අරගලයෙන්  පන්නරය ලද  නූතන  සාහිත්‍යය

126

නුවණැත්තවුන් පහකොට දුදනන්          සෙවුන
නොමගත් සිත තුළෙහි ගුණ පොකුරඹ   ලෙසින
මැදහත් නොව මසුරු ගුණයෙන්           දවසරින
රජු එරටටත් අතුරක් නැත                   වෙනින

අලගියවන්න මුකවෙටිතුමා – සුභාෂිතය

අවුරුදු දෙදහස් පන්සියයකට වඩා ඉපැරණි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ලංකාව ඈත අතීතයේ පටන් විවිධ අරගල හා අර්බුධවලට මුහුණ දුන් දූපත් රාජ්‍යයකි. සරලවම ගත්විට දේශපාලන අර්බුදයක් යනු සමාජ හා ආර්ථික ගැටලුවක ප්‍රතිඵලයකි. හුදෙක් අරගලයකට නිශ්චිත හැඩයක් නොමැත. එය සිදුවන මොහොත හා ස්ථානය අනුව හැඩගැසෙන අනන්‍ය ආකෘතියකි. එහෙත් එය ලේ පිපාසිත හිංසනයෙන් ඈත් කර තැබීම පුරවැසියාගේ යුතුකමකි.

මන්ද අරගලය ශෝකාන්තයක් වීම වළක්වා ගැනීම සඳහාය. ක්‍රියාකාරී වාමාංශික නායකයකු වන රෝහණ විජේවීර වරක් පවසා ඇත්තේ ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රතිහාරයේ ශිෂ්ටත්වය සම්බන්ධයෙන් විමසා පළක් නොවන බවයි. අඛණ්ඩව තිස් වසරක් පැවැති සිංහල ද්‍රවිඩ යුද්ධයෙන් පසුව අද වනවිට ශ්‍රී ලංකාව නැවත වරක් දැවන්ත අර්බුධයකට මුහුණපාමින් සිටියි. මන්ද ඩොලරයේ අගය ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමග රට ආර්ථික මෙන්ම සමාජ හා දේශපාලනික වශයෙන්ද දැවැන්ත පරිහානියකට පත්ව ඇත. එනයින් වත්මනෙහි ලෝකයේ බොහෝ රටවල් අබිබවා යමින් මේ වනවිට ශ්‍රී ලංකාව උද්ධමනය අතින් තෙවන ස්ථානය පත්ව ඇත. මෙවැනි තත්ත්වයක් තුළ මෙම වසරේ අප්‍රේල් මස සිට සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාව එක්ව පවතින රජයට එරෙහිව දැවැන්ත අරගල ව්‍යාපාරයක් දියත් කරමින් සිටියි. මෙම අර්බුධය ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ “ගෝඨා ගෝ හෝම්” යනුවෙන් හෑෂ් ටැගයක් පළ කිරීමෙනි. අද වනවිට සාමාන්‍ය ජනතාව විසින් ගාලු මුවදොර පිටියේ කඳවුරු බැඳ සිදු කරන අරගලයක් බවට මෙම අරගලය පත්ව ඇත. එනම් නිල වශයෙන් 2022. 04. 09 වැනි දින ගල්කිස්ස ගාලු මුවදොර පිටියේ ඨධඕ ගම ආරම්භ ඇති කරමින් අරගලය ආරම්භ විය. පොදු සමාජයේ පවතින පීඩනය හා අසහනය දුරු කිරීම පිණිස ඇරඹී මෙම අරගලය විශේෂයෙන් ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව ප්‍රමුඛව දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් ඒකරාශී කර ගනිමින් දියත් වේ. විශේෂයෙන් ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ ඉදිරි ආනාගතය සුරක්ෂිත කිරීම මෙහි එක් අරමුණකි.

තත්කාලීන සමාජ ප්‍රශ්න සාහිත්‍යයට නැඟීම මිනිසාට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. එදා මෙදා තුර ලංකාවේ බිහි වූ සාහිත්‍යකරුවන් බොහෝ දෙනෙක් කාලීන ප්‍රශ්න සාහිත්‍යයට නැඟූ අවස්ථා කෙතෙකුත් ඇත. කොළඹ යුගයේ මුල් පරපුරේ කාව්‍ය නිර්මාණ ඊට කදිම නිදසුනකි. ඇස්. මහින්ද හිමි, ජී. එච්. පෙරේරා, පිසදාස සිරිසේන වැන්නවුන්ගේ කාව්‍ය නිර්මාණ විමසීමේදී එකල යුග අවශ්‍යතාව අනුව ජාතිකත්වය, දේශාභිමානය වර්ධනය කරනු වස් කවි ලියා ඇති ආකාරය ප්‍රකට වේ. එමෙන්ම මුල්කාලීන නවකතා බොහොමයක්ද තත්කාලීන සමාජ අවශ්‍යතාව මත රචනා වී ඇත. මේ අනුව ප්‍රකට වන එක් කරුණක් වන්නේ කාලයෙන් කාලයට පවතින සමාජ ප්‍රශ්න, ගැටලු හා සමාජ අවශ්‍යතාව මත සාහිත්‍ය නිර්මාණ බිහිවීමට යම් අවකාශයක් පවතින බවයි.

ඒ අනුව පවතින සමාජ අරගලය මත පදනම්වද අද වනවිට සාහිත්‍ය නිර්මාණ බොහොමයක් නිර්මාණය වී ඇත. තවද එය සැඟව තිබූ ඇතැම් සාහිත්‍ය නිර්මාණ ජනප්‍රිය වීමට ද පසුබිම සකස් කරන ලදි. අරගලය උදෙසාම බිහි වූ ගීත නිර්මාණද දැකිය හැකිය. නවක නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් අරගලය උදෙසා ගීත නිර්මාණ කිහිපයක් සිදු කර ඇත. මේ අතුරින් අමු කැමා ගීතය ඉතා කෙටි කලක් තුළ බාල මහලු බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වූ ගීත නිර්මාණයකි.

තවද ෆේස්බුක් ඔස්සේ පළ කරන කාව්‍ය නිර්මාණ ද නූතන අරගලය බැඳි සාහිත්‍ය නිර්මාණ පිළිබඳ විමසීමේදී කැපී පෙනේ. විශේෂයෙන් උගත් නූගත් බොහෝ දෙනා රට ම අරගලයක යෙදෙන මේ මොහොතේ සිය සිතැඟි පළ කරනු වස් අරගලය උදෙසා කවි ගොතා ඇත. එනයින් ෆේස්බුක් ඔස්සේ ස්වකීය සිතැඟි පළ කරමින් කාව්‍ය නිර්මාණ පළ කරන ජනප්‍රිය කවියන් හා කිවිඳියන් බොහෝ දෙනෙකි. ඒ අතර ආධුනික කවියන් මෙන්ම පළපුරුදු කවීන් ද වේ.

හැතිකරේ දත් විලිස්සාගෙන
පාප කර කර කොහොම නැටුවත්
දැනගනින් තොපි අපේ උන් ටික
දිනනවා අරගලේ කොහොමත්

(තාරිකා ලක්මාලි හෙවත් සමනලිගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත්තකි.)

බමන මතකින් තලා පගා
තොපි මල් නසන්නට එයිනම්
උයන් පල්ලනි මල් රකින්නට
කටු වෙන්න අපි රෙඩි දැන්…

(අවිශ්ක බී. එල්. ටී. ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත්තකි.)

භාව විරේචනය නැතිනම් භාව විමෝචනය යනුවෙන් ද මෙම සිතැඟි පළ කිරීම හැඳින්විය හැකිය. ඇතැම් විටක රණ්ඩු සරුවල් වෙමින් කෑ කෝ ගසා විසඳා ගත නොහැකි බොහෝ දේ එම මට්ටම දක්වා යෑම වළක්වමින් සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමට සාහිත්‍ය නිර්මාණ ඉවහල් විය හැකිය. කලාව එක් අතෙකින් ගත්විට මිනිසා සඳහාය. කලාවෙන් තොර මිනිසා ද මිනිසාගෙන් තොර කලාවක පැවැතීම ද තහවුරු කළ නොහැකිය. ඒ අනුව සාහිත්‍ය නොඑසේනම් කලාව බිහිවන්නේ පුද්ගල අභ්‍යන්තරයේ පවතින භාව විරේචනය හේතුවෙනි. නිරන්තරයෙන්ම සාහිත්‍ය නිර්මාණ කෙරෙහි පුද්ගල අනුභූතීන් හෝ ඔහු/ඇය වටා පවතින අත්දැකීම් සමුදාය හේතු විය හැකිය. ඒ අනුව මේ දිනවල ජනප්‍රිය මාතෘකාව බවට බවට පත්ව ඇති අරගලය නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට පාදක වී ඇත.

විනිසුරනි!
කුමට ද තරාදිය..
රජුන් සොරකම් කරපු වස්තුව
කිරන්නට බය හිතේ නම්..
සෙබළුනි!

කුමට ද ගිනි අවි
කැටේ මසුරන් හොරෙන් ගද්දී
කොකා හිරවී තිබේ නම්..
යතිවරුනි!

කුමකට ද බණ පද..
රජුන් නිර්වස්ත්‍රයෙන් ඉද්දී
පිරිත් නූලක් බඳී නම්..

නන්දසිරි කීඹියහෙට්ටි

සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල වඩාත් ප්‍රචලිත තවත් එක් සාහිත්‍යාංගයක් ලෙස අරගලය වෙනුවෙන් නිර්මාණය කළ ගේය පද නිර්මාණ පෙන්වාදිය හැකිය. මෙහිදී ද හඳුනාගත හැකි ලක්ෂණයක් වන්නේ එලෙස ලියූ බොහෝ ගේය පද නිර්මාණ වෙනත් ගීත නිර්මාණයක් අනුව යමින් නිර්මාණය වී තිබීමයි. කුඩා දරුවන් අතර වඩාත් ප්‍රචලිත සුප්‍රසිද්ධ කාටුනයක් ලෙස සූරපප්පා කාටුනය හඳුන්වාදිය හැකිය. මෙහි තේමා ගීතයේ තනුව අනුව නිර්මාණය කළ පප්පාවරුන්ගේ ගීතය මේ දිනවල වඩාත් ජනප්‍රිය ය.

කොළඹ මැද ගමක් තියෙනවා
එහි අරගලකාරයෝ ඉන්නවා
ගමට ගෝඨා ගෝ ගම කියනවා
ඒ පප්පලා අරගල කරනවා…

මෙරට සිංහල සිනමාවේ විකට නළුවකු ලෙස වඩාත් ජනප්‍රිය නළුවකු ලෙස ප්‍රසිද්ධියට පත් ෆ්‍රෙඩි සිල්වා නම් අසහාය රංගන පෞරුෂය මෙරට සංගීත ක්ෂේත්‍රයෙහි ද නොමැකෙන සටහන් තැබූවෙකි. ඒ උපදේශාත්මක ගීත ගායනය හේතුවෙනි. ඔහුගේ ගී අතුරින් “කපුටු කාක් කාක්” නම් ජනප්‍රිය ගීතය මේ දිනවල පවතින අරගලය හේතුවෙන් නැවතත් කරළියට පැමිණ ඇත. ඒ කපුටු කාක් කාක් කාක් බැසිල් විසිල් බැසිල් විසිල්” පාඨයත් සමගිනි.

යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉඳිකටු ඇණ ඇගිලි තලා දෙතිස් වධය පමුණුවන්න…

80 දශකයේදී නන්දා මාලනිය විසින් ගැයූ මේ ගීතය ද අරගලය හේතුවෙන් නැවත ජන හදවතට සමීප වී ඇත. එකල පවන ප්‍රසංගයේදී ගැයූ මේ ගීතය හා පවන ප්‍රසංගය ද වාරණයට ලක් විය. නමුත් විරෝධාකල්ප ගීතයක් වන මෙම ගීතය එදාටත් වඩා අදට ගැළපෙන්නේ නොසිතූ විරූ අයුරිනි.

මෙම සාහිත්‍ය නිර්මාණ අරගලයේ තතු ජනතාවට පහසුවෙන් සමීප කරවයි. තවද මිනිසුන් අවි ආයුධ අතට ගැනීම වෙනුවට සාහිත්‍ය නිර්මාණ ඔස්සේ ස්වකීය භාව විමෝචනය කිරීම අගය කළ යුතුය. බොහෝවිට අරගලය වෙනුවෙන් සාහිත්‍ය නිර්මාණ බිහි වන්නේ සාමාන්‍ය ජනතාව අතරිනි. එහෙයින් ඔවුන් සතු සහජ දක්ෂතාව අගය කළ යුතුය. ඇතැම්විට හාස්‍ය හා උපහාසය ඇතිවන අන්දමින් ඔවුන් කරනා එම නිර්මාණ දෙස උපේක්ෂා සහගතව බැලිය යුතුය. බොහෝමයක් එවැනි නිර්මාණ කලඑළි බසින්නේ සමාජ මාධ්‍ය ඔස්සේ වීම ද විශේෂත්වයකි. ෆේස්බුක් මාධ්‍ය ජාල ඔස්සේ නිරන්තරයෙන් කරළියට එන මෙම නිර්මාණවලට සැබැවින්ම අරගල පසුබිමකදී වුවද පීඩාවට පත් ජනතාවගේ සිතිවිලි මදකට හෝ සහනයට පත් කිරීමේ හැකියාව ඇත. ඇතැම් විටක ඒවායේ පළවන අදහස් තවත් කෙනකු උපහාසයට ලක් කිරීමක් යැයි කෙනකුට චෝදනා කළ හැකිය. එහෙත් එකී උපහාසය තුළි ඉස්මතුව පෙනෙන නිර්මාණශීලිත්වය හේතුවෙන් ඒ දෙස උපේක්ෂා සහිතව බැලිය හැකිය.

කැමා ඇදගෙන නුඹත් හඬනවා ඇති අයියේ මේ හන්දියේ
දෙපිළ බෙදුනට එකම අම්මගේ දරුවො අපි අයියණ්ඩියේ
අම්මා අඬනවා කඳුළු පුරවන් ගිලෙනවා අද මුතු ඇටේ
එකම බත් එක බෙදන් කමු අපි කළු කොළඹ මේ බංකරේ

සහාය කථිකාචාර්ය
● ඉවන්තා සඳුනි ජයසේන
සිංහල අධ්‍යයන අංශය,
පේරාදෙණි විශ්වවිද්‍යාලය

සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment