ්‍ය වියදම් සමබන්ධයෙන් කියන්නට ඇත්තේ ද එම කරුණයි.

පොලී අනුපාත වැඩි කිරීම තුළ වෙළෙඳපළ හැකිලීමේ අහිතකර බලපෑම් පිළිබඳව ද පසුගිය මුදල් කාරක සභා රැස්වීමේ දී විමසන ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility) ලැබීම හරහා පොලී අනුපාත නැවත වරක් ලිහිල් කළ හැකි බවත්, වෙළෙඳපොළ පුළුල් වීම සඳහා නැවතත් අවස්ථාව හිමිවනු ඇති බවත් ඔවුහු පෙන්වා දී ඇත. මේ ඉහළ මට්ටමක පවතින පොලී අනුපාත ගැන දැනට ව්‍යාපාර ප්‍රජාවගෙන් මෙන්ම සාමාන්‍ය ජනයාගෙන් ද මැසිවිල්ලක් තිබේ. එනම් දැනට පවතින ඉහළ පොලී අනුපාත අඩු කරන ලෙසයි. එහෙත් පෙරේදා 24 පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී ද තීරණය කර ඇත්තේ දැනට පවතින මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව එම මට්ටමේම පවත්වා ගැනීමටය.

එමගින් උද්ධමනය තවදුරටත් මර්දනය කිරීම මහ බැංකුවේ අපේක්ෂාව වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා පවතින විකල්ප අවස්ථා පිළිබඳ කාරක සභාව විමසා සිටි අවස්ථාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සඳහා පළමුව මැදිහත්වීමෙන් තොරව, වෙනත් කිසිදු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආයතනයක් ශ්‍රී ලංකාව සමඟ ණය කළමනාකරණය සම්බන්ධයෙන් හවුල් වීමට අකැමැති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟින් ණය කළමනාකරණය ඇතුළු අනාගත ව්‍යාපාර අවස්ථා සඳහා නැවත වරක් මෙරට සමඟ හවුල් වීමට ජාත්‍යන්තරයට විශ්වසනීයත්වයක් ඇති වන බවද ඔවුහු පෙන්වා දුන්හ. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය බව මහ බැංකු නිලධාරීහු පෙන්වා දුන්හ. අපත් සිතන්නේ මූල්‍ය අරමුදලේ සහාය ලැබීමෙන් පසු ජාත්‍යන්තර විශ්වාසය වර්ධනය වීමෙන් අපට තවත් විදේශීය මූල්‍ය සහාය අපේක්ෂා කළ හැකිවනු ඇති බවයි.

අප සිටින්නේ අයිඑම්එෆ් එකඟතාව ගැනීමේ අවසන් අදියරේ – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

අයිඑම්එෆ් සමග රටේ ඉදිරි ගමන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අනුමැතිය ලබාගැනීමේ අවසන් අදියරේ අප සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන රටට අවශ්‍ය මූල්‍ය ආධාර ලබා ගැනීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

2022 වසරේ ඇතිකරගත් මාණ්ඩලික මට්ටමේ එකඟතාව අනුව සහ මෙරට මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමේ අරමුණින් සිදුකරන ලද විවිධ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය වෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා මේ වසරේ (2023) මුල් කාර්තුවේදී මෙම අනුමැතිය ලබා ගැනීමේ හැකියාවක් පවතිනව කියලා. ඒ සඳහා අවශ්‍ය කටයුතු අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට අපට විශ්වාසයක් තිබෙනවා. ආණ්ඩුව ගැන විවිධ විවේචන එල්ල වුණා, අපහාසාත්මක ප්‍රකාශ කළා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම් අනුව මුල්‍ය වෙළෙඳපොළේ ස්ථාවරත්වය බිඳ දැමීමට විවිධ ප්‍රකාශ සිදුකළ නමුත් ඒ සියල්ලටම මුහුණ දෙමින් අයිඑම්එෆ් අනුමැතිය සහ සහයෝගය ලබා ගැනීම යන අපගේ ඉලක්කය සපුරා ගැනීමේ අවසන් අදියරේ අප සිටින්නේ. ජනාධිපතිතුමාගේ, මුදල් අමාත්‍යාංශයේ, මහ බැංකුවේ සහ අනෙකුත් අදාළ බලධාරීන්ගේ කැපවීමේ සුබ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා. අවසාන අනුමැතිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් මේ වන විට කර තිබෙනවා. ඒ අනුව නිල ණය හිමියන්ගේ සහතික කිරීම් සඳහා ඔවුන් සමඟ සිදු කරන ලද සාකච්ඡා සාර්ථක මට්ටමක පවතිනවා. එම එකඟතාවය ලැබුණු ගමන්ම ජනාධිපතිතුමා ඒ ගැන ප්‍රකාශයක් කරනවා.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected] gmal.com

advertistmentadvertistment
advertistmentadvertistment