අරක්කු ස්ටිකරයෙනුත් තදට වදින හැඩ… ගරු ජනාධිපතිතුමන්ගේ දැඩි අවධානය පිණිසයි

669

* ටෙන්ඩරය අසාදු ලේඛනගත කොම්පැනියකට


මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යෑම සඳහා, මේ රටේ මූල්‍ය විනය කඩකළ දූෂිත යැයි චෝදනා ලද සමාගමක් වෙත ලබා දී තිබූ අවසරය, ජනාධිපති මැදිහත් වී අවලංගු කර දැම්මේ මේ නොබෝදා ය. මුලින්ම එම සමාගම වෙත අදාළ අවසරය ලබා දී තිබුණේ යහපාලන ආණ්ඩුවයි. ආණ්ඩු මාරුවෙන් පසුව යළිත් එම නිෂ්පාදනාගාරය ආරම්භ කිරීමේ කටයුත්තේ වගකීම වත්මන් ආණ්ඩුව වෙත ලබාදීමට සුරාබදු නිලධාරීන් හා ඇතැම් මුදල් අමාත්‍යංශ නිලධාරීන් දරන ලද උත්සාහයක් ජනාධිපතිවරයාගේ එම තීන්දුවත් සමඟම ව්‍යර්ථ වී ගියේය.
 
 දැන් අප මේ කියන්නට යන දෙවැනි සුරාබදු කතාවේ ආදි කර්තෘවරයෝ ද යහපාලන ආණ්ඩුවයි. මේ රටේ අලෙවි කරන සියලූම මත්පැන් බෝතල් ඒකක (අරක්කු, බෝතල් රා සහ බියර්) සඳහා ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමට යෝජනාවක් ගෙන ආ යහපාලන ආණ්ඩුව එම ස්ටිකරය මුද්‍රණය කිරීමේ කටයුත්ත එදා භාර කළේ මැඞ්රාස් සිකියුරිටි ප‍්‍රින්ටර්ස් (MSP) නම් කුප‍්‍රකට ඉන්දියානු සමාගමකටය. විවිධ වූ චෝදනා හා දුර්වලතා හමුවේ එදා එම ව්‍යාපෘතිය අසාර්ථක විය. එහෙත් ඒ ව්‍යාපෘතියේ ආදි කර්තෘවරු නැවත නැවතත් ක‍්‍රියාත්මක වෙමින් මේ ආණ්ඩුව හරහා ද එම ව්‍යාපෘතිය ඒ අයුරින්ම ක‍්‍රියාවට නගන්නට බරපතළ උත්සාහයක් ගෙන ඇත.
 
 ජනාධිපතිතුමනි… මේ එම උත්සාහය පිළිබඳ කතාන්දරයයි.
 
 ලංකාවේ නිපදවිය හැකි සෑම නිෂ්පාදනයක්ම මේ රටේ නිපදවමින් දේශීය මුදල් රට තුළ ආරක්ෂා කරගන්නට වෙහෙසන ඔබගේම ආණ්ඩුව තුළ රුපියල් මිලියන 64ක පමණ මුදලක් මාසිකව ඉන්දියානු කුප‍්‍රකට සමාගමක් වෙත ලබා දෙන්නට නිලධාරීන් පිඹුරුපත් සකසන මේ දූෂිත ගනුදෙනුවේ ඇතුලාන්තයත් විමසා බලන්න. මත්පැන් නිෂ්පාදනය හා අලෙවිය යනු අපේ රටේ අති විශාල මුදල් සම්භාරයක් වාර්ෂිකව බදු ආදායම ලෙස රජයට ලබා දෙන සුවිසල් කර්මාන්තයක් බව මම අමුතුවෙන් කියාදිය යුතු නොවේ. වාර්ෂිකව ඉන් ලැබෙන බදු ආදායම රුපියල් බිලියන 120ක් පමණ වන බව කියති. ඒ කෙසේ වෙතත් අද මේ කර්මාන්තයම විශාල අභියෝගයකට හා අවදානමකට මුහුණ පා ඇත්තේ නීත්‍යානුකූල නොවන මාර්ග වලින් පැමිණෙන මත්පැන් ආදේශන වෙළඳපළ ආක‍්‍රමණය කරන්නට පටන්ගෙන තිබීම නිසාය. ප‍්‍රමිතිගත නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදන වෙළඳපොළේ රාක්ක මත විකුණන්නට තබා ඇතුවා සේම, බදු නොගෙවා වංචනික ලෙස වෙළෙද පොළට එවන මත්පැන් ආදේශන ද ඒ සමගම අලෙවියට තබා ඇත. මේ ගැටලූව හමුවේ නිත්‍යානුකූල මත්පැන් හා හොර මත්පැන් වෙනස තෝරාගත නොහැකිව මත් පාරිභෝගිකයා ද මහත් උභතෝකෝටිකයකය. (මේවා වෙළඳ පොළට පැමිණෙන්නේ කෙසේද කියා වෙනම අධ්‍යයනය කළ යුතුය)
 
 * නීති විරෝධී මත්පැන් යනු..?
 
 නීති විරෝධී මත්පැන් කී පමණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ ගමේ ගොඬේ සාම්ප‍්‍රදායිකව පෙරන ලද ‘‘රා” සහ ‘‘කසිප්පු’’ වැනි දෑ ය. ඒවා ද මෙම කර්මාන්තයේ ලොකු කොටසක් ආවරණය කරන බව සැබෑය. එහෙත් මෙහිදී නීති විරෝධී නොවන මත්පැන් ලෙස ගැනෙන්නේ ඒවාට වඩා නීත්‍යනුකූල මත්පැන් නිෂ්පාදකයන් විසින්ම නිපදවා සුරාබදු නිලධාරීන්ගේ ද සහය ඇතිව හෝ නැතිව තම තමන්ගේම වෙළඳසැල හරහා වෙළදපොළට එවා අලෙවි කර දමන මත්පැන් ගැන ය. ඒවා අරක්කුද බෝතල් රා ද බියර් ද කියා වෙනසක් නැත.
 
 දැනට මත්පැන් නිෂ්පාදන කර්මාන්තයේ නිරතව සිටින නිෂ්පාදකයින් 25 දෙනාගෙන් වැඩිදෙනෙකුට තමන්ගේ ම ය කියා මත්පැන් අලෙවි සැල් ඇති බැවින් මේ කටයුත්ත කරගෙන යෑම වඩාත් පහසුය. වෙළඳපොළේ ඇති මත්පැන් වලින් 40% පමණ අද ඇත්තේ එබඳු මත්පැන් යයි කියන්නේ අප නොවේ, ඒ පිළිබඳ හැදෑරීම් කරන උගතුන් හා පර්යේෂකයන් ය. ඔවුන්ගේ හැදෑරීම් වලට අනුව මේ හොර මත්පැන් නිසා වසරකට අහිමි වන බදු මුදල පමණක් රුපියල් බිලියන 80 ක් පමණය. මෙම තත්ත්වය හමුවේ නීති විරෝධී මත්පැන් වෙළඳපොළට පැමිණීම වළක්වන්නේ කෙසේ දැයි කල්පනා කළ පසුගිය රජයන් ඒ සඳහා නොයෙකුත් උපායන් සොයන්නට වූහ. 2016 වසරේ දී එවකට පැවැති යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමැති මංගල සමරවීර මත්පැන් බෝතල් මූඩිය මත ‘‘ආරක්ෂිත ස්ටිකරයක්” ඇලවීමේ යෝජනාව ගෙන එන්නේ මේ අභියෝගය ජය ගැනීම සඳහා ය. රජය වෙනුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුව යම් බදු මුදලක් ලබාගෙන මත්පැන් නිෂ්පාදකයන් වෙත ස්ටිකරයක් ලබාදෙයි. නිෂ්පාදකයා එම ස්ටිකරය තම නිෂ්පාදනයේ මූඩිය මත ඇලවිය යුතුය. යෝජනාව හොඳය. මේ තුළින් සමාජයේ අලෙවි වන මත්පැන් ඒකක ප‍්‍රමාණය නිවැරදිව ගණනය කිරීමේ හැකියාව රජයට හිමිවෙයි. අනිත් අතට බදු ආදායම පිළිබඳ නිවැරදි තක්සේරුවක් ද ඇත.
 
 ඒ අනුව මෙම ආරක්ෂිත ස්ටිකරය ඇලවීම මත සෘජුවම රජය බලාපොරොත්තු වූ ප‍්‍රධාන අරමුණු දෙකක් විය.
 
 1. නීති විරෝධී මත්පැන් සමාජගත වීම වැළැක්වීම.
 
 2. නීති විරෝධී මත්පැන් නිසා රජයට අහිමිවන බදු ආදායම අයකර ගැනීම.
 
 කොතරම් සුබවාදී අරමුණු මත මෙම ව්‍යාපෘතිය සැලසුම් කළත් පටන් ගන්නටත් කලින් එය අසාර්ථක වී ගියේය. ඊට ප‍්‍රධානම හේතුව එම ස්ටිකරය නිෂ්පාදනාගාර වලදී බෝතල් මත ඇලවීමට මත්පැන් නිෂ්පාදකයෝ අකමැති වීමයි. මත්පැන් බෝතල් මත ස්ටිකරය ඇලවීම නිෂ්පාදන ක‍්‍රියාවලිය අවසානයේ සිදුවිය යුතුයැයි අදාළ බලධාරීන් යෝජනා කළත් එය මත්පැන් නිෂ්පාදනාගාර වල නිෂ්පාදන වේගය නිසා ප‍්‍රායෝගිකව ඉටුකරගන්නට ක‍්‍රමවේදයක් නොවීය. ස්ටිකරය යාන්ත‍්‍රිකව ඇලවීම අතුරු ප‍්‍රශ්න ගණනාවක් නිර්මාණය කරන හේතුවක් විය. මිනිස් ශ‍්‍රමය මත ස්ටිකර් ඇලවීම ප‍්‍රායෝගික නොවීය.
 
 * ටෙන්ඩරය දූෂිත ඉන්දියානු සමාගමට..?
 
 එහෙත් එම කටයුත්ත නිෂ්පාදනාගාරවල දී කළ හැකිද නොහැකිද යන කාරණය පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් වත් නොකර නිලධාරීහු කඩිනමින් ටෙන්ඩර් කැඳවා ලොව පුරා මෙබඳු ගනුදෙනු සම්බන්ධයෙන් කළු පැල්ලම් සහිත අපකීර්තිමත් ඉතිහාසයක් ඇති ඉන්දියානු සමාගමක් වෙත ටෙන්ඩරය ලබා දෙන්නට යුහුසුළු වූහ. ස්ටිකරය මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවූ යහපාලන ආණ්ඩුවේ සුරාබදු තාක්ෂණ කමිටුව ඉන්දියානු (MSP) සමාගමට මෙම ටෙන්ඩරය ලබාදීමට එකහෙළාම තීන්දු කළේ රාජ්‍ය මුද්‍රණ සංස්ථාව ඇතුළු එවැනි මුද්‍රණ තාක්ෂණ හැකියාව ඇති දේශීය මුද්‍රණ සමාගම් ගණනාවක්ම එම ටෙන්ඩරය සඳහා ඉල්ලූම් කර තිබූ පරිසරයක ය.
 
 madras security printers යනුවෙන් හැඳින්වෙන මෙම සමාගම කවුරුත් කෙටියෙන් හඳුන්වනු ලැබුවේ එම්. එස්. පී (MSP) සමාගම කියා ය. අනතුරුව 2018 සැප්තැම්බර් 21 වැනිදා මුදල් අමාත්‍යාංශයත් සුරාබදු දෙපාර්තමේන්තුවත් එම්.එස්.පී. සමාගමත් මේ සඳහා වසර පහකට ත්‍රෛයි පාර්ශ්වික ගිවිසුමක් අත්සන් කරනු ලැබූහ.
 
 අදාළ ටෙන්ඩරය එම සමාගම වෙත ලබා දෙන විට සියලූ වාසි ප‍්‍රයෝජන ලබා ගත් නිලධාරීන් සමාගමට වාසි වනසේ රටට අවාසිදායක කොන්දේසි ගණනාවක්ම මේ ගිවිසුමට ඇතුළත් කරන්න ට අමතක නොකළහ. ස්ටිකර් 1000ක් මුද්‍රණය කරදීම සඳහා මෙම සමාගම මුලදි තැබූ ලංසුව වූ ඩොලර් 3.19ක් වුවත් දෙවන වර ඉදිරිපත් කරන ලද ලංසුවේදී එය ඩොලර් 5.99ක් දක්වා ඉහළ නංවා තිබිණි. ස්ටිකරයකට මත්පැන් නිෂ්පාදකයින් ගෙවිය යුතු මිල රුපියල් 2කි. මාසිකව අපේ රටේ මත්පැන් නිෂ්පාදන ඒකක මිලියන 32ක් අලෙවි වනවා යැයි ගණන් බලා මසකට රුපියල් මිලියන 64 ක (32ං2=64) අනිවාර්ය ගෙවීමකට යටත්ව ස්ටිකර් මිලියන 32ක් ලබා ගැනීම කොන්දේසියකි. අද වනවිට රටේ මාසික අළෙවිය ඒකක මිලියන 32ක් නොව, 40 කට ආසන්නය. එසේනම් (MSP) සමාගමට ගෙවිය යුතු මිල රුපියල් මිලියන 80 ට ආසන්නය. යම් හෙයකින් මසකදී ලබා ගන්නා ස්ටිකර් ප‍්‍රමාණය මිලියන 32 ට වඩා අඩු වුවහොත් එම අවම ප‍්‍රමාණය දක්වා වන වියදම ඩොලර් වලින් ගෙවීමටද මේ ගිවිසුම තුළ එකඟතාවක් ඇති කර ගෙන තිබිණි.
 
 මත්පැන් නිෂ්පාදන මත ස්ටිකරය ඇලවීම අවුල් සහගත නම් මුද්‍රිත ස්ටිකරය වෙනුවට ඩිජිටල් තාක්ෂණ ක‍්‍රමවේදයක් (direct marking system) හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව යෝජනා කළේය. මේ තුළින් ස්ටිකරයේ අඩංගු කරුණු ඩිජිටල් කේතයකින් මත්පැන් නිෂ්පාදන මත මුද්‍රණය කිරීම ඔවුන්ගේ යෝජනාව විය. සුරාබදු දෙපාර්තමේන්තුව යෝජනා කළේ එම කටයුත්ත ද එම් එස් පී සමාගම හරහා ඉටු කර ගැනීමටයි. ඩිජිටල් කේතය මුද්‍රණය කිරීම වියදම් සහිත කාර්යයක් නොවූවත් ඉහත ස්ටිකරයේ මිලටම මෙම කේතය ද එම සමාගම හරහා මුද්‍රණය කර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කළේ කුමන ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය යටතේ ද යන්න සැක සහිතය.
 
 ලොකු භාරදූර කටයුත්තක් කරවා ගැනීමට අනුමත වූ මිල ගණන් යටතේ ඊට වඩා වගකීමෙන් අඩු සැහැල්ලූ කටයුත්තක් කරවා ගැනීම බරපතළ මූල්‍ය වරදක් බව දැන සිටි අයෙක් ද මේ අතර විය. ඒ නව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතාය. ඔහු තම ඇඟ බේරා ගැනීමටදෝ 2021 ජනවාරි 19 දාතමින් යුතු ව මුදල් අමාත්‍යාංශයේ ආර්ථික හා ප‍්‍රතිපත්ති සංවර්ධන ඒකකය වෙත ලිපියක් යවමින් කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.
 
 මත්පැන් වලට ආරක්ෂාවක් සැපයීමට ප‍්‍රමිතියක් හැදීමට හා පාරිභෝගිකයාට විශ්වාසයක් ලබාදීමට ආරක්ෂිත ස්ටිකරයක් පැළැන්දීම හොඳ යෝජනාවකි. එහෙත් යෝජනාව හොඳ වන්නේ ස්ටිකරය ඉහළ තාක්ෂණයෙන් හා ප‍්‍රමිතියෙන් අනූන වුවහොත් පමණි. වෙනත් මුද්‍රණාලයක හොරට මුද්‍රණය කළ නොහැකි සේ රහසිගත මුද්‍රණ තාක්ෂණයක් හා ඒ සඳහා විශේෂ ඞී. එන්. ඒ. වලින් යුතු තීන්ත වර්ගයක්, විශේෂිත කඩදාසියක් භාවිතය මේ සඳහා ලොව පිළිගත් ක‍්‍රමවේදයයි. (එබඳු ස්ටිකර් මුද්‍රණය කර දෙන ලොව පිළිගත් කීර්තිමත් මුද්‍රණකරුවන් ද බොහෝය)
 
 ඒ සඳහා යෝජිත එම් එස් පී සමාගම සතු ශක්‍යතාව කුමක්ද..? ඔවුන් එවන් භාරදූර කර්තව්‍යයක් ඉටු කර ඇතැයි කියා ආදර්ශ හා උදාහරණ සපයන ලොව ව්‍යාපෘති මොනවාද? මේ පිළිබඳව උනන්දුවක් දක්වන උගතුන්ගේ මතය වන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දක්වා ඇති සැලකිල්ල ප‍්‍රමාණවත් නොවන බවයි. දැන් අපි විමසා බැලිය යුතු ව ඇත්තේ ඒ ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් මේ සා විශාල විශ්වාසයකින් යුතුව වගකීම භාර දුන් මැඞ්රාස් සිකියුරිටි පි‍්‍රන්ටර්ස් හෙවත් එම් එස් පී සමාගමේ කැරැක්ටරය ලියවුණු තෝම්බුව පිළිබඳවයි. මෙම සමාගම වූ කලී ලෝකයේ ආරක්ෂක ලියවිලි මුද්‍රණය සම්බන්ධයෙන් සුප‍්‍රකට නමක් දිනූ සමාගමක් නොව, කුප‍්‍රකට නමක් දිනූ, පාස්පෝට් මුද්‍රණ මගඩියක් නිසා ඉන්දියාවේ පවා අසාදු ලේඛනගත වූ සමාගමකි. දූෂිත ටෙන්ඩර් මගඩි බොහොමයකට මැදිවූ සමාගමක් ලෙස ද වාර්තා වී තිබේ. මෙම සමාගම වරක් කෙන්යාවේ මත්පැන් බෝතල් සඳහාද මෙබඳු ආරක්ෂිත ස්ටිකරයක් සැපයීමේ ඇනවුම් භාරගෙන තිබී ඇත. එම ව්‍යාපෘතිය හරහා ඔවුන් විසින් සපයන ලද ආරක්ෂක ස්ටිකර වල නිර්දේශිත ආරක්ෂක උපක‍්‍රම කිසිවක් අන්තර්ගත ව තිබී නැත. එය නිකම්ම නිකන් සළකුණක් මුද්‍රණය කළ ස්ටිකරයක් පමණක්ම වූ බව බුද්ධික පතිරණ හෙළි කළේය.
 
 මේ හේතුව නිසා එම සමාගම සමඟ ගනුදෙනු කළ කෙන්යාවේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ (kenya beauro of standers) ප‍්‍රධානියා ඔන්ගාවෝ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ 17කට සිරගත වන්නට සිදු වූ බව වාර්තා විය. එම් එස් පී සමාගමේ අධ්‍යක්ෂ ප‍්‍රතාප් සිං මහතාද සිරගත කර ඇත. එමෙන් ම මෙම සමාගම විසින් මුද්‍රණය කරන ලද ස්ටිකර වලින් එක් කොටසක් රජයට ලබා දෙන විට තවත් කොටසක් අදාළ දූෂිත මත්පැන් නිෂ්පාදකයන්ට ලබා දෙන්නට ද නිර්ලෝභී වී ඇති බවද හෙළිදරව් විය. එවන් සමාගමක් අපේ රටේ කටයුතු කරද්දී කුමක් නො කරයි ද යන සැකය අපටද නැතුවා නො වේ. කෙන්යාවේ මෙම දූෂණය සම්බන්ධයෙන් අන්තර්ජාලය තුළින් ලබාගත් මාධ්‍ය වාර්තා හා තොරතුරු බොහෝමයක් වෙති.
 
 දකුණු දිග සුඩානයේ දී ද ලයිබීරියාවේ දී ද මෙම සමාගම විසින් කරන ලද තවත් දූෂිත ගනුදෙනු ගණනාවක් සම්බන්ධයෙන් ද මේ වන විටත් තොරතුරු ලැබී තිබේ. යහපාලන ආණ්ඩුව මෙම ගනුදෙනුවට සම්බන්ධ කරගෙන තිබුණේ එවන් දූෂිත සමාගමකි. එම ආණ්ඩුවේ දූෂණ අක‍්‍රමිකතා පිටු දකින්නට පැමිණි වත්මන් ආණ්ඩුව ද එම දූෂිත සමාගම ම වැළඳ ගැනීම කවර නම් සරදමක්ද.
 
 
 * කැලේ මාරුවිය – පුල්ලි මාරු නො වීය..?
 
 යහපාලන ආණ්ඩුවේ මත්පැන් ස්ටිකර් ව්‍යාපෘතිය එහෙම පිටින්ම අසාර්ථක විය. ආණ්ඩුව වෙනස් විය. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු පෙරමුණු ආණ්ඩුව බලයට පත්විය. එහෙත් සුපුරුදු ව්‍යාපෘතිය අතහැර අපේක්ෂාභංගත්වයට පත් වන්නට සුරාබදු දෙපාර්තමේන්තුවේ හා මුදල් අමාත්‍යංශයේ අදාළ නිලධාරීන් කණ්ඩායම සූදානම් වූයේ නැත. ඔවුන් ඒ යෝජනා ඒ ආකාරයටම මේ ආණ්ඩුව හරහා ද ක‍්‍රියාත්මක කරන්නට අවශ්‍ය පිඹුරුපත් සකසනු ලැබීය. අවසානයේ මත්පැන් ස්ටිකර් ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුවේ ව්‍යාපෘතියක් බවට පත් විය. රටේ ධනය අනවශ්‍ය පරිදි පිටරටවලට ඇදීයාම වළක්වන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ තරම් ප‍්‍රයත්න දරන සමයක ඊට සපුරාම පටහැනි මේ ගනුදෙනුව අගමැතිතුමාටද කොලේ වසා කරවන්නට තරම් මේ නිලධාරීන් සමත්ව ඇති අන්දම බලන්න. මෙම ව්‍යාපෘතිය ඉන්දියානු සමාගමකට දීම හා එය කඩිමුඩියේ ක‍්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් වර්තමානයේ සුරාබදු දෙපාර්තමේන්තුව හා එහි කොමසාරිස් ජනරාල්වරයා සිටින්නේ ඉතා දැඩි ප‍්‍රතිපත්තියකය. මත්පැන් නිෂ්පාදන මත අලවන ආරක්ෂිත ස්ටිකරය හෝ ඩිජිටල් කේතය ඉහත කී කුප‍්‍රකට එම් එස් පී (MSP) සමාගම හරහාම මුද්‍රණය කරවා ගැනීම ඔවුන්ගේ ඒකායන අභිප‍්‍රායයි. මෙතරම් ප‍්‍රශ්න තිබියදීත් එම උත්සාහය අත් නොහරින සුරාබදු කොමසාරිස්වරයාගෙන් මේ රටේ ජනතාව ඇසිය යුතු ප‍්‍රශ්න ගණනාවක් ද තිබේ. ඒ අතරින් කිහිපයක් අප මෙසේ පෙළ ගස්වන්නට කැමැත්තෙමු.
 
 * සුරාබදු කොමසාරිස්ට ප‍්‍රශ්නපත‍්‍රයක්…
 
 සුරාබදු කොමසාරිස් තුමනි. මෙබඳු ආරක්ෂිත ස්ටිකරයක් අප රටේ අධිවේගී මත්පැන් නිෂ්පාදනාගාර වලදී බෝතල් වල ඇලවීමට හැකිද නොහැකිද යන්න ගැන ශක්‍යතා වාර්තාවක් ගෙන නිසි සොයා බැලීමක් නොකර, මාසිකව රුපියල් මිලියන 64 ක මුදල් සම්භාරයක් ඉන්දියාවට ගෙවා අනිවාර්යෙන් මිලදී ගන්නා පදනම මත කොන්ත‍්‍රාත්තුව අත්සන් කර ඇත්තේ පසුගිය රජයයි. මේ ගනුදෙනුව සමග ඔබගේ සම්බන්ධය කුමක්ද..? නො එසේනම් ඔබට සිදුවී ඇත්තේ අනුන්ගේ පවකට කර ගැසීමටද…?
 
 සුරාබදු කොමසාරිස් තුමනි… මෙම ඉන්දියානු සමාගම ඉන්දියාවේ දී අසාදු ලේඛන ගත වී ඇති බවට ලිඛිත සාක්ෂි ඇතත්, කෙන්යාව වැනි රටවල් කිහිපයක දී මෙම සමාගම විවිධ අක‍්‍රමිකතා වලට හසුවී වංචනික දුෂිත සමාගමක් ලෙස තහවුරු වී ඇතත්, ඒ පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වල පළවූ කොතෙකුත් වාර්තා ඇතත් ඒ කිසිවක් නොදන්නා සේ (MSP) සමාගම වෙත සුදුහුණු ගාන්නට ඔබ ඉදිරිපත් වී ඇත්තේ කැමැත්තෙන් නොවන බව පැහැදිලිය. එසේ නම් ඒ කාගේ හෝ බලපෑමක් නිසාද…?
 
 එම සමාගම ඉන්දියාවේ දී අසාදු ලේඛන ගතව නැති බවට ප‍්‍රකාශයක් සමාගම විසින්ම කරන බවට ඔබ යම් යම් තැන්වල දැනුම් දී ඇතත් තවමත් එම සමාගම එබඳු ප‍්‍රකාශනයක් හෝ නිවේදනයක් නිකුත් කර නැත්තේ කුමක් නිසාද..?
 
 මේ ආදී කවර ප‍්‍රශ්නයක් මතුවූවත් ඔබ ඔබගේ හිතු මනාපයේ මෙම ටෙන්ඩරය (MSP) සමාගම වෙත දුන්නේ යයි සිතමු. ශ‍්‍රී ලංකා රජය එම සමාගම සමග මේ පිළිබඳව යම්කිසි ගිවිසුමකින් බැඳුණේ නම් ඒ බැඳී ඇත්තේ මත්පැන් නිෂ්පාදන මත ඇලවීමේ ආරක්ෂිත ස්ටිකරයක් මුද්‍රණය කිරීම සඳහාය. එම ස්ටිකරය මුද්‍රණය කිරීම සඳහා නියමිත වූ මිලටම මත්පැන් නිමැවුම් (බෝතල) මත (digital) ඩිජිටල් කේතය මුද්‍රණය කිරීමට ඔබ අවසර දී ඇත්තේ කෙසේද..?
 
 ස්ටිකරය හෝ ඩිජිටල් කේතය මුද්‍රණය කිරීමේදී මෙම සමාගම අදාළ ප‍්‍රමිතීන්, ඞී එන් ඒ සහිත තීන්ත, ආරක්ෂිත කඩදාසි ආදී සියලූ දේ ප‍්‍රයෝජනයට නිසැකවම ගනීවි දැයි අපට ඇති සහතිකය කුමක්ද..? නොඑසේ නම්, මෙම සමාගම කෙන්යාවේදී කරන ලද වංචාව ශ‍්‍රී ලංකාවේදී නොකරනු ඇතැයි කියා ඔබ උපකල්පනය කරන්නේ කෙසේද..?
 
 අවසාන වශයෙන් අප ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු කරන්නේ මේ මොහොතේ ඔබතුමන්ගේ රජය යටතේ වගකිවයුතු රාජ්‍ය නිලධාරියකු ලෙස සේවය කරන සුරාබදු කොමසාරිස්තුමා මහජනතාව තුළින් නැගෙන සාධාරණ ප‍්‍රශ්නවලට ලබාදෙන සාධාරණ පිළිතුරු කෙරෙහිය.

advertistmentadvertistment
advertistmentadvertistment