අයිවර් සිල්වෙස්ටර් සුනිල් පෙරේරා සහ ඌරුවරිගේ හීන් මැණිකා – (සංස්කෘතීන් දෙකක රජෙක් සහ රැජිනක්)

216

මේ රටේ සමාජ සංස්කෘතීන් දෙකක් නියෝජනය කළ රජෙක් සහ රැජිනක් පසුගිය දෙදිනකදී අභාවප‍්‍රාප්ත වූහ. රජුගේ නම උස්වත්ත ලියනගේ අයිවර් සිල්වෙස්ටර් සුනිල් පෙරේරා ය. ‘ජිප්සි සුනිල්’ යන වෙළෙඳ නාමයෙන් හැඳින්වුණු සුනිල් පෙරේරා නමක් නොව Brand එකකි. ඒ බ‍්‍රෑන්ඞ් එක අපේ සංස්කෘතියේ විවිධ ස්ථර හරහා ජන මනසට කා වැදුණු, තවත් අඩසිය වසක්වත් ජන මනස තුළ ඉතිරිව තිබීමට ඉඩ ඇති සලකුණකි. පසුගියදා අභාවයට පත් රැජින වූ කලී වැදී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ ආදරණීය බිරිඳ වූ ඌරුවරිගේ හීන් මැණිකා ය. හීන් මැණිකා යනු වන්නිලැත්තන්ගේ නෑනා කෙනෙකි. එබැවින් හීන් මැණිකාගේ මෙන්ම වන්නිලැත්තන්ගේ ද පෙළපත් නාමය ඌරුවරිගේ බවට පත්වෙයි. වැදී සමාජයේ අවාහ විවාහ සිදු කෙරෙන්නේ ඥාති කවය තුළය.

මෙය සනුහරේ ලෙස හඳුන්වනු ලැබේ. මේ සනුහරේ අය සිංහලයන් හෝ වෙනත් ජාතීන් සමග විවාහ බන්ධන සිදු නොකරති. එහෙත් මෙයට අවුරුදු 150 කට පෙර ගම්පහ විසූ හැඩි දැඩි මිනිහෙක් මිනිසුන් හතරදෙනකු මරා නැගෙනහිර පළාතේ කැලෑවකට වැද පොල්ලේබැද්ද, ඇඹිලින්න ආදී වැදි ගම්මාන තුළ රහසිගත ජීවිතයක් ගත කරන්නට පටන් ගත්තේය. පසු කාලයේදී වැදී තරුණියක සමග විවාහ වූ හෙතෙම හෝලිකේ වන්නකු තිසාහාමි ලෙසින් වැදි සමාජය තුළ ත‍්‍රාසයත් භීතියත් මුදාහරින්නට පටන් ගත්තේය. ලංකා ඉතිහාසයේ සිංහල මිනිසකු විසින් වැදී තරුණියක විවාහ කරගත් පළමු අවස්ථාව තිසාහාමි පිළිබඳ සිද්ධිය ය. මේ තිසාහාමි සහ පසු කාලයේදී වැදි නායකයා වූ තිසාහාමි සමග පටලවා නොගත යුතුය. හෝලිකේ වන්නකු තිසාහාමි පිළිබඳ සත්‍ය කතන්දර සමූහයක් දොස්තර ආර්. එල්. ස්පිට්ල් 1953 දී ලියූ Savage Sanctuary පොතේ සඳහන් ය.

අද ආදිවාසී යන අලූත් යෙදුමෙන් හඳුන්වන වැදි ජනයා වූ කලී Exotic හෙවත් අවේනික ගති ලක්ෂණ සහිත මනුෂ්‍ය කොට්ඨාසයකි. ආදිවාසී වැනි බොරු නම්බු නාම නැතත් වැද්දා යන යෙදුම ගෞරව සම්ප‍්‍රයුක්තව පිළිගැනීමට ඔවුහු සූදානම් ය. ආදිවාසී නම්බු නාමය හරියටම වල් අලියාට වන අලියා කීම වැනි වැඩකි. වල් යනු වලත්තකම ලෙස අර්ථකථනය කරනු ලැබේ. වන සතුන් වලත්ත නැති අතර වලත්ත වන්නෝ මිනිස්සු ය. වල් යනු වනයට යොදන තවත් නමකි. වල් අලියා දිගින් දිගටම පිරිපහදු කිරීමට අවශ්‍ය නම් ඒ සතාගේ නම මාරු කිරීමෙන් පමණක් නොවැළකී ඌට ජංගි ද ඇන්දවිය යුතුය. එය අතුරු කතාවකි. නැවතත් අපේ මාතෘකාවට බසිමු. ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා යනු නිරන්තර විවේචනයට ද අප‍්‍රමාණ ආදරයට ද භාජනය වූ මිනිසෙකි. මේ රටේ අද පවත්නා ජනප‍්‍රිය සංස්කෘතියේ සමාරම්භකයෝ ඒ මිනිස්සුය. ජිප්සී සුනිල් ගේ නිර්මාණාත්මක වටිනාකම් පිළිබඳ මේ මොහොතේදී මහත් ඉහළින් සාකච්ඡුා කරනු ලැබේ. මේ රට සමහර මිනිස්සුන්ට මැරෙන තුරුම ගහයි. නැත්නම් මැරෙන්නටම ගහයි. මරණයෙන් පසු ඒ මිනිහාගේ ගුණ ගී තනු යොදා ගායනා කර විකුණයි. මේ රටේ කුහකයෝ මේ ටිකම ජෝතිපාලටත් කළහ. එම්. එස්. ප‍්‍රනාන්දුටත් කළහ. පොදුජන හදවතේ රජෙකු ලෙස ජීවත් වූ සුනිල් පෙරේරා මරණයෙන් පසු මේ රටේ ඉහළ සංස්කෘතික තලය තුළද රාජ කුමාරයකු ලෙස කල්ගත කිරීමට පටන් ගන්නවා ඇත.

වැදි ජනතාවගේ රජතුමා වූ ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ හීන් මැණිකා වැදී සමාජය තුළ බිසවකි. කුවේනියගේ දරුවන් වූ ජීවහත්ත සහ දිසාලාගෙන් පැවත එන්නේ යැයි කියන එකී සුවිශේෂ ජන සමාජය හීන් මැණිකාට සලකන ලද්දේ මහත් සේ ගරු කටයුතු ලෙසය. හීන් මැණිකා දූ දරුවන් නවයක් වැදුවාය. රාජකීය සමාජයක් තුළ නම් මේ දරුවෝ කුමාරිකාවෝ සහ කුමාරයෝ වෙති. වැදී සමාජයේ ස්වරූපය පිළිබඳ හැදෑරීමට සුනිල් පෙරේරාට ඉමහත් වුවමනාවක් තිබිණ. ස්වකීය හැදෑරීම හරහා ගීතයක් ලිවීමට සිය මලණුවන් වූ පියල් පෙරේරා උනන්දු වූ බව සුනිල්, පුවත්පත් සාකච්ඡුාවකදී පවසා තිබිණ. ඕයේ ඔජායේ ගීතය එහි ප‍්‍රතිඵලයකි.

එය සමාජගත කළ අවස්ථාවේදී මහත් සේ ජනප‍්‍රිය විය. මේ නිසා ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික පොලිසිය ලෙස හැඳින්විය හැකි සම්භාවනීය කලාකරුවෝ සංත‍්‍රාසයට පත්ව සුනිල්ටත් ඔහුගේ ගීත වලටත් හතර අතේ නෙළන්නට පටන් ගත්හ. සුනිල් සිය ජිප්සීස් සංගීත කණ්ඩායම සමග ගායනා කළ පාවෙන පීරිසියක් උඩ නැගලා සහ ලූණු දෙහි යන ගීත ශ‍්‍රී ලංකාවේ ජන සමාජයේ පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් ගමන් කළ නිර්මාණ වෙති. සම්භාවනීය කලාකරුවන් සුනිල්ට දිගට හරහට පහර දුන් නමුත් සුනිල් කවදාවත් සම්භාවනීය යැයි කියන කලාව විවේචනය කළේ නැත. හැබැයි ඔහු නිතරම මේ රටේ සමාජය විවේචනය කළේය. ඔහුගේ සමාජ කියවීමෙහි ඇතැම් තැන් මේවන විටත් සැබෑ වීමට පටන්ගෙන තිබේ. අප ඒවා ගැන වැඩිදුර සාකච්ඡුා නොකරන්නේ මේ රටේ සංස්කෘතික පොලිසිය අප අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බැවිනි.

ඇමෙරිකාව තුළ සුදු කළු භේදය අදටත් ගිනි දැල්ලක් මෙන් විටින් විට ඉස්මතු වෙයි. ඒ රට විසින් කළු ජාතික විශිෂ්ට ගායක ගායිකාවන් රැුසක් බිහිකර ඇත. 1901 උපන් ලූවී ආම්ස්ට්‍රෝන්ග් සහ 1958 උපන් මයිකල් ජැක්සන් එවැනි දෙදෙනෙකි. ලූවී ආම්ස්ට්‍රෝන්ග් ගායකයකු මෙන්ම ට‍්‍රම්පට් වාදකයෙක් ද විය. මයිකල් ජැක්සන් ගායකයකු මෙන්ම කදිම රඟන්නකු ද විය. ඔහුගේ රැඟුම්වල ඇතැම් කොටස් සඳහා පේටන්ට් බල පත‍්‍රද තිබේ. ඒ ගායක ගායිකාවන් සිංදු කියන විට ඇමෙරිකානුවෝ වර්ණ භේදය අමතක කර තමන් සුදුදු කළුද යන්න නොතකා එක ගොඬේ නැටූහ. ලූවී ආම්ස්ට්‍රෝන්ග් 1971 දී මියගිය අතර ඔහු භූමදානය කළ දිනය ජාතික ශෝක දිනයක් බවට පත්විය. අප මේ ටික ලිව්වේ නිකමටය. කෙසේ හෝ වේවා ඌරුවරිගේ මහා රැුජිනත් සංගීත ලොවේ රජුත් මියයන්නේ කොවිඞ් නමැති පොදු සාධකය නිසාය. අප ඉදිරිපිට ඇති ලොකුම සිද්ධිය සහ සිදුවන බව අප හොඳින්ම දන්නා සිද්ධිය මරණයයි. අප නොදන්නේ එය සිදුවන ඬේට් එක පමණි.

advertistmentadvertistment