‘අරගලයෙන්’ විධායක ජනාධිපති ක්‍රමය වෝල්ට් 33000 ක විදුලි සැරයක්

545

බෙදුම්වාදී ත්‍රස්තවාදය 2009 මැයි මාසයේ පරාජය කළ පසුව ඇතිවූ පාලන ක්‍රමය ‘අරගලය’ විසින් පෙරළා දමා ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ එම මැතිනිය ජූලි 13 අලුයම 1 එකට පමණ කටුනායක ගුවන් තොටුපළින් පිටවීම අවධාරණය කළේ පැවති පාලන ක්‍රමයේ අවසාන ය.

ඇඳිරි නීතිය, හදිසි නීතිය, කඳුළු ගෑස්, ජල ප්‍රහාර, සමාජ මාධ්‍ය ජාලා, උසාවි නියෝග හරහා සහ බිය වැද්දීම් මගින් ‘අරගලය’ නැවතිය නොහැකි බව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය තේරුම් ගෙන ඇත. තවදුරටත් රැවටිලි බැරිය. පාර්ලිමේන්තු විපක්ෂයද ‘අරගලයට’ යටය. පාර්ලිමේන්තුව නියෝජනය කරන යම් කිසි පක්ෂයක්, කණ්ඩායමක් හෝ පාර්ලිමේන්තුවෙන් පිටත සංවිධානයකට ‘අරගලය’ යටත් නැත.

මාර්තු 31 දින ජනාධිපතිවරයාගේ මිරිහානේ පැඟිරිවත්ත පෞද්ගලික නිවාසය ඉදිරියේ පිපිරී ගිය ජනතා විරෝධය විධායකයට, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට කිසිසේත් පාලනය කළ නොහැකි තත්ත්වයකට පත් වී ඇත. ‘අරගලය’ ඉතාමත් පුළුල් ජනතා ව්‍යාපාරයක් බවට පත්වී ඇත.

නමුත් වැඩබලන ජනාධිපති මෙන්ම අගමැති ‘අරගලය’ හඳුන්වන්නේ ෆැසිස්ට් තර්ජනයක් ලෙසයි.

‘අරගලය’ ඉතාමත් වේගයෙන් ප්‍රසාරණය වීම විමසා බැලිය යුතු වන්නේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ වැඩබලන ජනාධිපති අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන ඇති අතිශය ආන්දෝලනාත්මක දේශපාලන ක්‍රම උපායන් ද අවධානයට ලක් කිරීමෙනි. ඔවුන් දෙදෙනාගේ ක්‍රියා කලාපය අර්බුදය තවදුරටත් තීව්ර කර ඇත.

මෙම තත්ත්වය භයානක ය. කථානායක මහින්ද යාපා අබේවර්ධන ‘අරගලයේ’ උදහසට ලක්වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි තම ඉල්ලා අස්වීම ජුලි 13 දින බලාත්මක නොකිරීම නිසාය.

ශ්‍රී ලංකාවෙන් පිටවීමට පෙර සහ මාලදිවයිනට ජුලි 13 සේන්දු වූවායින් පසුව ද ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බව කථානායකවරයා ප්‍රකාශ කළේය. එය ඉටු නොවීය.

‘අරගලය’ කථානායක නිල නිවාසය ඉදිරිපිට බදාදා සවස පුපුරා ගියේ සමස්ත දේශපාලන ක්‍රමයටම එරෙහිවය. ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනී සේවය ‘අරගලයට’ යටත් වීම ජනතා බලය නැවත නැවතත් අවධාරණය කිරීමකි. මාර්තු 31 සක්‍රීය වූ ජනතා මෙහෙයුම ඉහළම තත්ත්වයකට පත් වීමකි. නැතහොත් ශ්‍රී ලංකාවේ මෙතෙක් කල් ක්‍රියාත්මක අසික්කිත තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයට තිත තැබීමකි. මෙතුවක් කල් පක්ෂ දේශපාලනය අසමත් වූ ඒ අදහාගත නොහැකි වෙනස ‘අරගලය’ විසින් කර ඇත.

මාර්තු 31 දින පැඟිරිවත්තේ ගැටුම, අප්‍රේල් 03 ඇඳිරි නීතිය නොතකා රට පුරා පැවති විරෝධතාවය,

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අප්‍රේල් 09 ආරම්භ කළ තීරණාත්මක විරෝධතාවය, මැයි 09 දින අරලිය ගහ මන්දිරය ‘අරගලයට’ එල්ල කළ ප්‍රහාරය, ඊට එරෙහිව එදිනම සහ පසුදින කළ ප්‍රතිප්‍රහාරය, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීම, එජාප නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස මැයි 12 දිව්රුම් දීම, ශ්‍රී ලංකාව බංකොලොත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මැයි 19 ප්‍රකාශ කිරීම, ජුලි 09 දින ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය ‘අරගලය’ යටත් කර ගැනීම, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට හිමි කොල්ලුපිටියේ නිවාසය එදිනම ගිනිබත් කිරීම, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයෙන් ඉවත්වීම, ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට පොරොන්දු වීම, එම පොරොන්දුව ඉටු නොකර රටින් පිට වීම, විදේශයක සිට එම පොරොන්දුව නැවත කථානායකවරයාට දීම චිත්‍රපටයක ජවනිකා මෙනි. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ එලෙසම දැඩිව ඉල්ලා සිටි තම ඉල්ලා අස්වීම අප්‍රේල් මස පළමුවන සතියේ සිදු වූවා නම් ‘අරගලය’ මෙම තත්ත්වයට පත් වන්නේ නැත.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ, එම පවුලේ මෙන්ම එම කණ්ඩායමේ අවශ්‍යතාවය රටේ වුවමනාවක් නොවන බව පොහොට්ටු කණ්ඩායමට තේරුම් ගැනීමට නොහැකි වීම අවාසනාවකි. තවමත් තේරුම් ගෙන නැත. රට බංකොලොත් වීමේ ආදීනව පොහොට්ටු කණ්ඩායම වටහා ගෙන නැත. දේශපාලන අස්ථාවරත්වය නිසියාකාරව හසුරුවා ගැනීම වෙනුවට තවදුරටත් ව්‍යවස්ථා කුමන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම ‘අරගලයට’ ශක්තියක් බව අමුතුවෙන් කිව යුතු නැත. නැතහොත් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය තවදුරටත් හෑල්ලු වෙමින් පවතී.

විධායක ජනාධිපති ධුරය ‘අරගලය’ ප්‍රතික්ෂේප කර ඇත. ජනාධිපති වැඩබලන ජනාධිපතිවරයෙක් පත්කර තත්ත්වය තවදුරටත් අස්ථාවර කිරීම ‘අරගලයට’ වාසිදායක ය. සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම ජනතා විරෝධයට පත් වී ඇත. නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ තවමත් ජනාධිපති ධුරය තම පක්ෂයට නැතහොත් තම කණ්ඩායමට අත්පත් කර ගැනීමේ මාරාන්තික සටනක නිරත වේ. සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව හරහා යෝජිත ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ තරගයට තම නායක සජිත් ප්‍රේමදාස යෝජනා කර ඇත, පොහොට්ටුවෙන් කැඩී ගිය ප්‍රතිසංස්කරණ කණ්ඩායමට අවශ්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපති කිරීමටය, පොහොට්ටුවේ අනෙක් කණ්ඩායමේ සහයෝගයෙන් රනිල් වික්‍රමසිංහ ද තරගයට අවතීර්ණ වීමේ අවස්ථාවක් ඇත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සියලුම පක්ෂ සහ නායකයින් පොරොන්දු වී ඇති තත්ත්වයක් යටතේ ජනාධිපති ධුරය ලබා ගැනීමට කරන උත්සාහයට ‘අරගලය’ ප්‍රතිචාර දක්වනු ඇත. විධායක ජනාධිපති ධුරය තවදුරටත් ශක්තිමත් කිරීමට 20 වැනි සංශෝධනය 2020 ඔක්තෝබර් 22 දින තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එම විධායක බලතල හකුලා ගැනීමට සූදානම් බවට මැයි 11 ප්‍රකාශ කළේය.

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට පැය 24 කට පෙර කළ එම ප්‍රකාශය ජනාධිපතිවරයාගේ වචනයෙන්ම මෙසේය: “පත්වන නව රජයේ අගමැතිවරයාට නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කර රට ඉදිරියට ගෙන යන්න අවස්ථාව සලසා දෙනවා. ඒ වගේම විවිධ පාර්ශ්වවලින් ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසත් ඉල්ලීම් ලැබී තිබෙනවා. පත්වන නව රජය රට ස්ථාවරත්වයට පත් කිරීමෙන් පසු සියලුදෙනාම සමඟ සාකච්ඡා කර ඒ සඳහා කටයුතු කිරීමටත් ඉඩ ප්‍රස්ථාව සලසා දෙනවා. මෙම අතිශය දුෂ්කර අවස්ථාවේදී රට කඩාවැටීමට ඉඩ නොතබා මහජනතාවගේ ජීවිත වගේම ඔවුන්ගේ දේපළ ආරක්ෂා කරගෙන ජන ජීවිතයට අත්‍යවශ්‍ය සියලු දේ සැපයීමට රාජ්‍ය යාන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න මට සහය දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.”

එසේ නම් ජනාධිපති ධුරයට මෙතරම් කෑදර ඇයි?

අරගලකරුවන් විසින් අග්‍රාමාත්‍ය කාර්යාලය තමන් යටතට ගත් පසු, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආරක්ෂක හමුදා සහ පොලිසියට අපූරු ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය. “මිලියන විසිදෙකක ජනතාවක් පසෙකට දමා දෙදෙනකු ආරක්ෂා කරන්නේ ඇයි?”

ජනාධිපතිවරයා සහ වැඩබලන ජනාධිපතිවරයා ‘අරගලය’ බිහිවූ හේතු සාධක නිසියාකාරයෙන් තවමත් තේරුම් ගෙන නැත. පාර්ලිමේන්තුව සහ අධිකරණය සම්බන්ධයෙන්ද කීමට ඇත්තේ එයම ය. රටේ බල කණු තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය රට බංකොලොත් වීමට වගකිවයුතු නොවේද? වංචා, දූෂණය, අක්‍රමිකතා සහ අවිධිමත් පාලනය ශ්‍රී ලංකාව බංකොලොත් කළ බව එම බලකණු නියෝජනය කරන පුද්ගලයින් වගකිව යුතු නොවේද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුර කාලයේ (2019 නොවැම්බර් 16 සිට 2022 ජුලි 13 දක්වා) ගත් වැරදි සහ අනුවණ තීන්දු තීරණ ශ්‍රී ලංකාව අන්ත අසරණභාවයට පත් කළේය. නමුත් එම තත්ත්වය ඇතිවීමට 1987 ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ සියලුම ජනාධිපතිවරුන් අඩු වැඩි වශයෙන් වගවිය යුතුය. වගකිව යුතුය. රටට දරා ගත නොහැකි අවාසනාවන්ත තත්ත්වයක් ඇති කළේ වර්තමාන පාලනයයි. ඒ පිළිබඳව කිසිදු සැකයක් නැත.

නළුවකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වූ පීටර් ද අල්මේදා ‘අරගලය’ වෙනුවෙන් කළ ප්‍රකාශය රටේ අවධානයට යොමු විය යුතුය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බලය අත හැරිය යුතුය. එලෙසම විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුමය. ‘අරගලය’ ඉදිරියට යෑමත් සමඟ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් බරපතළ කුකුසක් ඇතිවී ඇත. වැඩබලන ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කරන අග්‍රාමාත්‍යවරයාය. එජාපය නියෝජනය කරන වෙන කිසිදු මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුව නැත. නමුත් තනි මන්ත්‍රී වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට අභියෝග කර ඇත.

ජුලි 13 සවස කථානායක නිල නිවාසය අභියස පැවති ගැටුම් මැද කථානායකවරයාගේ නායකත්වයෙන් පැවැති පක්ෂ නායකයින්ගේ රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තුව මාධ්‍යයට “ අගමැතිවරයා වහා ඉල්ලා අස් විය යුතුයි – පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කෙරේ” යන ශීර්ෂය යටතේ පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනය වැඩබලන ජනාධිපතිවරයාට අභියෝගයක් බව කවුරු කවුරුත් තේරුම් ගත යුතුය. ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි ජුලි 13 රාත්‍රී 12 ට පෙර ඉල්ලා අස්වීමේ ලිපිය ලබා නොදුන් බව පාර්ලිමේන්තුව අවධාරණය කර ඇත.

බංකොලොත් රට මෙලෙස පීඩනයට ලක් කිරීමට විධායකයට අයිතියක් නැත.

ශ්‍රී ලංකා දේශපාලනය අවිනිශ්චිතය. එය කෙතරම් ද කිවහොත් ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ව අගමැති කිරීමෙන් නැවතුණේ නැත. වැඩබලන ජනාධිපති කර සන්නද්ධ හමුදා සහ පොලිසිය ඔහු යටතට පත් කර රටින් පිටව ගියේය. අදහා ගැනීමට නොහැකිය. ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍ය ධුරය කිසිසේත් දැරිය යුතු නැති බව පුන පුනා කිවූ රනිල් වික්‍රමසිංහ අද සන්නද්ධ සේවාවල ප්‍රධානියාය. අපකීර්තිමත් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් රතු පලසක් මතින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නැවතත් ශ්‍රී ලංකාවට සැපත් වුවත් ජනතාව පුදුම විය යුතු නැත.

බල කණු තුන විනාශ කළ ශ්‍රී ලංකාවට ‘අරගලය’ යම් බලාපොරොත්තුවක් දී ඇත. ශ්‍රී ලංකා දේශපාලනය අසූචි වළකි. හත් පොළේ ගා ගත් මහජන නියෝජිතයින් ‘අරගලය’ හමුවේ ඇඹරී ගොස් ඇත. හිටපු ජවිපෙ මන්ත්‍රී වසන්ත සමරසිංහ ජුලි 13 ගෝඨා ගෝ ගම භූමියේදී අසරණ විය. ජුලි 14 වන දින බියගම සහ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපවල වැඩ වර්ජනයක් කැඳවූ ජවිපෙ ප්‍රධානියකු වූ සමරසිංහ එම ස්ථානයෙන් පලවා හැරියේය. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දහස් ගණනකගේ සහභාගිත්වයෙන් පැවති එම රැස්වීමේ ජවිපෙ ප්‍රධානියා කළ කථාව නවතා දැමූ අරගලකරුවන් ඔහුට යන එන මං නැති කළේය. සියලුම වෙළඳ කලාප සුපුරුදු පරිදි එදින ක්‍රියාත්මක විය. ජවිපෙ ද ‘අරගලයේ’ ප්‍රධාන පාර්ශ්වකරුවෙකි. නමුත් ‘අරගලය’ තමන් කැමති දිසාවකට ගෙනයෑමට ජවිපෙට නොහැකිය.

ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂයට ඡන්දය දුන් මෙම ලියුම්කරු දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට ප්‍රබල බලපෑමක් කළ හැකි එලෙසම අවශ්‍ය බලපෑම කළ එකම දේශපාලන ව්‍යාපාරය ‘අරගලය’ බව අවිවාදයෙන් පිළි ගනී.

ඇත්ත වශයෙන්ම ‘අරගලය’ සම්ප්‍රදායික විපක්ෂ දේශපාලනය උඩු යටිකුරු කළේය. දූෂිත දේශපාලනයට ‘අරගලයෙන්’ දුන් වෝල්ට් 33,000 විදුලි සැරය කිසිදිනක පාර්ලිමේන්තුව නියෝජනය කළ, කරන සහ කිරීමට බලාපොරොත්තු වන කිසිවෙකුට අමතක නොවනු ඇත. ලියුම්කරුට ‘අරගලය’ සම්බන්ධයෙන් ගෞරවයක් ඇත. ඒ ‘අරගලය’ දේශපාලන සුනාමියක් බවට පත්කළ කිසිදු දේශපාලන ප්‍රවාහයකට හිර නොවූ තරුණ ප්‍රජාවයි. ස්මාට් ජංගම දුරකථනයෙන් ‘සන්නද්ධ වී’ වී සිටි අරගලකරුවන් කළ විප්ලවය ලෝක ඉතිහාසයට එක්වී හමාරයි. නමුත් ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයට මුත්‍රා කිරීම, තමන් නතු කරගත් රජයේ ගොඩනැගිලිවලට සිදු වූ හානිවලට ඔවුන් වගකිව යුතුය.

නමුත් ජනතාව පත් කළ ආණ්ඩුවක් මහ බැංකුව දෙවරක් (2015 සහ 2016) කොල්ල කෑ රටේ, පොහොට්ටු රජය ඇතුළුව සියලුම ආණ්ඩු පසුගිය වසර 30 තුළ රාජ්‍ය අංශය කිසිදු හිරිකිතයක් නොමැතිව සොරකම් කළ රටේ ‘අරගලය’ කළ මැදිහත් වීම තුළ දූෂිත මහජන නියෝජිතයින්, ඉහළ නිලධාරී පැලැන්තිය සහ ව්‍යාපාරික ප්‍රජාවෙන් බංකොලොත් ආර්ථිකය ගලවා ගැනීමට අවස්ථාවක් උදාවී ඇත.

ලියුම්කරුට ‘අරගලය’ නායකත්වයෙන් ඉල්ලීමක් කිරීමට ඇත. පාර්ලිමේන්තුව වටලෑමට අවශ්‍ය නැත. විගණකාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව, ගිණුම් කාරක සභාව සහ මුදල් කාරක සභාව පොහොට්ටු රජය සමයේ නිකුත් කළ සියලුම ගිණුම් වාර්තා සහ හෙළිදරව් පිළිබඳව පූර්ණ විමර්ශනයක් කිරීමයි. ශ්‍රී ලංකාව බංකොලොත් කළ කණ්ඩායම ‘අරගලයට’ හඳුනා ගත හැකිය. සැබෑ තත්ත්වය වඩාත් පැහැදිලි කර ගැනීමට එම කාරක සභා තුනේ ප්‍රධානීන් වන පිළිවෙළින් මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය තිස්ස විතාරණ සහ අනුර ප්‍රියදර්ශන යාපා සමඟ සාකච්ඡාවක් පැවැත්විය හැක. ආණ්ඩුවට රුපියල් සහ රටට ඩොලර් නැති ප්‍රශ්නය නිරාකරණය කර ගත හැකිය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment