‘අරගලයට’ අනතුරු ඇඟවීමක්!

283

පොහොට්ටුවට ගැලපෙනම ජනාධිපතිවරයකු ලැබී ඇත. පොහොට්ටුවේ තේරීම එම පක්ෂය පැත්තෙන් බැලූවිට අද්විතීයය. පොහොට්ටුවේ තේරීම නිවැරදිය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කළ හැකිව තිබූ තර්ජනය වික්‍රමසිංහ පාර්ලිමේන්තුව තුළම කළේය. හදිසි නිතිය පැනවීම, ආරක්ෂක හමුදා කැඳවීම සහ නව අරගලයක් පොඩිපට්ටම් කර දැමීම සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීම වික්‍රමසිංහ ජනාධිපතිවරයා දේශපාලන-ආර්ථික-සමාජීය ස්ථාවරත්වය ඉලක්ක කර කළ ප්‍රකාශයක් ලෙස අවධාරණය කළ යුතුය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නොවැම්බර් 22දා පැවැත්වූ අය වැය දෙවන වර කියවීමේ ඡන්දය ඉතා පහසුවෙන් ජයගත්තේය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂය) බලයෙන් බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. එලෙසම 2023 අයවැය සම්බන්ධයෙන් දෙසැම්බර් 08 වන දින පැවැත්වීමට නියමිත කාරක සභා අවස්ථාවේ ඡන්දය ද කිසිදු අපහසුවක් නොමැතිව ජයග්‍රහණය කරනු ඇත.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොහොට්ටු පක්ෂය අතර ප්‍රශ්න ඇත. නමුත් කුමන තත්ත්වයක් යටතේ වුවද වික්‍රමසිංහ-රාජපක්ෂ දේශපාලන දීගය ක්‍රියාත්මක විය යුතු බව දෙපාර්ශ්වයම තීරණය කර ඇත.

පොහොට්ටු පක්ෂයේ බලවතා වන බැසිල් රාජපක්ෂට නොවැම්බර් 20 දින උදෑසන ලංකාවට නැවත පැමිණීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී තරු පහේ පිළිගැනීමක් ලැබීම අවධාරණය කළේ එම බැඳීමයි. වික්‍රමසිංහ ජනාධිපතිවරයා දෙවන අරගලයට නැතහොත් ජනතා පිබිදීමකට එරෙහිව මැති සබයේදී නොවැම්බර් 23 වැනි දින කළ අනතුරු ඇඟවීම පොහොට්ටු පක්ෂයේ ශක්තිය පදනම මත කළ ප්‍රකාශයකි.

අනෙක් අතට ජවිපෙන් කැඩීගිය පෙරටුගාමී පක්ෂය ඉලක්ක කර එම ප්‍රකාශය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමේ මෙහෙයුම කුමාර් ගුණරත්නම්ගේ කණ්ඩායමට පිදීමකි. එය නිවැරදි නොවේ. එජාපය ද අරගලයට ප්‍රබල දායකත්වයක් දැක්වීය. එය රහසක් නොවේ. පුළුල් ජනතා සහභාගිත්වයක් නොවන්නට අරගලය සාර්ථක වන්නේ නැත.

එජාප නායක වික්‍රමසිංහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස නොවැම්බර් 14 දින ඉදිරිපත් කළ අය වැය සම්මත කර ගැනීම එතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් මැයි 12 අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් පසුව මුහුණ දුන් තීරණාත්මකම දේශපාලන අභියෝගයයි. ඒ එතුමා නායකත්වය දෙන එජාපයට පාර්ලිමේන්තුවේ හිමි එක ආසනයක් පමණක් නිසා නොවේ.

වික්‍රමසිංහ-රාජපක්ෂ රජය මුහුණ දුන් සැබෑ අභියෝගය එජාප නායකයාව ජුලි 20 වැනි දින ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අය වැය ජයගැනීමට ශක්තිය තිබේද යන බවයි? අයවැයට ඡන්ද 121 ලබා දීමෙන් බැසිල් රාජපක්ෂ නැවතත් තමන්ගේ අද්විතීය බලය ප්‍රදර්ශනය කර ඇත.

අයවැය දෙවනවර කියවීමේ ඡන්දයට පෙර (නොවැම්බර් 22 හවස 6 ට පැවැත්වූ) ආණ්ඩු පක්ෂය පරාජය වුවහොත් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කිරීමට සිදු වන බව විපක්ෂය පැවසීය. එලෙසෙම දෙසැම්බර් 08 වන දින ඡන්දය පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවනු ඇති බවද අවධාරණය කළේය.

පොහොට්ටු පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17 ක් සමඟ ආසන 145 පාර්ලිමේන්තුවේ හිමිය. ආණ්ඩු පක්ෂය සී සී කඩ වී ඇති නමුත් තවමත් ප්‍රධානතම කණ්ඩායම වික්‍රමසිංහ -රාජපක්ෂ ආණ්ඩුව සමඟ බව අවධාරණය කළ යුතුය. බැසිල් රාජපක්ෂ එම තත්ත්වය නැවතත් ඔප්පු කර ඇත. පවතින තත්ත්වය යටතේ වික්‍රමසිංහ -රාජපක්ෂ ආණ්ඩුවට අභියෝගයක් වීමට විපක්ෂයට අවස්ථාවක් නැත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය අතිශය දූෂිතය, අවස්ථාවාදීය. එලෙසම අවිනිශ්චිතය. එක ආසනයක් පමණක් හිමි එජාපයට ජනාධිපති ධුරය හිමි වන්නේ ඉහත සඳහන් ක්‍රමවේදය තුළය.

වැඩබලන ජනාධිපතිවරයා ලෙස වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා තේරීමට තිබූ ඡන්දයේදී ඡන්ද 134 ලබා ගත් අතර ඔහුට අභියෝග කළ ඩලස් අලහප්පෙරුම (ඡන්ද 82) සහ අනුර කුමාර දිසානායක (03) ඡන්දයෙන් පසුව පාර්ලිමේන්තුව තුළ කළ අදහස් දැක්වීම පාර්ලිමේන්තු ක්‍රමය නිරුවත් කළේය.

ජවිපෙ නායකයා පාර්ලිමේන්තුවේ සැබෑ ස්වරූපය මෙලෙස පැහැදිලි කළේය. “මෙතන (පාර්ලිමේන්තුවේ) මහත් ආන්දෝලනයට තුඩුදෙන බොහෝ සිදුවීම් මේ සභා ගර්භය තුළ සිදු වෙලා තියෙනවා. මන්ත්‍රීවරු විකිණෙනවා හරියට ගම්වල තේක්ක ගහට වට අඩි ගාණ කියනවා වගේ. මම හිතනවා මේකත් එහෙමයි. කාට හරි නැහැ කියන්න පුළුවන්. නැහැ කියන එකත් මම භාර ගන්නවා (ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විරුද්ධත්වය පළ කරති). මේක මගේ අදහස. මම දන්නවා. කලබල වෙන බවත් දන්නවා. කථානායකතුමෙනි මෙතන කියන්නේ නැත්තම් කොතනද කියන්නේ? ගමට ගිහිල්ලා, මංසන්දියට ගිහිල්ලා කියලා වැඩක් නැහැ. මේ අයගේ මූණටම මෙය කිව යුතුයි.”

අය වැය දෙවන වර කියවීමේ ඡන්දයේදී සහ කාරක සභා අවස්ථාවේ ඡන්දයේදී පිළිවෙළින් නොවැම්බර් 22 සහ දෙසැම්බර් 08 කුමක් විය හැකිද? ප්‍රශ්න කළ සියල්ලන්ටම පොහොට්ටු පක්ෂය පිළිතුරු සපයා ඇත. ඒ වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අයවැය දෙවන වර කියවීමේදී වැඩි ඡන්ද 37 කින් සම්මත කර දීමෙනි.

එදා එජාප නායකයා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට ඡන්දය දුන් පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම එලෙසම බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් තවමත් ක්‍රියාත්මකද? ඒ ප්‍රශ්නයට ද බැසිල් රාජපක්ෂ පිළිතුරු සපයා ඇත.

කැබිනට් මණ්ඩලය ප්‍රසාරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ පොහොට්ටු නායකත්වය අතර විරසකයක් ඇතිවී තිබේද? අය වැය දෙවන වර කියවීමේ ඡන්දයට පෙර කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුව නිරාකරණය කර ගත හැකිද? කුමන ගැටලුකාරී තත්ත්වයක් යටතේ වුවද ගෝඨාභය රාජපක්ෂගේ වසර 5 හේ ජනාධිපති ධුරයේ ඉතිරි කාලය වික්‍රමසිංහ සම්පූර්ණ කිරීම වික්‍රමසිංහ පාර්ශ්වයේ අවශ්‍යතාවයයි. වික්‍රමසිංහ පාර්ශ්වය සහ පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ වැඩි පිරිස පාර්ලිමේන්තුවේ වසර පහේ කාලය සම්පූර්ණ කළ යුතු බව තවමත් විශ්වාස කරන බව අවධාරණය කළ යුතුය.

‘අරගලයට’ අනතුරු ඇඟවීමක්!

නමුත් සමගි ජන බලවේගය (සජබ) නායකත්වය දෙන විපක්ෂය පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත ගනු ලබන ක්‍රියාමාර්ග අය වැයට බලපෑමක් කළ හැකිය. නමුත් තවමත් වික්‍රමසිංහ -රාජපක්ෂ ආණ්ඩුවට අය වැය ඡන්දයේදී සුළු බහුතරය (ඡන්ද 113) අහිමි කිරීම විපක්ෂයට තවමත් අභියෝගයකි. මහජන එක්සත් පෙරමුණ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිටින්නේ පොහොට්ටුවේ වැඩි කණ්ඩායමේ ය. පළාත් පාලන ඡන්දය 2023 මාර්තු 20 ට පෙර ලබා ගැනීමට සජබ සහ විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් පෙළ ගැසී ඇත. නමුත් එම එකමුතුව ඊට එහා ගිය දේශපාලන ව්‍යාපෘතියකට පරිවර්තනය කිරීමේ සැබෑ වුවමනාවක් එම පක්ෂවලට සහ අනෙකුත් කණ්ඩායම්වලට තිබේද?

වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි කියවීමක් විපක්ෂයට තිබේද? රට බංකොලොත් තත්ත්වයට පත්වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 හදිසි ආධාර වසර 4 තුළ බෙදී යන ආකාරයට ලබා ගැනීමට ගිවිසුම් ගතවී ඇති මෙම අවස්ථාවේ අය වැය පරාජය කිරීම අර්බුදය තීව්‍ර කිරීමක් නොවේද? අතිශය අස්ථාවර ශ්‍රී ලංකාවට එවැනි තත්ත්වයක් දරා ගත හැකිද? තවදුරටත් වර්ධනය වෙමින් පවතින දේශපාලන-ආර්ථික-සමාජීය අර්බුදයේ දිග පළල පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සහ කණ්ඩායම්වලට අදාළ බවක් පෙනෙන්නේ නැත.

මෙවැනි තත්ත්වයක් තුළ සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නොවැම්බර් 15 දින වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද පාර්ලිමේන්තුවේ සිටින අවස්ථාවේදී කළ යෝජනාව හුදු දේශපාලන කථාවක් ලෙස බැහැර කළ යුතු නැත. සජබ මන්ත්‍රීවරයා යෝජනා කළේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේම නව ආණ්ඩුවක් පිහිටුවීම පිණිස පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනයේදීම (2023 මාර්තු 20 හෝ ඊට පෙර පැවැත්විය යුතුය.) මහා මැතිවරණය ද පැවැත්වීම මගින් දේශපාලන අවුල විසඳා ගත යුතු බවයි. ජනාධිපතිවරයාට මහ මැතිවරණයක් කැඳවීමේ බලය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ලැබී තිබෙන බව මතක් කළ ආචාර්ය ද සිල්වා අවධාරණය කළේ නව ආණ්ඩුවක් පිහිටුවීම මගින් ජනාධිපතිවරයාට වඩාත් පහසු තත්ත්වයක් උදා වෙනු ඇති බවයි. අයවැය කාරක සභා අවස්ථාවේදී පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑමේ අවස්ථාව උදාවෙනු ඇත. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊට පසුදිනම සජබ යෝජනාව ප්‍රතික්ෂේප කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙලෙස ආණ්ඩුවේ ස්ථාවරය අවධාරණය කළේය: “ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුව වාර මැද මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකිය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනේට් මණ්ඩලයේ නියෝජිතයින්ගෙන් තුනෙන් එකක් වාර මැද අතුරු මැතිවරණවලින් පත් කරගත හැකි වුවත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ එවැන්නක් නොමැති බවයි. එම නිසා වගකීමක් නොමැති ප්‍රකාශ කර ජනතාව නොමග යවන්න එපා.”

ඇමෙරිකානු සහ ශ්‍රී ලංකාවේ ඡන්ද ක්‍රමය කිසිසේත් සැසඳිය නොහැක. ඒ සම්බන්ධයෙන් කතාකිරීම නිෂ්ඵලය. වර්තමාන අර්බුදය ජයගැනීමට නම් පාර්ලිමේන්තුව රට ගොඩගැනීමේ එක ස්ථාවරයකට පැමිණිය යුතුය. මහ මැතිවරණයක් පැවැත්වීම තුළින් බහුතරය කුමන පක්ෂය ලබා ගත්තත් රට බලාපොරොත්තු වන දේශපාලන-ආර්ථික- සමාජීය කරුණු කාරණා සම්බන්ධයෙන් සාධනීය එකඟතාවයක් ඇතිවීම පිළිබඳව ලොකු විශ්වාසයක් තබා ගත නොහැක. ඉතාමත් කනගාටුදායක තත්ත්වය එයයි.

අග්‍රාමාත්‍යවරයා වර්තමාන රජය ඒකාබද්ධ වූ සභාග ආණ්ඩුවක් බවත්, එහි පාර්ශ්වකරුවන් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන 145 යි. අවම වශයෙන් කොටස් 4 කට කැඩී ඇත), එ.ජා.ප.ය (ආසන 01), ඔහු නායකත්වය දෙන මහජන එක්සත් පෙරමුණ (ආසන 03), ශ්‍රීලනිපය (ආසන 14. පක්ෂය දෙකඩවී වැඩි කොටස ආණ්ඩුවට එකතු වී ඇත.) සහ ඊපීඩීපී (ආසන 02) අරමුණ සාක්ෂාත් කර
ගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය ඉල්ලා සිටියේය. අග්‍රාමාත්‍යවරයා සඳහන් නොකළත් සජබ මන්ත්‍රීවරු තිදෙනෙකුද (මනුෂ නානායක්කාර, හරින් ප්‍රනාන්දු සහ ඩයනා ගමගේ) අමාත්‍ය ධුර දරති. ආණ්ඩුව තුළවත් බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් එකඟතාවයක් නැත.

පොහොට්ටුවෙන් කැඩීගිය කණ්ඩායම් හතරට දේශපාලන-ආර්ථික-සමාජීය අභියෝග සම්බන්ධයෙන් එක ස්ථාවරයකට පැමිණීමට අවස්ථාවක් තිබේද. විමල්, උදය සහ වාසු නායකත්වය දෙන උත්තර ලංකා සභාගය, ජී. එල්. පීරිස් – ඩලස් අලහප්පෙරුම මෙහෙය වන නිදහස් ජනතා සභාව සහ අනුර ප්‍රියදර්ශන යාපා සමඟ සිටින කණ්ඩායම (මෑතකදී සජබ සමග ගිවිසුම් ගතවූ) සහ ශ්‍රීලනිපය රට මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් එක ස්ථාවරයක් ගැනීමට සූදානම්ද? රට සහ දේශපාලන පක්ෂ මුහුණ දෙන අභියෝග පටලවා ගෙන ඇත. තවදුරටත් පටලවමින් ඇත. දේශපාලන පක්ෂවල අවශ්‍යතා මෙන්ම විදේශීය බලවේග/ජාත්‍යන්තර සංවිධාන සහ මහජන නියෝජිතයින්ගේ ඕනෑ එපාකම් පිරිමැසීමට ද සිදුවෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මාර්ග සිතියම සහ උපාය මාර්ගය කුමක්ද? වර්තමාන ආර්ථික අර්බුදය ජනාධිපතිවරයාගේ මෙහෙයුමට අවශ්‍ය පරිසරය අපූරුවට නිර්මාණය කර ඇත. අරගලය එම ක්‍රියාදාමයේ එක මෙවලමක් පමණි. මෙවර අයවැය යෝජනා ජනාධිපතිවරයාගේ මාර්ග සිතියම ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කර ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය ධුරයේ මැයි 12 දින දිව්රුම් දුන් වික්‍රමසිංහ මැයි 25 දින මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තේය. ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ එජාප නායකයාගේ ගැටයකට හසුවූවාදැයි යන ප්‍රශ්නය නිතැතින්ම නැගේ. (ට්‍රෝජන් යුද්ධයේදී ග්‍රීක්වරු ලීවලින් සැදූ විශාල අශ්වයෙක්ව යොදා ගෙන ට්‍රෝයි නගරය අල්ලා ගත් සැටි ඉතිහාසයේ සඳහන් වේ. උපක්‍රමය වූයේ ට්‍රෝජන්වරු විසින්ම ග්‍රීක් සෙබළු පිරි සිටි එම ලීවලින් සැදූ විශාල අශ්වයා තම නගරය තුළට ගැනීමයි. ඒ ජයග්‍රහණයේ සංකේතයක් ලෙසයි.)

ජුලි දෙවන සතියේ දී ගෝඨාභය රාජපක්ෂ තාවකාලිකව රටින් බැහැර වීමත් සමඟම වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයට පත්විය. එයින් සතියකට පසුව පොහොට්ටුව එජාප නායකයාව ඉහළින්ම ඔසවා ජනාධිපති පුටුවේ තැබීය. ජනාධිපතිවරයාගේ මාර්ග සිතියම ක්‍රියාත්මකය. උපාය මාර්ගය පාර්ලිමේන්තුව තුළත් එයින් පිටතත් ක්‍රියාත්මකය.

ඇත්ත වශයෙන්ම, එජාප කණ්ඩායම බලාපොරොත්තු වූ නමුත් ලබා ගැනීමට නොහැකි වූ ප්‍රධානතම ඉලක්කය සජබ වික්‍රමසිංහ නතු කර ගැනීමයි. සජබ මන්ත්‍රීවරු 54 අතරින් අමාත්‍ය ධුර ලබා ආණ්ඩුවට එකතු වූයේ 3දෙනෙකි. ඊට අමතරව සජබ ලාංඡනයෙන් තරග කළ ද්‍රවිඩ කථා කරන පක්ෂවල එකෙකු හෝ දෙදෙනකු ආණ්ඩුවට එකතු විය. නමුත් එජාපය බලාපොරොත්තු වූ ඩැහැ ගැනීම කළ නොහැකි විය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ නමුත් එජාපයට පළාත් පාලන ඡන්දය මහත් අභියෝගයකි. සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කළ යෝජනාව අනුව එකම දිනක පළාත් පාලන සහ මහ මැතිවරණයකට මුහුණ දීම දේශපාලන සියදිවි නසා ගැනීමක් විය හැකිය. එජාපයට ඇත්තේ එක පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුවක් බව අමුතුවෙන් කිව යුතු නැත. බිම් මට්ටමේ බලයක් නැත. ජනාධිපතිවරයාට පළාත් සභා හෝ මහමැතිවරණය මෙහෙයවිය නොහැක. සමස්ත දේශපාලන ව්‍යුහයම ජනතාව ප්‍රතික්ෂේප කර ඇති තත්ත්වයක් යටතේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා තම මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තු උපාය මාර්ග හරහාම කරනු ඇත. අයවැය ද මාර්ග සිතියමේම කොටසකි. පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් දැන් ක්‍රියාත්මක මාර්ග සිතියම සාක්ෂාත් කර ගත හැකි උපාය මාර්ගයයි.

විපක්ෂය මුහුණ දෙමින් සිටින්නේ සුළුපටු අභියෝගයකට නොවේ. දුෂ්කර ආර්ථික වටපිටාවක විපක්ෂය ගනු ලබන ක්‍රියාකාරකම්වලට අනිවාර්යෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වර්තමාන ආණ්ඩුව ඇතිකර ගෙන ඇති අවබෝධතාවය ප්‍රබල බලපෑමක් කරනු ඇත. විපක්ෂය බිම් බෝම්බ ඇතිරූ භූමියක සිරවී ඇති බව කීවත් වරදක් නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment