ශ්‍රී ලංකාවේ රාජ්‍යය ආයතන 420 න් 32 ක් අන්ත දූෂිත සහ විශාල වශයෙන් පාඩු ලබන ආයතන ලෙස කෝප් කමිටුව හඳුනාගෙන ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ කියයි. මේ ආයතන වසර තුනක් තුළ රුපියල් කෝටි 46500 ක සමස්ත පාඩුවක් ලබා තිබේ. මේ පාඩුව පටන්ගන්නේ අද ඊයේ හෝ ගිය අවුරුද්දේ හෝ ඊට එපිට අවුරුද්දේ නොව 1977 සිටය. එම අවුරුද්දේ බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධනගේ නව ලිබරල් ආර්ථිකවාදී ආණ්ඩුව ශ්‍රී ලංකාවේ අලුත් ධනවාදී ප්‍රතිපත්ති තර කිරීම සඳහා අලුත් ආයතන විවෘත කරන්නට පටන් ගත්තේය. ඊළඟට ආණ්ඩුවේ දේශපාලනඥයෝ මේ ආයතන තුළට ස්වකීය දේශපාලන හිතවතුන් රැකියා සඳහා එබීමට පටන් ගත්හ. මේ එබිල්ලේ නිමක් නොවීය. ඒ අනුව ඇතැම් ආයතනවල එක පුටුවකට සහ මේසයකට සේවකයෝ 6 දෙනෙක් වූහ. ඉපැරණි ලංකා ගමනා ගමන මණ්ඩලය විමධ්‍යගත කරන ලද අතර එහි ප්‍රතිපලයක් වශයෙන් එක බස් එකකට රියදුරන් 7 කුත් කොන්දොස්තරලා 7 බැගිනුත් වූහ. මෙයින් හැඟෙන්නේ එක බස් එකකින් පඩි ලැබීම සඳහා සේවකයන් 14 ක් සිටි බවකි. බස් නිකන් නොදුවයි. ඒවාට ඩීසල්, එංජින් ඔයිල්, ග්‍රීස් යනාදිය යෙදිය යුතුය. ටයර් මාරුකළ යුතුය. ගෙවෙන බ්‍රේක් පැඩ් අලුතින් දැමිය යුතුය. එසේම බස් එකේ වෙනත් රෙපෙයාර් ද කළ යුතුය. ලංගම බස් සර්විස් කරන බවක් අප අසා නැත. හෝදන බවකුත් අප අසා නැත. ඒ නිසා ඒ වෙනුවෙන් වියදමක් යන්නේද නැත. මේ වියදම් නැතත් පෙරකී සියලු වියදම් දෙස බලන විට එක බස් එකකින් 14 කුට තබා දෙදෙනකුටවත් පඩි ගෙවීමට බැරි විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1977 න් පසු ලංගම ඇතුළු ආයතන සිය ගණනක වැටුප් ගෙවන ලද්දේ රාජ්‍යය භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීමෙනි. දේශපාලනඥයන් විසින් සිය කබ්බන්ට දෙන ලද රැකියා ප්‍රමාණය අති මහත් නිසා වරායත්, කොළඹ නගර සභාවත් සේවකයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබේ. කොළඹ නගර සභාවේ සේවකයන් බොහෝ දෙනකුට ත්‍රී වීලර් ඇත. නැත්නම් part time job ඇත. උදේට වැඩට එන ඔවුහු කාඩ් එක ගසා හෝ finger print තබා ආපසු ගෙදර යති. ඉන්පසු ත්‍රීවීල් එලවති. නොඑසේ නම් part time job කරති. නැත්නම් ගෙදරට වී නිදාගෙන සිටිති. දවස් පහකට පමණ පසු නැවත වැඩපොළට ඇතුළු වී Off එක ගසා ගෙදර යති. මෙවැනි අවස්ථාවකදී ඔවුන් සේවයට වාර්තා කිරීමත් සේවය අවසන් කිරීමත් අතර දවස් 5 ක කාලයක් හෙවත් පැය විසි හතරේ පහක් තිබෙන බැවින් විශාල OT ප්‍රමාණයක් එකතු වේ. මේ OT වලින් භාගයක් ඒවා අනුමත කරන ලොක්කාට ලැබෙන අතර ඉතිරිය සේවකයා අතට ලැබේ. ලංකාව බංකොලොත් වුණේ මේ රටේ වැඩකරන ජනතාවගේ තුච්ඡ හැසිරීම නිසාය. ඔවුන් එම හැසිරීම නිර්මාණය කරගන්නේ දේශපාලනඥයන්ගේ සහ උසස් නිලධාරීන්ගේ අනුග්‍රහය ඇතිවය.
කෝප් වාර්තාවලට ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා සතොස බලවත් ලෙස පාඩු ලබති. සමස්ත පාඩුවෙන් 40 % ක් පමණ අයත් වන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමටය. ශ්‍රී ලන්කන් ගුවන් සේවය, එයාර් ලංකා නමින් පටන්ගෙන ටික කලකින්ම පාඩු ලබන්නට පටන් ගත්තේය. එවිට ජනාධිපති චන්ද්‍රිකා එහි වැඩි කොටස් එමිරේට්ස් සමාගමට වික්කේය. එමිරේට්ස් සමාගම එයාර් ලංකා නම ශ්‍රී ලන්කන් ලෙස වෙනස් කළේය. රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණි පසු ඔවුන්ගේ ඥාතියකු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානියා බවට පත්විය. මෙතුමා සහ එමිරේට්ස් සමාගම අතර ප්ලේන් එකක අවභාවිතාවක් සම්බන්ධයෙන් හටගත් ගැටුමක් නිසා රාජපක්ෂ ආණ්ඩුව එමිරේට්ස් ආයතනයේ පාලක කොටස් ආපසු පවරාගෙන එමිරේට්ස් සමාගම ලංකාවෙන් එලවා දැමීය. එදා එමිරේට්ස් සමාගම වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පාලනය කළ පීටර් හිල් අද මේ රටේම ගුවන් සේවයක් ආරම්භ කර ඇත. ශ්‍රී ලන්කන් අයිතියෙන් එමිරේට්ස් එලවන අතර සජින් වාස් ගුණවර්ධන නමැත්තෙක් රාජපක්ෂලාට කන්කෙඳිරිගා අවසර ලබාගෙන මිහින් ලංකා නමැති බජට් ගුවන් සේවයක් පටන්ගෙන ඉතාම කෙටි කාලයක් තුළදී ඩොලර් බිලියනයක් පමණ පාඩු ලබා ශ්‍රී ලංකාවේ අහසින් මකබෑවී ගියේය. අපට ආරංචි හැටියට මෙහි පාඩුවද ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අවශෝෂණය කරවන ලදී. මේ ආරංචිය බොරුවක් නම් අපි එය ඉල්ලා අස්කර ගනිමු. ශ්‍රී ලංකාවට කෙළවුණේ ආණ්ඩුව බිස්නස් කරන්නට යෑම නිසාය. පුද්ගලික අංශය විසින් කළයුතු බිස්නස් ආණ්ඩුවෙන් කිරීමට පටන්ගන්නේ 1970 දීය. අවසානයේදී ආණ්ඩුව රෙදිත් වික්කේය. කඩදාසිත් වික්කේය. කජුත් වික්කේය. බිජුත් වික්කේය. (මෙහිදී බිජු යනුවෙන් හඳුන්වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විකුණන බීජ වර්ගය) ආණ්ඩුව නොවික්කේ බුලත් විට සහ සුරුට්ටු පමණි. ශ්‍රී ලංකාවේ බීඩි නිෂ්පාදන අයිතිය සියතට ගැනීම සඳහා 1970 දී බලයට පත්වූ සමගි පෙරමුණු ආණ්ඩුව උත්සාහ කළ නමුදු එවකට සිටි මුදල් ඇමැති එන්. එම්. පෙරේරාගේ විරෝධය නිසා එම තැත ව්‍යර්ථ විය. හිඟන්නාගේ සිට පහළ මධ්‍යම පාන්තිකයා දක්වා බීඩි උරති. සිගරට් සඳහා වැය කිරීමට ඔවුන්ට මුදල් නැත. ලංකාවේ කසිප්පු ගහන්නේත් මේ කියන සමාජ ස්ථරයයි. එන්. එම්. පෙරේරා මෙය හඳුනාගෙන සිටියේය.
ශ්‍රී ලංකාවේ රාජ්‍යය ආයතන ලාභ ලැබීමට නම් අනුගමනය කළ යුතු ක්‍රම දෙකක් තිබේ. ඉන් එකක් නම් ආණ්ඩුව හැර සෙසු සියල්ලම පුද්ගලික අංශයට විකිණීමය. දෙවැන්න නම් එම ආයතනවලට ප්‍රාග්ධනය පොම්ප කර දක්ෂ සහ අවංක නිලධාරීන් යටතේ ලොකු ක්ෂමතාවක් සහිත ආයතන බවට පත්කිරීමය. මේ දෙකෙන් එකක්වත් හරියට කරගැනීමට මෙතෙක් බලයට පත්වූ කිසිම ආණ්ඩුවකට හැකිව නැත. අයියෝ සාමිනී යෙනකු වේනම්. (මේ කෑල්ලේ තේරුම අප දන්නේ නැත)