අරගලයට එක් වූ සැරයන් ආයුධයක් සමඟ මාට්ටු

427

මහරගම ප්‍රදේශයේදී අරගලකරුවන් ගමන්ගත් පෙළපාලියට එකතු වූ පොලිස් සැරයන්වරයා තියුණු ආයුධයක් රැගෙන ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී කොටුව පොලිසිය මගින් ඊයේ (11දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පොලිස් සැරයන්වරයා සිය රාජකාරි නිල ඇඳුමින් සැරසී තියුණු ආයුධයක් ඉණේ ගසාගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වෙද්දී එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු නතර කර තිබේ.

තියුණු ආයුධයක් රැගෙන යෑම සම්බන්ධයෙන් පරස්පර අදහස් ප්‍රකාශ කිරීම නිසා පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියට භාර දී ඇත.

මෙම පොලිස් සැරයන්වරයා නාරාහේන්පිට පොලිස් රථවාහන කොට්ඨාසයේ කාර්මික නිලධාරියකු ලෙස රාජකාරි කරන අයෙකි. ඉකුත් 09 වැනිදා අරගලකරුවන් පිරිසක් උද්ඝෝෂණ පෙළපාලියකින් පැමිණෙද්දී පොලිස් යතුරුපැදියකින් මහරගම නගරයට ආ මෙම සැරයන්වරයා රජයට විරෝධය පළකරමින් යතුරුපැදිය පසෙක දමා පෙළපාලියට එක්විය.

අත්අඩංගුවට ගත් සැරයන්වරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

හේමන්ත රන්දුණු

 

advertistmentadvertistment
advertistmentadvertistment