උස්බෙකිස්තානයේදී පැවැති 5 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේදී ශ්‍රී ලංකාවේ පදක්කම් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ නංවමින් මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට අඹගමුව මහා විද්‍යාලයේ අයෝමාල් අකලංක ඊයේ (30 වැනිදා) සමත් වූයේය.
අදාළ ඉසව්වෙන් තත්පර 51.40 ක දක්ෂතාවක් දක්වමින් අයෝමාල් එම පදක්කම දිනාගත් අතර පෙරේදා (29 වැනිදා) දිනයේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට නිළුපුල් පැහැසර සහ කසුනි නිර්මලි දෙදෙනා සමත්ව සිටියහ.
මෙවර තරගාවලියේ පළමු පදක්කම ලෙස රිටි පැනීමේ ක්‍රීඩක තුෂේන් සිල්වා පසුගිය බ්‍රහස්පතින්දා රිදී පදක්කමක් ජයග්‍රහණය කළ අතර එම පදක්කම වසර 72 කට පසුව රිටි පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ජයග්‍රහණයේ සංකේතයක් විය.
ඒ අනුව මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් හිමි වූ අතර අවසන් වරට කුවෙට් හිදී 2022 වසරේ පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමි විය.
එහිදී පදක්කමක් දිනාගත් උස පැනීමේ ක්‍රීඩක ලෙසඳු අර්ථවිදුට මෙවර හිමිවූයේ 5 වැනි ස්ථානය වූ අතර මෙවර මීටර් 800 න් ලෝකඩ පදක්කම දිනා දුන් කසුනි පසුගිය වසරේ පැවති තරගාවලියේ දී මීටර් 1500 ඉසව්වෙන් පදක්කමක් ජයග්‍රහණය කළාය.
නිළුපුල් පැහැසර දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ද, කසුනි නිර්මලී ගම්පහ වික්‍රමබාහු ජාතික පාසලේද, තුෂේන් සිල්වා මීගමුව මාරිස්ටෙලා විදුහලේද ඉගෙනුම ලබති.